එදා මුහුදුබඩ පළාත්වල මාදැල් නිතර දක්නට තිබිණි. මාදැලේ මඩිය පැළුණ විට අතංගුවකින් මාලූ ඇල්ලීම සිරිතය. මඩිය යනු මාදැලේ මාලූ රොක්වන ගොට්ටක් වැනි තැනයි. මාදැල් අදින විට හම්බාව කීම සිරිතය. ‘හූඩි හෙලෙය් හෙලෙය්ය හූඩි හෙලෙයි හෙලෙය්ය’ කියමින් කවි වැනි ගායනයක් කරන අතර අධිකව කුණුහරුප කීම හම්බාව කියන මන්ඩාඩියාගේ සිරිතය. ඉල්ලීමය. මන්ඩඩිරාල නැතුව මාදැල් අදින්නේ නැත. අධිකව දැනෙන වෙහෙස හා හිරු රශ්මියෙන් වන දැවිල්ල අමතක වන්නේ මන්ඩඩිරාල කියන හම්බාවට හවුල්වීමෙනි.

සමහර රසවත් කුණුහරුප නිසා සිනහව පිරි කාලයක් ගතකිරීමට හා දැල් අදින හවුල්කාරයන් පිනවීම මන්ඩඩිරාල තම රාජකාරිය සේ සිතා කරන කාර්යයකි. මාදැලට විවිධ මාලූ අසුවෙයි. පරව්, තෝරු ඇතුළු ලොකු මාලූද, සාලයා, හුරුල්ලා, බලයා වැනි මැදි හා කුඩා මාලූද අසුවෙයි.


මොරටුවේ බොල්ගොඩ ගෙඟ් හා ලූනාව කලපුවේ බැඳි ජාකොටු බලන්න ලස්සන දර්ශනයකි. ලූනාව කලපුවේ දැන් ජාකොටු නැතත් බොල්ගොඩ තවම ඇත. මොරටුවේ සුවිශේෂම මාලූවා අහිරාවාය. මොරටු නදියට පමණක් සීමා වන අහිරාවා හාල්මැස්සාට වඩා මඳක් කුඩාය. තෙල් සහිත මාලූවකු වන අහිරාවා ජාකොටුවලින් අල්ලාගනී. මොරටුවේ අය පමණක් උයන්න දන්න, මොරටුවේ අය පමණක් කන අහිරාවා වඩා හොඳ මිරිසට මලවලාය. අහිරාවාගේ ඔලූව කඩා ඉවත් කරන්නේ නැත. අහිරාවා මලවන්නේ මිරිස් වතුරෙන් තම්බා තුනපහ කහ ගොරක, ලූණු දමාය. අඩිය අල්ලන තුරු හිඳගැනීම අවසානයේ තෙල් ටිකක් දමා කලවම් කර ළිපෙන් බාන්න. හොඳින් මැලවූ කල දින කීපයක් තබාගත හැක. නොවැම්බර් දෙසැම්බර් කාලෙ වන විට හාල්මැස්සෝ අහුවෙති. හාල්මැස්සන් අහුවන කාලයට මෙරු එන බවට විශ්වාසයක් පවතී. ඉස්සර නම් මොරටුවේ, වත්තල, පමුණුගම, මීගමුව, මුතුපන්තිය, උඩප්පුව, මන්නාරම හා නැගෙනහිර පළාතේද උතුරේද බොහෝ මාදැල් තිබුණි.


අපේ තත්තා ධීවර සංස්ථාවේ සිටි නිසා, මාලූ බිත්තර, මාලූ ලිවර්, මාලූ බොකු, මාලූ හාර්ට් එක හා පොකිරිස්සෝ අපි නිතර කෑවෙමු. මාලූ බිත්තර නම් මා ඉතාම ප‍්‍රිය ආහාරයකි. තෝර පරව් හෝ ගල්මාලූ බිත්තර අගේය. කහ ගම්බිරිස් ලූණු ගොරක දමා තම්බා පසුව හොඳින් තැම්බූ මාලූ බිත්තර කෑලිවලට කපා කිරිහොදිවලට එක කරන්න. මාලූ කත්කාරයන් වට්ටි අම්මලා හා මාලූ බයිසිකල්කාරයන් ඒ කාලයේ අඩු නොවීය. සමහර පවුල් මාලූ ගත්තේ ඔවුනට හුරු මාලූකාරයාගෙන් පමණි. කොතෙක් මාලූකාරයන් ගියත් තමන්ට හුරු මාලූකාරයා එනතුරු නෝනලා බලාසිටිති. මාලූ කත්කාරයෝ නපුරු මිනිසුන් කොටසක් බව ගම්මුන්ගේ අදහස විය. එහෙත් මාලූකාරයා තරහ කර නොගෙන මාලූ හෙට්ටු කර ගැනීමට නෝනලා සමත් වූහ.


ජාඩි ගැන නොකියාම බැරිය. ජාඩි මුහුදුබඩ මිනිසුන්ගේ රසවත් ආහාරයයි. ගොරක හා ලූණු දමා හදාගන්නා ජාඩි මාලූ කල් තබාගන්න කදිම ක‍්‍රමයකි. ඇතිලි හා හා බූලි මුහුදුබඩ පැතිවල අපමණ ඇත. බූලි ලන්දේසි ආභාසයයි. ලූණු තට්ටුවයි, ගොරක තට්ටුවයි, මාලූ තට්ටුවයි වශයෙන් අනුපිළිවෙළට බූලියට හෝ ඇතිලියට අතුර ගන්නා ජාඩි ලූණු බහින තෙක් තිබෙන්නට ඕනෑය. ජාඩිවලට පණුවෝ ගැහුවද එම පණුවන් ඉවත් කර කෑම ජාඩි ආහාරයට ගන්නා අය කරන දෙයකි.


මාලූන්ට විවිධ කරි වර්ගද ඇත. කොරලි අබකිරි හොද්ද, ලූල් අබකිරි හොද්ද, හාල්මැස්සෝ අබ කිරිහොද්ද, බලමාලූ, කෙලවල්ලා කුම්බලාවා අලූත් හොද්ද ඉතා රසය. මොරටුවේ මනාලියෝ කසාද බඳින්නට පෙර මාස තුනක් තෝරා මාලූ කිරට කන සිරිතක් එකල තිබුණි. ඒ ඇඟ නිවෙන්නටය. සූතිකාවන්ට හා රෝගීන්ට කාරල්ලෝ සුප්ය. කාරල්ලෝ සුප් දැන් දන්න අය නැත. දැල්ලෝ අලූත් හොද්ද, මීගමු මඩකලපු හා යාපනයේ කකුලූ කරි සුවිශේෂය. දැල්ලෝ පුරවලා හරිම රසය. මධ්‍යම ප‍්‍රමාණයේ පරව් පැටවු ඉස්මොරු පදරු කිරීම හරිම රස කෑමකි. කුම්බලාවා අමුතුම මාලූවෙකි. බෝල්ලාට පටලාගත යුතු නැත.

බෝල්ලාගේ ඇස් කුම්බලාවාට වඩා ලොකුය. කුම්බලාවාගේ ඇත්තේ එක මැද කටුවකි. කුඩා කටු නැත. හිස කපා මුදුන් කටුව සම්පූර්ණයෙන් එළියට ගත හැක. එයට අල, ලූනු හා කළමනා අනා පුරවා බැටර් එකේ බදින්න. ම්ම්ම්……
ගොඩයා, කොඩුවා, කාවයියා, වැලිගොව්වා, ජීලාවා, වේක්කයා, පෙතියා, පියාමැස්සා, මුරල්ලා, සාවාලයා, හුරුල්ලා, ගීන්නෑටි පරව්, කන්නඩි පරව්, ගරුවා, කොප්පරා, අංගුලූවා, හුංගා, කාරල්ලෝ, කටිල්ලෝ, ලාග්ගා, මස් කාරල්ලෝ, බලයෝ, ඇටවල්ලෝ හඳුනාගැනීම දන්න අයකුට හැර පහසු නැත. ගල්මාලූ වර්ගවලද විවිධත්වය ඉතා වැඩිය. ට‍්‍රවුට් ලංකාවට හඳුන්වා දුන් මාලූවෙකි. අපිට ඉන්න වටිනාම මාලූවා නිල්වරල් කෙලවල්ලාය.


අඩි 10 දිග ආඳෝ මන්නාරමේ දැක ඇත. ආඳා මාලූ කන්නේ ඉරටෙන්ලූ. කට්ට කරවල, තෝර කරවල, ඩිස්කෝ සාලයා හා කීරමින් හදන්නේ මන්නාරමේය. දුම් ගැසූ මාලූ හා ලූලා කරවල කල්මුණේ ඇත. මාලූ කෑල්ල කේක් කෑල්ල වගේ කපන්න දක්ෂ අය සිටිති, ලොකු කෙලවල්ලෙක් කිලෝ 70ක් පමණ ලොකු වෙයි. සමහර ගංගාවල ඉන්න මාලූ ඉතා විශාලය. ලහෝර්වල එවැනි මාලූ කා ඇත. කොඞ් රෝ නැමති මාලූ බිත්තර ටින් කර ඇත. ඒවා කෑලි කපා බැදගත් විට ඉතා රසය.


තලපත් කොප්පරු, ගරුවෝද එසේ ලොකු වෙති. ජීලාවාද සෑහෙන්න ලොකු වෙයි. බලයා උපරිම කිලෝ 6කි. මෝරාද කිලෝ 60-70 ලොකු වෙයි. කූනිස්සෝ දැල්වලට අසුවන කුඩා ඉස්සෝ වර්ගයකි. ඉස්සෝ කරියට මුරුංගා කොළ දාන්නේ ඉස්සෝ සීතල කෑමක් නිසාය. ඇඹුුල්තියල් දාන්නේ ටූනා මාලූය. බල මාලූයි දෙලූයි පොලූයි (දකුණේ කෑමකි* ගිනියම්ය. එහෙත් අපේ සීයා කන්න ආසය. හැඳැල්ලා බයිට් එකට මරුය.


සාමාන්‍ය බිත්තරයකට වඩා තරමක් කුඩා හැවයකින් පමණක් සමන්විත කටුවක් නැති ගෝලාකාර කැස්බෑ බිත්තර මගේ ජීවිතයේ ආසම දේය. කැස්බෑ බිත්තරය නීතියෙන් අද තහනම්ය. ඒ හින්දා මම අන්තිමට කැස්බෑ බිත්තර කෑවේ අවුරුදු 20කට කලින්ය. කැස්බෑ බිත්තර තම්බා පොඩි හිලක් සාදා එයට ලූණුු ගම්බිරිස් දමා කෑවාම ඉතා මිහිරිය.


දිනක් පිට ගමකින් අපේ ගෙදරට වැඩට ආ කොල්ලෙකුට අපේ ආච්චි වැලි හාල්මැස්සන් 250ක් ගේන්නට කියා සල්ලි දුන් විට, කොල්ලා වැලි උතුරායන අමු හාල්මැස්සන් 250ක් රැුගෙන විත් තිබුණි. වැලි හාල්මැස්සන් යනු හාල්මැස්සන් කරවලය. මාලූ භාෂාව වෙනස්ය. මූදු ඌරා කිව්වේ ඩොල්ෆින් මාලූන්ටය. මූදු කුකුළා යනු පැතලි මාලූවෙකි. උගෙ මාලූ ටිකක් ගනකම්ය. මඩුවා, මස් හා කාටිලේජ සහිත මාලූවෙකි. ගිනියම්ය. රසය. හුජ්ජ මෝරා යනුවෙන් නොකන මාලූ වර්ගයක්ද ඇත. කටුවල්ලෝ අධික කටු සහිතය. හබරලියා දිගය.


මාලූ ඔලූ නැතුව මාලූ ගැන කතාකරලා වැඩක් නැත. හැම මාලූවාගේම ඔලූව කන්න බැරිය. (ඔලූව කන්න පුළුවන් මාලූන්ගේ විතරක් නොවේ.* තෝරා, තෝර මුදිල්ලා, පරව්, සමහර ගල් මාලූන්ගේ ඔලූව කන්න පුළුවන්ය. මම මාලූ ඇහැ කන්න ආසය. ඔලූව කිරට මිරිසට රසය. මාලූ ඔලූව ගෙදර කන්න නැත්නම්, ටවුන් හෝල් එක ළඟ තියන උපාලිස් රෙස්ටුරන්ට් එකට හෝ මලයාසියාවේ පීනෑන්ග්වලට යන්න ඕනාය.


පැනෑටි කුඩා කැරපොත්තෙකු වැනි මුදු සත්වයෙකි. ඒලෙවල් ඉවරවී විශාල බෑගයක් පැනෑටි පුරවාගෙන ගෙදර එන අපි උන් තම්බා බැද ලූණු හා වෙනත් අඩුමකුඩුම දමා තෙල් දමමු. සල්ගාදුවෙන් ගන්න පාන් ගෙඩි කීපයක් පැනෑටියන් පසුපසින් බඩ තුළට දිවයයි. සියලූකාරයෝ මාලූකාරයෝ නොවෙති. ඔවුහු වොරියර්ස්ලාය.