පිට පිට ම තුන් වෙනි වතාවටත්, චිත්‍ර කලාව සම්බන්ධ යමක් ලිවීම මේ ලිපි මාලාවේ විචිත්‍ර බව අඩු කරන බව මම දනිමි. එනමුත් කුමක් කරම් ද?. බොහෝ කාලයක් තිස්සේ මසිතේ සිර වී සිටින බිල් ටේ‍රලර් නම් වහලාව නිදහස් කළ යුතුය. විවිධ ශිෂ්ටාචාරවල ආදි කල්පික ගුහා සිතුවම් සිහි කරවූ නූතන චිත්‍ර ජාතියක් වූ ඔහුගේ චිත්‍ර අද වන විට, පිටස්තර කලාවේ ඉහළ ම නිදසුන් ලෙසත්, ප්‍රකෘති සහ ජන සම්මත සිතුවම් අධ්‍යයනයෙහි ලා අතිශයින් වැදගත් වන නිර්මාණ ලෙසත්, අන්තර්ජාතික මට්ටමේ කලා අධ්‍යයනායතනයන් විසින් භාවිත කෙරේ.
එහෙත් අපට බිල් ටේ‍රලර් හඳුනා ගත හැකි වන්නේ තරු පහේ චිත්‍ර ශිල්පියෙකු වශයෙන් නොව දශක අටක් තිස්සේ කළු පාට වේදනාවෙහි වෙලී සිට අවසානයේ ජීවිත චිත්‍රය අගිස්සෙහි යම්තම් වර්ණ ටිකක් දවටා ගත් මහ පොළොවේ මිනිසෙකු වශයෙනි. 1853 දී ඔහු උපන්නේ ඇලබාමා ප්‍රාන්තයේ බෙන්ටන්හි කපු පුළුන් වගාබිමක බැළ මෙහෙ කළ වහල් පවුලක සය වැනි දරුවා ලෙස ය. එය වූ කලි සුදු පුවරුවක ලලිත සායමෙන් සිතුවම් අඳිනු තබා අමු තෙත පොළොවේ ඇඟිල්ලෙන් රේඛාවක් අඳින්නටවත් ඇමරිකානු වහල් දරුවෙකුට අවසරයක් නොතිබූ අවධියකි. වහල්භාවයෙන් නිදහස් වූ පසුව ද ඔහු පුරුදු ගොවි කර්මාන්තයේ යෙදෙමින්, පොළොව සමග හැප්පෙමින් තරුණ කාලය ගෙවා දැම්මේය. කාන්තාවන් ගර්භණී කරවමින්, උපදින දරුදැරියන්ට කෙසේ හෝ කෑම බීම උපයා දෙමින් වෙහෙසකර, දිළිඳු ජීවිතයක දැවටී සිටියේය.
වයස්ගත හුදකලාව තමන් කරා එත්ම ඔහුගේ හද පතුලේ සැඟව තිබූ අඟු‍රු කැබැල්ලක පුළිඟු‍වක් නැගුණා වැන්න. හදිසියේම මොන්ටිගොමරි නගරයට යාමට තීරණය කරන ටේ‍රලර් එහි කුඩා ලැයිම් කාමරයක පදිංචි වී සපත්තු කම්හලක සුළු රැකියාවක් සොයා ගනියි. තවත් කලකට පසු රූමටික ප්‍රදාහය හේතුවෙන් රැකියාව කර ගත නොහැකිව පාරට වැටෙන ඔහු දහවල් කාලයේ සිඟමන් යදිමින් නගරයේ සමාජ ශාලාව අසළ ගැවසෙන්නටත්, රාත්‍රියට සුසාන භූමිය කෙළවර පිහිටි මඩුවක නිදා ගැනීමටත් පුරුදු වෙයි. ඔහු තුළ වූ අර පුළිඟු‍වෙන් ගිනි දැල්ලක් උපදින්නේ මේ ශෝචනීය අත්දැකීම් අතරේදීය. කුමක් හෝ ඇතුළු පෙළඹවීමක් නිසා කොළ කිහිපයක් සහ පැන්සල් කොටයක් සොයා ගත් ටේ‍රලර් තම සිතිවිලි අතරේ අතුරුදන්ව තිබූ රූප එකිනෙක සටහන් කරන්නට පටන් ගනී. ඔබ විශ්වාස නොකරන බව දන්නා නමුත් ඒ වන විට ඔහු සිටියේ අසූ පස් වන වියේ බව මුලින්ම මා කිව යුතුය.
අමුතු සිතුවම් රැඳි විවිධ ප්‍රමාණයේ කොළ කෑලි ඔහු සිටි ස්ථානයෙහි දිනෙන් දින එකතු වනු තරුණ චිත්‍ර ශිල්පියෙකු වූ චාල්ස් ෂැනන්ගේ විමසුම් ඇසට ලක්වනුයේ මේ අතරය. ඒ ඇස දිගටම මේ අමුතු මහල්ලාගේ පුදුම පුරුද්ද පිරික්සන්නට වෙයි. චාල්ස් පසු කලෙක එය විස්තර කරන්නේ මෙසේය.
“ඔහු දිගටම ඒවා ඇන්දා. ටික දවසකින්ම යම්කිසි පුදුම දෙයක් සිදු වෙන බව මට දැනෙන්නට වුණා. ඔහු අඳින විෂයයන් එන්ට එන්ටම සංකීර්ණ වුණා වගේම ඔහුගේ හැඩ තලවල ප්‍රකාශනය ප්‍රබල වුණා. ඔහුගේ නිර්මාණවල ඇතුළාන්ත රිද්මය ඒවා විසින්ම උපද්දමින් තිබුණා.”
ෂැනන් විසින් පෝස්ටර් සායම්, පින්සල් සහ කඩදාසි ලබා දෙනු ලැබීමෙන් පසු ජීවිතයේ ඉතිරි වී තිබූ කෙටි කාලය සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ටේ‍රලර්ට, 1940 වසරේදී නිව්සවුත්හි සංස්කෘතික මධ්‍යස්ථානයේත්, 1942 වසරේදී නිව් යෝර්ක්හි ෆීල්ඞ්ස්ටන් විද්‍යාලයේත් චිත්‍ර ප්‍රදර්ශන දෙකක් පැවැත්වීමේ අවස්ථාවන් ලැබිණි. ඒවා නම් කරන ලද්දේ පිළිවෙළින් “බිල් ටේ‍රලර්: ජනතා කලාකරු” සහ “ඇමරිකානු ආදිකල්පිකයා : නීග්‍රෝ මහල්ලෙකුගේ නිර්මාණ” වශයෙනි. තම සිතුවම් නිව් යෝර්ක් රසිකයන් අතර ප්‍රචලිත වූයෙන් ඔහු කලක් නිව් යෝර්ක්හි ගත කළද, වසර කිහිපයකින් පසු නැවතත් සුපුරුදු මොන්ටිගොමරි වෙත ගොස් සිය දියණිය සමග ජීවත් වූයේය. රෝගී ව, පාදයක් ඉවත් කරන ලදුව දුක සේ ගෙවූ කාලයකින් පසු ටේ‍රලර් මිය ගියේ 1949දීය.
ටේ‍රලර්ගේ සිතුවම් වැදගත් වනුයේ ඒවායේ සුවිශේෂී ආවේණික ශෛලිය නිසා පමණක් නොව කිසි දිනෙක නිර්මාණකරණය ඉගෙන නොගත් පුද්ගලයෙකු වශයෙන් ටේ‍රලර්, දිගු ජීවිත කාලයක අවසාන වසර දහය තුළ සිතුවම් කලාව තුළින් ප්‍රකට කළ පරිණත ස්වභාවය නිසාය. ඔහුගේ චිත්‍ර, එකතුවක් ලෙස ගත් කල, සංකේත, හැඩතල සහ ප්‍රාථමික රූප ආශ්‍රයෙන් ග්‍රාමීය හා නාගරික ජීවිතය පිළිබඳ නිරීක්ෂණයන් සන්නිවේදනය කරන බව පෙනී යයි. ඔහුගේ රූපමය ශබ්ද මාලාව මිනිසුන්, ගස්, සතුන් යනාදියට සීමා වුවද ඒවා ඔස්සේ ඔහු කරනුයේ සියුම් සහ කලාත්මක ඉරියව් සහිත, නිහඬ එහෙත් අතිප්‍රබල ප්‍රකාශනයක් ලෙස පසුකාලීනව විචාරකයෝ හඳුනා ගත්හ.
බිල් ටේ‍රලර් තමන්ගේ ප්‍රබල චිත්‍ර කලා ප්‍රකාශන හැකියාවත්, තම චිත්‍ර විසින් අනාගත නූතන කලා ප්‍රවේශයන්ට සිදු කරන බලපෑමත් පිළිබඳව යම්තමින් හෝ දැන සිටියේ නැත. සිය දුක්බර වහල් ජීවිතය අවසන් වන විට ද ඔහුගේ සිත පිරී තිබුණේ උරුම වූ අනාථ, අසරණ හැඟීම්වලිනි. කෙසේ නමුත්, ඔහුගේ චිත්‍ර, ජීවිතය පිළිබඳ කුමක්දෝ ගැඹුරු රහසක් අපට කියයි. තරුණ විය ඉක්ම යත්ම කලාව ඇතුළු ජීවිතයේ බොහෝ දේට තමන් ප්‍රමාද යැයි සිතන්නන්ටත් ටේ‍රලර්ගේ ජීවිතයෙන් අලු‍ත් සිතුවිල්ලක් අහුලා ගත නොහැකිද?■

■ ලක්ශාන්ත අතුකෝරල