“වල් මී තලාවෙ තමයි ඒ අලියා කරන්ට්ටෙක වැදිලා මැරිලා වැටිලා හිටියෙ. දෙයියෝ ඒ සද්දන්තයා මොනවා කරන්ඩද? තමුන්නෙ කැලේ අහිමි කරලා හින්දා බඩගින්නට උන් එන්නෙ. රබර් ගහකට කරන්ට්ටෙක කවලා තිබ්බෙ. ඔය ඉඩම අයිති ඇත්තො හරි බලවන්තයො හින්දා සිද්ධිය මඬේ ගහන්ඩ හැදුවේ. ඒත් වනජීවී එකේ මහත්තුරු අල්ලාන හිටි හින්දා නඩු දාලා ලක්ෂ එකහමාරක් දඩ ගැහුවලු“


හල්දුම්මුල්ලේ වන සංහාරයේ තවත් ඉසව්වක් ගැන මාලදොළ ගම්මුන් කියන කතාවයි ඒ. මේ වනවිට සොරගුණේ කතරගම දේවාලයට අයත් නින්දගම්වල උරුමය යැයි කියැවෙන වන ඉඩම් අක්කර දහස් ගණනක් දේවාලයේ බස්නායක නිළමේවරයා ඇතැම් විහාරස්ථානවල හිමිවරුන්ගේද සහය ඇතිව අත්තනෝමතිකව බදු දීම සමග පෙර නොවූ වන සංහාරයකට හල්දුම්මුල්ල ගොදුරු වී තිබේ. දේශපාලකයින්, කලු සල්ලි සුදුකරන ව්‍යාපාරිකයින්, පාතාල ලොව කෙරුමන් පවා සිය නිදහසේ තෝතැන්න බවට පත් කොටගෙන සිටින හල්දුම්මුල්ලේ ආසන්නතම අලි මරණය සිදුවූ ඉඩම නීති ක්ෂේත්‍රයේ හිටපු බලවන්තියක වන කුසලා සරෝජිනී වීරවර්ධනගේ සැමියා නමින් අලි වැටක් ඉදිකරන්නට අවසර ලබාගත්තකි. එවැනි අවසරයක් ලබාගන්නේ ඉඩම තමන්ගේ නම් පමණක් බව පැවසීම සාවද්‍ය නොවේ. එහෙත් අවසානයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අලිවැට වෙනුවට අධිබල විදුලිය කවා අලි මරා දමන අතර අලිමරුවන් උත්සාහ ගන්නේ අලිකුණ විනාශ කර නීතියෙන් ගැලවීමටයි. අලිවැට ඉදිකරන්නට අවසර දෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් හල්දුම්මුල්ලේ ප්‍රාදේශීය පරිපාලනය දැනුවත් කිරීම සඳහා ලිපියේ පිටපතක් හෝ යොමු නොකිරීමෙන් පෙනී යන්නේ ඉහළ පුටුවල දායකත්වයෙන් කොළඹදී සිදුවන මේ ගණුදෙනුවල යථා ස්වරූපයයි. තවත් එක් ප්‍රබල දේශපාලනඥයෙකුගේ අක්කර සිය ගණනක ඉඩමට විදුලිය ලබාගෙන ඇත්තේ ඒ ආසන්නයේ වෙසෙන ගැමි පවුල් හතරක් පෙන්වා ඔවුන්ට විදුලිය ලබා දිය යුතු බව පවසමිනි. ඒ වෙනුවෙන් කිලෝමීටර් කිහිපයක දිගට විදුලි රැහැන් අදින්නට විනාශ කළ වනයේ කපා දමා ඇති ගස් සිය ගණනකි. විල්පත්තුව වන සංහාරයක් ගැන කියමින් රටේම අවධානය ඒ වෙතට යොමු කරගන්නට කැස කවන පිරිස් පවා දිවයිනේ හදබිම වනසන මේ කුරිරු සංහාරය ගැන නොදැන සිටීම හෝ නොදන්නාක් මෙන් සිටීම පුදුමයට කරුණකි. හල්දුම්මුල්ලේ සිදුවන මහ පොළව පාවාදීම සමවන්නේ සුද්දන්ගේ කාලයේ මුඩුබිම් පනත සම්මත කිරීමෙන් පසු උද්ගත වූ තත්ත්වයට බව පැවසීම යුක්තියුක්තය.

සොරගුණු දේවාල පුවත


ප්‍රාදේශීය පාලකයෙකු ලෙස සැළකෙන යාපා මහරජුන්ගේ සමය දක්වා සොරගුණේ දේවාලයේ ඉතිහාසය දිව යයි. වර්ථමානයේ දේවාලය පිහිටි ඉසව්ව හරහා යමින් සිටි රජුගේ උගුරේ ඇති වූ ආබාධයක් සමහන් කරගන්නට හැකි වූයේ තෙදවත් කඳ සුරිඳුන්ට වූ භාරයක් නිසා බවත් ස්වර අබාධය සුව වූ තැන සොරගුණේ යැයි නම්ලද බවත් ජනප්‍රවාදයන්හි කියැවෙන අතර එතැන්හි ඉදි කළ දේවාලයට රජු පුදකළ නින්දගම් ඉඩම් අක්කර දහස් ගණනකි. කාලයක සිට දේවාලයේ භාරකාරීත්වය දැරූ නිළමේවරු ප්‍රකට මැණික් ව්‍යාපාරිකයන්ට මැණික් ගැරීම සඳහා භූමිය බදු දුන් නමුත් එවක මෙතරම් වන සංහාරයක් දක්නට ලැබුණේ නැත. වසර කිහිපයකට ඉහත සිට වන සංහාරයක සළකුණු දක්නට ලැබෙන්නේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු රබර් හා වෙනත් අපනයන බෝග මහා පරිමාණයෙන් වගා කිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමත් සමගය. එහි කූට ප්‍රාප්තිය දැවැන්ත හොටල් සංකීර්ණයක් හා ගොල්ෆ් ක්‍රීඩා සංකීර්ණයක්ද ඉදි කිරීම සඳහා අක්කර සිය ගණනක් බදු දීමයි.

දෙවියන්ගේ දේ හොරාකෑම


මුරුතැන්රාළලාගේ හින්බණ්ඩා වයස හැත්තෑහතක අහිංසක ගැමියෙකි. යාපා මහරජ්ජුරුවන්ගේ කාලයේ සිටම දෙවියන්ගේ ආවතේව කිරීමට පේ වී සිටි තමන්ගේ හත්මුතු පරම්පරාවේ උරුමය මේ මහපොළව පමණක් බව ඔහු පවසයි.
“අපේ මුත්තල අප්පලා කාලේ මේවා මිට වඩා මහ කැලෑ. අලි ඇත්තු කොච්චරවත් හිටියා. හැබැයි උන්දැලා කවදාවත් අපිට කරදර කරවුවෙ නැහැ. අලියෙක් ඇතෙක් ආවම මැතිරුමක් ආරක්ෂාවක් දැම්මම එව්වා අහලා උන් හැරිල යනවා. අපේ මහ උන්දැලා ගෙවල් දොරවල් හදාන කුඹුරු කරාන හිටියා. උන් ඇවිදිල්ලා තලාවේ කාලා යනවා උන්නෙ පාඩුවේ“ වනසතුන් හා මිනිසුන් අතර පැවති එම සම්බන්ධතාවය බිඳී යන්නේ මෑතක සිට බව මේ වයෝවෘද්ධ ගැමියා පවා වටහාගෙන සිටියි. මේ වනවිට කිසිම මිනිස් ජීවිතයක් අලින්ට බිලිව නැතත් අලිඇතුන් කිහිප දෙනෙකුගේ දිවි අහිමි වී තිබේ. ඒ අතර මාලදොළ වැනි ගම්වල ගොවීන්ගේ කුඹුරු අක්කර ගණනාවක් අලින්ට බිලිව තිබේ. මාලදොළ ජේ.එල් සුගතපාලගේ අක්කර එකහමාරක අස්වැන්න නෙළන්නට ආසන්නව තිබූ ගොයම දින කිහිපයක් තුළ මුලුමනින්ම අලින්ට ගොදුරුව තිබියදී තමන් වියදම් කළ මුදලවත් සොයාගත නොහැකි බව ඔහු පවසයි. “පහුගිය සුමානේ අන්තිම ලියද්දත් ඉවර කළා ඇතින්නියක් පැටියා එක්ක ඇවිල්ලා. අලි වෙඩි ගැහුවට වැඩක් නෑ. උන් අපේ පස්සෙ පන්නනවා. අල්ලපු නිත්තමලුව වෙල් යාය වේලිඔයෙන් එපිටහ දැන් කුඹුරු කරන්නෙම නැතිව අතෑරලා දාලා තියෙන්නෙ අලි හින්දා. මේ ඇත් පට්ටියෙ හය හත් දෙනෙක් ඉන්නවා. මං දළයෙකුත් දැක්කා. උනුත් ඉන්න ඕන. ඒත් වගා වන්දි දෙතුන් දහක් ඇරන් අපේ ළමයි පැටවු ජීවත් කරන්නෙ කොහොමද?“
අවශ්‍ය පමණටත් වැඩියෙන් ජල සම්පත තිබියදී පරම්පරා ගණනාවක් තිස්සේ වගා කළ කුඹුරු තමන්ට මෙසේ අතහැර දමන්නට සිදුවීම අහස පොළව නුහුලන අපරාධයක් බව පවසන ගැමියන් පෙන්වා දෙන්නේ සොරගුණේ දේවාලයේ නිළමේවරයාද ඊට වගකිව යුතු බවයි. දෙවියන් වෙනුවෙන් පුද දී ඇති නින්දගම් ඉඩම් ඔහු හිතූමනාපයේ විකුණා දැමීමෙන් පසු ඒවා මිලදී ගත්තවුන් සිදුකරන වන සංහාරය හේතුවෙන් වාස භූමි අහිමි වන අලි ඇතුන් තමන්ගේ වගා විනාශ කරන බව ගම්වැසියන් පවසයි.


“මේ මහපොළව විකුණගෙන කාලා ඉවක් බවක් නැතුං කැලෑ කපනවා. මේක මහ හොරකමක්. අපේ නිල රාජකාරිවලට පරවේණියට එන ඉඩමුත් නිළමේ විකුණගෙන කනවා“ සොරගුණේ දේවාලයේ මුරුතැන් රාජකාරියේ නිරතවන ගැමියෙකු පවසන්නේ තමන්ගේ ඉඩම්ද ඇතුළත් අක්කර සිය ගණනක් කොළඹ ව්‍යාපාරිකයකුට විකුණා ඇත්තේ තමන්ට රුපියල් ලක්ෂයක් දෙන බව පවසමින් නමුත් නිළමේවරයා ලබාදුන්නේ රුපියල් හයදහසක් පමණක් බවයි. හල්දුම්මුල්ල දේවාලගම හා දේවාලකැලේ ප්‍රදේශයේ ඉඩම්ද ඇතුළත් නිල පංගු ඉඩම් රාශියක් දේවකාරියේ නිරත ගැමියන්ට අහිමි කර ඇතත් අවාසනාව වන්නේ ඔවුන් තව දුරටත් නිල රාජකාරියේ නිරත විය යුතු වීමයි. ලංසකාර නිලය හෙවත් දෙවියන්ගේ දෝලාව ඔසවාගෙන යාම, වට්ටේරු නිලය හෙවත් නැකැත් බැලීම හා මුරුතැන් නිලය උදෙසා පේ වී සිටින්නේ ඔවුන් ය. “අපිට නිල පංගු හැටියට දුන්න ඉඩම් විකුණන්න අපෙන් ලියුම් කරදහිවල අත්සන් ගන්නවා උඹලට අහවල් ඔප්පුව දෙන්න තමයි මේ හදන්නෙ කියලා. අපේ නොදන්නකම නෙව. අන්තිමේ අපි වික්කා වගේ පේන්න ඒවා විකුණලා. ඒ කාලෙ හිටපු නිළමෙලා මෙහෙම කෙරුවෙ නෑ. එක ගහක් කොළක් කැපුවෙ නෑ. මේ දේවාල රාජකාරිය කියන්නෙම මහ දුකක්. අලි ඉන්න කැලෙන් පයින් ගිහිල්ලා නින්ද නැතුං. අව්වැසි නොබලා කරන්නෙ. එහෙව් අපේ දේ තමයි හොරකම් කරන්නෙ“ දේවාල රාජකාරියේ නිරත ගුණතිලක පවසන අන්දමට යාපා මහරජුන් සුරකින්නට අණ කළ දෑ වර්ථමාන නිළමක්කාරයින් සූරා කෑම සියලු විපත්වල මූලයයි. අවසානයේ දෙවියන්ගේ රථය වඩම්මන සුගතපාලට සිදුවන්නේ තමන්ගේ කුඹුර අලින් කා දැමුවද දේවාලයට ගෙවිය යුතු “උතු වී“ කෙසේ හෝ ගෙවන්නටයි.


අලි වැට පැලැස්තරයක්


සුමනපාල තෙන්නකෝන් වැනි පරිසරවේදීන් පෙන්වාදෙන අන්දමට වළවේ නිම්නය හා හෝර්ටන් තැන්න අතර පුරාණ අලි සංචරණ කලාපය මේ බිමයි. එහි ඇති සීමාන්විත වනය වනසා අලින් ගම්වදින විට අලි වැට ඉදිකිරීම තිරසාර විසඳුමක් නොවේ. මෙහි අලිවැටක් ඉදිකරන්නේ නම් එය මෙතෙක් මෙරට ඉදි වූ දීර්ඝතම අලිවැට බවට පත්වීම නිසැක බව ඔහුගේ අදහසයි. දැනට ඉදිව ඇති අලිවැට නඩත්තුව සඳහා යෙදවීමට සේවක ලැයිස්තු සකස් කිරීම පවා සිදුවූයේ දේශපාලනඥයන්ගේ වුවමනාවට බව පෙන්වාදෙන පරිසරවේදින්ට අනුව ඒ ලැයිස්තුවල නම් සඳහන් අය දුරබැහැර බණ්ඩාරවෙල පදිංචිකරුවන්ය. “දැන් ඒකෙන් හදපු අලිවැටත් ඉවරයි. අලි බදුල්ල කොළඹ මහපාරටත් එනවා. මොක වුණත් විසඳුම වෙන්න ඕන නිළමෙ වනන්තර ඉඩම් විකුණන එක පාලනය වීම. ඉඩම් ගන්න මිනිස්සු කැලේ ඉවක් බවක් නැතුව කපනවා. ඊටපස්සෙ තමන්ගෙ ඉඩම වටේ අලිවැටවල් ගහනවා. ඉස්සරහට අලිත් ඉවරවෙලා වතුරටිකත් නැතිව යයි“ මේ වනවිට මහා පරිමාණ වගා ඉඩම් හිමියන් දැව ජාවාරම්වල නිරතවීම හැර දඩමස් ජාවාරමෙහිද නිරත ව සිටිත්. දිගින් දිගටම මේ සංහාරය සිදුවුවහොත් අලින් ගම්වැදීමෙන් නොනැවතී වේලිඔය හා කාල්කන් ඔයද, වළවේ ගංගාවද පෝෂණය කරන පාරිසරික කලාපය වියළී යාමේ බරපතල තත්ත්වයට මුහුණ දීමට සිදුවන අතර පාරම්පරික ගම්වැසියන් සිය වගා ඉඩම් හා ගම්වලින් ඉවත්වීමේ ප්‍රවණතාවක්ද මතුවිය හැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති. ඔවුන්ට අනුව අලිවැට ඉදිකිරීම වැනි විසඳුම් ප්‍රමාණවත් වන්නේ එක් ගැටලුවකට පමණක් වන අතර තිරසාර පිළියම විහාර දේවාලගම් පනතට මුවා වී සිදුකරන අත්තනෝමතික වන සංහාරය ඈවර කිරීමයි.

බදුලු පාරෙත් දැන් අලි


“ඇත්ත මෙහේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දේවාලයට අයිති ඉඩම් අක්කර ගාණ කීයද කියලා හරියටම කියන්න කවුරුවත් දන්නෙ නෑ. ඒ නිසා නිළමෙ අත්තනෝමතිකව තමන්ට හිතෙන හැටියට විවිධ පාර්ශවවලට කැලෑ ඉඩම් බදු දෙනවා. ඒවා සමහරවිට වන සංරක්ෂණ හරි වනජීවි හරි දෙපාර්තමේන්තුවල ඉඩම්ද කියන්නවත් කවුරුත් දන්නෙ නෑ. අක්කර සිය ගණනින් ගන්න ඉඩම්වල කැලෑව කපලා දානවා. ඊටපස්සෙ තමතමන් අලිවැටවල් ගහගන්නවා. ඒකයි අලි ගම් වදින්නෙ. මීට ඉස්සර අලි දකින්නවත් නොතිබ්බ වල්හපුතැන්නෙ විතරක් නෙවෙයි බදුලු පාරෙත් අලි ඉන්නවා. පහුගිය දවසක් මැරිලා හිටියෙ අවුරුදු දහයක් විතර වයස අලියෙක්. මේ සංහාරය වහාම පාලනය නොවුණොත් මහා විනාශයක් සිද්ධ වේවි.“
-චමිල ජයසිංහ ප්‍රාදේශීය ලේකම් හල්දුම්මුල්ල-



ලසන්ත ද සිල්වා