පසුගිය සතියක මහනුවර පිරිසක් වෙතින් තනි මංතීරු (වන් වේ) විසඳුමට එරෙහිව නැගුණ විරෝධය පවත්නා වායු දූෂණය ගැන නැත. වායු දූෂණය නිසා සමහරු මහනුවරට විශාලා මහනුවර කියති. අඩු ඉඩකඩ, මාර්ග ගැටලු, වායු දූෂණය පමණක් නොව දේශපාලනය, මුදල් ආදි බොහෝ අසික්කිත මැදිහත්වීම් නිසා මහනුවර මහා ව්‍යසනයකට මැදිව සිටින්නීය. මේ ප්‍රශ්නවලට විසඳුම් බොහෝය. එහෙත් කිසිදු ප්‍රශ්නයක් විසඳීමට නොහැක.


කන්ද උඩරට අගනගරය පිහිටියේ කඳු මුදුනක නොවේ. ළිං පතුලකය. එය කඳුවලින් වටවී නොව කොටුවී පවතී. ප්‍රදේශයේ පරිසර සෞඛ්‍යය දීර්ඝ කාලයක් රැකුණේ කඳු හරහා හමා නගර මධ්‍යයට ආ සුළං ධාරාවන් නිසාය. විවිධ ඉදිකිරීම් නිසා අද එකී සුළං කපොලු අවහිරවී ඇත. මහනුවර නගරයේ ගොඩනැගිල්ලක උපරිම උස යනු ශ්‍රී දළදා මාලිගාවේ උස නොඉක්මවන ප්‍රමාණයයි. ඒ නිර්ණායකය භක්තිගෝචර මිස බුද්ධිගෝචර නැත.


සමහර උස ගොඩනැගිලි නිසා නගරයට ගලා ආ සුළං ප්‍රවේග මුදුන් වහලවල හැපී යළි ගුවන්ගත වේ. වර්තමාන වයිට් හවුස් ගොඩනැගිල්ලේ නවසිය හැටගණන්වල එලිෆන්ට් හවුස් නම් ආපන ශාලාවක් විය. ඊසාන දිසාවට මුහුණලා එහි අසුන්ගත් විට හුන්නස්ගිරි කන්ද දර්ශනය වේ. ප්‍රකට චිත්‍රශිල්පී ජෝර්ජ් කීට් එකී දර්ශනය දෙස පැය ගණන් බලාසිටිනු දැකිය හැකිය. අද අස්ගිරි විහාර භූමියටවත් එදා පෙනුණ හුන්නස්ගිරි කන්ද දැකිය නොහැකිය. ඒ ඕඩියන් ශිඛරයෙහි බදන්ත හෝටලයේ උස නිසාය. පිහිටීමෙන් ළිඳක්වූ නගරය රැක්ක හුළං කපොලු එක්කෝ වැසීගොස්ය. නැතොත් ගමන්මග වෙනස් වෙලාය. මේ නිසා වාහන දුම සහ කාබන් ධූලි වලා නගරය තුළම කැරකෙනු මිස ඉවතට ඇදීයන්නේ නැත. ආවේණික සිහිල් සුළඟ, වායු දූෂණයෙන් කිළිටි වේ.
මහනුවර ඓතිහාසික සහ පූජනීය මෙන්ම බොහෝ සංවේදී ස්මාරකයන්ට තෝතැන්නකි. ඒ නිසා ස්වාභාවික පරිසර පැවැත්ම යටපත්කර ආවේගයන්ට ඉඩ සැලසෙමින් පවතී. මහනුවර ප්‍රදේශයට ප්‍රමාණවත් භූගෝලීය වාසියක් ඇත්තේම නැත. භූමිය සහ ස්වාභාවික පරිසරය යන්න මුල් කරගත් වැඩසටහනක් හරහා බොහෝ සාර්ථක පාරිසරික ප්‍රතිපල ලැබිය හැකි වේ.


මහනුවර දුම්රිය ස්ථානය අසළ මෑතක ඉදිකළ දැවැන්න බුදුපිළිම වහන්සේ සහිත ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමකි. 2008 අංක 40 දරන ජාතික මංමාවත් පනතේ, අංක 42(2) (1) (අ) වගන්ති අනුව “…. මහාමාර්ගයක හෝ ජාතික මහාමාර්ගයක ඉදිකිරීම් සීමා නිශ්චිතව දක්වා නැති අවස්ථාවක, එකී මාර්ගයේ හෝ මහාමාර්ගයේ හෝ ජාතික මහාමාර්ගයේ ඉදිකිරීම් සීමා ……. රථවාහන ගමන් කරන කොටසේ මැද සිට මීටර පහළොවක් විය යුතුය.” මහාමාර්ග අයිතියෙන් හරි අඩක් වසාගත් එකී ඉදිකිරීම නිසා මේ තුන්මං හන්දිය ඉඩකඩ සහිතව පළල් කළ නොහැකිය. එහි මෑතක රෝපණය කළ බෝපැලය නිසා අනාගතයෙහි මාර්ගය තවත් පටුවෙනවා ඇත. මහනුවර විධායක ඉංජිනේරුවරයා එකී පනතේ 50 වගන්තිය අනුව කිසිදු පියවරක් ගෙන නැත. විස දුමෙන් පිරි අයහපත් පරිසරයක් සහිත නගරයෙහි ආවේග බහුල ජනමතයට නීතිය පවා යටපත්වීමට මෙය උදාහරණයකි.


ආවේග සහ බලවේගවලට එරෙහි නව තේමාව සහිත අලුත් පෙළගැස්මක් අවශ්‍ය වේ. මහනුවර ජීවත්වන එමෙන්ම, නගරයට එන යන මිනිසුන් කෙරෙහි බුද්ධ දේශනයට අනුව, ස්නේහවන්ත වේ නම් මහරෝහලට අසාධ්‍ය රෝගීන් රැගත් ගිලන්රථ සඳහා ඒ26 පාරේ බාධා ඉවත් කළ යුතු වේ. ලේවැල්ල හන්දියේ සිට මහනුවර නගරයට දුර කිලෝමීටර් 5.5කි. එහෙත් ගිලන්රථයක් මහරෝහලට යාමට කිලෝමීටර් 10ක් තදබදය අතර සිරවේ. එහෙත් වසා ඇති ඒ26 පාර පැය 24ම සමහරක් ත්‍රීවිලර් සඳහා විවෘතය. ඒ26 පාර වැසූ කෙනෙකු හෝ වැසූ දිනයක් නැත. දළදා වීදියේ සියලු මස් වර්ගද, මත්පැන්ද, අලෙවි කෙරෙයි. එහෙත් හරක් ලොරි ශ්‍රී දළදා මාලිගාව අසළින් ගෙනඒම අගෞරවයකි යන හේතුව මත මහින්ද රාජපක්‍ෂ ඒ26 පාර මහ රෑක වසාදැමීය. ගිලන්වූ භික්‍ෂුන්ට රාත්‍රී ආහාර ගැනීම වැනි විකල්ප බුදුහු අනුදැන වදාළහ. එහෙත් අපි ගිලන්රථ සඳහා හෝ වසා ඇති කෙටි පාර විවෘත නොකරමු.


මහනුවර මහනගර සභාවට බලතල පාවිච්චි කිරීමට නොහැකිය. දිවයිනේ නගරවල බලාත්මක බොහෝ නාගරික රෙගුලාසි මහනුවර ක්‍රියාත්මක නොවේ. වරක් නගරාධිපති එල්.බී. අලුවිහාරේ, පක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව සියලු මහනගර සභා මන්ත්‍රීන් සහ නාගරික කොමසාරිස්වරයා සමග මල්වතු මහ නාහිමියන් බැහැදැක ඒ26 පාර විවෘත කිරීමට සහාය ඉල්ලා සිටියේය. 2004 අප්‍රේල් 10 වෙනිදා වරක් වසා තිබුණ ඒ26 මාර්ගය කිසිදු විරෝධයකින් තොරව උත්සවාකාරයෙන් විවෘත විය. මෙවර තනි මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන මහනගර සභාව දැනුවත්ව නොසිටි බව කියති.


තනි මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කළ හැම අවස්ථාවකම විරෝධතා නිසා එය යටපත් විය. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී එකී මාර්ග තනි මංතීරු ක්‍රියාත්මක කිරීමට නම්, එකී විලියම් ගොපල්ලව මාවත සහ පේරාදෙණිය පාර යන මහාමාර්ග දෙක සම්බන්ධ කෙරෙන අතුරු මාර්ග 12ක් හෝ ඇතිකළ යුතු බවට නියම කෙරිණ.


ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ යථාර්ථවාදී නැත. මහනුවර කොළඹ දුම්රිය මාර්ගය උක්ත විලියම් ගොපල්ලව මාවත සහ පේරාදෙණිය පාරට සමාන්තරව පිහිටා ඇත. ඒ අනුව අතුරු මංතීරු කීයක් ඉදිකළද, එකී හැම එකම තවත් මුල්ගම්පල දුම්රිය ගේට්ටුවට වඩා යමක් නොවනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්‍ෂණ අනුව, තනි මංතීරු ක්‍රියාත්මක කිරීමට නම් දුම්රිය පාර වසාදැමිය යුතුය. ශ්‍රී දළදා මාලිගාව නිසා ඒ26 පාර වසා දැමුවා සේ මහනුවර කොළඹ දුම්රිය මාර්ගය නිසා විලියම් ගොපල්ලව මාවත සහ පේරාදෙණිය පාර තනි මංතීරු ලෙස පාවිච්චි කිරීම අත්හැරිය යුතුද?
තනි මංතීරු හෝ අතුරු මාර්ග ආරවුල අමතක කරමු. මහනුවර පවත්නා බරපතළම ගැටලුව වායු දූෂණයයි. ඊට ප්‍රධාන හේතුව වාහන තදබදයයි. නැවත ප්‍රශ්නය ආපසු ආ තැනටම පැමිණ නතර වේ. අග මුල තෝරාගත නොහැකි මහනුවර මේ ගැටලුව මාර්ග ප්‍රශ්නය අමතක කිරීමෙන් අවසන් කළ නොහැකිය. හේතුව ජනගහනය සමග වැඩිම වාහන ගමනාගමනය නිසා නගරයේ වායු දූෂණය ඉහළ යාමය. මෙසේ තනි මංතීරු අත්හදා බැලීමකට හෝ ඉඩ නොදෙන මානසිකත්වය තුළ මාර්ග තදබදය සදාකාලිකව මහනුවර එසේම පවතිනවා ඇත. එකී ප්‍රශ්නය එසේ පවතින තාක් මහනුවර දිනෙන් දින හිට්ලර්ගේ ගෑස් වදකාගාරයක් බවට පත්වෙනවාමය.


බලධාරීන් මාර්ග තදබදය සහ වායු දූෂණය එකක් ලෙස සලකනවාද නොදනිමු. එහෙත් මහනුවර උක්ත ගැටලු දෙක එකට පැටලී නැවත ප්‍රශ්නය මතුවී ඇත. ආසන්න සතියක සිට මහනුවර බොහෝ දෙනා මංතීරු පිළියමට බැන වැදුණාහ. තර්කය තනි මංතීරු ක්‍රමයෙන් පාසල් ළමුන් අපහසුවට පත්වන බවය. මංතීරු ක්‍රමය ක්‍රියාමත්මක මාර්ග දෙකට හසුවන පාසල් ගණන 6කට ආසන්නය. එහෙත් නගර මධ්‍යයේ ඊට වැඩි පාසල් ගණනාවක් පවතී. පේරාදෙණිය පාරේ පිහිටි පාසල් 6ක් නිසා, තනි මංතීරු ක්‍රමය නතර විය. එහෙත් නගරයේ වැඩිවන වායු දූෂණයෙන් මහනුවර සියලු පාසල්වල දරුවෝද පෙනහලු රෝගවලට බිලිවෙති. මහනුවර වැවරවුමේ පිහිටි පාසල් පසුකොට පැයකට ගමන් කරන වාහන සංඛ්‍යාව දහස් ගණනකි. ශ්‍රී දළදා මාලිගාව අසළින් විහිදුණ ඒ26 මාර්ගයේ පළමු කිලෝමීටර් කණුව පිහිටා ඇත්තේ ධර්මරාජ හන්දියේය. ඒ26 මාර්ගය විවෘතකර තිබේ නම් නගරයේ සිට ධර්මරාජ හන්දියට යාමට, වාහනයකට ගතවන්නේ විනාඩි 5කට අඩු කාලයකි. එකී මාර්ගය වසා ඇති නිසා, ධර්මරාජ හන්දිය පසුකර යන වාහනයකට ඒ26 පාරේ පළමු කිලෝමීටර් කණුව වෙත ළඟාවීමට වැවරවුම හරහා කිලෝමීටර් 9ක් ගෙවා, විනාඩි 30ක් ගතකළ යුතු වේ. පරිසර දූෂණය, ඉන්ධන දහනය, නාස්තිවන මිනිස් පැය ගණන, මිනිසුන්ට ඇතිවන මානසික ආතතිය ආදි සියල්ල අමතක කරමු. හදිසි ප්‍රතිකාර සඳහා ගිලන්රියකින් මහරෝහලට ගෙනයන අසාධ්‍ය ලෙඩුන් කීදෙනෙකු වැවරවුමේදී මියගොස් ඇද්ද? ඒ26 මාර්ග බාධකය නිසා ශ්‍රී දළදා මාලිගාව මරු කපොල්ලක් විය යුතු නැත.


මෙවර මංතීරු ක්‍රියාත්මක වීමට එරෙහිව දෙයියන්නේවෙල ප්‍රදේශයේ පාර අවහිර කර ටයර් පුච්චා තිබිණ. එය පසුපස සිටියේ බලවත් දේශපාලනඥයෙකි. සමහරුන් උත්සාහ කරන්නේ මහනුවරට උමං මාර්ග පද්ධතියක් ලබාදී ගානක් සාක්කුවේ දමාගැනීමටය. තවත් බණ්ඩාරවෙලක් නිර්මාණය වීම ඔවුන්ට අදාළ නැත. මංතීරු ඇති කර සතියක් ගෙවුණ තැන මුලින් පැවති අපහසුව තුනීවි ගොස් තිබිණ. හුරුපුරුදු ජීවන රටාව වෙනස් වන විට සත්තු පවා කලබල වෙති. මිනිසුන් සතුන්ට වඩා වෙනස් විය යුතු වේ. කිහිප අවස්ථාවක තනි මංතීරු ක්‍රමය අත්හදා බැලිණ. වරක් සවස්වරුවට සීමාකොට ක්‍රියාත්මක විය. ඒ අවස්ථාවේ පේරාදෙණිය පාර මහනුවර නගරය දෙසට තනි තීරුවක් ලෙස විවෘත විය. සවස්වරුව තෝරාගත්තේ උදෑසන පාසල් තදබලය නිසාය. එකී අත්හදාබැලීමටද පොලු හරස්විය. එකී අත්හදා බැලීමේදී වෙනදාට වඩා කලින් නගරයේ තදබදය අඩුවිය. නගරයට පැමිණි මිනිස්සු කලින් නිවෙස් බලා ගියහ. එදා බරපතළ තදබදයක් ඇතිවුණේ දළදා වීදිය වර්ණ සංඥා අසළය. හේතුව කච්චේරිය සහ වැවරවුම පසුකර යන වාහන ඇතිකළ තදබදයයි.
කච්චේරිය පසුකර යන වාහන පොලිසිය අසළින් වඩුගොඩපිටිය වීදියට යැවීමට යෝජනා විය. වැවරවුම හරහා යන වාහන රැජිණ හෝටලය ඉදිරියෙන් වසා ඇති ඒ26 මාර්ගයට යොමුකිරීමටය. එසේ වී නම් අම්පිටිය, තලාතුඔය, කන්ද උඩවෙල ආදි ප්‍රදේශ කරා යන වාහන වැවරවුමේද, ධර්මරාජ හන්දිය පසුකරන වාහන ඒ26 පාරෙන්ද ගමන් කරනු ඇත. වඩුගොඩපිටිය වීදිය විසඳුම ව්‍යාපාරිකයන් විසින්ද ඒ26 පාරේ පිළියම දියවඩන නිලමේ වළක්වා තිබිණ. ලිපිය ආරම්භයේ අසන මහනුවර කාගෙද යන්න අදාළ වන්නේ මෙන්න මෙතැනටය.


2009 අංක එම්එල්බී/එම්ඕබී/04 හා දෙසැම්බර් 23 දින දරන ලිපිය මගින් රාජ්‍ය ආරක්‍ෂක මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඒ26 පාර විවෘත කරන ලෙස මහනුවර නගරාධිපති එල්.බී. අලුවිහාරේට දන්වා ඇත. රටේ යුද හමුදා මූලස්ථානයේ උපදෙස් අනුව නිකුත්කළ ඒ ලිපියේ මෙසේ දැක්වේ. 1. ශ්‍රී දළදා මාලිගා අධිආරක්‍ෂක කලාපයට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ සිට දියවඩන නිළමේගේ නිලනිවාසය තෙක් ඇති මාර්ගය දෙපස යොදා ඇති යකඩ වැට ඉදිකර නොමැති ස්ථානවල ඉදිකිරීම. 2. මහම`ථව සිට ශ්‍රී දළදා මාලිගා ගොඩනැගිල්ල තෙක් ප්‍රදේශයේ ආරක්‍ෂිත කොන්ක්‍රිට් වැටක් ඉදිකිරීම. එකී ක්‍රියාවන් දියවඩන නිළමේ විසින් කළ යුතුය. එතෙක් (අ) පෙ.ව.5.00 සිට ප.ව. 19.00 තෙක් මාර්ගය විවෘත කර තැබීම. (ආ) මෙම මාර්ගයේ ගමන් ගන්නා වාහන රැජින හෝටල් මංසන්ධියේ සිට දියවඩන නිළමේ නිල නිවෙස තෙක් නොනවත්වා ධාවනය කිරීම. (ඇ) ඉහත ඉදිකිරීම් නිමකර දියවඩන නිළමේ ශ්‍රී දළදා මාලිගාවේ ආරක්‍ෂාව තහවුරු කරන තෙක් බස්රථ හැර අන් සියලු බරවාහන වැවරවුමෙන් ගමන් කිරීමට ක්‍රියාකළ යුතුය.


මහනුවර නගරයට එන යන සාමාන්‍ය මිනිසුන්ගේ අයිතිවාසිකම් ගසාකෑ මාෆියාව පැහැරගත්තේ මාර්ග අයිතිය පමණක් නොවේ. සාමාන්‍ය මිනිස්සු ඇසළ පෙරහැර නැරඹූ මහපොළොවෙන්ද මොවුහු දිගු කලක් ගසාකෑහ. සාමාන්‍ය ජනතාව හැමදාම ඇසළ පෙරහැර නැරඹුවේ වැවරවුම සහ මහමළුව ආදි පොදු භූමිවල ඒකරාශී වෙලාය. එහෙත් 2015 ජනවාරිය තෙක් පැවති රාජපක්‍ෂ පාලන කාලය පුරා වැව රවුමේත් මහමළුවේත් සුවිශේෂ ආසන පනවා විකූණා මුදල් ගැරූහ. මේවා පසුපස සිටියේ හරක් ලොරි දළදා මාලිගාව අසළින් යනවාට අකමැති ඒ26 පාර වැසු තක්කඩින්ය. අදටත් දළදා වීදියේ වෙළඳසැල්වල සියලු වර්ගයේ මස් මාළු මෙන්ම මත්පැන් විකුණති. එසේම වසා ඇති ඒ26 පාරේ ත්‍රීවිලර්ද ගමන් කරනු දැකිය හැකිය. මෙසේ පෙරහැරත් මාලිගාවත් බුද්ධාගමත් විකුණා කන්නෝ දේශපාලන ගැත්තෝ වෙති. ඒ26 පාර ත්‍රිපිටකය වැනි ජාතික උරුමයක් සේ පාවිච්චි කරති. එසේම බෞද්ධ ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරික බෞද්ධයන් ලෙස ව්‍යාපාරිකයන්ද දෙවර්ගයකි. බෞද්ධකම විකුණා කන ව්‍යාපාරිකයන් නගරය හිස් වෙනවාට අකැමතිය. සවස්වරුවට සීමාවූ තනි තීරු ක්‍රමය නතරවුණේ ඇයි? එකී ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කලින් ගම් බලා ගොස් හන්දියේ කඩෙන් තුනපහ රැගෙන ගෙදර යන පහසුකම් නොවේ. රාත්‍රිය තෙක් මහනුවර කඩවල මිනිසුන් ගැවසෙන ප්‍රවාහන ක්‍රමයකි.


අම්පාර, බිබිල, මහියංගණය, බදුල්ල ආදි පළාත්වලින් කොළඹ බලා යන බස්රථ නගරය හරහා යාම මාර්ග තදබදයට තවත් හේතුවකි. එකී බස් සේවා කටුගස්තොටින් ගොහාගොඩ හරහා ගන්නෝරුවට යොමුකිරීමෙන් නගරයේ මාර්ග තදබදයද, නගරයේ වායු දූෂණයද අවම කළ හැකිය. මෙය කඩිනම් විසඳුමකි. එසේම මහනුවරින් ආරම්භ වන කොළඹ, පානදුර, හැටන්, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලේ, යාපනය, වව්නියාව දුර ගමන් සේවා ගන්නොරුව, කටුගස්තොට ප්‍රදේශවලින් ආරම්භ කිරීමට වහා පියවර ගතයුතු වේ. මේවා කලක් තිස්සේ කතාකළ විසඳුම් වේ. මෙවැනි යෝජනා හැකිලුණේ සංවිධානාත්මක කල්ලිවාදය නිසාය. කල්ලිවාදය පිටුදැක්ක ආර්. ප්‍රේමදාසගේ තනි කල්පනාවක් වූ විලියම් ගොපල්ලව මාවත අද මහනුවර නගරයට මහා සහනයකි. සැලසුම් බොහෝය. ලක්‍ෂමන් කිරිඇල්ල ගිය සතියේ පාර්ලිමේන්තුවේදී කීවේ මහනුවර නගරයේ කටයුතු ගැන බලය ඇත්තේ මහනගර සභාවට බවය. එහෙත් ඒ26 පාර විවෘත කිරීම ඡන්ද පොරොන්දුවකි. එය ඉටු නොකිරීම සිරිසේනගේ බයාදුකමට නිදසුනකි. මල්වතු මහ නාහිමියන්ද සිටින්නේ ඒ26 පාර විවෘත කළ යුතුය යන ස්ථාවරයේය. මංතීරු ගැටලුවේදී නිර්ණායක සැපයූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ26 පාර සම්බන්ධ 2017දී ගොනුකළ මානව හිමිකම් නඩුව තවම විමසීමට ගෙන හෝ නැත. යම් පොදු ප්‍රශ්නයක් ගැන භික්‍ෂුන් බෙදී සිටිත් නම් එහි ආගමික වටිනාකමක් නැත. ථේරවාද පනතට විරුද්ධ භික්‍ෂුන් නොවේ. මහින්ද රාජපක්‍ෂ කාසාවකණ්ඨකයන් කිහිප දෙනෙකුගේ උවමනාවට ඊට අකුල් හෙළයි.
මහනුවර නගරයට අමුතු කරුණාවක් අවශ්‍ය නොවේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙයි නම් එය ප්‍රමාණවත්ය. විෂ වායුව පිරුණ නගරයට එන මල් වැනි දරුදැරියන් වෙනුවෙන් මහනුවර නගරයේ නීතිය ක්‍රියාත්මක කිරිමට ඉඩදිය යුතු වේ. මේ මහා පෘථිවිය මෙන්ම මහනුවර නගරයද වර්තමානයේ ජීවත්වන අප අනාගත පරපුර වෙනුවෙන් දරන භාරයක් පමණකි. වර්තමාන මහනුවර අයිතිකාරයන් ඒ බව තේරුම් ගත යුතු වේ.


ඉන්ට්‍රෝ 2


ශ්‍රී දළදා මාලිගාව අසලින් විහිදුණ ඒ 26 මාර්ගයේ පළමු කිලෝ මීටර් කනුව පිහිටා ඇත්තේ ධර්මරාජ හන්දියේය. ඒ 26 මාර්ගය විවෘත කර තිබේ නම් නගරයේ සිට ධර්මරාජ හන්දියට යාමට, වාහනයකට ගත වන්නේ විනාඩි 5කට අඩු කාලයකි. එකී මාර්ගය වසා ඇති නිසා, ධර්මරාජ හන්දියට යා යුතු වාහනයකට ඒ 26 පාරේ පළමු කිලෝ මීටර් කනුව වෙත ළඟාවීමට වැව රවුම හරහා කිලෝ මීටර් 9ක් ගෙවා, විනාඩි 30ක් ගත කළ යුතුවේ. පරිසර දූෂණය, ඉන්ධන දහනය, නාස්තිවන මිනිස් පැය ගණන, මිනිසුන්ට ඇතිවන මානසික ආතතිය ආදි සියල්ල අමතක කරමු. හදිසි ප්‍රතිකාර සඳහා ගිලන් රියකින් මහ රෝහලට ගෙන යන අසාධ්‍ය ලෙඩුන් කී දෙනෙකු වැව රවුමේදී මිය ගොස් ඇද්ද?

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න