සුළං පහරක සියුම් වෙනසක් නොවෙන්නට කොයි මුහුදේත් රළ බිඳුම එකම තානයකි. කපුටෙකුගේ කරව් කිරිල්ලෙන් පවා මුදාගත් සවනැ’තිව මොහොතක් නිසලව මුහුදට ඉඩ දිය යුතුය. ඇසෙන්නේ ඒ භාව ගීතයයි. විශ්ව රටාව මුමුණන ගීතවත් ස්වරයයි. සියක් දහසක් මිනිසුන්ගේ ලොකු කුඩා බව මුත් හැඩයෙන් නොවෙනස් පියවර සලකුණුය. ඒවා විසිර පවත්නා අන්දම ම රටාවකි. කවියකි. පා සලකුණු එකකට හෝ ජන්මයක් නැත. සිංහලූන්ගේ, දෙමළුන්ගේ සහ මුසල්මානුවන්ගේ පියමං එක මත එක වැතිරී වැල්ල හා මුසුව ඇත. එකතු වන අලූත් අඩි සලකුණු සමහරක හිමිකරුවෝ සයුරින් එතෙර සිට පැමිණියෝ ය. අලූයම වෙරළේ ඇතැම් බටහිරයෙක් යෝගාසනයක ය. ඔවුන් සූර්ය නමස්කාරය කරන්නේ වෙරළේ වැලි කැට අතර වෙසෙන දහසක් අන්වීක්ෂීය ප‍්‍රාණී පිරිවර සමගය. අතිපුරාණ යාළුකම වල්ගය වනන්නට පමණක් නොවේ ඇණවුමකින් තොරව ළංව පා ඉඹින්නට සැදී පැහැදී සිටී. මේ උප්පුවේලි වෙරළයි.


මලේ වරුණ බලපන් තිරිකුණාමලේ


කාලෙකට ඉස්සර ඊළමක් හොයපු මිනිස්සුන්ට හීනයක් තිබුණා ත‍්‍රිකුණාමලය අනාගත රාජ්‍යයේ අගනුවර විදියට නම් කරන්න. සුද්දා වුණත් ඩොමීනියන් දෙන වෙලාවේ එක පාරටම පුරාණයේ ගෝකණ්ණය වෙච්ච ත‍්‍රිකුණාමලය සින්නක්කර භාර දෙන්න කැමති වුණේ නෑ. මලේ වරාය ලෝකෙ තියෙන ගැඹුරුම ස්වාභාවික වරායක්. අපේ රටට සම්පතක්. සුද්දා හදාපු තෙල් ටැංකි ටිකටත් තවම ලොකු ඉල්ලූමක් තියෙන හින්දා සමහරුන්ට ඒක ඉල්ලමක්. කොහොම වුණත් ත‍්‍රිකුණාමලය කියන්නේ සෞන්දර්යකාමීන්ට කවියක්. කෝණේශ්වරම, පරණ බලකොටුව, බොදු හින්දු ක‍්‍රිස්තියානි උරුම, පරෙවි ¥පත, උණු දිය උල්පත්, නිලාවැලි වගේ ලස්සන වෙරළ තීර, ඇයි? ජන සංස්කෘතික විවිධත්වය මෙහෙම ලැයිස්තුවක් හදනවනම් ඒක බොහෝම දිග වෙයි. එක දිගට දවස් ගාණක් බලන්න දේවල් ඇති පදම්. වෙරළෙ හෙවණක වාඩි වෙලා යාම්තම් මත්වෙන්න පුළුවන් නම් ඇස් ඉස්සර කවි සිතුවම් මැවෙන තැන් ගොඩක්.


‘මචං මේ නිලාවැලි යන අතරමග. උප්පුවේලි. මෙතනට කියන්නෙ ඇලිස්වත්ත කියලා. ඒ නම එච්චර ලස්සන නෑ නේද බං’ මංගල මලේ ගැන අල්ලෙ තියෙන දෙයක් තරම් දන්නවා.


නිලාවැලි වගේ ලස්සන නමක් නැතුවට ඇලිස්වත්තෙත් මුහුද ලස්සනයි. මේ දවස්වල සුද්දො රංචු පිටින් ඇවිල්ලා ඉන්නෙ නෑ. ඒ නිසා වෙරළ පාලූයි. ඕනෙ නම් වරුවකට විතර අයිති කරගන්න පුළුවන්. ලස්සනම උදේ පාන්දරයි ? ගොම්මනෙයි. උදේට සූර්ය නමස්කාරය කරන සුද්දා හැන්දෑවට වැල්ලෙ වැතිරිලා හීතල බියර් එකක් බොනවා. කාට හරි බෝට්ටුවෙන් රවුමක් ගහන්න හරි කිමිදුම් ඉස්කෝලෙකට එක්කහු වෙලා කිමිදෙන්න උත්සාහයක් ගන්න හරි පුළුවන්. මෙච්චර කිමිදුම් ඉස්කෝල තියෙන්නෙ මේ සාවියේ විතරමද කොහෙද? මංගල කියපු විදියට සර්ෆින්වලටත් මලේ මුහුද ප‍්‍රසිද්ධයි. මේ හුළඟ හැමදේටම ගැළපෙන ගාණට තියෙනවා. මංගල මලේ කොල්ලෙක් කියලා ආඩම්බරෙන් කියන හාදයෙක්. එතකොටත් අත දිගු කරලා මට පෙන්නමින් හිටියෙ තුන් හුළස් රුවලක් ගාණේ හයි කරපු ඔරු. ඒවා පදින්නෙ විනෝදෙට. අවුරුද්දකට සැරයක් මේ මුහුදෙ අන්තර්ජාතික රුවල් ඔරු ශූරතා තරගයක් පවත්වනවා කියලා කිව්වෙත් මංගල. අපිට රුවල් ඔරු ජාතියක් වගේ පෙනෙන මේ ඔරුවලට කියන්නෙ ‘යොට්’ කියලා. මේ දවස්වල උප්පුවේලි පැත්තට ගිහින් ඇලිස්වත්තෙ වෙරළට ඇවිදගෙන ගියොත් එක පෙළට යොට් පා වෙවී එහෙට මෙහෙට යන දසුන දැක ගන්න පුළුවන්. පාට පාට රුවල් හරියට පාට පාට සමනල ?නක් වගේ. ඊළඟ ශූරතාවලියට පුහුණු වෙන පිරිසක් වෙන්න පුළුවන්.


ඊශ්වර දේව ගිරිමඬල


මේ මුහුදු තීරයේ මුහුද දිහා බලාගෙන හිටගත්තම දකුණු පැත්තෙන් පේනවා කොණේශ්වරම්. ඒකට කියන්නෙ සාමි රොක් කියලා. ලංකා මුහුදෙ වෙරළෙන් ඉහළ නඟින ඒ වගේ ගිරි දඹ හිඟයි. මංගල මතක් කළා හුම්මානෙත් ටිකක් ඒ වගේ කියලා. ඒත් කෝණේශ්වරමට අලගු තියන්න හුම්මානෙට බැහැ.

කෝණේශ්වරම් ගිරි මුදුනට නැගලා පහළ මුහුදට එබිලා බලන එකත් ත‍්‍රාසජනක අත්දැකීමක්. මුහුදු රස්සාවෙ යන හැම බෝට්ටුවක්ම ඒවයෙ ඉන්නෙ මොන වරිගෙක මිනිස්සු වුණත් ඊශ්වර දෙවියන්ගෙ ආරක්ෂාව ඉල්ලලා පොල් ගෙඩියක් ගලේ ගහන්න ගල පහළින් එනවා. ගිරි දඹේ මුදුනෙ තියන නුග ගහට කියන්නෙ ප‍්‍රාර්ථනා ගහ. ඒකෙ හැම තැනම පුංචි ලී තොටිලි එල්ලලා තියනවා. ඒ දරු සම්පත් බලාපොරොත්තු වෙන අහිංසක මිනිස්සුන්ගෙ පැතුම්. සාමි රොක් පාමුල ඉඳලා ඇරඹෙන ගල් පරයක් ඇලිස්වත්තට සමාන්තරව දිගට දිගේ ඇදිලා එනවා. වම් පැත්තෙන් තියෙන රෙඞ් රොක් කිට්ටුවට යනකම් මේ ගල් පරය නිර්මාණය කරන්නෙ නොගැඹුරු වෙරළක්. සර්ෆින්, යොට් යාත‍්‍රා කරන්න විතරක් නෙවෙයි හිතේ හැටියට නාන්න පුළුවන් මුහුදක් හැදෙන්නෙ එහෙමයි. අර පාට පාට යොට් සමනලූන්ට ඈතින් විසල් නැව් යාත‍්‍රා කරද්දි, ඒවාට මෑතින් කරිජ්ජෙ එබිලා නාන්න ඉඩ ලැබෙන්නෙ කොරල් පර අතරෙ ඉන්න විසිතුරු මාලූ ?න් මැද. දැනට ගණන් බලලා තියෙන විදියට විසිතුරු මත්ස්‍ය විශේෂ 170ක් විතර මේ මුහුදු තීරෙ ජීවත් වෙනව කියලයි ධීවරයො කියන්නෙ.


ගොම්මන් මුහුද අද්දර කතා පෙට්ටිය


ගොම්මන් වෙලාවට මුහුද යටි හිතට කතා කරනවා වගේ දැනෙන්න ගන්නවා. ආං ඒ වෙලාවට ඕනම මනුස්සයෙක් මුහුද අද්දර දී වෙනදට වඩා විවෘත වෙන්න පටන් ගන්නවා. මංගලත් එක්ක හැන්දෑවෙ අපිව හොයාගෙන ආ චතුරංගත් පපුව ඇරලා කතා ගොඩක් අපේ ඉස්සරහ හලපු ධීවරයෙක්. එයා තවම කොල්ලෙක් කිව්වත් හරි. හැබැයි වාත්තු කළා වගේ සිරුර කළු දළ රැුවුල එක්ක මිනිහට තියෙන්නෙ තවුස් පෙනුමක්. චතුරංගගෙ තාත්තා දෙවුන්දර පැත්තෙ සිංහල මිනිහෙක්. අම්මා ඉන්දීය උරුමය තියෙන ගැහැනියක්. කොහොමත් මලේ මිනිස්සු වැඩි දෙනෙක් අමිශ‍්‍ර උදවිය නෙවෙයි. ඔවුන් මුහු වීමට ආදරය කරනවා. තාත්තා බෝට්ටු අයිති වෙලා හිටපු මනුස්සයෙක් වුණු හින්දම එයාලගෙ මිදුල වුණේ මහ මුහුද. සාමාන්‍ය පෙළ වෙනකම් විතරක් ඉස්කෝලෙ ගිහින් ජීවිතේ මුහුදට සින්න කෙරුවට පස්සෙ ඈත දියඹෙ ගිහින් වාසනාව උර ගාලා බලනවා. ඔය අතරෙ මුහුදු සීමා උල්ලංඝනය කරලා පිටරටවල කල්දේරම් බත් කනවා. සරු මුහුද හොයාගෙන ගිය මුල් වාර දෙකකට පස්සෙ ආයෙම ගියාම අහුවෙලා බංග්ලාදේශෙ චිතගොන් වල මාස හයක් ඉඳලා ගෙදර ආ චතුරංග ආයෙමත් කීප වතාවක් ඉන්දියාවෙ ලැගුම් ගන්නවා. චෙන්නායිවල තියෙන ආසියාවෙ ලොකුම බන්ධනාගාරෙක. ඒත් ධීවරයින්ට මුහුද එක්ක තියෙන්නෙ නොසංසිඳුණු ආදර බැඳීමක් හින්දාම මේගොල්ල කවදාවත් මුහුද අතහැරලා යන්නෙ නැහැ. අන්තිමේ චතුරංග හිනාවෙලා කියන්නෙ, මාත් කීප වතාවක් රට ගිය මිනිහෙක් කියලා.
එයාලා ආවේ හිස් අතින් නෙවෙයි. ඒ වෙලාවෙ අපේ ඉස්සරහ ටොනික් බෝතලයක මූඩිය ඇරිලා තිබුණ හින්දා අපිට හපන්න මොනව හරි ඕන කරලා තිබ්බා. මංගල චතුරංගට කියලා තිබුණෙ ගල්කොස්සෙක් හොයාගෙන එන්න කියලා. ගල්කොස්සා රතු පාට ගල් මාලූවෙක්. ගල් පර අතරෙ ජීවත්වෙන ඌ දුර්ලභ මාලූවෙක්. කිමිදෙන්නො තමයි යවුලෙන් ඇනලා උන්ව අල්ලගෙන එන්නෙ.


චතුරංග කියූ විදියට ලංකාවෙ හොඳම කිමිදුම්කරුවො ඉන්නෙ මලේ. කිමිදුම් රස්සාව මේ පැත්තට එන්නෙ රොඞ්නි ජොන්ක්ලස් කියන සුද්දත් එක්ක. දැන් මෙහේ ඉන්න ගොඩක් කිමිදුම්කාරයන්ට ඒ අතීතය මතකයි. විසිතුරු මාලූවො, ඉස්සො අල්ලලා පණපිටින් රට යවද්දි දවසට තිස් හතළිස් දාහ හම්බ කරන්න පුළුවන් හින්දා කිමිදෙන එක ධීවර රස්සාවට වඩා සරුයි. හැබැයි එකම ප‍්‍රශ්නෙ කිමිදුම් රස්සාව ධීවර කර්මාන්තයට අයිතියි කියලා පිළිගන්නෙ නැති හින්දා ඔවුන් ගැන හොයන්න ආණ්ඩුවේ ආයතනයක් නැහැ.
ඒ ප‍්‍රශ්න ගැනත් කියපු චතුරංග කතා පෙට්ටියෙන් ගල්කොස්සාව එළියට ගත්තා. ඌත් එක්ක හරිම ලස්සන රතු ඉස්සෙක් සහජීවනයෙන් වෙසෙනවා. ඒ ඉස්සට කියන්නෙ අසෝකා. පණ පිටින් විසිතුරු ඉස්සෙක් විදියට ඌව රට යවන්නෙ ලොකු ගාණකට. රේඩියම් පාට පොතුබරි පහුගිය දවස්වල රට යවලා තිබුණෙ එකෙක් තිස්පන්දාහකට. මංගල කියනවා ආණ්ඩුවට වුවමනාවක් තියෙනවා නම් අපේ විසිතුරු මාලූවන්ගෙන් කෝටි ගණන් හොයන්න පුළුවන් කියලා. අපේ මේසෙ වැතිරිලා හිටපු ගල් කොස්සා ඒ වෙනකොට බේක් වෙලා හිටියත් ඌත් රුපියල් දාස් ගාණක අසෝකලා මලේ මුහුදට එකතු කරන්න ඇති. අනිත් කාරණේ සුරුක්කු දැල්කාරයො මුහුද හූරලා ගන්න හින්දා මාලූ අස්වැන්න අඩුවෙද්දි විසිතුරු මාලූ අල්ලන අයට තමයි ටිකක් හරි වැඩිපුර සල්ලි හොයාගන්න පුළුවන්.


විසිතුරු මාලූවන්ගෙන් පටන් අරගෙන කතා පෙට්ටියෙන් තව කතා හැලෙද්දි ගල්කොස්සා ටික ටික බඩට යනවා. ඇත්තටම ඒ තරම් රස මාලූවෙක් කාලෙකින් කෑවෙ නෑ කිව්වොත් ඒක තමයි ඇත්ත. චතුරංගයි ගල්කොස්සොයි මුණගැහුණෙ නැතත් මුහුදට ආදරේ නම් කාට වුණත් එන්න වටින තැනක් උප්පුවේලි ඇලිස්වත්ත.


හැබැයි ඔස්ටේ‍්‍රලියා යන්න කිරින්ද පහනට වඩා මලේ පහන ගැළපුනාට එහෙම ගමනකට නම් මෙහේ එන්න එපා කියලත් චතුරංග කිව්වා. මොකද වතාවක් දවස් පහක් තිස්සෙ බෝට්ටුවෙ ගිය පිරිසක් ඕං ඔසී ආවා කියලා ගොඩ පෙන්නලා බස්සලා බෝට්ටුව ආපහු ගිය ගමනක කතාවක් චතුරංග දන්නවා. අර මිනිස්සු ගොඩබිම ඇතුළට ගිහින් විපරම් කරද්දි එහේ තිබ්බ පාරක හරියටම උදේ හයයි කාලට කොළඹ කතරගම බස් එක යනවලූ. අන්තිමේ හැමෝටම බස්වල නැගලා ගෙවල්වලට යන එක විතරයි ඉතුරු වුණේ.

ලසන්ත ද සිල්වා