සොක්‍රටීස්ගේ මරණය (The Death of Socrates) නමැති සිතුවම ගැන යමක් නො ලියන්නේ මන් දැයි සාහිත්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨයෝ දෙදෙනෙක් අහඹු ලෙස එකම දිනකදී මගෙන් ඇසූහ. ඉන් එක් අයෙකු තම සයනයට යාබද බිත්තිය ද සරසාගෙන ඇත්තේ මේ සිතුවමේ විශාල ප්‍රමාණයේ පිටපතකිනි. සොක්‍රටීස්ගේ ජීවිතය සහ දාර්ශනික විශිෂ්ටත්වය සම්බන්ධයෙන් පවත්නා ඇතැම් තොරතුරු සහ ප්‍රවාදයන් විවිධ මතභේදයන්ට ලක් වුව ද, ඔහුගේ චරිතය පිළිබඳ සියලු මූලාශ්‍රයන් වෙතින් පළ වන ප්‍රතිපත්තිගරුකභාවය නම් විශිෂ්ට මානව ගති ස්වභාවය කිසිසේත්ම බැහැර කළ නොහැක්කකි. බටහිර දර්ශනයේ පීතෘවරයෙකු ලෙස සැලකෙන සොක්‍රටීස් (ක්‍රි.පූ.470-399) ඇතැන්ස් නුවර කේන්ද්‍ර කර ගත් පැරණි ග්‍රීසියේ ජීවත් වූ අද්විතීය නිදහස් චින්තකයා බව අපි දනිමු. සදාචාර දර්ශනයේ (Moral Philosophy) සදාතන වීරයා වන ඔහුගේ දර්ශනවාදය පදනම් වූයේ සාකච්ඡා සහ වාදවිවාදාදිය මත ය. නිවැරදි හෝ සාවද්‍ය පැවතුම් මොනවා ද යන කරුණ මූලික කොටගත් ඔහුගේ ප්‍රශ්න කිරීම් ක්‍රමය, සත්‍යය පිළිබඳ සංකල්ප පාදා ගැනීමේ, තහවුරු කිරීමේ සහ නිර්දේශ කිරීමේ අපේක්ෂාවන් මුල් කොට ගත්තකි.

මානව වර්ගයාට හිමිව ඇති චින්තන ශක්‍යතාව, සත්‍යය විමසා බලා තමන් ම ඥාණනය වීමට යොදා ගත යුතු බවත්, තමන්ට කවර හානියක් සිදු වුවත්, හරි වැරැද්ද නොසලකන මානසික වහල් භාවයකට මිනිසා පත් නොවිය යුතු බවත් සොක්‍රටීස් ලොවට කියා පෑවේ ය. ඔහු කිසිදු ග්‍රන්ථයක් තබා එකදු අකුරක්වත් ලියා නැත. ඔහුගේ දර්ශනය ලේඛනගත කරන ලද්දේ ප්ලෝටෝ, සෙනොෆොන් ආදී ශිෂ්‍යයන් විසිනි. ප්ලේටෝට අනුව සොක්‍රටීස් යනු ‘සිය දෂ්ටයෙන් ඇතැන්ස් සමාජය නමැති අශ්වයා කුලප්පු කළ ඇට මැස්සා (Gadfly) ය’. බුද්ධිමතුන් ලෙස පෙනී සිටින්නන්, සැබැවින්ම ඉතා ස්වල්පයක් පමණක් දන්නා අඥාණයන් බව සිය වාදයන් මගින් සනාථ කළ සොක්‍රටීස් ජීවිතය සහ සදාචාරය පිළිබඳව එකිනෙකා දරන මතවාද පරිධියේ පවතින බැවින්, සත්‍යය සොයා කේන්ද්‍රයට ගමන් කළ යුතු බව යෝජනා කළේ ය. “සැබෑ ඥාණය නම් තමා නොදන්නා බව දැන ගැනීම ය” යන ඔහුගේ ව්‍යක්ත ප්‍රකාශයෙහි අඩංගු වන්නේ එකී දර්ශනය නොවේ ද?

‘කාර්යබහුලත්වය නමැති නිශ්ඵල කරදරයෙන් ප්‍රවේශම් වන ලෙස’ උපදෙස් දුන් සොක්‍රටීස්, ‘නොවටිනා මිනිසුන් කෑමට සහ බීමට පමණක් ජීවත් වන බවත්, වටිනා මිනිසුන් ජීවත්වීම සඳහා පමණක් කෑම බීම ගන්නා බවත්’ පැවසී ය. හෙතෙම මිය යන තෙක් ම සිදු කළේ ජනතාවගේ ආකල්ප වර්ධනය කිරීමයි. මරණයට මොහොතකට පෙර පවා ඔහු සිය ශිෂ්‍යයන් අමතා උපදෙස් දෙන අයුර අපගේ පාදක සිතුවමෙන් පිළිබිඹු වේ. බලන්න! තවත් මොහොතකින් හැම්ලොක් විෂ බඳුන පානය කර මිය යන්නට නියමිත පුද්ගලයාගේ අභීත ආස්ථානයත්, ප්ලේටෝ, ක්‍රිටෝ ඇතුළු ඔහුගේ ශිෂ්‍යයන්ගේ ශෝකබරිත කම්පාවත් තුළ කිව යුතු සියල්ල අන්තර්ගත ය.

ජාකොස්-ලුවිස් ඩේවිඩ් නම් ප්‍රකට ප්‍රංශ සිත්තරා ගේ තෙළිතුඩින් 1787 වසරේදී නිර්මාණය වූ මේ සිතුවම, ඔහුගේ බොහෝ නිර්මාණ සේ ම අතිශයින් නිර්මාණශීලී එකකි. දීප්ත වර්ණයන් සිතුවමේ මධ්‍යයට රැස් කරන අතර සොක්‍රටීස් සහ ප්ලේටෝ ඇඟ ලා සිටින සළු පමණක් ඊයම් සුදෙන් වර්ණ ගැන්වී ඇත. පිටුපසින් ආරුක්කුවට හිස තබා වැලපෙන්නේ ශෝකය දරා ගත නොහැක්කෙකු ලෙස නම් කර සොක්‍රටීස් විසින් බැහැර යවන ලද්දෙකි. ශිෂ්‍යයන්ගේ ඉරියව්වලින් නික්මෙන, දාර්ශනික වීරයාගේ මරණයේ ශෝකය සිතුවමේ කොන් කරා ඇදී යයි. එහෙත් මධ්‍යය ආලෝකවත් වී ඇත්තේ සිංහ සෙයියාවෙන් මරණයට අභියෝග කරන ගුරුතුමාගේ ස්ථිරසාර බැල්මෙනි.

අමුතු දෙවිවරුන් හඳුන්වා දෙමින් ඇතැන්ස් නුවර යෞවනයන් නොමග යවන බවට චෝදනා ලැබූ සොක්‍රටීස්ට නඩු විභාගයකින් පසු මරණ දඬුවම නියම කෙරේ. වැරදිකරු කිරීමෙන් පසු තමාට හිමි විය යුතු දඬුවම යෝජනා  කරන්නැයි  සොක්‍රටීස්ට පැවසූ විට ‘තමාට  හොඳ වැටුපක් ද, දිනපතා  රාත්‍රී භෝජන සංග්‍රහයන් ද ලබා දී රජය විසින් මිය යන තුරු තමාව පෝෂණය කළ යුතු බව’ ඔහු උපහාසයෙන් පැවසූ බව සඳහන් ය.  මරණ දඬුවමට පෙර භටයින්ට අල්ලස් දී සොක්‍රටීස්ව සිරගෙයින් පිට කිරීමට අනුගාමිකයන් කළ යෝජනාව ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු ප්ලේටෝගේ ‘ක්‍රිටෝ’ නමැති සංවාදයේ අන්තර්ගත වේ. සැබෑ දාර්ශනිකයා මරණයට බිය නැත්තෙකු බව ඔප්පු කිරීම, තමා පළා ගියහොත් සිය අනුගාමිකයන්ට දඬුවම් විඳින්නට සිදු වීම, පුරවැසියෙකු ලෙස තම රාජ්‍යය සමග ඇති ‘සමාජ ගිවිසුම’ කඩ කිරීමට අකමැති වීම යනාදී කරුණු එහිදී විග්‍රහ කෙරෙයි.

මේ සිතුවමේ නිරූපනය වන අවස්ථාවෙන් ඉක්බිතිව සිදුවනුයේ මෙයයි. හැම්ලොක් බඳුන පානය කළ සොක්‍රටීස් හට, විෂ ක්‍රියාත්මක වී දෙපා හිරිවට්ටන තුරු ඇවිදින ලෙස අණ කෙරිණි. ඔහු ඇද වැටුණු පසුව නිලධාරීහු ඔහුගේ පාදවලට කටුවලින් ඇන පරීක්ෂා කළහ. ඒවා සම්පූර්ණයෙන් හිරි වැටී තිබූ අතර ක්‍රමයෙන් ඒ හිරිය සිරුරේ ඉහළට පැතිරී, ඔහුගේ හදවත ද වසා ගත්තේ ය.

සොක්‍රටීස්ගේ අවසන් වචනවලින් පවා පැහැදිලි වනුයේ ඔහු කෙතරම් ප්‍රතිපත්තිගරුක මිනිසෙකු ද යන්නයි.

“ක්‍රිටෝ ! අපි අස්ක්ලිපියෝස්ට කුකුළෙක් ණයයි. අමතක නොකර එය පියවන්නට ඕනෑ”

ලක්ශාන්ත අතුකෝරල