සුනේත‍්‍රා රාජකරුණානායක

රහස් අතීතයක බර දරාගෙන දියවන්නාවෙ සරැුලි පිස හමන මඳ සුළඟ එක්ක කෝට්ටේ පුර පවුර කතාවක. ඔහේ බලාගෙන. ඒ සාමිචිය අතරින් මම නුගේගොඩ සොයාගෙන ත‍්‍රීවිලරයක. කෝට්ටේ වගේමයි නුගේගොඩ කියන්නෙත් ලොකු අතීතයකට. මගේ ගමනාන්ත බලාපොරොත්තුව අතීත මතක මත් බවක කිමිදීම. ඒ වෙනුවෙන් මේ ගමන සුනේත‍්‍රා රාජකරුණානායක හමුවන්න. ඇය සම්මාන ගොන්නකට හිමිකම් කියූ, නවකතා කෙටිකතා දිගකතා පුරකතා ආදි වූ බොහෝ සාහිත්‍ය කතා ගොතන්නියක්!! ජනමාධ්‍යවේදිනියක්. පරිවර්තිකාවක්. නිහාල් අයියා සහ සුනේත‍්‍රා අක්කා පෙරමගට ඇවිත් සිනාසෙමින් මා ඔවුන්ගේ නිවහනට පිළිගත්තා. ‘එන්න අපි කෙළින්ම මගේ ලියන කාමරයට යමු’ ඇගේ ඇරියුමින් මම කාමරයට. කතා සරිත් සාගරයක් අද්දර.

ඇය ඇගේ සුපුරුදු ලියන පුටුවේ. මම හාංසි පුටුවේ එහෙටත් නැති මෙහෙටත් නැති සෙයියාවක. ජනෙල් පියන් හායි ගාලා ඇරලා දාලා. පොත් රාක්ක කාමරයට ලියන්න හිතෙන මූඞ් එකක් අරං එනවා. ඔයාට මෙතැනදි විතරද ලියන්න පුළුවන්, මම කතාව පටං ගන්න නිමිත්තක් හොයනවා..
‘එහෙම කියලා නෑ. හැබැයි මෙතන තමයි මම පොත් ගොඩාක් ලියපු තැන. ‘සඳුන්ගිර ගිනිගනියි’ ලිව්වෙත් මෙතන. මට ඕනෑ හොඳට එළිය. හොඳට හුස්ම. ඉස්සරනම් තිබුණේ මේ මේසෙ නෙවෙයි පරණ මේසයක්. ඒක අමා (දියණිය* අරං ගියා.’


මට ටිකක් සුනේත‍්‍රාමය අතීතයට යන්න හිතෙනවා. අපි රත්නපුරේ ගැන කතාකරනවාද? මොරටුව ගැන කතා කරනවාද?.. සිනහවක් එක්ක ඇය උත්තර දෙනවා..


‘මොරටුව ගැන කරන්න කතාවක් නෑ. මම රත්නපුරේ. මම මොරටුවේ ඉපදුණා විතරයි. ඊට පස්සේ හැමදෙයක්ම බැඳිලා තියෙන්නේ රත්නපුරේ එක්ක. මුලින්ම නිරිඇල්ල කියන ගමේ හිටියේ. ඊළඟට කොටාමුල්ලේ හිටියා. ඊළඟට මුවගම හිටියා. ඊටපස්සේ කෙටි කාලයක් කෑගල්ලේ හිටියා. දෙහි ඕවිට හිටියා. ඊළඟට ආයි කැරකිලා රත්නපුරේටම ආවා. තාත්තා අධ්‍යාපන කන්තෝරුවේ ප‍්‍රධාන ලිපිකරු. මමත් ෆර්ගියුසන් උසස් බාලිකාවෙ ඉඳලා රවුමක් ගිහිං ආයි ෆර්ගියුසන් බාලිකාවටම ආවා. ඉස්කෝල දෙක තුනක හිටියාට මගේ ඉස්කෝලේ ෆර්ගියුසන් එක.’


නොසිඳෙන කතා සරිත් සාගරයේ මූලය තියෙන්නේ කොහේද? අම්මා කියාදීපු කතා ළඟද, නැත්තං රත්නපුරෙන් ඇහිඳගත්ත කතා ගොමුව අස්සෙද? මට ප‍්‍රශ්නයක්.


‘නිරිඇල්ල කියන්නේ කඳු වටකරගත්ත ගමක්. කොළපාටයි. සීතල සුළඟ නිතරම. ඉතිං පුංචි කාලේ අම්මා දවල්ට මාව නිදිකරවන්න කතා කියනවා. ඒ කතාව ඉවර වෙනකොට එයා නිදි. මම පැනලා යනවා සෙල්ලමට. කුකුළුවා රජමහා විහාරය තියෙන කන්ද පේනවා. මිනිස්සු ඒ ගැන කයිකතන්දර කියනවා. ධනංජය විහාරය කියලා වෙහෙරක් ගැන මිනිස්සු කියනවා. ඔය අපි කියන කුකුළුවා විහාරය තමයි ඒක. ඇත්ත කුකුළුවා විහාරය තියෙන්නේ කැලේ අස්සේ කියලා ලස්සන කතාවක් තියෙනවා. අම්මාත් එයාගෙ කතා ඉවරවෙන්න ඉවරවෙන්න හදලා කියනවා. හෙන්දිරික් මාමා නිධන් ගන්න ගිය හැටි ගැන අපූරු කතා කියනවා. ඊට පස්සෙ මම අර කඳු දිහා බලාගෙන තනියෙන් කතා ගොතනවා. ඇස් වහගෙන සමහර වෙලාවට කතා මුමුණනවා. ඊට පස්සෙ මම ඉස්කෝලෙදිත් නිතරම කෙටිකතා නාට්‍ය ලියලා තියෙනවා. පළවෙනි නවකතාව අවුරුදු 15දි තමයි ලිව්වෙ. නම ‘පරසතු මල්.’ ඇක්සයිස් පොතක ලියලා අතින් අත යැව්වා බලන්න.’

ඔයා ලියපු පොත්වල අම්මා ඉන්නවාද? මම කතාව වෙනතකට හරවන්න උත්සාහ කළා..


‘මට ඇත්තටම හිතාගන්න බැහැ. අම්මායි තාත්තායි දෙන්නාම නැහැ. අපේ අම්මා හරි සැරයි. මම පවුලේ එකම දරුවා. අම්මා අවසානය වෙනකම් මා එක්ක හිටියේ. ඒත් අනේ මන්දා මට ඒක හිතාගන්න බෑ. කොහොම වුණත් මගේ ඉස්කොලේ යාළුවෝ නිරිඇල්ලේ, කොටාමුල්ලේ, හංගමුවෙ යාළුවෝ ඒ පොත්වල ඉන්නවා. ඉස්සර මම පුංචිම කාලේ අම්මාට හොරෙන් තමයි කියවන්නේ. 7 ශ්‍රේණිය වෙනකොට ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි‘ පවා කියවලා තිබුණා. ඞීමන් ආනන්දගේ පොත් කියෙව්වා.’


කතාවෙ හැමතැනකම තියෙන්නේ රත්නපුරේ. ඒ කතා අස්සේ ෆර්ගියුෂන් උසස් බාලිකාවට තිබෙන තැන…


‘මම ඉස්කෝලෙට යනකොට මිස් බෲක් කියලා මිෂනාරිවරියක් තමයි ෆර්ගියසන් එකේ ප‍්‍රින්සිපල් විදිහට හිටියේ. මේ කාලේ වෙනකොට මිෂනාරී පාසල් රජයට අරං වෙනස්කම් වෙමිනුයි තිබුණේ. ගොඩාක් ඉස්කෝල එහෙම වුණාට, අපි ෆර්ගියුසන් එකට යනකොට එංගලන්තයේ ඉස්කෝලයක ළමා කාලයක් වගේ තමයි අපිට තිබුණේ. ස්කොටිෂ් ගීත, නැටුම්.. අයිරිෂ් ගීත, නැටුම් ඔය හැමදෙයක්ම තිබුණා. ඉංග‍්‍රීසියෙන් තමයි උදේ රැුස්වීම තිබුණේ. කොළඹ ලේඞීස් කොලේජ්, බිෂොප් කොලේජ් වගේ තත්ත්වයක් තමයි තිබුණේ. මම ඉස්කෝලෙට ඇතුල්වුණ අලූත තමයි සුදු මිෂනාරිවරිය ගියේ. ඊට පස්සේ මිස් පෙරේරා කියලා අර ප‍්‍රින්සිපල් යටතේම ඉස්කෝලෙම හිටපු කෙනෙක් තමයි ප‍්‍රින්සිපල් වුණේ. එයා බැඳලා නෑ. එයාගෙ ජීවිතයම වුණේ ඉස්කෝලේ. පස්සේ සිංහලකරණයත් එක්ක මේ දේවල් වෙනස් වුණා. අපි සිංහලෙන් ඉගෙනගත්තා.’


පොත් ගැන අතීත කතා, ඒවාත් එක්ක රත්නපුරේට තියෙන බැඳීම වගේ දේවල් අපි සුනේත‍්‍රා අක්කාගෙන් ඕනෑ තරම් අහලා තියෙනවා. ඉතිං මට හිතුනා මේ පසුබිම එක්ක කතාව වෙන පැත්තකට අරගෙන යන්න. චූන් පාන් ත‍්‍රීවිලරයෙන් ආපු, පෑන් කේක් ටිකක් අරං නිහාල් අයියා කාමරයට ආවා. පූසාත් පුරුපුරු ගගා වටේ කැරකෙනවා. ‘අපි එහෙනම් තේකක් බොමු. මම බොන්නේ කුරුඳුයි තුල්සියි දාපු තේ’ සුනේත‍්‍රා අක්කා කුස්සියට යනවා. සුනේත‍්‍රා අක්කාගේ තුල්සි තේක බොනගමන් අපි ආයි කතාවට වැටුණා. අම්මෝ රස!!


‘මම පොඩි කාලේ ඉඳලාම හරි පේ‍්‍රමනීයයි. ඉස්කෝලෙ යනකාලේ වෙන කෙල්ලන්ට ලස්සනට ලියුම් ලියලා දීලා ඇති ඕනෑ තරම්.. ටොෆී චොකලට් තමයි ඉතිං ඒවාට ලැබෙන්නේ.’


දැන් ඔයා අනුන්ගේ ලියුම් ලිව්වා. ඔයාට පේ‍්‍රමයක් තිබුණේ නැද්ද? මම අහනවා.. සිනහව විතරයි ඉතිං..!!


‘ඇයි නැත්තෙ, තිබුණා.. ඒක හරිම විචිත‍්‍ර ළමා කාලයක්. රත්නපුරෙන් කොළඹ ආවාට පස්සේ මම හිතාගත්තා ජීවිතේ අග්ගිස්සට ආවාම ආයි රත්නපුරේට යනවා කියලා. ඒත් දැන් මට යන්න හිතෙන්නේ නෑ. රත්නපුරේ වෙනස් වෙලා. කොහොම වුණත් මගේ පොත් අස්සේ වැඩිපුර තියෙන්නේ රත්නපුරේ. ඒ භාෂාව. ඒ හැඟීම්. මට මැරෙනකම් එතනින් ගැළවෙන්න බැරිවෙයි.’
පළවෙනි පොත ‘සඳුන්ගිර ගිනිගනියි‘ ලියන්න සෑහෙන්න කලින් නේද විවාහ වෙන්නේ.. ඒ පේ‍්‍රමය ගැනත් කතාකරමු.


‘තාත්තා නැතිවුණාට පස්සේ අපි කොළඹ ඇවිත් මොරටුවේ රේල්වේ ස්ටේෂන් එක ළඟ කුලියට හිටියා. මම ඒ කාලේ පිස්සුවෙන් වගේ කියවන්නේ. බි‍්‍රටිෂ් කවුන්සිල්, ඇමරිකන් සෙන්ටර්, මහජන පුස්තකාලේ ඔය හැම තැනින්ම පොත් ගේනවා. ? එළිවෙනකම් කියවනවා. නිහාලූත් හොඳට කියවන කෙනෙක්. ඒ නිසා අපි අඳුනාගත්තා. ඊට පස්සේ නිහාල්, අයියා එක්ක ගෙදරට ඇවිත් අම්මාගෙන් ඇහුවා. ඊට පස්සේ අපි අතරේ මිත‍්‍රත්වය පේ‍්‍රමයකට පෙරලූණා.

අපේ අම්මා මට නිදහසක් දුන්නේ නෑ කොහේවත් යන්න. පුස්තකාලෙ යන්න ඕනෑ, ෆිල්ම් බලන්න ඕනෑ, ඩ‍්‍රාමා බලන්න ඕනෑ, කැලේ යන්න ඕනෑ, භාවනා කරන්න ඕනෑ. පීනන්න යන්න ඕනෑ, රට යන්න ඕනෑ වගේ මගේ හිතේ තියෙන ආසාවල් සේරම මම නිහාල් අයියාට කිව්වාට පස්සේ, එයා ඒවාට කැමති වුණා. අපි බැන්දා. එතකොට මට 18යි. හැබැයි එතකොට එයා හිතන්න නැතුව ඇති මේ ගෑනි මේවා සේරම කරයි කියලා..’


‘බැඳලා අවුරුද්දකින් පුතා ලැබුණා. අපි බඳිනකොට නිහාල් අයියා එයාර් සිලෝන්, පස්සේ එයාර් ලංකා ගියා, ඒත් එයාට එතන හරිගියේ නෑ. අයින්වෙලා මැදපෙරදිග ගියා. ඉතිං මායි පුතායි විතරයි. මම පුතා නිදිකරවලා ? එළිවෙනකම් පොත් කියවනවා. මේ වෙනකොට අම්මා නැතිවෙලා. බම්බලපිටියේ ගෙදරට නඩු කියනවා ප‍්‍රශ්න ලෝකයක්.’


‘පුතා ලැබිලා අවුරුදු 12කින් තමයි අමා දුව ලැබුණේ. එතකොට පළවෙනි නවකතාව ‘සඳුන්ගිර ගිනිගනියි’ මුද්‍රණයෙන් පිටවෙලා. ඒක නිසාම මට ගුවන් විදුලියේ වැඩසටහනක් කරන්න හම්බෙලා. මම ඉතිං වැඩසටහන ඉවරවෙලා දුවගෙන එනවා අමාට කිරි දෙන්න. දුවටයි පුතාටයි දෙන්නටම අවුරුදු 5ක් කිරි දුන්නා. මේ කාලේ වෙනකොට බම්බලපිටියේ ඉඩම් නඩුව ඉවරවෙලා. අපි ඒ ඉඩම කුණුකොල්ලයට විකුණලා නුගේගොඩ දැන් මේ ඉන්න තැනට ඇවිත් හිටියේ. දුවටයි පුතාටයි දෙන්නාටම පොඩි කාලේ ඉඳලාම පොත් ආගන්තුක වුණේ නෑ. පුතා පුංචි කාලේ මම එයාට කතාකළේ මම කියවන කතා පොත්වල හිටිය චරිතවල නමින්. ඒ මොන නමින් කතාකළත් එයා දන්නවා මේ එයාට කියලා. අමාට නම් රත්නපුරේ පුරුද්දට මැණිකේ කියලා කිව්වේ. අමා වුණත් හැමතැනම අරගෙන ගියා. අන්තර්ජාතික සමුළුවලට පවා.’

මේ කතා අස්සෙම ?වෙලා. ‘මම ඔයාට ඉන්දියන් කෑමක් හැදුවා. අපි කනගමන් කතා කරමු’ සුනේත‍්‍රා අක්කා දකුණු ඉන්දියානු රස කෑමක් හදලා. උප්පුමා (*. චිකන් කරියකුත් එක්කම. ආහාර සැකසීම ගැන කතාකරන්න හොඳම වෙලාව කියලා හිතුණා. ඉතිං මේසෙට වාඩි වුණා.


‘මට හොඳටම උයන්න පුළුවන්. මම කාලයක් උම්බලකඩවත් කෑවේ නෑ. කකුලේ සුදු ලප වර්ගයක් ආවාම දොස්තරලා කිව්වා ප්‍රෝටීන හිඟයක් කියලා. දැන් මසුත් කනවා. මට හොඳට රහටම එළවළු උයන්න පුළුවන්. හැබැයි ඒ හැම කෑමක්ම මගේ ක‍්‍රමයට. මම අද දවල්ට කරවිල මැල්ලූමක් හැදුවා. වත්තෙන් කඩාගත්ත කරවිල.’


දැන් කොහොමද දෙන්නාගේ ජීවිතය. බැඳලා අවුරුදු 40ක්. ඒ ආදරය එහෙම්මම තියෙනවාද?.. මම අහනවා. ආහාර රස අතරේ ජීවිතයේ රස මතක මහෝඝයක පැටළෙන්න තියෙන ආසාවටම.


‘නිහාල් අයියා ගෙදර වැඩ කරන්නේ නැති නිසා මම රණ්ඩුවෙනවා. මම බැනලා මමම අඬලා මමම අන්තිමට ඒ වැඬේ කරනවා. අපි දෙන්නාම දැන් මහලූයි. අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි ගෙදර වැඩ. වත්ත සුද්ද කරන එක. නිහාල් අයියා ඒ මොකවත් කරන්නේ නෑ. එයාට ඒ වැඩ පුරුදු නෑ. මම ගෙදර පිරිසිදු කිරීම් වැඩ සේරම වගේ කරනවා. මම කියලා තියෙන්නේ ඔයා ගේ අතුගාන්න කියලා. එතකොට එයා කියනවා තේරුමක් නෑ ඔයා ආයි අතුගානවනේ කියලා. ඒ නිසා දැන් මම එයා නැතිවෙලාවට තමයි අතුගාන්නේ. එයා කන්නේ දවල්වෙලා. ඉතිං මම කියලා තියෙන්නේ 12ට විතර බත් එක තියාගන්න කියලා. නැත්තං මම මැරුණ දාට මේ මනුස්සයාට උයාගන්නවත් බෑනේ.’
සුනේත‍්‍රාක්කාගේ සිනහා සරින් මුළු ගේම පිරී යනවා. නිහාල් අයියාත් ඒ අස. ‘දැන් මම මැච් බලනවාටත් මෙයා වලි’. ඔහු කියනවා. ‘නෑ ඉතිං මම කියනවා ඒ වෙලාවට මුන්නම් මැච් ගහලා සල්ලි හම්බ කරනවා, අපේ මිනිස්සු ගෙදර වැඩත් පාලූ කරගෙන ඒවා බලනවා කියලා.’ දෙදෙනාගේ අඬදබර ඔහොමලූ ඉතිං.


‘නිහාල් අයියාට හොඳට සිංදු කියන්න පුළුවන්. හිතුණාම පියානෝ ගහනවා. සිංදු කියනවා. සුනිල් ශාන්තගේ සිංදු තමයි වැඩිපුර කියන්නේ. සුනිල් ශාන්ත පිස්සෙක්නේ. දැන් අපි දෙන්නා චිත‍්‍රපටි එහෙම බලන්න යනවා අඩුයි. නිහාල් අයියා නම් අමා එක්ක යනවා. මම ගෙදරට වෙලා ඉන්නවා. කොහොම වුණත් මම හැමදාම මම එක්ක සතුටින් හිටියා. ඉන්නවා. නිහාල් අයියා දැන් පොතක් ට‍්‍රාන්ස්ලේට් කරනවා. එයා හරි ස්ලෝ ඉතිං.’


ඇඳුම් විලාසිතා ගැනත් ටිකක් කතාකරමු. මම දන්න විදිහට ඔයා හොඳට ඇඳුම් විලාසිතා කළ කෙනෙක්..


‘මම බැන්දාට පස්සේ ඇඳුම්පැළඳුම්වලට එච්චරට වියදම් කළේ නෑ. හැබැයි ලස්සනට ඇන්දා. ඒ කාලේ කෙල්ලෝ කරන පැෂන් කළා. හයිහීල්ස් දැම්මා. දිග එල්ලෙන කරාබු දැම්මා. මට බංගලිදේසයේ යාළුවෙක් හිටියා, එයා ලංකාවට එනකොට අවුරුද්දකට සැරයක් මට ඇඳුම් අරං එනවා. හැබැයි ඒ ඇඳුම් මම කැමති ඒවා නෙවෙයි. හැබැයි එක විලාසිතාවක ඇඳුම්.’

එහෙනම් ඔයා හොඳට විලාසිතා කරනවා කියලා ඒ කාලේ පෙනිලා තියෙන්නේ ඒකයි. මම කියනවා. ඈ ඉතිං සිනාසෙනවා..


‘සාරි අඳිනකොටත් මම ඇන්දෙ කොට්න් ඒවා. දිග කරාබු, අමුතු මාල සේරම ඒවාට ගැළපෙන්න පැළැඳුවා. හෑන්ඞ්ලූම් තමයි ගොඩාක් ඇන්දේ. ඊට පස්සේ මම සාරිය දෙකට නවලා සාරිය රෙද්දට ඇන්දා. කුර්තා ටොප් දෙකක් ගත්තාම අවුරුද්දටම ඇති. ඊට පස්සේ වුණේ මම මේ අදින විදිහ බලලා ඒ විලාසිතාවලට ගැළපෙන්න යාළුවෝ තෑගි දෙනකොට ඇඳුම් එහෙම දුන්නා. අන්තිමට මම 2005 ඉඳලා විචිත‍්‍ර වර්ණ තියෙන ඇඳුම් අදින එක අත්හැරියා. කොහොමත් මම ඉන්දියාවෙ ගියත් යන්නේ ඇඳගෙන යන ඇඳුමයි තව වැඩිම උනොත් ඇඳුම් දෙකකුයි අරගෙන.’


මේ කතාව හොඳ තැනකට ආවා. සුනේත‍්‍රා අක්කාට වතුර එක්ක පුදුම ඇයි හොඳයියක් තියෙන්නේ. ඒක වෙලාවකට භාවනාවක් වගේ. කොහොම වුණත් පුංචි කාලේ ඉඳලාම භාවනාව පස්සේ වැටිලා භාවනා කියන්නේ මොකද්ද සෙව්වා. මට හිතෙන්නේ ඇත්තටම දැන් ඒ ලෝකයට පාර සොයාගෙන.
‘ඔයා වතුර මතක් කළානේ. මම රත්නපුරේ ඉන්නකොට ගෙඟ් නාන්න පුදුම ආසාවක් තියෙන්නේ. තාත්තා ගඟට යනඑක තහනම් කරලා තිබුණේ. ඒත් හොරෙන් යාළුවෝ එක්ක ගඟට ගියා. ගෙඟ් පීනන්න දෙන්නේ නැතිවුණාම මම ළිඳේ පීනුවා. එහෙම එක ගමනක් පුතා එක්ක යාළුවෙක්ගෙ ගෙදර ගිහිං ගෙඟ් යමු කිව්වහම ගෙඟ් එක්කරගෙන ගියේ නෑ. මම ළිඳට පැනලා පීනුවා. පුතා එදා හොඳටම බයවුණා, අම්මා ළිඳට වැටුණා කියලා. මට මතකයි මම කෑගල්ලේ ඉන්නකොට ගෙවල් පහළින් ගිය දොළට දවල් අම්මා නිදි වෙලාවට ගිහිං බැහැලා ඉන්නවා. දියයට ගිහිං හුස්ම හිරකරගෙන ඇස් ඇරගෙන ඒ කොළපාට ලෝකය දකින්න මම අදටත් පුදුම ආසයි. මගේ නවකතාවලත් ගොඩාක් මේ වතුරත් එක්ක තියෙන ගනුදෙනුව තියෙනවා. ‘සඳුන්ගිරෙත්‘ තියෙනවා ළමයා වතුරේ ගිලිලා පාවි පාවි ඉන්නවා. ඒක වෙනම ලෝකයක්. භාවනාවක් වගේ තමයි. ’
‘මම අවුරුදු 15දී ඉස්කෝලේ ඉන්න කාලේ භාවනාව ගැන පොතක් ලිව්වා. මම කැලේට ගිහිං ගල්ගුහාවකට වෙලා භාවනාවක ඉන්න ඉස්සර ඉඳලාම හරිම ආසයි. මේ වෙනකොට මම තනියෙන් භාවනා කරනවා. ඒ වෙනුවෙන්ම රටවල්වල, විශේෂයෙන් ඉන්දියාවේ සංචාරය කරනවා. මම ඉන්දියාවේ කන්යාකුමාරිවල ඉඳලා හිමාලයටම ඇවිදලා තියෙනවා. මේ ලෝකේ රත්නපුරේ ඇරුණාම මම වැඩියෙන්ම කැමති තැන තමයි ඉන්දියාවෙ තියෙන තිරුඅන්නමලෙයි නගරය. ඒ එහේ තියෙන භාවනා ආශ‍්‍රමය නිසා. මම හැම අවුරුද්දකම වගේ එතනට යනවා. එතන සල්ලි හම්බ කරන තැනක් නෙවෙයි. හිමාලය වගේ පැතිවල තියෙන භාවනා ආශ‍්‍රමවලට යන්න බැහැ සීතල නිසා. මම ඉන්දියාවේ මුලින්ම ගියේ තනියෙම. එහෙම ගිහිං මාසයක් හිටියා. මම එදා හිතුවේ යුරෝපේ ගෑනු මෙහෙට බැක්පැක් අරං එනවානම් අපිට අඩුම ඉන්දියාවටවත් යන්න බැරි ඇයි කියලා. ඊට පස්සේ ඇමරිකාවට පකිස්තානයට වියට්නාමයට ගියා. චීනයට රස්සාවට ගිහිං අවුරුදු 4ක් හිටියා. පොත් හතරක් ලිව්වා. කසාද බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න ගෑනියෙකුට ඒවගේ නිදහස් කාලයක් හම්බවෙන්නේ නෑ කවදාවත්.’


අපේ කතාවේ අවසානයට ඇවිත්. සුන්දර සන්ධ්‍යාවකට පස්සේ තැනින් තැන කළුවර කැටි ගැසුණු මගක මම පාරට ආවා. ආයිත් නුගේගොඩින් කෝට්ටෙ හරහා මගේ නවාතැනට.