මයුර කාංචන පෙරේරා



මයුර ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ සිටින අතිදක්ෂ රංගන ශිල්පියෙකි. වසර විස්සක පමණ කාලයක් තිස්සේ ඔහු වේදිකා නාට්‍ය ගණනාවක රඟපා ඇත. ඒ අතර වලස් පවුල, විකෘති, තොප්පි වෙළෙන්දා, කතාන්දර දෙකක්, මෙය තුවක්කුවක් නොවේ, කලිගියුලා, ඉන්ද්‍රජාලික පෙම්වතිය, දුටු තැන අල්ලනු, ග්ලැඩියේටර් පේ‍්‍රමය, සඳ ළඟ මරණය, මගේ කාලයේ වීරයෙක් ඇතුළු වේදිකා නාට්‍ය වෙයි. රාජ්‍ය නාට්‍ය උළෙලේදී සහ යොවුන් නාට්‍ය උළෙලේදී කිහිප වතාවක් හොඳම නළුවාට හිමි සම්මානය ඔහු ලැබීය. මේ ජනවාරියේදී ඔහු රංගනයෙන් එක්වන අලූත්ම නාට්‍යය වන ‘ගිනි ගිනි මාලේ’ මුල් වරට වේදිකාගත විය.


රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘ග්ලැඩියේටර් පේ‍්‍රමය, මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට සම්මාන ලැබීය. යෞවන සම්මාන උළෙලේදී ‘මගේ කාලයේ වීරයෙක්’ නාට්‍යයට හොඳම නළුවාට සම්මාන ලැබීය. සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේදී මයුර දකින්නට ලැබෙන්නේ අඩුවෙන්ය. එහෙත් සුවිශේෂ චරිත කිහිපයක් ඔහු රඟපා ඇත. ‘බැද්දේ කුලවමිය’ ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හා හොඳම නැගී එන නළුවාට හිමි සම්මාන ඔහු ලැබීය. ඊට අමතරව ‘ත්‍රෛලෝකා, වීරයා ගෙදර ඇවිත්’ ඇතුළු ටෙලිනාට්‍යවල ඔහු රඟපා ඇත. ඔහු ප්ලේහවුස් ඇකඩමියෙහි රංග කලා උපදේශකයෙකු ලෙසත් කටයුතු කරයි.

මයුර රඟපාන්න හිතුවේ ඇයි?


පාසල් අවදියේවත් රඟපෑම ගැන අත්දැකීම් තිබුණේ නැහැ. මම කොළඹ වේළුවන විද්‍යාලයේ ඉගෙනගත් කෙනෙක්. ඉස්කෝලෙදී කැපීපෙනුණු ශිෂ්‍යයෙකුත් නෙවෙයි. ඒත් මට නාට්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන අත්දැකීම විඳින්න කැමැත්තක් ඇතිවුණා. අපි නවය වසරේදී සිංහල ගුරුවරිය සම්පූර්ණ මනමේ නාට්‍යයේ දෙබස් සහ ගීත තියෙන කැසට් එකක් වාදනය කළා. මොකද නාට්‍යය බලන්න විදියක් තිබුණේ නැහැ. ඒ ටේප් එක අහනකොට ඒ චරිත සහ සිදුවීම් ටික හිතේ මැවෙන්න ගත්තා. විශේෂයෙන්ම මගේ හිතේ මැවුණේ චරිත. මම කැසට් එක අරගෙන ගෙදර ගිහිල්ලාත් ඇහුවා. ඒ තරමට මම ඒකට පිස්සු වැටුණා.


මම යන්ත‍්‍රසූත‍්‍ර පැත්තට බරවූ කෙනෙක්. එක එක යන්ත‍්‍රසූත‍්‍ර ගලවලා හදන්න මට පුළුවන්. වාහන පවා හදන්න පුළුවන්. ගෙදරිනුත් මට කීවේ ටෙක්නිකල් කොලේජ් එකට ගිහිල්ලා මෝටර් මැකෑනික් කෝස් එකක් කරන්න කියලා. ඒත් මම උසස්පෙළ කරන කාලය වෙනකොට අනන්‍යතාව හොයන්න ගත්තා. මම දැනගෙන හිටියා මෝටර් මැකෑනික් කළොත් මට රැුකියාවක් හොයාගෙන ජීවිතය ගොඩදාගන්න පුළුවන් බව. ඒත් මට මොකක්දෝ ඉවකින් හිතුණා මෝටර් මැකෑනික්වල මනුෂ්‍යයන්ට සම්බන්ධ කාරණා අඩු බව. මීට වඩා මනුෂ්‍යයන් එක්ක ගැටගැහුණු දෙයක් කරන්න හිතුණා. ඒ වෙද්දීත් මා තුළ මනමේ නාට්‍යයෙහි හඬ ඇසීමෙන් ලබපු ප‍්‍රහර්ෂය තිබුණා. ඒ නිසා මට හිතුණා කොහොමද ගායනා කරමින් රඟපාන්නේ කියලා හොයන්න. මට ඒ දේ කරන්න බැරිද කියලා කල්පනා කළා. මිනිස්සුන්ට වින්දනය දෙන්න මට බැරිද කියලා මම හිතුවා.


රඟපෑමට යොමුවුණේ කොහොමද?


අනූනවයේදී උසස්පෙළ ඉවරවුණ ගමන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ රංගන වැඩමුළුවකට ගියා. මට එතැනදී බලාපොරොත්තු වුණ දේවල් ලැබුණේ නැහැ. 2000දී සෝමලතා සුබසිංහ හා කෞශල්‍යා ප‍්‍රනාන්දු හිටපු ප්ලේහවුස් ඇකඩමියට ආවා. ඒ වෙද්දී මගේ ඇතුළේ රංගනයට අවැසි ශක්තිය තියෙන බව මට දැනුණා. ඒ වගේම මට පෙනුණා මේකෙන් මනුෂ්‍යයන්ට සෑහෙන බලපෑමක් කරන්න පුළුවන් බව. මනුෂ්‍යයෙක් විදියට ඇක්ටින් කියන විෂය තුළ කුසලතාව හා ප‍්‍රකාශනය වර්ධනය කරගන්න ඇති හැකියාවත් මට දැනුණා. සමාජය වෙනස් කරන්නට පුළුවන් බව මට දැනුණා. චැප්ලින්, හොෆ්මාන් හෝ අමීර් ඛාන් රඟපාන චරිතයක් බලලා මිනිස්සු මොනතරම් වෙනස් වෙනවාද කියලා මම දන්නවා. ඉතින්, මම තවම විශ්වාස කරනවා චරිතයක් රඟපෑමෙන් මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන් බව.


මෙතෙක් කාලයක් කළ රඟපෑම් ගැන දැනෙන්නේ මොකක්ද?


මම රඟපෑ දේවල් පේ‍්‍රක්ෂකයන් විඳලා තියෙනවා. ඒත් මට දැන් තියෙන ගැටලූව තමයි ලංකාවේ මොනතරම් දුරට එය ග‍්‍රහණය කරගන්නවාද කියලා. අද මම චරිතයක් රඟපාන්නේ මිනිස්සුන්ගේ හුදු වින්දනය වෙනුවෙන් පමණක් නෙවෙයි. මිනිස්සුන්ව ඥානනය කිරීමත් මගේ අරමුණක්. ඒක මොනතරම් දුරට සිද්ධවෙනවාද කියන එක මට අද ප‍්‍රශ්නයක්.


දැන් පේ‍්‍රක්ෂකයන් අලස විදියට, අතිශය සරල දෙයක් බලන්න කැමති. ටිකක් හෝ මොළය වෙහෙසන්න වෙන නිර්මාණයක් විඳින්න ඔවුන් කැමති නැහැ නේද?


ඒක පේ‍්‍රක්ෂකයන්ගේම අවුලක් නෙවෙයි. පේ‍්‍රක්ෂාගාරය එහෙම ප‍්‍රශ්නයකට එන්න හේතුවම අද සමාජයේ තියෙන අවුල. හැමෝම අද කියන්නේ තාක්ෂණික විෂය ධාරාවන් ඉගෙනගන්න කියලයි. දොස්තර හෝ ඉංජිනේරු විෂය ධාරාවන්ගෙන් ඉගෙනගන්න කියලා උපදෙස් ලැබෙනවා. අපේ රට එක්තරා විදියකට දියුණු මට්ටමකට එන්නේ නැති ප‍්‍රශ්නයක් තියෙනවා. පුද්ගලයෝ වශයෙන් ටිකක් එහාට හිතන්නට කම්මැලිකමක් තියෙනවා. නිර්මාණවලටත් ඒක බලපානවා. නිර්මාණකරුවන් හිතන්න පෙළඹෙනවා. ඒත් හිතුවාට වැඩක් නැහැ. කවුද අන්තිමේදී ඒක පරිභෝජනය කරන්නේ කියන ප‍්‍රශ්නය තියෙනවා. ලොකුම දුර්වලකම තමයි ටිකක් ක‍්‍රියාකාරීව නිර්මාණයක් රසවිඳින පේ‍්‍රක්ෂකයන් නැතිකම. නිර්මාණයක් සම්පූර්ණ වෙන්නේ නිර්මාණකරුවාගේ වගේම පේ‍්‍රක්ෂකයාගේත් නිර්මාණාත්මක ක‍්‍රියාකාරීත්වය නිසා. ඒත් අපේ සමාජයේ හැමෝවම අක‍්‍රිය කරලා තියෙන්නේ. අක‍්‍රිය විදියට විභාගවලට පාඩම් කරවනවා මිසක්, දැනුම සොයන්නට ක‍්‍රියාකාරී වෙන්නේ නැහැ. නිර්මාණයක් එක්ක සක‍්‍රියව දායක වීමේ පුරුද්දක් ඔවුන්ට නැහැ. ඒ නිසා තමයි නිර්මාණකරුවාට සියල්ල හැන්දෙන්ම පොවන්න වෙලා තියෙන්නේ. චරිතයකට කේන්ති ගියොත්, මට කේන්ති ගිහින් ඉන්නේ කියලා දෙබසකින් කියන්නම ඕනෑ..


දැන් සංගීත වීඩියෝ සංස්කෘතියෙන් වෙලා තියෙන්නේත් ඕකනේ. සංගීතයට සීමාවක් නැහැ. සිංදුවට යොදන වචනවලින් සිංදුවේ තේමාව පටු කරනවා. ඊට පස්සේ වීඩියෝවෙන් ඒ කතාව තවත් පටු කරනවා. අන්තිමේදී සිංදුවේ තියෙන්නේ පුංචි කතාන්දරයක් විතරයි. එතැනින් එහාට පේ‍්‍රක්ෂකයාට හිතන්න බැහැ.


සාමාන්‍ය මිනිස්සු කෙසේ වෙතත් කලා, සාහිත්‍ය, ජනමාධ්‍ය අවකාශයේ ඉන්න අය පවා නාට්‍ය බලන්න යන්නේ නැහැ..


අපේ මිනිස්සු හැම තිස්සේම කියනවා නාට්‍ය බලන එක මරු නේද කියලා. අපේ යාලූවොත් ඒක කියනවා. ඒත් කවුරුත් බලන්නේ නැහැ. නාට්‍ය බලන එක හොඳ බව කියන අය පවා ආත්මීයව ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. අද තියෙන්නේ සමාජයේ පුරුදුවල ප‍්‍රශ්නයක්. දැන් වෙද්දී නාට්‍ය බලන පුරුද්ද නැතිවෙලා ගිහින්. මහා සමාජය විශ්වාස කරන්නේ කලාවෙන් ගන්න පුළුවන් එකම දේ ජොලිය විතරයි කියලා. අවසානයේ ප‍්‍රවීණයන් පවා තමන්ගේ ජීවන පැවැත්ම වෙනුවෙන් හුදු විනෝදය පේ‍්‍රක්ෂකයන්ට දෙන්න ගන්නවා. යූටියුබ් වගේ නූතන තාක්ෂණය තියෙන තැන්වල පවා ඒ හුදු විනෝදය ලබාදීමේ අරමුණ තමයි පේන්න තියෙන්නේ. සමාජයේ මිනිස්සුන්ට බුද්ධියක්, දැනුමක් හා අවබෝධයක් ඇති කිරීමේ වගකීම කලාකරුවන් විදියට අපි බාරගන්න ඕනෑ. තමන් නිර්මාණය කරන්නේ මොකක්ද කියලා කල්පනා කරන්න ඕනෑ. ඒත් අපට විතරක් කලාව වෙනස් කරන්න බැහැ. සමාජයක් විදියට ඒක ගැන කල්පනා කරන්න ඕනෑ.


එහෙම රටක මෙගා නාට්‍යයක රඟපාලා, කීයක් හරි උපයාගෙන ජීවත්වෙන්නේ නැත්තේ ඇයි?


මේක බරපතළ කැපකිරීමක්. මම ඒ කැපකිරීම දරුණු විදියට කරලා තියෙනවා. මම මගේ ජීවිතය කැප කළේ රංගනය නිවැරදිව කරන්න. ස්වාභාවිකව කරන්න. මටත් මෙගා නාට්‍ය කරන්න, කොමඩිවල රඟපාන්න ආරාධනා ආවා. ප‍්‍රශ්න තියෙද්දී වුණත් මම ලොකු මුදලකට ආපු ආරාධනා මඟහැරියා. ඒවාට එන්නේ නැති බව දැනගෙනද කොහෙදෝ මෑතක් වෙද්දී මට ආරාධනා ලැබෙන එකත් නැතිවෙලා ගිහින්.


ඔබ උසස්පෙළ වෙලාවේ මෝටර් මැකෑනික් ක්ෂේත‍්‍රය අත්හැරලා රංගනයට තෝරාගත්තා. ඒත් අද ඔබේ ප‍්‍රධාන ආදායම් මාර්ගය රංගනය නෙවෙයි නේද?


ඒක ඇත්ත. මට ඒ දවස්වල ඉඳලා තේරුණා මේ ක්ෂේත‍්‍රයෙන් ආර්ථික සාර්ථකත්වය ලබන්නට බැරි බව. මම ගෙවල්වල අයගේත් විරෝධය මැද රැුඩිකල් තීන්දුවක් එදා ගත්තා. හැමෝම මට කීවේ ඕක හරියන්නේ නැති බව. අනාගතයක් නැති බව. එයාලා කියපු දේ වැරදි නැහැ. මූල්‍යමය ප‍්‍රතිලාභයක් මට නැහැ. අවසානයේදී මට අකැමැත්තෙන් රාජ්‍ය සේවයට යන්න වුණා. මට තේරෙන්න ගත්තා මට ඉහ ගහගෙන ඉන්න නම් මොකක්හරි රැුකියාවක් කරන්න වෙන බව.
රංගනය පූර්ණකාලීන රස්සාව කරගන්න කැමති නැද්ද?


මම හරි ආසයි දවස් පහම වැඩකරන රංගන ශිල්පියෙක් වෙන්න. මට ලොකු පේ‍්‍රක්ෂාගාර ඕනෑ නැහැ. ජනප‍්‍රිය චිත‍්‍රපටි හෝ ටෙලිනාට්‍ය ඕනෑ නැහැ. මගේ දරුවන්ට දෙන්න ඕනෑ දේවල් ටික දීලා නිතර වැඩකරන රංගන ශිල්පියෙක් විදියට වැඩ කරමින් ඉන්න ආසයි. පුංචි පේ‍්‍රක්ෂාගාර ඉදිරියේ වුණත් නිතිපතා රඟපාන්න ආසයි.


ඇත්තටම ලෝකයේ දියුණු රටවල කලාත්මක නිර්මාණ වෙනුවෙන් රජය සහ පෞද්ගලික අංශය මැදිහත් වෙනවා. එවැනි කලාවක් පැවතිය යුතු බව විශ්වාස කරන පිරිස් ඒ කලාකරුවන්ව සහ රඟහල් ආදිය පවත්වාගෙන යෑමට මුදල් යොදවනවා. ඒ නිසා ටිකට් අලෙවි නොවුණත්, ඒ කලාව පවතිනවා..


හොඳම උදාහරණයක් තියෙනවා. මොස්කව්වලට අපි ගිය වෙලාවක පුංචි යටි බිම්ගත රඟහලක රංගයක් බලන්න ලැබුණා. ඒක මුඩුක්කු රඟහලක් වගේ නමක් තිබුණු තැනක්. බිත්තිවල පතුරු ගැලවුණ, බංකු ටිකක් ගැහුව තැනක්. එතැන රඟපාන්න එන්නේ ඇත්තටම ප‍්‍රශ්නවලට මුහුණදුන්න ජනකොටස්. තමන්ගේ අත්දැකීම් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ රඟහල පවත්වාගෙන යන්නේ එක මනුස්සයෙක්. ඔහු එය කරන්නේ පොඩි මනෝ චිතිත්සාවක් විදියට. ඔහු කියන්නේ මොනවා වුණත්, ඔවුන්ට ආධාර ලබාදෙන අය ඉන්නවා. විවිධාකාර පෞද්ගලික සමාගම්වලින්, සංවිධානවලින් හා රජයෙන් විවිධ දීමනා දෙනවා. ඔවුන් නාට්‍යයක් පෙන්වලා, එදිනෙදා වියදම් ආවරණය කරගෙන සතුටින් ඉන්නවා. ඒ රජයන් පවා එවැනි කලාවක් පැවතිය යුතු බව විශ්වාස කරනවා. ඒ නිසා තමයි සහයෝගය දෙන්නේ.


ලංකාවේත් හැම ආණ්ඩුවක්ම කලාවේ පැවැත්මට වැඩ කරන බව පොරොන්දු වෙනවා නේද?


අපේ නාට්‍යකරුවන්ගේ ප‍්‍රකාශන අයිතිය රැුකගැනීම ගැන කවුරුත් හිතන්නේ නැහැ. නාට්‍ය කලාව තියෙන්න ඕනෑ බව කියනවා. ඒත් ඒක අවංක නෑ. ඒක තමයි ප‍්‍රශ්නය. තියෙන්න ඕනෑ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල කරනවා. ඒකේ වටිනාකම ගැන අවබෝධයෙන් කරන්නේ නැහැ. ඇත්තටම නාට්‍ය කලාවෙහි වටිනාකම තේරුම් අරගෙන නැති බව මම හිතනවා. උදාහරණයකට නෙළුම් පොකුණ දිහා බලමු. මම මෙතෙක් කාලයක් වේදිකාවේ හිටපු කෙනෙක්. හැම රාජ්‍ය නාට්‍ය උළෙලේදීම අවසන් වටයේදී මම නාට්‍ය දෙකතුනක රඟපානවා. ඒත් මම තාම නෙළුම් පොකුණේ රඟපාලා නැහැ. එතකොට නෙළුම් පොකුණ රඟහල බිහිවෙනකොට නාට්‍ය කලාව ගැන කීව දේවල් ඇත්තක් නෙවෙයි.


ඔබ ටෙලිනාට්‍යවල හා සිනමාවේ රඟපාන්නේ අඩුවෙන් නේද?


මම ‘ඉගිලෙන මාළුවෝ’ සහ ‘පාංශු’ චිත‍්‍රපටිවල රඟපෑවා. මට එතරම් චිත‍්‍රපටිවලට ආරාධනා ලැබිලා නැහැ. ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. විශේෂයෙන්ම ආනන්ද අබේනායක මට චරිතවලට ආරාධනා කළා. මම හිතන විදියට ඔහු රඟපෑමේ හැකියාව ගැන බලනවා ඇති කියලා. මට ඔහු දුන්නේ එකිනෙකට වෙනස් චරිත. මට අඩු ප‍්‍රමාණයක් වුණත් එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා. ඒවා බලද්දී ඒ චරිතාංගවලට යන්න හැකිවුණ බව දැනෙනවා. කොහොම වුණත් මට චරිතාංගවලට යෑමේ පොඩි පිස්සුවක් තියෙනවා.


මම හැම නිර්මාණයක්ම වගේ ප‍්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි. හැම එකක්ම බාරගන්න කෙනෙකුත් නෙවෙයි. මැද මට්ටමක් තියෙන්න ඕනෑ. මේ සමාජයට ග‍්‍රහණය කරන්න පුළුවන් තැනක නිර්මාණයක් තියෙනවා නම් එවැනි වැඩක් බාරගැනීම වටිනවා. අගතිගාමී අදහස් ප‍්‍රවර්ධනය කරන, හුදු විනෝදයක් විතරක් තියෙන, කිසිම හරයක් නැති වැඩ විතරයි ප‍්‍රතික්ෂේප කරන්නේ.


එහෙත් ලංකාවේ ඉන්න ඇතැම් ප‍්‍රවීණ නළුනිළියන් කැමරා ඉදිරියේ බොළඳ විහිළුකාරයන්ට අඳින අවස්ථා බොහොමයි..


ඔවුන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියන එක ප‍්‍රශ්නයක්. අද ඔවුන් නිර්මාණ කලාව වෙනුවෙන් තමන් වැඩ කරනවා වෙනුවට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණවල ඉන්නවා. ප‍්‍රමිතියෙන් යුතු කලාවක් බිහි කරගැනීම අපේ වගකීමක්. තමන්ගේ දැක්ම වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනෑ. නිර්මාණකරුවෙකුට වැදගත්ම දෙයක් තමයි අවංක වීම. යම් නිර්මාණයක් හොඳ එකක් බව විශ්වාස කරමින් ඒකේ රඟපානවා නම් කමක් නැහැ. එහෙත් අහවල් නිර්මාණය බාල එකක්, බොළඳ එකක්, ප‍්‍රතිගාමී එකක් බව කියමින් ඒකේම රඟපානවා නම් අවංක නැහැ.


ඔබ චරිතාංගවලට යන බව කීවා. ඒ ගැන පැහැදිලි කළොත්..


ලෝකයේ රඟපෑමේ විදි දෙකක් තියෙනවා. එකක් තමයි චරිතයෙහි ස්වභාවය තියෙන රංගන ශිල්පීන්ව තෝරාගැනීම. අනෙක් එක තමයි දක්ෂ රංගන ශිල්පියෙක්ව තෝරාගෙන චරිතයට ගැළපෙන හැසිරීම් ගොඩනැගීම. මම විශ්වාස කරන්නේ දෙවැනි ක‍්‍රමය. මම හිතන්නේ දක්ෂ නළුවෙක් කියන්නේ චරිතයට ගැළපෙන විදියට තමන්ගේ සම්පූර්ණ ශරීරයම වෙනස් කරගන්න පුළුවන් කෙනෙක් බව. ඒක මම අධ්‍යයනය කරන දෙයක්.


මම යථාර්ථවාදීව රඟපාන කෙනෙක්. එතකොට කෙනෙක් විමසාවි ශෛලිගත නිර්මාණයක් යථාර්ථවාදී නැද්ද කියලා. ඒකත් යථාර්ථවාදීයි. හොඳම උදාහරණය තමයි මම රඟපෑ තොප්පි වෙළෙන්දා නාට්‍යයේ වඳුරාගේ චරිතය. මම හැමතිස්සේම උත්සාහ කළේ ඇත්තටම වඳුරෙක් පවතින්නේ කොහොමද, එයාගේ තියෙන හැසිරීම මොකක්ද කියන එක හොයන්න. ඒක චරිතයට ගේන්න. ඒ චරිතයට ශෛලියක් තියෙන බව ඇත්ත. හැඩයක් නිර්මාණය කර තිබෙන බව ඇත්ත. මට මම හොයාගත්තේ ඒ චරිතයට තිබෙන ශෛලිය හා හැඩය තමයි යථාර්ථය පෙන්වන විදිය කියන එක. ඒ වඳුරා එහෙමයි. මට මනමේ හෝ සිංහබාහු බලද්දීත් පේන්නේ ඒ යථාර්ථවාදය. ගල්ලෙන බිඳලා සිංදුව කියනකොට ඒ මොහොතේ එන්නේ සිංහයාගේ ප‍්‍රකාශනය. ඒ හැඟීම යථාර්ථවාදීයි. රංගන ශිල්පියාට එය ඇත්තක් වන තරමට පේ‍්‍රක්ෂකයාට ඒක ඇත්තක් විදියට දැනෙනවා. අවසාන වතාවට මම රඟපෑව ගිනි ගිනි මාලේ නාට්‍යය කරද්දීත් මම නිතරම අධ්‍යක්ෂවරයා එක්ක කතාකළා. ඒ දෙබස් ගැන නැවත නැවතත් ඇහුවා. මොකද මම කරන චරිතය මට දැනෙන්න ඕනෑ. නැත්නම් මම දන්නවා මගෙන් බොරුවක් සිද්ධවෙන බව. ඒක පේ‍්‍රක්ෂකයන්ට පිළිගන්න බැරි බව. මම හිතන්නේ යථාර්ථවාදී රංගනය තමන්ට හැමවිටම දැනෙන්න ඕනෑ. මට ඒක දැනෙන මොහොත තමයි යථාර්ථය උපදින තැන.