බෙලිහුල්ඔය කපුගොල්ල මාර්ගයේ සමනල වැව වේල්ල පාමුල අපි නැවතුණෙමු. එහි දිය කාන්දුව වේල්ල පාමුල කුඩා ජලාශයක් සකස්කරගන තිබේ. ඉන් උතුරායන ජලය හරස්කර වලවේ ගඟට මුදාහැරීමට වෙනත් විකල්පයක් සොබාදහම විසින් ඉතිරිකර නැත. අපි එම දිය පහරට උඩින් තැනූ පාලමේ සිමෙන්ති තට්ටුව මත වාඩි වුණෙමු.

‘මම කලකිරිලා ඉන්නේ’ ඔහු කියයි. මේ අනුර සේනානායකලා මහින්ද බාලසූරියලා වික්ටර් පෙරේරලා සිටි පොලීසියේම නිලධාරියෙකි. එහෙත් ඔහු සිටින්නේ තමන්ට කියන්න ඇති වෙනස් කතාවක් අප ඉදිරියේ දිගහරින්නට සූදානමින්ය. මේ කතාව බොහෝ පොලිස් නිලධාරීන්ට කියන්නට ඇති කතාවකි. ඔහු තමන්ට හිමි උසස්වීම් නොලද නිලධාරියෙකි. තමන්ට හිමි ඇගයීම නොලද නිලධාරියෙකි.
පසුගිය සමයේ ඔහුගේ මෙහෙයවීම මත කළ වැටලීමකින් පසු විනාශවීමට තිබූ ජීවිත සිය ගණනක් මරණයෙන් ගලවා ගැනීමට හැකි විය. ඔහුට ලැබුණු දිරි දීමනාව රුපියල් 25,000ක් පමණි. ඔහු සමග සිටි නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ වුවත් එම කිසිදු නිලධාරියෙකුට එම උසස් වීම් ලැබුණේ නැත. ඒ වෙනුවට ඔහුට තම සේවා කාලය තුළ තවත් සේවා මාරුවකට මුහුණදෙන්නට සිදුව ඇත.

‘මිනිස්සු පොලිසියට බනිනවා. එකේ දෙපැත්තක් තියෙනවා. බනින එක සාධාරණයි. ඒත් අගය කළයුතු තැන්වල අගය කිරීම් නැහැ. පොලීසියෙන් ජීවිත බේරාගත්ත අවස්ථා ඕනෑ තරම් ඇති. ඒ වගේ සිද්ධි පත්තරවල යන්නේ් කලාතුරකින්. නමුත් පොලිසිවල සිද්ධවෙන සමහර දේවල් පොල්ගෙඩි අකුරෙන් මාධ්‍යවල යනවා. ඇත්තටම සිද්ධවෙන අපරාධ සිද්ධිවලින් වැහිලා යනවා. පොලීසියට අපරාධයක් ගැන පැමිණිලි කරන්න ආපු පළවෙනි මොහෙතෙම ඒක වසංවෙන අවස්ථා තියෙනවා.’ ඔහු කතාව පටන්ගනියි. වලවේ ගෙඟ් ජලය ගලා යනු පහළින් පෙනෙයි. ඔහුගේ වචන ගලායන්නට පටන්ගනියි. ඒ කතා තුළ ඇත්තේ අත්දැකීම්ය. ඒ අත්දැකීම් ඔහුගේ පීඩනය පිට කරන්නේය.

වාකරේ
‘අවුරුදු 14ක් මම කි‍‍්‍රයාන්විත රාජකාරියේ හිටියා. වාකරේ හිටපු කාලේ භයානකම කාලයක්. ඒ කාලේ වාකරේ පොලිසියට ගැහුවා. සමහරක් අය මැරුණා. මගේ පිටටත් එදා මෝටාර් කැලි වැදුණා. එදා පැනලා එනවා ඇරෙන්න කරන්න දෙයක් තිබුණේ නැහැ. මම එදා කකුල වෙන්වුණු නිලධාරියෙක් කරට අරගෙන තවත් වෙඩි වැදුණු අයෙක් වත්තම් කරගෙන කි‍ලෝමීටර් 3ක් විතර කැලෙන් ඇවිත් වාකරේ කෑම්ප් එකට ආවා. මං ගෙනාපු දෙන්නම බේරුණා. ඒත් එදා වාකරේ පොලිසියේ තුවාල වෙලා වැටිලා හිටපු මිනිසුන්ටත් වෙඩි තියලා මරලා තිබුණා. මට මතක අර දෙන්නාවත් අරගෙන කැම්ප් එකේ වැට ගාවට එනකන් විතරයි.’ ඔහු වේදනාව මැද කතාව එලෙස පටන්ගත්තේය. මේ කතාබහ පත්තරේට ලියන්නට නොව ඔහුගේ පීඩනය පිටකිරීම පිණිස සිදුවූ කතාබහකි. ඒ නිසා කතාවල පිළිවෙලක් නැත. කතාන්දර කිහිපයක් ඇත.

බොහෝවිට ඉහළ නිලධාරීන්ට ගෞරවය දිනාදෙන්නට ඔවුන්ගේ මෙහෙයුම්වල ඔහු මුල් තැන ගෙන ඇත.

‘මම ටික කාලයක් සිල් ගත්තා. එක දවසක් සී.අයි මහත්තයා මට කතා කරලා කිව්වා හෙට වැටලීමක් තියෙනවා යන්න එනවා කියලා. ඒ වෙලාවේ මම කිව්වා. සර් මම හෙට සිල් ගන්න දවසනේ කියලා. එතකොට සීඅයි මහත්තයා කියනවා යකෝ අපි සිල්ගත්තට අපරාධකාරයෝ සිල් ගන්නෙත් නෑ. උඹලා වගේ දෙන්නෙක් වත් නැතිව මේ රේඞ්එක කරන්න බෑ. සිල් ගැනිල්ල පස්සේ කරමු. හෙට යමු කියලා. රේඞ් එක කළා. ඒකෙදී වැඩියෙන්ම කට්ටක් කරන්න වුණේ මට. ඒත් මට ලැබුණු ගෞරවයක් නැහැ.’

ගෙදරින් පැනයෑම
‘සමහර අත්දැකීම් අපූරුයි. ඛේදජනකයි. ඒවා පොදුවෙ වෙන දේවල්. අපි හිතමු, ගමක ගෑනු දරුවෙක් අතුරුදහන් වෙලා. මව එනවා පැමිණිල්ලක් දාන්නට. පැමිණිල්ල ලියා ගන්න නිලධාරියා මොකද කරන්නේ, උඩින්ම ඒකට මාතෘකාවක් දානවා. දුව ගෙදරින් පැනයාම කියලා. දරුවාට අපරාධයක් වෙලා නම් ඒක එතැනින්ම වසන් වෙනවා. මම කිව්වෙ ඒකයි. සමහර අපරාධ පළවැනි මොහොතෙම වසන් වෙනවා.

බිරිදක් සැමියෙකුගෙන් ගුටිකාලා අතපය කඩාගන පොලීසියට ආවා කියමු. ඒකට දාන්නේ අඹුසැමියන් අතර සුළු ආරවුලක් කියලා. පැමිණිල්ලක් ලියන කෙනාට ඒ පැමිණිල්ල ගෙනියන්නෙ කොහාටද කියලා තීරණය කරන්න පුළුවන්. මේ සමාජයේ කීයෙන් කීදෙනාද පොලීසියෙන් ප‍‍්‍රශ්න අහන්නේ. ඒ ඇහුවත් පොලිස් නිලධාරියා අනෙක් පැත්තට කියන්නේ පැමිණිල්ල ලියන හැටි මට උගන්වන්න එපා කියලා.

අපි හිතමු යම් අපරාධකාරයෙක් පොලීසියට ගෙනාවා කියලා. ඊට පස්සේ මේ මිනිහාගේ බිරිඳ පොලීසියට එනවා ඇප ගන්න හරි උසාවි දාන දිනය අහගන්න හරි. බිරිඳ තරුණ ලස්සන ඇහැට කණට පේන ගෑනියෙක් නම් අනිවාර්යෙන්ම අර සිද්ධියට අදාල සැකකාරයා අපරාධයට සම්බන්ධ නැතත් හිරේ යනවා. ඊට පස්සේ ඒ කාන්තාවට උදවු කරන්නේ අපරාධ අංශයේ ඕ.අයි.සී නැත්නම් තවත් අය. කෙහෙල් කැන කපන මිනිහා කුඩු මුදලාලි වෙලා කුඩු මුදලාලි දානපති සත්ගුණවත් උපාසක වෙනවා. මේවා පොලිස් ස්ථානවල එදිනෙදා සිදුවීම්.’
පොලිස් ස්ථානවලදී පුද්ගලයන්ට පහරදීම් එදිනෙදා දේවල්ය. තමන්ගේ පෞද්ගලික ජීවිතවල පීඩනය පිට කරගන්නට පුද්ගලයන්ට පහරදෙන අයත් සිටින්නෝය. මේ පොලිස් නිලධාරියා පහරදීමට විරුද්ධය. එහෙත් පහරදීම පිළිබඳ ඔහුටත් පහරදීම ගැන පැරණි ආකල්පවලින් මිදීමට නොහැකි වී ඇත.

‘‘මිනිහෙක් ගෙනල්ලා ඇඟ අතපය තලලා අපරාධයක් එළිදරව් කරගන්න බෑ. ඕනනම් යම් අපරාධයක් අහක යන මිනිහෙකුගේ ඇඟට පටවන්න පුළුවන්. ඇත්තම කියනවා නම් මිනිස්සු කරන අපරාධ පොලිස් අපරාධයකින් වහන්න බෑ. ඒ ගැන සිද්ධවෙන විමර්ශන වෙන පැත්තකට හරවන්න පුළුවන්. නැත්නම් මේක නවත්තන්න පුළුවන්. ඒත් අපරාධකාරයෙක් කියන්නේ බබෙක් නෙවෙයි. සමහර වෙලාවට එක හින්දම පාරක් දෙකක් ගහන්න වෙනවා. ඒත් යම් අපරාධයක් හෙළිදරව් කරගන්න ඒ වගේ කෙනෙක්ට ගහලා වැඩක් නෑ. මොකද පළපුරුදු අපරාධකාරයෙක්ට පහරකෑම, පොලිසිය, හිරගෙදර, මේ සේරම හුරුපුරුදුයි. ඔහු දන්නවා පොලිසිය ගහනවා නම් එක තැනකදී මේ ගැහිල්ල නවතිනවා කියලා. එතකන් දරාගන්නවා. නමුත් අපරාධය හා ඒ සම්බන්ධ සිද්ධි අධ්‍යයනය කරලා ප‍‍්‍රශ්න කිරීම හෙළිදරව් කරගැනීමේදී වඩාත්ම සාර්ථකයි. එවැනි අවස්ථාවක ඇත්තම කියන තැනකට සැකකාරයෙක් කොටුකරගන්න පුළුවන්. නමුත් එහෙම නැතිව කම්මැලිකමට හිතුවක්කාර තීරණ වගේ දේවලින් නියම අපරාධකරුවන් වසන් වෙලා යනවා. කහවත්තේදී ඒ ඝාතනවලට සම්බන්ධ සැකකාරයන් තුන්දෙනෙක් පැහැරගෙන අතුරුදන් වුණා. නමුත් නියම අපරාධකාරයා. තවත් කාලයක් වසන්වෙලා ජීවිත බිලිගත්තා.’ ඔහු කියයි.

සමනලවැව රක්ෂිතයෙන් ඇසෙන මොනරුන්ගේ හඬ හිස් හා අවිනිශ්චිත බවක් දනවමින් වලවේ නිම්නය දිගේ විසිරෙයි. ඔහුගේ කථාවට මැදින් කඩාවැදීමට මට සිතුණත් එය නොකෙළෙමි.

‘‘පිරිහුණු දේශපාලන කුණු කන්දල් කරගහන්න වෙන්නේ පොලිස් නිලධාරීන්ට. අන්තිමට දේශපාලන කොන්ත‍‍්‍රාත්වල බර එයාලගේ ඇඟට වැටෙනවා. අවසානයට ඒ නිලධාරීන් විතරක් නෙමෙයි. එයාලගේ අඹුදරුවන්ටත් මේ පීඩනය එල්ලවෙනවා. කවදා හරි දේශපාලන අපරාධ කළාම ඒවා ඔළුවට කඩන් වැටෙන එක වලක්වන්න බෑ. නමුත් එහෙම කොන්ත‍‍්‍රාත් බාර ගන්න බෑ කියලා සමහර අයට නිකන් ඉන්නත් බෑ. මොකද ඒ අය උසස්වීම් අරගෙනම තියෙන්නේ දේශපාලන ගැතිකම් කරලා. ඒ පිරිහුණු දේශපාලනය නිසා වංක අවංක නිලධාරීන් හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. ඒගොල්ලෝ බලයට යනවා එනවා. නමුත් නිලධාරීයා සේවය කරනවා. අවසානයේ ඒගොල්ලන්ගේ දේශපාලන එදිරිවාදකම්වලට අපිව කොටුවෙනවා.’’

මේ වෙද්දී ඔහු විසින් කළ මෙහෙයුමක් නිසා ඔහුට මාරුවීම් ලබන්නට සිදුව ඇත.

‘‘මම බරපතළ අපරාධකාරයෙක් අල්ලන්න බලන්ගොඩ ටවුමේ දවස් හතරක් එක දිගට රැුකලා හිටියා. මා එක්ක උදවුවට ආපු නිලධාරියා වැඩක් නෑ කියලා යමු කිය කියා වද කරනවා. සී.අයි මහත්තයා තුන් හතරපාරක් කෝල් කරලා කිව්වා ඕකාව වෙන විදියකට අල්ල ගනිමු දැන් වරෙන් කියලා. එදා මම සීඅයි මහත්තයට කිව්වා. මං මේ අපරාධකාරයා අරගෙන මිසක ආපහු පොලිසියට එන්නේ නැහැ කියලා. හතරවෙනි දවසේ හවස මම අපරාධකාරයාවත් අරගෙන බලංගොඩ පොලිසියට ගියා. ඒ යනකොට මට තිස්සමහාරාමයට ට‍‍්‍රාන්සර් එකක් ඇවිල්ලා. ඒ වෙලාවේ අපරාධ අංශයේ නිලධාරියෙකුට කිවුවා මේ කේස් එක ඔයා කරගෙන ගිය එකක් විදියට කරගෙන යන්න මම ට‍‍්‍රාන්සර් යනවා කියලා’’ ඇතැම් මොහොතක එවැනි කැපකිරීම්වලින් පසුව පුවත්පත්වල වෙනත් පුද්ගලයන්ගේ නම්ගම් සමඟ වීර කතා ලියැවෙන බව ඔහු කියයි.

‘ඉන්වෙස්ටිගේෂන් එකක් කරන එක ලේසි නැහැ. හිතන්න. සම්පූර්ණ දවස් හතරක් එකම තැනක ඉඳගෙන, එකම ඉලක්කය දිහා බලාගෙන ඉන්න එක. එහෙම බලාගෙන ඉන්න මනුස්සයෙක්ට අවසානයේදි කිසිම ලාභයක් ඒකෙන් නැත්නම් ඔය කැපකිරීම නොකළත් එකම වැටුප ලැබෙනවානම්, මේවා අත්හරින්න හිතෙන්නේ නැද්ද.’’

අප චිත‍්‍රපටිවල නරඹා ඇති පොලිස් වීරයන් තමන්ගේ වීරක‍්‍රියා කරන්නේ ප‍්‍රධාන නිළිය සමඟ ගීත ගයලා ගෙදර ප‍්‍රශ්න විසඳීමෙන් පසුව ලැබෙන ඉතිරි වෙලාවේදීය. එහෙත් පොලිස් නිලධාරියෙක් අවංක වුණොත් සැබෑ ජීවිතය අවසාන වෙන්නේ ඛේදවාචකයකින්ය. ඔහුට එවැනි අත්දැකීම් සහිත කතා බොහෝය. වසර තිස්පහක රාජකාරී ජීවිතය තුළ කලකිරීම්ල බිඳවැටීම් බොහෝය. එහෙත් සිය රාජකාරි ජීවිතය තුළ ඔහු සිතන්නේ සමාජය මිනිසුන් වෙනුවෙන් බොහෝ දේ කළ හැකි අවස්ථා පොලිස් නිලධාරියෙකුට තියෙන බවයි. එහෙත් රැුල්ලට ගසායෑම හැර අන් සාර්ථක අනාගතයක් පොලීසියේදී පොලිස් නිලධාරියෙක්ට ලැබෙන්නේ නැත.

අවංක වෙන්නට ගොස් වෙඩි තබා මරා දැමූ ඩග්ලස් නිමල් නම් පොලිස් නිලධාරියාගේ කතාවත් මා සමඟ දැන් කතාකරන පොලිස් නිලධාරියාගේ කතාවත් ඇතුළු කතා බොහොමයක් කියන්නේ එයයි. ඩග්ලස් නිමල්ගේ නම මෙතැන ලිව්වේ එදා ඩග්ලස් මරන්නට සම්බන්ධ වූ අය අද පොලීසියේ ඉහළම පුටුවල සිටින නිසාය. මෙවැනි නිලධාරීන්ගේ දුක්බර කතා අනාගතයේ පොලීසියට එක්වන නිලධාරීන්ට අවංක වීම මහා වරදක්යැයි පෙන්වාදෙන ආදර්ශ කතාන්දර මෙන් පවතිනු ඇත.

 

ධම්මික පියදර්ශන