ජූඞ් ශ‍්‍රීමාල්


අගෝස්තු 19 දා සිට 25 දා දක්වා ලයනල් වෙන්ඞ්ට් රගහලේ පැවැත්වෙන ”අත දුන් වේදිකාව අත නොහැර මට තාම හතලිහයි” වේදිකා නාට්‍ය සංවිධාන කලාවේ හතලිස් වසරක සැමරුම නාට්‍ය උළෙල වෙනුවෙන් එහි කථා නායකයා ජූඞ් ශ‍්‍රීමාල් සමග කළ පිළිසදරකි. රූපවාහිනිය පවා ප‍්‍රචලිත වෙලා නොතිබූ යුගයක චිත‍්‍ර කතා පත්තර අපි පිස්සුවෙන් වගේ කියෙව්වා. ඒ පත්තර අතර ජූඞ් ශ‍්‍රීමාල්ගේ ”ආයෙත් එන්නේ නෑ” අදටත් අපට ආස්වාදනීයයි. ඒ කාලේ පළ වූ අනෙක් චිත‍්‍ර කතා එක්ක ගත්තාම ඒක මාර මොඩර්න් කතාවක්. හැම රූප රාමුවක්ම ඉතා සීරුවට සහ ලස්සනට ඇදලා තිබුණා. මගේ මතකයේ හැටියට එච්චර නීට්එකට චිත‍්‍ර කතා ඇන්ද එකම කෙනා ජූඞ් ශ‍්‍රීමාල්. දැන් මගේ ඉස්සරහ ඉන්නවා ඒ අපූරු චිත‍්‍රවල හා කතාවල නිර්මාණකරුවා වෙච්චි ජූඞ් ශ‍්‍රීමාල්.


”ආයෙත් එන්නේ නෑ, හෙට නගරය මම ඇන්ද කතා. මම ඒ වැඬේට සෑහෙන්න මහන්සි වුණා. සමහර විට එක කොටුවක් අදින්න දවසක් යනවා. චිත‍්‍රකතාවක් ඇඳලා ඉවර වුණාම දරුවෙක් ලැබුණා වගේ ආස්වාදයක් දැනෙන්නේ. ජීවිතේ රසවත්ම කාලේ තමයි චිත‍්‍රකතා ඇන්ද කාලේ. ඒ කාලේ මට විවිධ යාළුවෝ මිත‍්‍රයෝ හම්බවුණා. සූට් කේස් දෙකයි, හෝර්ලික්ස් පෙට්ටි දෙකයි, ලක්ස්පේ‍්‍ර පෙට්ටියකුයි පුරෝලා රසික රසිකාවියෝ එවපු ලියුම් තිබුණා. ඒ ලිපි ගනුදෙනු හරිම ලස්සනයි. මගේ විවාහය යෝජිත විවාහයක්. ප‍්‍රශ්නයක් වෙයි කියලා විවාහයට කලින් දවසක ඒ ඔක්කොම ටික ගිනි තිබ්බා.”

**** **** ****

හැත්තෑව දශකයේ ලංකාවේ නළුවන්ට නිළියන්ට විශාල ජන ආකර්ෂණයක් ලැබෙනවා. ඒ නිසාම බොහෝ තරුණ තරුණියන් නළුවෙක්, නිළියක් වෙන්න සිහින මවනවා. එහෙම අය අතරින් සිහින සැබෑ කරගත්ත අය අද වේදිකාවේ, සිනමාවේ රූපවාහිනියේ අපි දකිනවා. නමුත් සිහිනය සැබෑ කරගන්න බැරි වෙලා දැන් වෙනත් වෘත්තීන්වල යෙදී ඉන්න බොහෝ දෙනෙක් අපට විවිධ තැන්වලදී මුණගැහෙනවා. ජූඞ් ශ‍්‍රීමාල් කියන්නෙත් එහෙම වෙන්න ගිහින් එහෙම නොවුණු කෙනෙක්. ”..

එතකොට කදානේ මැසනද් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ළමා හා නාට්‍ය ආයතනය ජර්මන් සංස්කෘතික ආයතනය හා එක්ව අවුරුදු දහසයත් විසි එකත් අතර ළමයින්ට වැඩමුළුවක් පවත්වලා නාට්‍යයක් කරනවාය කියලා පත්තරේක දැන්වීමක් දැක්කා. මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. එන්න කියලා උත්තරයක් ආවා.


නළු ගැටව් හා ගැටිස්සියෝ සුදර්ශියේ පිරිලා හිටියා. මගේ ස්වරූපය මටම හිතාගන්න බෑ. ඉදිකට්ටක් වගේ කෙට්ටු, මෝල්ගහක් වාගේ උස පෙනුමක් තිබුණේ. මට නම් චාන්ස් එකක් ලැබෙන්නේ නෑ කියලා මම ඒ වෙලාවේ හිතාගත්තා. බෝඞ් එකේ හිටියා ජර්මන් ජාතික නෝබට් ජේ. මයර් මහාචාර්යවරයා ප‍්‍රමුඛ විද්වත් මඬුල්ලක්. මිස්ටර් මයර් මගේ පාදාන්තයේ සිට කේශාන්තය දක්වා බලලා කිව්වා කරපු නාට්‍යයක කොටසක් කරන්න කියලා. මම කරපු කිසිවක් තිබුණේ නෑ. හිතට දහිරිය අරන් දැකපු නාට්‍යක කොටසක් කළා. ඒකම බීපු මනුස්සයෙක් කරන විදිහට කරන්න කිව්වා. මට මතක් වුණා පල්ලියේ මංගල්ලේ දවස්වල බීලා පාරේ කෑගහන මිනිහක්. ඒ මනුස්සයා ආවේශ කරගෙන රගපෑම ඉදිරිපත් කළා. සිංදුවක් කියන්න කිව්වා. මම පල්ලියේ කන්තාරු කණ්ඩායමේ ප‍්‍රධාන ගායකයා. ගීතිකාවක් කිව්වා.


අවසානය වෙනකම්ම හිටියා. ඒත් මාව ගත්තේ නෑ. මම යන්න හැරුණා. ගජසිංහ ආරච්චිගේ ජූඞ් ශ‍්‍රීමාල් ඇලෙක්සැන්ඩර් ද සිල්වා කියලා මට ඇහුණා. ඒ ආපහු හැරුණු ගමන තමයි තාමත් යන්නේ. ඒ වැඩමුළුවෙන් තමයි ශි‍්‍රයන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, චිත‍්‍රා කුමාරි කළුබෝවිල, නෙළුම් කළුබෝවිල වගේ අය ආවේ.


රොබට් ජේ. මයර්ගේ ”අනේ අබ්ලික්” නාට්‍යයේ රගපෑවා. සොමී රත්නායකගේ ”මනස්කෝලා” නාට්‍යයේ රගපෑවා. නළුවෙක් වෙන්න ආසාව තිබුණා. නළුකම මගේ ඇෙග් නොතිබෙන්න ඇති.”

**** **** ****

තමන්ගේ සගයෝ ටික නළුවෝ, නාට්‍යකරුවෝ විදිහට ගමනක් යන්න පටන් ගන්නවා. ජූඞ් ඊටම සම්බන්ධ වෙනත් මාවතක් තෝරා ගන්නවා. එහෙම මාවතක් තෝරාගන්න ඔහුගේ මනසට බලපෑ කරුණුකාරණා ඒ මාවත වගේ ම වෙනස්. වැඩමුළුවේ මුණගැහුණු යාළුවන්වන්ගෙන් වෙන් වෙලා යන්න ජූඞ්ට ලෝබ හිතක් ඇති වීම ඒ හේතුව වෙන්න ඇති. අනෙක් පැත්තෙන් එහෙම දාලා යන්න ලෝබ හිතෙන තරමේ යාළුවෝ ටිකක් තමයි ඔහුට මුණගැහිලා තියෙන්නේ. ‘නාට්‍ය පවත්වාගෙන යද්දී එකිනෙකාට දකින්නේ නැතිව ඉන්න බැරි තරම් එකමුතුකමක් අපි අතර ගොඩනැගෙනවා. ක‍්‍රමයෙන් නාට්‍ය අඩු වෙන්න ගත්තා. මට හිතුණා අපේ යාළුකම් නැතිවෙලා යයි කියලා. ඒ සම්බන්ධතා පවත්වාගන්න නම් නාට්‍ය තියෙන්න ඕනෑ. නාට්‍ය සංවිධානය වෙන්න ඕනෑ. ඒ නිසා මම නාට්‍ය සංවිධානය කරනවා කියන තීරණේට ආවා.

තනියම පාප්ප බාල්දිය එල්ලාගෙන, පෝස්ටර් ගහගෙන, බැනර්, කටවුට් ඇඳගෙන, ඈත පළාත්වල නාට්‍ය සංවිධාන කළා. ගෙවල් ගානේ ගිහින් ටිකට් වික්කා. දවස් ගණන් හරියට නොකා නොබී හිටියා. නමුත් ඉතින් ෂෝ එකට කට්ටිය එකතු වුණාම හරිම සංතෝසයි. ඉතාම කටුක රසවත් ජීවිතයක් ඒක. ජයන්ත චන්ද්‍රසිරිගේ ”සරස්වතී” නාට්‍යය කළා. අපේ ගෲප් එකේ අයමයි ඇට් කළේ. ඊට පස්සේ ජයන්තම ”අත්” කළා, ”මෝරා” කළා. මම නිෂ්පාදනය කළ සොමී රත්නායකගේ ”මනස්කෝලා” නාට්‍යයේ අනෝජා වීරසිංහ, අනුෂ්කා මැදිවක, ශ‍්‍රියානි ෆොන්සේකා, රන්ජිත් සුරංග, ජයසේකර අපෝන්සු, ප‍්‍රසන්න ෆොන්සේකා වගේ අය හිටියා.’ ගෙදරින් පැනලා, තරහවෙලා කොළඹ එන බොහෝ අය පස්සේ කාලේ විශාල ව්‍යාපාරිකයෝ වෙනවා.

නැත්නම් සමාජයේ විශාල චරිත වෙනවා. නමුත් අර නළුවෝ, නිළියෝ වෙන්න කොළඹ ඇවිත් එහෙම නොවුණා වගේම වෙනත් ඉලක්ක සපුරාගන්නත් බැරි වූ අය කොළඹදී අපට මුණගැහෙනවා. සමහර අය හති වැටිලා කොළඹ දාලා යනවා. ජූඞ් ශ‍්‍රීමාල්ට ඒ අත්දැකීමත් අතහැරෙන්නේ නෑ. ”දවසක් තාත්තා පොළෙන් පත්තරයක් ගෙනාවා. ඒක බලලා තාත්තා මගෙන් ඇහුවා ”මේ ගමේ ඉන්නවාද ජූඞ් ශ‍්‍රීමාල් ඇලෙක්සැන්ඩර් ද සිල්වා කියලා කෙනෙක්” කියලා. මම කිව්වා ”ඔව්” කියලා. ”කවුද ඒ” කියලා තාත්තා ඇහුවා.

මම කිව්වා ”මම” කියලා. ”ඒ නම තියෙන තව එකෙක් ඉන්නවාද?” කියලා ඇහුවා. මම කිව්වා ”මම දන්නේ නෑ” කියලා. තාත්තා කිව්වා ”මට හොයාගන්න ඕනේ ඌ කව්ද කියලා.” මම ඇහුවා ”ඇයි?” කියලා. ”ඌ මේ නාට්‍යයක ඉන්නවා කියලා තියෙනවා, උඹ ඉස්කෝලේ යන එකානේ” කියලා කිව්වා. සුනිල් හේමසිරි පෙරේරාගේ ගෙදර කාමරේක ඇඳක් රුපියල් 25යි. මම නාට්‍ය කණ්ඩායමේ ධනසිරි වතුගෙදර එක්ක හවුලේ ඇඳක් අරගත්තා. නමුත් දොළහයි පනහ ගෙවාගන්න බැරි වෙලා එළියට වැටුණා. ඉන්න තැනක් නැතිව තැන් තැන්වල සති තුනක විතර ගෙවුණා.” හිතාගෙන ආවේ කවදා හරි ගෙදර යන්නේ දියුණු වෙලා කියලා. ඒක එහෙමම වුණේ නෑ. ආයේ ගෙදර ගියා. ගෙදර සල්ලිත් නාට්‍යවලට වියදම් වුණා.” නමුත් ජූඞ් ශ‍්‍රීමාල් නාට්‍ය කලාවේ පැවැත්මට කරන මැදිහත් වීම සුළු කොට තකන්න අපට බෑ. අද වෙනකොට නාට්‍ය පවත්වාගෙන යාමේ ක‍්‍රමවේදයක් ඔහු ගොඩනගලා තියෙනවා. එහි ගෞරවය ජූඞ් ශ‍්‍රීමාල්ට හිමි වෙන්න අවශ්‍යයි.

ජූඞ්ගේ මුහුණ තරමක් වෙහෙසකර පාටයි. ඔහු නාට්‍ය කලාව වෙනුවෙන් කළ මැදිහත්වීමේ තරම ඒ වෙහෙසකර මුහුණ අපට කියාපානවා. අඩුපාඩු හදාගැනීම අනාගතයට භාර කරලා ”මගේ වැඬේ මම කළා” කියලා විවෘත මනසකින් ඔහු මා දිහා බලාගෙන ඉන්නවා. ”ඉස්සර එක එක්කෙනා තම තමන්ට පුළුවන් උපරිමයෙන් මේවා කළා. ගොඩාක් වෙලාවට නාට්‍ය නිෂ්පාදනය අධ්‍යක්ෂණය කළේ එකකෙනෙක්. ඒ අය නාට්‍ය හදලා තමන් අදුනන අය අතරේ මේක පවත්වාගෙන යන විදිහක් තමයි තිබුණේ. නමුත් නාට්‍ය සංවිධායකයෙක්ගේ මැදිහත්වීම නාට්‍ය නිෂ්පාදකයෙක්ට, නාට්‍ය අධ්‍යක්ෂකයෙක්ට විශාල පහසුවක් සපයනවා.


වෙදිකා නාට්‍ය කලාව තව සෑහෙන කාලයක් පවතීවි. ඒක අපට දැනෙන මාධ්‍යයක්. නාට්‍යක් ඉවර වුණාම පේ‍්‍රක්ෂකයා, නළුනිළියෝ, අධ්‍යක්ෂවරයා, අනෙක් ශිල්පීන් ඔක්කෝම ඒ වෙලාවේ ඒ උණුසුම බෙදාහදා ගන්නවා. ඒ විදිල්ල පහුවදාටත් අපේ ඔළුවේ රැුෙදනවා. අනේක මාධ්‍යවල එහෙම රැුෙදන්නේ නෑ.”

**** **** ****

එදා සහ අද කාලය විසින් හැම ක්ෂේත‍්‍රයකම ඇති වී තිබෙන කඩා වැටීම ගැන වෙන ක්ෂේත‍්‍රවල ඉන්න ජූඞ්ගේ වයසේ බොහෝ අයට වගේම ජූඞ්ටත් කියවීමක් තිබෙනවා. ඒක එක පැත්තකින් පුද්ගලයෙක්ට, ආයතනයකට ඉලක්ක කරන්න බැරි සංකීර්ණ චෝදනාවක්. අවසානේ ගත්තාම සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෑ කියනවා වගේ දෙයක් ඒ අදහස්වල ගැබ්වෙලා තියෙනවා. ”ජයන්තගේ ‘අත්’ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට ජෝන් ද සිල්වා එකේ පෙන්වන්න, සෙට් එක හෝල් එකට අරන් එනකොටත් හයයි තිහ ෂෝ එකට සෙනග පිරිලා. ඒ වගේ උනන්දු රසික පිරිසක් ඒ දවස්වල හිටියා. අද රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍යයට තේරෙන නාට්‍ය ගැන ලොකු විස්වාසයක් නෑ. ඒ කියන්නේ විනිශ්චය ගැන විස්වාසයක් නෑ.


ඉස්සර විවේචනයක් ගියාම නාට්‍ය රසිකයින්ට ඒක ලොකු උත්තේජනයක් වෙනවා. අද නාට්‍ය විවේචන ලියන අය නැති තරම්. වේදිකාව, සිනමාව, කලාව පිළිබද හරස් සංවාද රටේ තියෙන්න අවශ්‍යයි. ඉස්සර හිටපු නළුවන්ගේ නිළියන්ගේ ජවය අද අයගේ නෑ. දැන් මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යයත්, මානසික සෞඛ්‍යයත්, ඕනෑකමත් පිරිහිලා. ඒ කාලේ නළු නිළියන්ට ටෙලිෆෝන් නෑ. නාට්‍ය දර්ශනයක් අවලංගුු වුණාම මම පුට් සයිකලේ මීගමුවේ ඉදලා අනෝමා, ජැක්සන්, ශ‍්‍රියන්ත, ජයන්ත, වසන්ත ඇතුළු හතලිස් දෙනෙක්ගේ ගෙවල්වලට යන්න ඕනෑ ෂෝ එක අවලංගුයි කියන්න. ලයිටින් තුශාන් හම්බ වෙන්න දෙහිවලට යන්න ඕනෑ. බස්එක රෝහණ විජේවීරගේ හිටපු රියදුරා සේපාලගේ. එයා ඉන්නේ අංගොඩ. ඔය රවුම ගහලා එනකොට පහුවදා වෙනවා. නමුත් කට්ට කාලා ගෙදර ඇවිත් නිදාගත්තත් සනීපයි. යුතුකමක් හරියට ඉටු කළා කියලා පොඩි හැගීමක් තියෙනවා.

අද හැමදේම සරලයි, ලෙහෙසියි, නමුත් ඒ කාලේ අපි අතර තිබුණු හිතවත්කම්, සහෝදරකම් අද අය අතර අඩුයි. ‘අත්’ නාට්‍යය කරනකොට සේපාලගේ බස් එකේ තියෙන්නේ සීට් හතලිස් අටයි. කාස්ට් එක ඉන්නවා හතලිස් අටක්. ලයිට්වලට, මියුසික් බඩුවලට ගියාම ඉතිරි වෙන්නේ සීට් හතළිහයි. එච්.ඒ. (පෙරේරා* බස් එකේ බිම නිදාගන්නේ. කමල් (අද්දරආරච්චි* නෙට් එකක් බාර් එකේ හතර කොණ බැදලා, මැදට පැනලා, පැද්දි පැද්දී නිදා ගන්නවා. මාර එකමුතුකමක්. ශ‍්‍රියන්ත, ජැක්සන්, කමල්, මහේන්ද්‍ර, වසන්ත, සැනට් හරි විනෝදයි. අද කට්ටිය නැග්ගාම සීට් එකක් අල්ලං නිදාගන්නවා. ගෙදර ගැනවත් හිතන්නේ නැති මිනිස්සු සීට් එකක් අල්ලගෙන නිදා ගන්න එක ලොකු දේකුත් නෙමෙයි.


**** **** ****


සොමී රත්නායකගේ ‘මනස්කෝලා’, පරාක‍්‍රම නිරිඇල්ල හා එච්.ඒ. පෙරේරා එක්ව කළ ‘වරෙන්තු’, පරාක‍්‍රම නිරිඇල්ලගේ ‘සෙක්කුව’, ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘වර්ණ’, ‘ගැබ්බර මිනිසා’, ‘කෑම ලෑස්තියි’, ‘මමයි ආණ්ඩුව’, සයිමන් නවගත්තේගමගේ ‘සුදු සහ කළු’, ‘සුභ සහ යස’, ආර්.ආර්. සමරකෝන්ගේ ‘කපුටු බෝ’, ‘කැලණි පාලම’, ‘අහසින් වැටුණු මිනිස්සු’, ‘කකුල් හතරේ ඉලන්දාරියා’, ජෙරොම් ද සිල්වාගේ ‘ආයෙත් එන්නේ නෑ’ (තුෂාන් ඩයස් සමග සම නිෂ්පාදනය*’ හෙන්රි ජයසේනගේ ‘තවත් උදෑසනක්’, ‘කුවේණි’, සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ.’ කීර්ති කේ. රත්නායකගේ ‘මීයෝ නැතිව බෑ’, අජිත් මෙන්ඩිස්ගේ ‘අලූත් හොරෙක් ඕනෑ’, ‘හදන්ඩම බෑ’, උදයසිරි වික‍්‍රමරත්නගේ ‘තුන්සිය හැට එක’‘, රවින්ද්‍ර ආරියරත්නගේ ‘චරිතේ හොරු අරන්’, ‘බල්ලොත් එක්ක බෑ 2’, අකිල සපුමල්ගේ ‘ගුත්තිල කාව්‍ය’ යනාදි වශයෙන් දශක හතරක කාලයක් තුළ ජූඞ් නිෂ්පාදනය කළ නාට්‍ය සංඛ්‍යාව තිහකට අධිකයි. 1979 සිට 2019 දක්වා දශක හතරක කාලයක් නාට්‍ය කලාව වෙනුවෙන් ජූඞ් ශ‍්‍රීමාල් කළ විශාල දායකත්වය සමරන්න ”මට තාම හතලිහයි” නමින් සංවිධානය කර තිබෙන නාට්‍ය උළෙල ගැන ඔහුගේ අදහස මෙහෙමයි.


”නාට්‍ය ජීවිතේට අවුරුදු විසිපහක් වෙද්දී මම කළා ”තුන්කල් දැක්ම” කියලා නාට්‍ය උත්සවයක්. ”මට දැන් පනහයි” කියලා මේ නාට්‍ය උළෙල කරන්නයි මම හිටියේ. නමුත් බලාගෙන ගියාම අපිට ආදරේ කරන, අපි ආදරේ කරන එක එක්කෙනා මේවා දාලා යනවා. තව අවුරුදු දහයක් විතර යද්දි අපි දන්න කියන අය නැති වෙන්න පුළුවන්. සමහර විට මමත් නැති වෙන්න පුළුවන්. අවුරුදු දහයකට කලින් ”මට තාම හතලිහයි” කියලා මේක කරන්න හිතුවේ ඒ නිසායි.
ඒ කාලේ අපි විදපු හොද නාට්‍ය අද පරපුරටත් දෙන්න තමයි මම මේ නාට්‍ය උළෙලේදී උත්සාහ කරන්නේ. මගේ උත්සාහය සාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ දෙකම බාර ගන්න මම ලෑස්තියි. මම හිතනවා මමත් යමක් කරලා ඇති කියලා.”


ප‍්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර