මරණ දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි සැප්තැම්බර් 08 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස කතානායකවරයා  නියෝගයක් කළද,     නිතීපතිවරයා ලබා දුන්  උපදෙස් පිළිපදිමින් ඒ මහතා පාර්ලිමේන්තුවට රැගෙන එන්නේ නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක අනිද්දාට පැවසීය.

ප්‍රේමලාල් ජයසේකර මහතාගේ මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී අධිකරණ අමාත්‍යාංශය නීතිපතිවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහුට  දිවුරුම් දීමේ හැකියාවක් ඇතිදැයි විමසු බවත් ඒ පිළිබඳ නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මත මෙම තීරණය ගත් බවත් ඒකනායක මහතා පැවසීය.

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි බව, නීතිපතිවරයා සිය මතය දක්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට සහ අධිකරණ අමාත්‍යාංශයට අගෝස්තු 31 වන දින දන්වා යවා තිබුණි.■