කෙටි කතාව හා කවිය අතර ඇත්තේ ඉතා සමීප සබැඳියාවකි. කවිය මෙන්ම කෙටි කතාව තුළ ද බහු අරුත් හා ප්‍රබල යටි අරුත් සම්පාදනය කළ හැකි ය. සංඥා, සංකේත හා රූපක කැවීමෙන් විස්මය දනවන අර්ථාලෝකයක් ජනනය කළ හැකි ය. මේ බව මනාව ප්‍රකට කෙරෙන කෙටි කතා අටකින් පොහොසත් ග්‍රන්ථයකි, සුමුදු නිරාගි සෙනෙවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්’.
මෙහි කෙටි කතා අතරින් වඩාත්ම මගේ සිතට ඇලු‍ණේ ‘පෙතියා’ නම් කෙටි කතාව ය. එයට හේතුව ගමක ඉපදී හැදී වැඩී පසුකාලීනව නගරයට සේන්දු වීමෙන් ලත් අත්දැකීම් මත මේ කෙටි කතාවට වන මගේ පෞද්ගලික ආසක්ත වීම විය හැකි ය. එසේ වුව ද, එය ලිවීමෙහි ද කතුවරිය දක්වන සූක්ෂ්මබව හා බුහුටිබව සුළු‍පටු නොවන බව කිව යුතු ය. මේ කතාව අප කියවන්නේ පෙතියාගේ දෑසින් දකින්නක් ලෙස ය. කතුවරිය මත්ස්‍යයකුගේ දෑසින් පෙන්වන කතාව තුළ අපිද මත්ස්‍යයන් බවට පත් වෙමු. මේ මත්ස්‍යයා දකින්නේ අතීත ගමකි. එහි වෙසෙන මිනිසුන් ය. ඔවුනගේ දුක්කම්කටොලු‍ ය. ඔවුන්ගේ ජීවන රටාව ය. අනෙකුත් මත්ස්‍යයන්ට සිදුවන විපත් ය. කාලගුණය හා පරිසරය ගම මිනිසුන්ගේ මෙන් ම මත්ස්‍යයන්ගේ ද ජීවිතවලට තීරණාත්මක වන අයුරු ය. මිනිසුන්ගේ කරක්ගෙඩියට ද, කොක් තුඩකට ද මායිම් වූ නමුත් පෙතියා මෙහි දී විඳින නිදහසෙහි පරාසය විසල් ය. අනතුරුව නගරයේ නිවසක පොකුණකට සීමා වීමට පෙතියාට සිදු වේ. හිතු හිතූ පරිදි කන්නට බොන්නට පුරුදුව සිටින පෙතියාට සලාක ක්‍රමයකට ලැබෙන අහර නුපුරුදු ය. මෙහි දී ද කතුවරිය මත්ස්‍යයාගේ හා එම නිවැසියන්ගේ ජීවිත එකිනෙකට සමපාත කරයි. එයින් සූක්ෂ්ම ලෙස අර්ථප්‍රභාවක් දල්වයි.
‘මං දැං දවස් ගාණකින් ගෙයිං එළියට බැස්සෙ නෑ’යි කියමින් ඩිනර් අවුට් යාමට නොහැකි වීමෙන් කනස්සල්ලට පත් වෙන ඒ ගෙහි වෙසෙන කාන්තාව මත්ස්‍යයා අරබයා, ‘ඌට කෑම එපානං අපට මොකෝ. මඩ වතුරෙ හිටිය එකාට මෙච්චර මේ පොන්ඞ් එකක් හොඳ වැඩියි’යි කියන්නී ය. එසේ ම ගෙහිමියා පොකුණේ ස්වාභාවික පෙනුමක් ඇති කරන්නට වැවෙන් පෙතියා ඇතුළු මාළුන් අල්වා ගෙන එන්නේ ය. ඔහු පොකුණ අසල මදිපාඩුවට සිටුවන්නේ මැටි කොකුන් ජෝඩුවකි. කතුවරිය, මෙසේ සියුම් උත්ප්‍රාසයකින් යුතු ව අපගේ වත්මන් ජීවිතය හා ජීවන රටාව පිළිබඳ වන නිද්‍රෝපගත මනැස් ඇසක් අවදි කරන්නට යත්න දරන්නීය. කතාව අවසාන වන්නේ පෙතියා කරණමක් ගැසීමට දරන උත්සාහයෙනි. පෙතියා වැවෙහි කරණම් ගසා පුරුද්දට පොකුණෙහි ද එසේ කරණම් ගසන්නට ගොස් වේදනාවට පත් වන්නේ ය.
‘රාමු දෙකක කතාවක්’ යන කතාව ද වෙනස්ම අත්දැකීමක් පාඨකයා තුළ ඇති කරන්නකි. පෙර කී ලෙසම විවධ දෘෂ්ටි කෝණ හා දෘෂ්ටි පථ හරහා පාඨකයා වෙත කතාව ඉදිරිපත් කිරීමට කතුවරිය උත්සාහ දරන්නීය. මෙහි දී යථාර්ථමය හා මායාමය යථාර්ථ ප්‍රවේශයක් ඔස්සේ එකම කතාව අපට කියැවීමට හැකි වේ. විශේෂාංග ලිපියක් ලිවීමට ප්‍රස්තුතයක් සොයා යන මාධ්‍යවේදියකුට පුරන් අප්පු වෙනුවෙන් තනන ලද ස්මාරකයක් පිළිබඳව වන පුවතක් අසන්නට ලැබේ. මෙම විස්තරය ඔහුට පවසනු ලබන්නේ ජීව නැමැති පුරාවිද්‍යා නිලධරයකු විසිනි. මහාමාර්ගය තැනීමේ දී අත්වැරදීමකින් ඉවත් කරනු ලබන පුරන් අප්පු සිහිවටනය නැවත ස්ථාපිත කරනු ලබන්නේ මුස්ලිම් ජාතිකයකුගේ භූමියක ය. ඒ ඒ සඳහා වෙනකකු ඉදිරිපත් නොවීම නිසා ය. ඉන් පසු අප එම මාධ්‍යවේදියාගේ අත්දැකීම යම් අධියථාර්ථමය ලෙසකින් විඳින්නෙමු. මෙය එක්තරා ආකායකින් වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳව වන යථාවක් පිළිබිඹු කරයි. අත්දැකීම විඳීම පුද්ගලාබද්ධ වන ආකාරයත් අත්දැකීමක් පිළිබඳ නිරපේක්ෂ විඳීමක් තිබිය නොහැකි බවත් මින් පාඨකයාට සංවේදනය කරයි. මෙහි දී පුරන් අප්පු ස්මාරකය සිටුවා ඇති මුස්ලිම් ජාතිකයාගේ ඉඩමෙන් ගැලවී සිංහලයෙකුගේ වත්තට ඇවිද ගොස් ඇතැයි යම් අයෙකු මාධ්‍යවේදියාට පවසමින් කතාව අවසන් වේ. කෙනෙකුට තමන් අත්දකින යථාර්ථය පාක්ෂිකත්වයට, විශ්වාසයන්ට හා ඇබ්බැහිවීම්වලට කොතම් දුරට සාපේක්ෂ වන්නේදැයි මෙයින් ප්‍රකට වේ.
‘අග්නි ප්‍රේත වස්තුව’ ද පාඨකයා ඉතා සැලැකිල්ලෙන් යුතුව කියැවිය යුතු කතාවකි. මන්දයත්, මෙහි දී ද පාඨකයා ඉතා සූක්ෂ්මව කතා අර්ථය සොයා ගත යුතු බැවිනි. මෙම ග්‍රන්ථය තුළ සමස්තයක් වශයෙන් මෙම තේරවිල්ලක් බඳු ස්වභාවයක් අන්තර්ගතව ඇත. එනම් රස වින්දනය තල කිහිපයකින් යුතු වීම ය. උඩින් පල්ලෙන් කියැවූ විටක සාමාන්‍ය කතා ලෙස හෝ වැදගැම්මකට නැති කතා ලෙස වුව ද මෙම කෙටි කතා පෙනී යා හැකි ය. බැවින් මෙම කතා කියැවීම ඉතාම සාවධානයෙන් හා සූක්ෂ්මව කළ යුතු යැයි පැවසිය යුතුම ය. එහෙයිනි, මෙම කෙටි කතා කවි වැනි යැයි මා හට හැඟෙන්නේ.
‘අග්නි ප්‍රේත වස්තුව’ තුළ පාඨකයා ගවේෂකයෙකු බවට පත් කර ඇත්තේ ය. පළමුව, ගුණේරිස් උපාසක, රංකිරා උන්දෑ, බංඩා මාමාගෙන් පුල්ලෙයාර් පිළිමයේ අතීත කතාව අසන අතර තුර පච්චා සෝමේගේ ඉරියව් නිරීක්ෂණය කරමින් තේ කඩය තුළ සිටින්නකු බවට පාඨකයා පත් වේ. ඒ අතර පාඨකයා මේ සියල්ලම සමාලෝචනය කරන්නෙක් වේ. අනතුරු ව රන්කිරා උන්දෑගේ සිතුවිලි අතරට පාඨකයා ඇදී යයි. සීහලවත්ථුවෙහි වන අග්නි ප්‍රේතයා සජීවීව පාඨකයාට අභිමුඛ කරයි. ආගම හා ජීවිතය අතර ඇති අන්‍යෝන්‍ය බලපෑම නිරූපණය කරයි. පච්චසෝමේ, රංකිරා උන්දෑ, ඕර්සියෙල්කාරයා, හාමුදුරුවන් ඇතුළු මේ සියල්ලන්ම ආගම හා භක්තිය තම තම ආකාරයට අර්ථ නිරූපණය කර ගත්තවුන් ය. පච්චසෝමේගේ කොටි පච්චය පුළුස්සා දැමූ කළ ඔහු දුර්වලයෙකි. මේ සියල්ලෝම යම් විශ්වාසයක් හෝ භක්තියක් පිළිසරණ කර ගත් අය වෙති. එසේ ම ජීවිතාශාවේ හා තණ්හාවේ මහා භාරයක් උසුලා සිටින්නෝ ය.
ගිහින් එන්න කානිවල් යන්න කානිවල් හිම කිරම හල පදනම් කර ගෙන ලියැවෙන්නකි. අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දින අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන කථික තරගයක දී කථාවක් ඉදිරිපත් කිරීමට කොළඹට එන සිසුවකුට වර්තමානයේ මුස්ලිම් ජාතිකයකු සතුව පවතින අනගාරික ධර්මපාල තුමාගේ නිවෙසෙහි පවත්වාගෙන යන අයිස්ක්‍රීම්හලෙන් විවිධ රස අයිස්ක්‍රීම් කන්නට ලැබෙයි. මෙම සිදුවීමෙහි ඇති උත්ප්‍රාසය කොතරම් ද? සංස්කෘතික මුසුව තුළ දියවී යන අප සංස්කෘතිය හා ජාතිකත්වය පිළිබඳ විග්‍රහයකි ඒ. වර්ල්ඞ් ටේ්‍රඞ් සෙන්ටර් ගොඩනැගිලි අතර සිටුවා ඇති බණ්ඩාරනායක පිළිමය රුසියාවේ සාදා මෙරටට ගෙනාවකි. එය වත්මන් අර්ථ ක්‍රමය තුළ අහිමි වන දේශීයත්වය සංකේතවත් කිරීමකි.
‘සිලිසිලි – සිරි සිරි’ යන කතාවෙන් පරිභෝජනවාදය මෙරටුන් විලාසිතාවක් ලෙස ආදරයෙන් වැළඳ ගත් ආකාරය නිරූපණය කරයි. අද නීති මගින්වත් භාවිතය නවතන්නට නොහැකි පරිසරයට මහත් තර්ජනයක් වූ සිලි සිලි බෑගය, මෙරටට පැමිණි විට එය විලාසිතාවක් සේ අගයා වැළඳ ගත් ආකාරය මෙයින් කියයි. මින් කතුවරිය පැහැදිලි කරන්නේ විදෙසින් පැමිණෙන අගතිගාමී සියල්ල ද ආදරයෙන් වැළඳ ගන්නා අපේ ස්වභාවය නොවේ ද?’
‘මිදුණා මිදුණා මනාව මිදුණා‘ කතාව ආගම ඇදහීම ද තරගයක් වී ඇති ආකාරය නිසා ජනප්‍රිය ආගමික ස්ථානම සොයා යාමට පෙළඹීමත්, එබඳු ස්ථාන කරා යාම විලාසිතාවක්ව පැවතීමත් නිසා සිදු වන අගතිය පෙන්වයි. ‘කළු පෙට්ටිය’ කෙටි කතාව තුළ කියැවෙන්නේ මිනිසෙකු තුළ පවතින රහසිගත ජීවිතයයි. කළු පෙට්ටිය තුළ දමා සුරක්ෂිත කරන කිසිවෙකුට නොපෙන්වන මේ රහස් රූපය අනෙක් අයට හෙළිදරව් කරන රුවට කෙතරම් පරස්පර ද යන්නයි. පුද්ගලයෙකු සතු මේ දෙබිඩිබව සදාචාරවත් පුද්ගලයාගේ නෛසර්ගි ක ගුණයක් බවයි. ‘ගඩුව’ කෙටිකතාව ආර්ථිකය මත තීරණය වන මනුෂ්‍ය සබඳතා පිළිබඳ ව විතාළ යි. මිය ගිය සැමියාගේ විශ්‍රාම වැටුප නො ලැබී යන හෙයින් විවාහය යන නෛතික රාමුවට ඇතුළත් වීමට අකැමැති ස්ත්‍රියක් එහි වෙයි. එහි දී සමාජයේ තමන්ට වන නිගරුවට වඩා ආර්ථිකමය අලාභයට ඇය වැඩි භාරයක් දෙයි. එසේ ම එබඳු ස්ත්‍රියක සමඟ සහවාසයෙන් සිටින බව රහසක් ව තබා ගන්නා රාජ්‍ය සේවකයෙක් එහි සිටී. මධ්‍යම පන්තිකයාට සමාජ තත්වය හා ආර්ථික තත්වය අතර ගැටුමට මැදිව මුහුණ දීමට සිදුවන අර්බුදය එයින් පෙනේ. එම ‘ගඩුව‘ අබ සාත්තුවකින් සුව කළ නොහැක්කකි.
මෙසේ මෙම ග්‍රන්ථය සමස්තයක් වයෙන් තේමාත්මක පොහොසත් බවක් දරයි. වත්මන් සමාජ සංදර්භය විචාරාත්මක දෘෂ්ටියකින් විශ්ලේෂණය කරයි. එසේම විවිධ දෘෂ්ටි කෝණවලින් ප්‍රක්ෂේපණය කරමින් යම් නිරපේක්ෂ හා බුද්ධිගෙ ා්චර යථාවක් වෙත පාඨකයා රැගෙන යයි. එ සේ වුව ද, කතා ගොඩ නැගීම තුළ මෙය ඉතාම සුමට ආකාරකින් සිදු කිරීමට ඇතැම් තැන්හි කතුවරිය සමත් ව නැත. ඇතැම් කතා තව පෝෂණය වූවා නම් යෙහෙකැයි සිතේ. එසේ වී නම් පාඨකයන්ට මෙය මීට වඩා හසුවන්නට තිබිණි. එහෙත්, කතුවරියගේ මෙම තැත පර්යේෂණාත්මක වන අතර අපට හුරු පුරුදු මනස් රාමුවලින් ඔබ්බට ගෙන යාමකි. එයට ඉඩහරින්නන්ට අපූර්ව අත්දැකීමකි.■


■ නර්මදා වික්‍රමආරච්චි