ඔක්තෝබර් 22 වැනිදා සමස්ත ලංකා කුලී රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානය විසින් ස්මාට් ටැක්සි සේවාවන්ට (උබර්, පික් මී ආදි සේවාවන්ට) විරෝධය දක්වමින් පැවැත්වූ උද්ඝෝෂණය පිළිබඳව රටේ කතාබහක් ඇතිවිය.

මේ විරෝධයට පිළිබඳව සාමාන්‍ය ජනතාව කතාකළේ කේන්තියෙනි. එයට හේතු අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ලංකාවේ මෙතෙක් පැවති සියලූ ත‍්‍රීවීල් හා ටැක්සි සේවාවන්ගෙන් අය කළ මිලගණන්වලට වඩා අඩු මිලට සේවා සැපයීම ස්මාට් ටැක්සි සේවා විසින් ආරම්භ කර ඇත. සාමාන්‍ය ජනතාව මේ විරෝධය දැක්කේ ඒ සේවාවන්ට එරෙහිව සිදුකරන ලද විරෝධතාවක් ලෙසය.

අප ඉහත කී සංගමයේ සභාපති චරිත් අත්තනපොලගෙන් උද්ඝෝෂණයෙහි අරමුණ විමසද්දී ඔහු කීවේ මෙම උද්ඝෝෂණය කළේ ස්මාට් ටැක්සි සේවාවන් විසින් රියැදුරන්ගේ ශ‍්‍රමය සූරාකන නිසා එයට එරෙහිව බවයි.

‘පික් මී ආයතනයේ ටැක්සියක් පදින්න නම් ඇතුල්වීමේ ගාස්තුව රුපියල් 24,000ක්. හැම හයර් එකකින්ම 15% ක් කොමිස් විදියට ගන්නවා. දිනකට රුපියල් 100 බැගින් මාසෙට 3000ක් අය කරනවා. මේක ඉතාම අසාධාරණ අය කිරීමක්. උබර් සමාගමට ඇතුළත්වීමේ ගාස්තු නැහැ. ඒත් එයාලා 25%ක කොමිස් මුදලක් අය කරනවා. අනෙක් සමාගම් පවා 15% ඉඳන් 25% දක්වා වෙන කොමිස් මුදලක් ගන්නවා. ස්මාට් තාක්ෂණය ගැන අපට විරෝධයක් නැහැ. අපේ විරෝධය සූරාකෑම ගැන.’

එසේ වුව මෙම උද්ඝෝෂණයට ත‍්‍රීවීල් රියැදුරන් ඇතුළු බොහෝ අය එක්ව සිටි අතර ඔවුන්ගේ අරමුණ ස්මාට් සේවාවන්හි ශ‍්‍රම සූරාකෑමට එරෙහි වීම නොව සම්පූර්ණයෙන්ම ස්මාට් ටැක්සි සේවාවන්ට එරෙහි වීම බව පෙනෙන්නට තිබුණි. මෙය අලූ‍ත් තත්වයක් නොවේ. පික් මී, උබර් වැනි ආයතන ක‍්‍රමයෙන් ලාංකිකයන් අතර ජනප‍්‍රිය වෙන්නට පටන්ගත් පසුව ත‍්‍රීවිලර් සහ ටැක්සි කාර් රියැදුරන් අතර ඇතිවූ පීඩනයක් පුපුරායෑමකි.

මුලින්ම එක් කාරණයක් පැහැදිලි කරගත යුතුය. ලංකාවේ ටැක්සි ( ත‍්‍රීවීලර් සහ මෝටර් රථ ඇතුළුව) රියැදුරන් ප‍්‍රමාණය අවශ්‍යතාව මෙන් කිහිපගුණයක් ඇත. මගීන් සංඛ්‍යාව වැඩි ත‍්‍රීවීල් ප‍්‍රමාණයක් අතර බෙදී යද්දී එක් හයර් එකකින් උපයන ආදායමද වැඩි විය යුතුය. ඒ නිසා ලංකාවේ ත‍්‍රීවීලර් සංස්කෘතිය එක්තරා ආකාරයකට මගීන් සූරාකන සේවාවක්ය යන අදහස සමාජගත වී ඇත.

ස්මාට් ටැක්සි සේවාවලින් ඒ සේවාව විධිමත්, ලාබදායී සහ ආකර්ෂණීය එකක් බවට පත් කරමින් සිටියි. නව ක‍්‍රමය අනුව එක් ගමන් වාරයකින් ලබන ආදායම අඩුය. එහෙත් ස්මාට් ඇප් හරහා එක් ගමන් වාරයක් අවසන් වෙද්දී තවත් මගියෙකු ඇප් එක හරහා පහසුවෙන් සොයාගත හැකිය. එක් මගියෙකුගෙන් අයකරන මුදල අඩු වුවද මගීන් වැඩිපුර ලැබෙන නිසා දවසේ වැඩි කාලසීමාවක් වෘත්තියෙහි යෙදෙන කෙනෙකුට සාධාරණ ආදායමක් ඉපැයිය හැකිය. ලංකාවේ ඕනෑ වෘත්තියක් අඩු තරමේ පැය අටක් වැඩ කිරීමෙන් පසුව සාධාරණ ආදායමක් ඉපැයිය යුතුය. ස්මාට් ටැක්සි සේවාවලට සම්බන්ධ වී සිටින රියැදුරන් කියන අන්දමට පැය අටක් පමණ වෘත්තියෙහි යෙදුණොත් සාධාරණ ආදායමක් ඉපැයීමේ හැකියාවක් ඇත.

උද්ඝෝෂණය කරන ටැක්සි රියැදුරන් අමතක කරන්නේ මෙවැනි ස්මාට් ටැක්සි සමාගම් සහ ටැක්සි රියැදුරන් අතර ඇති සම්බන්ධතාවේ ස්වභාවයයි. මෙවැනි සමාගම් විසින් රියැදුරන්ටත් සපයන්නේ සේවාවකි. සමාගම් විසින් රියැදුරන්ට පාරිභෝගිකයන් සොයා දෙයි. ඒ වෙනුවෙන් සමාගමක් රියැදුරෙකුගෙන් කොමිස් මුදලක් අය කරගනියි. රියැදුරන් වැඩි පිරිසක් සිටින සමාගමකට වැඩි කොමිස් මුදලක් නියම කිරීමට හැකියාවක් ඇත. එවැනි සමාගමකට සම්බන්ධවීමෙන් වැඩි පාරිභෝගිකයන් පිරිසක් සොයාගත හැකි නිසාය.

වෙළෙඳපොළ විවෘතය. ඒ නිසා වෘත්තිකයන් උත්සාහ කළ යුත්තේ දැනට ක‍්‍රියාත්මක වෙන සමාගම්වලට බලපෑම් කිරීම නොව, වෘත්තිකයන්ට වැඩි වටිනාකමක් මෙන්ම මගියාටද අඩු මුදලක් වැයවෙන ස්මාට් ටැක්සි සේවාවක් සකස් කිරීමය. ඒ සඳහා සමාගමක් අවශ්‍ය නොවේ. ඇප් එකක නිර්මාණය කිරීම සහ එය නඩත්තු කිරීම පමණක් ප‍්‍රමාණවත්ය.

ඒ අස්සේ රජය උත්සාහ කරන්නේ මීටර් අනිවාර්ය කිරීමටය. ඉදිරියට පැමිණෙන්නේ ස්මාට් සේවාවන් පැමිණෙන අස්සේ මීටර් ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අත්හැර දැමිය යුතු කාලයකි. ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සේවා සංගමයේ සුනිල් ජයවර්ධන කලෙක පටන් මීටර් ක‍්‍රමයෙහි ඇති අඩුපාඩු පෙන්වාදෙන්නේය. ඔහු මෙසේ කියයි.

‘මම ප‍්‍රසිද්ධියේම කියනවා එක කාරණයක්. මේක ත‍්‍රීවීල් වෘත්තිකයන් හොඳට දන්න දෙයක්. බොහෝ ත‍්‍රීවීල්වල 800ක් යද්දී කිලෝමීටරය වැටෙනවා. තවත් අය මීටර් 900ක් යද්දී කිලෝමීටරය වැටෙනවා. සැක නම් ඔබට ත‍්‍රීවීල් එකක යද්දී ස්මාට් ෆෝන් එකක ගූග්ල් ඇප්වලින් දුර මැනලා බලන්න පුළුවන්. ඒකෙන් මගියාව මංකොල්ලකනවා. ඉන්දියාවෙන් සහ චීනයෙන් ලංකාවට මීටර් ගෙන්වන සමාගම් අටක් විතර තිබෙනවා. ඒත් ඒවා කිසිම ප‍්‍රමිතියකින් යුතු ඒවා නොවෙයි. ෆෝන් එකේ වගේ තමයි. සෙටින්ග්ස් වෙනස් කරන්න පුළුවන්. මම කියන්නෙ ත‍්‍රීවීල් මීටරය ප‍්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන සමඟ සම්බන්ධ විය යුතුයි. ලංකාවේ තරාදි පිළිබඳව පරික්ෂා කරනවා. වසරෙන් වසර පරීක්ෂා කරනවා. ඒත් මේ වෙද්දී ප‍්‍රමිති ආයතනයට ප‍්‍රවාහන ඇමතිවරයා මීටරය සම්බන්ධ ප‍්‍රමිති සහතිකයක් දෙන්න කියලා බාරදීලා තියෙනවා. ඒත් ඒක වෙලා නැහැ.’

ත‍්‍රීවීලරයක සවි කරන මීටරයෙන් දුර මනින්නේ රථයේ රෝදයට සවිකෙරෙන උපාංගයක් හරහාය. රෝදය කැරෙකන දුර අනුව ගමන් කරන දුර මනිනු ලබයි. එහෙත් ස්මාට් ක‍්‍රමය හරහා දුර මනින්නේ වඩා දියුණු ජී.පී.එස්. තාක්ෂණය හරහාය. එයින් වංචා කිරීම අසීරුය. මීටරයක් සහ ස්මාට් තාක්ෂණයට වැයවෙන පිරිවැයේ වෙනසක්ද නැත. ත‍්‍රීවීලරයක සවි කරන මිටරයක මිල රුපියල් 15,000ක් පමණ වෙයි. ත‍්‍රීවීලරයකට මීටරයක් ලෙස ක‍්‍රියාකිරීම සඳහා අවශ්‍ය ධාරිතාවක් ඇති ස්මාට් ජංගම දුරකථනයක් ඊට අඩු මිලකට මිලදී ගත හැකිය. අවශ්‍ය වෙන්නේ ඉහත කී ආකාරයේ ඇප් එකක් නිර්මාණය කිරීම පමණි. අවශ්‍ය නම් අයි.සී.ටී.ඒ. වැනි රජයේ ආයතනයකට මීටර් වෙනුවට ස්මාට් ඇප් එකක් හඳුන්වාදිය හැකිය.

කර්මාන්ත ආරක්ෂා කිරීමේ වුවමනාවක් අප කිසිවෙකුට නැත. එසේ කර්මාන්ත ආරක්ෂා කරන්නට ගියා නම් තවම රික්ෂෝ සේවාව, අශ්ව කරත්ත සේවාවද ආරක්ෂා කරගැනීමට සිදුවෙනු ඇත. මේ වෙද්දී ටැක්සි සේවාවන් දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් තිබෙයි. උදාහරණයක් ලෙස දැන් ස්මාට් ටැක්සි සේවා පාවිච්චි කරන පුද්ගලයන්ද ත‍්‍රීවීලර් වෙනුවට පුංචි කාර් හරහා ගමන් ගන්නට හුරුවෙමින් සිටියි. ත‍්‍රීවීලර් සංස්කෘතිය අවසාන වෙමින් පවතියි. එයට මුහුණදීම හැර මේ උද්ඝෝෂකයන්ට කිසි විකල්පයක් නැත.