ඒ සිදුවීම ගැන විමර්ශන කිසිම ප්‍රගතියක් ලබලා නැහැ. අඩුම තරමේ මධුෂ්කව පැහැරගෙන යනකොට එයා ළඟ හිටපු දෙන්නාගෙන් කටඋත්තරයක් ගැනීමවත් කරලා නැහැ. මට තියෙන ලොකුම කණගාටුව ඒකයි. අඩුම තරමේ ඔහුව අතුරුදන් කරවීමට අදාලව යුක්තියවත් ඉටු නොවීමයි.

මයුරි ඉනෝකා ජයසිංහ දෙදරු මවකි. පසුගිය වසර කිහිපයක් තිස්සේ සැප්තැම්බර් 02 වැනිදා ඇය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හිඳ නිහඬ විරෝධතාවයක් පැවැත්වුවාය. ඒ ඇගේ සැමියා වන මධුෂ්ක ද සිල්වා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්ය. 2019 සැප්තැම්බර් 02 වැනිදාට මධුෂ්කව අතුරුදන් කොට වසර 06ක් සම්පූර්ණ වෙයි. එහෙත් මේ වසරේදී ඇය විරෝධතාවයක් දැක්වීමට බලාපොරොත්තු නොවන බව පවසන්නීය.
ඒ මධුෂ්ක පිළිබඳව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ගැන සෑහීමට පත්වෙන නිසා නොවේ. ලංකාවේ අසංවේදී නායකයන් හා අසංවේදී සමාජය ඇගේ වේදනාවට ඇහුම්කන් නොදෙන නිසාය. ඇගේ විරෝධතා වාර්ෂික කැලැන්ඩරයේ තවත් එක් සිදුවීමකින් එහාට බලපෑමක් ඇති නොකරන බව ඇයට හැඟෙන නිසාය.
සැමියාට යුක්තිය ඉටු කරගැනීමට ගිය ගමනේදී ඇයට මුහුණදෙන්නට සිදුවී ඇති අත්දැකීම් ගැහැණියක කෙසේ දරාගන්නදැයි අනුමාන කළ නොහැකි තරම් වේදනාකාරී ඒවාය. ඔහුගේ සැමියාව අතුරුදන් කළ බවට සැකකරන පොලිස් නිලධාරීන් කිසිදු ප්‍රශ්න කිරීමකට ලක් නොවී නිදැල්ලේ සිටිනු දකින්නට ඇයට සිදුවිය. ඇය සැමියාගේ අතුරුදන්වීම ගැන හඬනඟද්දී 2014 වර්ෂයේ ඇයවද පැහැරගැනීමට ලක්විය. ඇයව පැහැරගත් අය සැමියාගේ අතුරුදන්වීම ගැන හඬනැඟීම නවත්වන ලෙස කියමින් ඇයට තර්ජනය කර තිබුණි. ඉන්පසුව ඒ ගැන පැමිණිලි කරන්නට ඇය පොලීසියට ගියාය. පොලීසියේදී ඇගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන්දීම වෙනුවට කාන්තාවන්ට කළ හැකි පහත්ම අපහාසවලින් ඇයට බැණවැදී තිබුණි. එකල තිබුණේ අතුරුදන් කරවීම එදිනෙදා සංස්කෘතිකාංගයක් වූ සමාජයකි. තමන්ගේ සීමාව ඉක්මවමින් රාජකාරී කළ බව දැන් කයිවාරු ගසන එකල සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරුන් ඇගේත් ඇගේ සැමියාගේත් ආරක්ෂාව තහවුරු කර තිබුණේ ඒ විදියටය. ඒ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ලා තහවුරු කරන්නට අසමත් වූ පුරවැසි ආරක්ෂාව තහවුරු කරන බව කියමින් බලයට ආ නායකයන්ද ඇගේ සැමියා අතුරුදන් කරවීම ගැන යුක්තිය ඉටු කළේ නැත. කිසිදු අතුරුදන් කරවීමක් ගැන යුක්තිය ඉටු කළේ නැත.
මේ ඇයට දැන් කියන්නට ඇති කතාවය.
‘මධුෂ්කව දැන් පැහැරගෙන ගිහින් අවුරුදු 06 ක් වෙනවා. සමහර අය හිතනවා දැන් මම ඒ සිදුවීම අමතක කරලා හරි සතුටින් ඉන්නේ කියලා. කාටවත් තේරෙන්නේ නැහැ තමන්ගේ පවුලේ කෙනෙක්ව පැහැරගෙන ගිහින් එයා ගැන කිසිම තොරතුරක් නැත්නම් තියෙන වේදනාව.
ඒ සිදුවීම ගැන විමර්ශන කිසිම ප්‍රගතියක් ලබලා නැහැ. අඩුම තරමේ මධුෂ්කව පැහැරගෙන යනකොට එයා ළඟ හිටපු දෙන්නාගෙන් කටඋත්තරයක් ගැනීමවත් කරලා නැහැ. මට තියෙන ලොකුම කණගාටුව ඒකයි. අඩුම තරමේ ඔහුව අතුරුදන් කරවීමට අදාලව යුක්තියවත් ඉටු නොවීමයි. නැවතත් ඔහුව අතුරුදන් කරවීමට අදාල නඩුව කැඳවන්නේ ඔක්තෝබර් 01 වැනිදා. මම නඩුවට යන්න බලාපොරොත්තු වෙනවා.
මට දරුවෝ දෙන්නත් එක්ක ජිවත් වෙන්නත් අරගලයක් කරන්න වෙලා තියෙනවා.ඒ අරගලය එක්ක මම බොහෝම අමාරුවෙන් මධුෂ්කව හොයාගැනීමේ අරගලයත් කරනවා. මධුෂ්කව හොයාගන්න එක තමයි මගේ ජිවිතේ පළවෙනිම රාජකාරිය. ඒක මගේ ජීවිතේ කොටසක්. ඒත් දරුවන්ව බලාගැනීමත් මම කරන්න ඕනෑ.


ළමයින්ගේ වැඩයි, මගේ රැකියාවයි එක්ක සමහර වෙලාවට මට නඩුවට යන්න වෙලාවක් හම්බවෙන්නේ නැහැ. මානව හිමිකම් ගැන ස්වෙච්ඡාවෙන් පෙනීසිටින සිවිල් සංවිධාන නියෝජිතයන් ඉන්නවා. මධුෂ්කගේ නඩුව අහන දවස්වල අධිකරණයට යන ඒ වගේ කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් තමයි මම නඩුවේදී සිද්ධවෙච්ච දේවල් දැනගන්නේ. මේ නඩුව වෙනුවෙන් සල්ලි වියදම් කරලා මගේම නීතිඥයෝ හොයාගෙන මට ඕනෑ වේගයෙන් නඩුව ඇදගෙන යන්න මට හැකියාවක් නැහැ.
මධුෂ්කව පැහැරගෙන ගිය වාහනේ නම්බර් එක පවා තියෙනවා. ඒ පැහැර ගෙන යන වෙලාවේ ඒක දැකපු අය ඉන්නවා. ඒවගේ තොරතුරු තියෙද්දිත් පරීක්ෂණ අංශ කිසිම පියවරක් අරගෙන නැහැ. සාක්ෂි තියෙද්දිත් මේක විමර්ශණය වෙන්නේ නැතිව වැළලෙනවා.
අපේ පවුලේ හැමෝම පුදුම විදියට වේදනාව විදිනවා. ළමයි පොඩි කාලේ වගේ නෙවෙයි. දැන් එයාලා ලොකුයි. මගෙන් හැම වෙලාවෙම අහනවා කෝ තාත්තා කියලා. සමහර මිනිස්සු එයාලාට කියලා තියෙනවා ඔයාලාගේ තාත්තා මැරිලා එයා අහසේ ඉන්නේ කියලා. දැන් එයාලා කියන්නේ අපේ තාත්තා අහසේ ඉන්නේ කියලා. මට ලොකු වේදනාවක් දැනෙනවා. ඒ වගේම කණගාටුයි. අද කාලේ පුංචි ගිනිකූරක් වගේ දෙයක් නැති වුනත් කොහොම හරි ඒක හොයා ගන්න පුලුවන්. නමුත් මධුෂ්කගේ සිද්ධියට සාක්ෂි තිබිලාත් ඇයි තවම මධුස්කව හොයාගෙන නැත්තේ කියන එක මට ලොකු ප්‍රශ්ණයක්.
රාජපක්ෂ ආණ්ඩුවෙනුයි, යහපාලන ආණ්ඩුවෙනුයි මධුෂ්කගේ පැහැරගෙන යෑමට කිසිම පිළිතුරක් මට ලබා දුන්නේ නැහැ. ආණ්ඩු දෙකෙන්ම කලේ මධුෂ්කගේ පැහැරගෙන යෑම, අතුරුදහන් කිරීම යටගහපු එක විතරයි. ඇයි මේ ආණ්ඩුවල වගකිවයුත්තෝ මධුෂ්කගේ පැහැරගෙන යෑම ගැන කතා කරන්නේ නැත්තේ, ඇයි එයාලා මේ අතුරුදහන් වීමට සම්බන්ධ අය නීතීය ඉදිරියට ගේන්නේ නැත්තේ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක.
කලින් සැප්තැම්බර් 02 දිනවල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ගිහින් මගේ ළමයි දෙන්නත් එක්ක නිහඩ විරෝධතාවයක් කළා. ඒකටවත් මට තවම උත්තරයක් ලැබිලා නැහැ.අන්තිමට මාව විහිළුවක් වුණා. නැවත ඒ වගේ විරෝධතා කරන්න මට බැහැ. බොහෝවිට මාධ්‍යවලිනුයි සමාජයෙනුයි මාව දකින්නේ වැරදිකාර ගැහැනියක් විදියටයි. මේ සමාජයේ සුළු ප්‍රමාණයක් විතරයි මාව අගය කරන්නේ. මගේ අරගලයට සහයෝගය දෙන්නේ. බොහෝ අය මාව එයාලාගේ කණ්නාඩිවලින් තේරුම් ගන්නවා.
මගේ දරුවන්ට ඉස්කෝලයක් ලැබුණෙත් නැහැ. බොහෝම අමාරුවෙන් ළමයි දෙන්නාව මේ අවුරුද්දේ ඉස්කෝලේ දාගත්තේ. මම දරුවන්ගේ වැඩ නිසා නිවාඩු ගන්න නිසා මම රැකියාව කරන ආයතනයෙන් මට ලොකු වැටුපක් හම්බවෙන්නෙත් නැහැ. ළමයි දෙන්නාගේ වැඩ කරන්න මම අමතර රැකියාවලුත් කරනවා.
හැමදාම අනුන්ගේ උදව්වෙන් ජීවත්වෙන්න බැහැ. මුලදි මට ගොඩක් අය උදව් කලා. නමුත් දැන් කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. අඩුම තරමේ මගේ දරුවෝ දෙන්නාව ඉස්කෝලේ දාගන්න කලින් පොත් ලැයිස්තුව ගන්න බැරිව මම සෑහෙන්න අසරණ වුණා.මම ඉස්කෝලේ ගුරුවරියන්ට මගේ අපහසුතාවය කිව්වාම එයාලා මට උදව් කළා. මගේ දරුවන් කැමති දේවල් අරන් දෙන්න මට වත්කමක් නැහැ. ඒත් ඒ දෙන්නාවත් අගය කරන්න ඕනෑ. එයාලා ගොඩක් ශක්තිමත්, හැම දෙයක්ම ඉක්මනින් තේරුම් ගන්නවා.
කලින් කළා වගේ විරෝධතා දක්වන්න මම නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ඒක දැන් විහිළුවක් වෙලා ඇත්තටම එයාලා ළඟට යන එක යුක්තිය ඉල්ලගෙන.
තමන්ගේ මහත්තයාව පැහැරගෙන ගිහින් අතුරුදහන් කරනවා වගේ දෙයක් තවත් ගැහැනියෙකුට අත්විදින්න වෙනවා බලන්න මම නම් කැමති නැහැ. මට මගේ මහත්තයාව කොහොම හරි හොයා ගන්න ඕන.
මම කාගෙන්වත් කන්න, අඳින්න ඉල්ලන්නේ නැහැ. මට මගේ මහත්තයාව හොයලා දෙන්න. මම මාධ්‍යවලිනුත් ඉල්ලන්නේ මනුස්සයෙක්ව පැහැරගෙන යෑම, අතුරුදහන් දරුණු අපරාධයක් බව සමාජයට තේරුම් කරලා දෙන්න කියලා. අතුරුදන් කිරීමට විරුද්ධව පෙනී ඉන්න කියලා.
සමහරවිට මේවා විහිළුවක් වගේ. මාව රත්තරන් භාණ්ඩයක් වගේ වුණ කාලයක් තිබුණා. මගේ ශක්තිය අගය කරලා මගේ ගැන පත්තරවල ලස්සන කතා ලියලා තිබුණා. මගේ ළඟ ඒ පත්තර තියෙනවා. ඒත් මගේ ප්‍රශ්නයේ කිසිම වෙනසක් නෑ. මා ගැන ලියපු දේවල් ෆයිල් එකක පුස් කනවා. මා ගැන ලියපු අයටත්, කතාකරපු අයටත්, කියවපු අයටත් මම කියන්න ඕනෑ, තවමත් මම යුක්තිය නැතිව හිටපු විදියටම ඉන්න බව. එයාලා මට මගේ මහත්තයාව දුන්නේ නැහැ. දේශපාලඥයන්ගේ කන් අගුල් වැටිලා වගේ එයාලා ඉන්නවා. ඇත්තටම එයාලාට කිසිම උවමනාවක් නැහැ මේවා ගැන කතා කරන්න.
සමහරු මට චෝදනා කරනවා එන්ජීඕවලින් උදව් අරගෙන සතුටින් ඉන්නවා ඇති කියලා. ඇත්තටම එන්ජීඕ වලින් මට යම්තාක් දුරකට උදව් කළා. මගේ දරුවන්ට කිරිපිටි ටික පවා අරන් දුන්නා. ඒත් දැන් ඒ හැමදේම මම තනියෙන්ම කරගන්න ඕනෑ. මට කවදාවත් එන්ජීඕ වලින් සල්ලි කුට්ටි ගණන් ලැබිලා නැහැ. සමහරවිට එන්ජීඕ වලින් හම්බකරගන්න අය ඇති. ඒ ගැන මම දන්නෙ නැහැ. ඒත් කෙටි කාලයක් තිස්සේ එදිනෙදා වියදම් හැරුණාම ලැබුණු දෙයක් නැහැ. අඩු තරමේ මට ගෙයක්වත් නැහැ. මිනිස්සු තමයි හිතන්නේ මට එන්ජීඕ ආධාර ලැබෙනවා කියලා. එන්ජීඕ වලින් සල්ලි කඩා ගන්න මම පාරේ ගිහින් වාඩි වෙනවා කියලා. මට ඕනෑ මගේ මහත්තයාව. වෙන මොනාවත් නෙවෙයි.
දැන් එන්ජීඕවලටත් දැන් මගේ ප්‍රශ්ණය සාමාන්‍ය පරණ ප්‍රශ්නයක් වෙලා, ඒක යටපත් වෙලා ගිහින්. අලුත් උණුසුම් ප්‍රශ්නයක් හම්බවුණාම එයාලා ඒක පස්සේ යනවා. ඒත් එදා වගේම අදත් මට මගේ ප්‍රශ්නය තමයි ලොකුම ප්‍රශ්නය. අදටත් මම ඒක මත්තේ නැහෙනවා.
දැන් මගේ ස්නායු දුර්වල වෙලා. මම බෙහෙත් ගන්නවා. මගේ රුධිර පීඩනය හොදටම වැඩි වෙලා තියෙන්නේ. ඩොක්ටර්ස්ලා මට කියනවා පුළුවන් තරම් විවේකයෙන් ඉන්න බලන්න කියලා. මම කොහොමද විවේකයෙන් ඉන්නේ. මේ ප්‍රශ්ණවලට විසදුමක් නැතිව. කොයි වෙලාවක මට මොනවා හරි වුනොත් කිසිම කෙනෙක් නැහැ මගේ දරුවන්ව බලාගන්න. එහෙම වුණොත් මාවත් මධුෂ්කවත් සමාජයට අමතකත් වේවි. ඒ නිසයි මම ඉල්ලන්නේ. මං මැරෙන්න කලින් මධුෂ්කව හොයලා දෙන්න. ඔහුට මොනවාද වුණේ කියලා කියන්න.’ ■