බෙලිහුල්ඔයේ ගල් සෙවලයි ලිස්සනවා
හිරිකටු ඔයේ හෙල වැහැලා බොර එනවා
ඉහින් කණින් කූඩැල්ලන් ලේ බොනවා
දුප්පත්කම නිසා රස්සාවට යනවා


අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර ගම්සභා මැම්බර කෙනෙකුව හිටපු තාලෙට කවි කියන්න දක්ෂ තමන්ගේ පොඩි සීයා විලියම් අප්පුහාමි කියාපු මේ කවිය තමුන්නේ මතකය හාරා අවුස්සා කීවේ බෙලිහුල්ඔය කඩමණ්ඩියේ ජීවත්වන අද මැදිවියද පසු කරමින් ඉන්න ජයරත්න බණ්ඩාර මාමා.
“අපේ පොඩි සීයයි, මේරිස් අප්පුහාමි සීයයි එයා තමයි මගේ තාත්තගේ අප්පච්චි, ඒ කාලේ හැටියට තරමක් දැන උගත් මිනිස්සු. සුද්දො එහෙම හුඟක් ආශ්‍රය කළා. ඒ කාලේ මෙහාට හරියට සුද්දො ආවානෙ.”


අදත් බෙලිහුල්ඔය කියාපු හැටියෙ මතකෙට එන්නේ සනීපදායක හා සුරම්‍ය පරිසරයකින් හෙබි නිකේතනයක්. එදා වගේ සිය ගණනක් සුද්දන් නොආවත් දෙස් විදෙස් සංචාරකයන් අතර නිදහසේ සුව විඳිය හැකි තැනක් ලෙස බෙලිහුල්ඔය ප්‍රසිද්ධයි. බෙලිහුල්ඔය කියන කඩමණ්ඩිය නැත්නම් ගලගම ඉසව්ව නාමකරණය වෙලා තියෙන්නේ ඒ නමින් තියෙන ඔය නිසා.
වළවේ ගඟේ අතු ගංගාවක් විදියට ඉපදිලා ගලන බෙලිහුල්ඔය හොර්ටන් තැන්නෙන් ආරම්භ වෙලා සුනිමල සීතල දිය දහරාවන් දරාගෙන ගල්පරවලින් ගහන ඉතාමත් විචිත්‍ර දර්ශනයක් මවාලමින් පල්ලම් බහිනවා. ලොකු කුඩා කඩ කිහිපයකින්, තැපැල් කන්තෝරුව, සමූපකාරය වගේම හැන්දෑවට එකතු පහදු වෙන උන්දැලාගේ ගිනිහම නිවන තැබෑරුමකින් සමන්විත වෙච්ච ඒතරම් ජනාකීර්ණ නොවුණු බෙලිහුල්ඔයට සියල් සිරිය වගේම සම්පත්ද ලැබ දෙන්නේත් මේ දිය දහරාවන්ම යි.

දිය බෙල්ලෝ නම් දුන්නෝ


“කොහොමත් මේ පළාත වතුරෙන් පොහොසත්. ඉහත්තාවෙ පේන කඳු හොර්ටන් තැන්නනේ. එක පැත්තකින් බෙලිහුල්ඔය ගලන කොට අනෙක් පැත්තෙන් හිරිකටු ඔය. හිරිකටු ඔය කියන්නේ හිරිගඩු පිපෙන තරම් සීතල වතුර තිබුණු නිසා හදාගත්ත නමක් තියෙන ඔයක්. අදටත් ඒක හරිම සීතල වතුර තියෙන ඔයක්. මේ බෙලිහුල්ඔයට නම දෙන්න ඇත්තෙ නම් බෙල්ලො. ඔයේ හරියට ගල්පර. ඒවායේ ලිස්සන දිය සෙවල පිරිලා තිබ්බ නිසා බෙල්ලොත් ගොඩක් හිටියා. ගල්වලට ඇලිලා හිටපු මේ බෙලිකටු ඉස්සර මිනිස්සු එකතු කරලා පුළුස්සලා හුණු ගත්තා කියනවා බුලත් විට කන්න.” ඒ ජයරත්න බණ්ඩාර මාමාගේ මතක මඩිස්සලය විවර වුණු අන්දම.


ඇත්තටම ඒ කතාව හරි කියලා හිතෙන්නේ බෙලිහුල්ඔයට බැස්සාම. හැම ගල් පරයක් ගාණෙම කළු පාට බෙල්ලො ජාතියක් ඇලිලා ඉන්නවා. උන්ව පහසුවෙන් ගලවලා ගන්නත් පුළුවන්. ගන්දර දයා නෙත්තසිංහගෙ ගෙදර ගිහිල්ලා මහ පව්වකින් මුහුද අද්දර බැහැලා කරිජ්ජ වලකින් නාද්දි මේ වාගෙම බෙල්ලො ගල් පරවලින් ගලවලා ආයෙම වතුරට දැම්මා මට මතකයි. මුං ඒ බෙල්ලන්ගෙ මිරිජ්ජ නෑයා වගේ.
බෙලිහුල්ඔය අවට පරිසරය බෙහෙවින් සුන්දරයි. හෝර්ටන් තැන්නෙන් ගලන මේ දිය දහරා බේකර්ස් ඇල්ල වගේම ඒ තරම් ප්‍රසිද්ධ නැති තවත් දිය ඇල්ලක් වුණ කැතිගාන ඇල්ලටත් පණ දෙනවා.


“ඉස්සර මේ හැම එකේම අදට වඩා වතුර තිබුණා. අපේ මේ කඩමණ්ඩිය මැදින් ගලන්නේ මැද කඳුර ඔය, නැගෙනහිර පැත්තෙන් ගලන්නෙ පුවක්ගස් ඇල්ල ආර. ඉස්සර මේවයෙ හරියට හිටියා මාලුවෝ.”
ඒ මාලු අතර ආඳන්, හොරපොලයි හා අල්ලක් තරම් ලොකු නිල් කලු ගල් ඉස්සෝ හිටියා. බෙලිහුල්ඔය එවකට තිබූ කුඩා කඩමණ්ඩියේ හුන් කොල්ලන් කුරුට්ටන් මැදකඳුර ඔයෙහි ඉස්සන් ඇල්ලූවා. ජයරත්න බණ්ඩාර මාමා ඉස්සන් අල්ලා සිය මුත්තණුවන්ගෙන් ගුටි මුරද ලබාපු කෙනෙක්. කොල්ලෝ ඉස්සන් ඇල්ලුවේ සුණු සහල් යොදා ගනිමින්. ඒක බොහෝම හුරුබුහුටිකමක් වුවමනා කරන දඩයමක්. කිතුල් පිත්තක අග්ගිස්සට කිතුල් කෙන්දකින් තනා අමුණා ගන්නා තොණ්ඩුවක් දමාපු බිලිපිත්තක් ඉස්සන් දඩයමට වුවමනා කරනවා. ඇම සුණු සහල්. අත්තම්මලාට, අම්මලාට හොරෙන් ගෙයි සුණු සහල් මුට්ටියෙන් ගන්නා සුණු සහල් මිටක් ඇරගෙන මැද කඳුර ඔයට යන කොල්ලෝ ඉස්සන් ගැවසෙන ඉවුරු හෝ ගල්පර අතරට ඒවා ඉහලා බලාගෙන ඉන්නවා. ඉස්සා සුණු සහල් ඇට හොයාගෙන පිහිනලා ආවම ඉස්සරහින් තොණ්ඩුව තියලා ඌ එතුළින් රිංගා සිරවෙන්නට සැළැස්සීම දඩයම් උපක්‍රමයයි. අහළ පහළ කතෝලික පවුලක හිටපු ජෝජ්ජි මාමා කැත්තෙන් ගසා දෙකට කපා පත ආඳෙකු මරා ගත්තේත් ඒ කාලයේමයි.

ගාලෙ ගොනුන් ලිහුවා මතකද රාළේ


අද බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 170ක් පමණ ආවට පස්සෙ හමුවෙන කදිම නිකේතනයක් හැටියට ප්‍රසිද්ධ බෙලිහුල්ඔය වසර සියයකට එකසිය පණහකට පමණ ඉහතදීත් සනීපදායක ගිමන්පොළක් ලෙස ප්‍රකටව තිබුණා. ඒ සුද්දන් වතු වැවූ හල්දුම්මුල්ල, හපුතල ප්‍රදේශවලට කරත්තවලින් බඩු ප්‍රවාහනය කළ යුගයයි. කළුතරින් පාරුවලට පටවා ගෙනෙන බඩු රත්නපුර මහ සමන් දේවාලයට නුදුරෙන් බා ගෙන කරත්තවලට පටවන්නේ මේ වෙහෙසකර ගමන ආරම්භ කිරීම සඳහායි.


ගමනේ තැන තැන ගිමන්හල් තිබුණා. එවැනි එක් නැවතුම් පලක් වූණේ ඉඹුල්පේ යි. කරත්ත එහි නැවතූ පසු බෙලිහුල්ඔය දක්වා පයින් එන පයිංඩකාරයෙක් මෙපමණ කරත්ත ගණනක් මිනිසුන් හා ගොනුන් පිරිසක් උඩත්තාවට එන බව දැනුම් දෙනවා. විලියම් අප්පුහාමිගේ ගාලේ කඬේ පිරිස සඳහා කෑම පිළියෙල වෙනවා. පැමිණෙන ගැල්කරුවන් ගොනුන් ලිහා සාත්තු කර බෙලිහුල් ඔයෙන්, මැද කඳුරෙන් සිත් සේ සනීපෙට නා ගෙන ඉස්මුරුත්තාවට එනතුරු කන්නේ ගාලෙ කඩයෙන්. ඔවුන්ට නිදන්නට සිංහල උලු හෙවිල්ලූ අම්බලමක් පාරේ අද්දරට වන්නට තිබ්බා. සංරක්ෂණය කළ යුතු අම්බලම කඩා දමා පස්සේ කාලෙක ප්‍රාදේශීය සභාව එතැන වැසිකිලියක් හැදූ බව ප්‍රදේශවාසීන් කියනවා. කොහොම වෙතත් මේ ගැල් සාත්තුවලට සාත්තු සප්පායම් කිරීමේ කාරිය තමයි මෙතැන පුංචි ටවුමක් නැත්නම් කඩ මණ්ඩියක් හදලා තියෙන්නේ.

ලෝ ප්‍රකට සුද්දන්ගේ තානායම්පල


ලංකාවේ කරත්තකරුවන් මෙතැන සනීපදායක ගිමන්පොළක් කරගන්නා විට වැවිලිකාර සුදු මහත්තුරුන්ට වුවමනා කළේ ඉස්තරම් තානායමක් තැනීමයි. රමණීය බෙලිහුල්ඔය ඉවුරේ මාර්ගය අද්දරට වෙන්නට යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඔවුන් තැනූ තානායමට අස්හලක්ද ඇතුළත් වුණා. එහි මිදුලේ වැවූ පාරෙ මාර යැයි ව්‍යවහාරයේ හඳුන්වන ඇල්බීසියා ලෙබෙක් ගස අද වනවිට වසර එකසිය පණහක්වත් පැරණි අතිදැවැන්ත වෘක්ෂ රාජයෙක්. එය නඩත්තු කිරීම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අනුදැනුම ඇතිව සිද්ධ වෙන්නෙ වටිනාකමක් තියෙන වැඩිහිටියෙක් විදියට සලකලා.


රසවත් භෝජන සංග්‍රයන්ට නමගිය මේ තානායම එංගලන්තයේ රාජකීය උදවිය පවා ගිමන් හළ තැනක් කියලා ජන ව්‍යවහාරයේ සඳහන් වෙනවා. ඒ කොහොම වෙතත් සිරිමාවෝ රත්වත්තේ මෙනවිය හා තරුණ බණ්ඩාරනායක මහතා මෙහි මධුසමයට ආවා. එදා ඔවුන් සිටුවූ අඹ පැලය අද දැවැන්ත වෘක්ෂයක්.
“එදා බෙලිහුල්ඔය විලියම් අප්පුහාමි තමයි ඒ දෙපළ පිළිගන්න ගොක්කොළ තොරණ ගැහුවේ. තොරණෙ කවියක් ලියලා තිබ්බා තැඹිලි මල් අලවලා.” ඒ ජන මතකයයි.
අසිරිමත් ජන මතකයේ අද ඊයේ වගේ රැඳුණු තවත් සිද්ධියක් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය රූපගත කිරීම.


“එතකොට මං පොඩි කොල්ලෙක්. අපේ මාමලා මාව කරේ තියන් ගිහින් ටිකක් උඩහට වෙන්න තැනක චිත්‍රපටය හදනවා පෙන්නුවේ. යම්තම් මතකයි මාමා ගාමිණී මහත්තයාව එහෙම පෙන්නනවා. සමහර දර්ශන කළේ නැග්රැක් නන්පෙරියල් පැත්තට යන පාරෙ. කරත්තෙ යන ගමන් කියන සිංදුව තියෙන්නෙ මුත්තෙට්ටුවගම පාරේ. ටිකක් උඩහට වෙන්න බලකොටුව තිබ්බෙ. ඒක පුපුරුවනව නේ. මේ චිත්‍රපටයට අස්සයො ගෙනල්ල හිටියා. අපි උන්ට බය වුණා. මොකද ඌ හරි තේජවන්ත ලොකු සතෙක්නේ.” ඒ ජයරත්න බණ්ඩාර මාමා.

කුරුල්ලා වගේ ජීවිතයක්


බෙලිහුල්ඔයෙහි ජීවත් වුණේ ගොවීන්. මේ කඩ මණ්ඩියේ වෙළඳාම් කළ අයත් ගොවිතැනක් බතක් කළ උදවිය. කරවල, තෙල්, දිය ලුණු පමණයි ඔවුන් පිටින් බලාපොරොත්තු වුණු දේ අතර තිබ්බෙ. පසුකාලීනව සමනල වැවෙහි දියවරට යටවුණු ගම්වල පවුල් ගණනාවක් මෙහි විත් පදිංචි වූ නමුත් ජන ජීවිතයේ සංහිඳියාව ආරක්ෂා වුණා. ඊට හේතු වූණේ රමණීය සැපදායක පරිසරය කියලයි කවුරුත් කිව්වෙ.


අද මේ කුඩා නගරයේ ජීවත්වන ව්‍යාපාර කරන ත්‍රීවීලර පදවන පිරිස අතර කතෝලික කිහිපදෙනෙකුත් ඉන්නවා. ඔවුන්ද සංහිඳියාවේ ආශීිර්වාදය ලද්දවුන්. බෙලිහුල්ඔයේ කතෝලිකයෙකු වන ටයිටස් සිල්වාට අනුව පරම්පරා හතරකවත් තිස්සේ කතෝලිකයින් මෙහි වෙසෙනවා.
“1900 ඉඳලා විතර මෙහේ පල්ලියක් තිබ්බා. ඔය බේරුවල මග්ගොන පැත්තේ ඉඳලා කළු ගඟේ පාරුවල වෙළඳාමට ආපු මිනිස්සු තමයි අපේ පැරැණියො. ඒ කියන්නෙ සුද්දගෙ කාලෙ. 1860 දී බලංගොඩ පල්ලිය හදලා තියෙන්නේ. වතුවල වෙළඳාමටනේ තව උඩහට ආවෙ. ඔය ජෝකිනූ මුදලාලිලා එහෙම කරවල, ලුණු නන්පෙරියල් හපුතල වතු වලට ඇද්දා.”
මෙහි වෙසෙන කතෝලික හා බොදුනු පවුල් අතර ඇත්තේ දැඩි සහෝදර බැඳීමක්. පල්ලියේ පෙරහැරට බොදුනුවන්ගේ උපහාරය හිමිවන අතර පන්සල් තැනීමේදි ගල් ගඩොල් කඳු උඩට කර බරින් අදින්නට කිතුනුවන් සහය දීලා තියෙනවා. නන්පෙරියල් නැග්රැක් වතුවල දෙමළ වතු ජනයාටත් ආසන්නයේ සරුසාරම කඩපල වගේම තැබෑරුමක් තියෙන හින්දා ඔවුන් ගැවසෙන්නේත් බෙලිහුල්ඔයම යි.


ඒ වුණාට 83 කළු ජූලිය කාලෙ දෙමළ ජනයාට යම් යම් සැහැසිකම්වලට මුහුණ දෙන්නට සිදුවූ අත්දැකීම් සමහරුන්ගෙ මතකෙ තියෙනවා. එවැනි දේවලට හවුල් වූ විජේරත්න පවසන්නේ තමන් දැන් ඒ ගැන පසුතැවිලි වන බවයි.
“මං එතකොට නන්පෙරියල් වත්තෙ ඔපිසර කෙනෙක්. මාත් මිනිස්සුන්ට හිරිහැර කළා. ඒ සින්න දොරේගෙ කීම අහලා නොමග ගිහිල්ලා. දැන් මං ඒ දේවල් ගැන පසුතැවිලි වෙනවා. ඒකෙන් අපිට බොහෝ දේවල් අහිමි වුණා. හැබෑ වීරකම කියන්නේ ජාතිවාදය නෙවෙයි. අද මේ බෙලිහුල්ඔයට එන දෙමළ අයට ලැබෙන්නේ සහෝදරකම.”
ඒ පරිච්ඡේදයට පසු තවම බෙලිහුල්ඔය සංහිඳියාව සුරක්ෂිතය. එහෙත් දැන් ඔවුන් විස්සෝප වන්නේ අහිමි වන රමණීය පරිසරය ගැන. කඳුකරයේ වැවූ පයිනස් හා ගඟ දිගට ඉදි කර ඇති විදුලි බලාගාර දියවර උදුරාගෙන අහවරයි. දැන් ඉස්සන් සහ බොහෝ මාලුන්ද නිදහසේ පියෑඹූ බොහෝ සමනලුන් හා කුරුල්ලන්ද සමුගෙන ගොස් හමාරයි. රසායනික ගොවිතැන නිසා වක්කඩට කට තබා දිය බොන්නට පුළුවන්කමක් අද නෑ. එහෙත් බෙලිහුල්ඔය එයා නම් තවමත් සුන්දරයි තරුණයි. ■

■ ලසන්ත ද සිල්වා