තුංග නමුණුකුල ගිරිහිස් පාබඩ පාර අදත් එදා වගේම පටුයි. යූරි වතුයාය, ඒ තේ ෆැක්ටරිය කිසිම වෙනසක් නැති අතීත කතාවක ස්මාරක. බස් එක ටික වෙලාවක් පස්සර ටවුමෙ නැවත්තුවම බැහැලා ගිහින් වඬේ ටිකක් ගන්න පුළුවන් මගදි කන්න. අපේම කාගෙ හරි රෝද හතරක් නම් පස්සරදි නවත්තන්න කියලා කියන්න වුවමනා වෙන්නෙ සීතල බීර කෑන් කිහිපයක් මිලට ගන්න. ලූණුගල කඳු ඉසව්වෙන් දඟර ගැහිලා පාර පුරාණ වෙල්ලස්ස හොයාගෙන යද්දි ඒවා හිස් වෙන්න ඉඩ තියෙන තැන් එමට. ලංකාවේ අදටත් කිසිම වෙනසක් වෙලා නැති ටවුමක් දෙකක් නම් කරන්න කිව්වොත් මං නම් කරන තැන් අතර තියෙනවා ලූණුගලත්.


කාලයක් ලූණුගල පල්ලියේ හිටපු මර්වින් සුදර්ශන් පියතුමාගෙ මිතුරුකම හින්දත්, අහම්බෙන් මුණ ගැහෙන මනුස්ස ප‍්‍රාණියෙක් එක්ක වුණත් මධු ඔඩමක් දෙපැත්තෙ වාඩිවෙන්න හිත හදාගන්න පුළුවන් හින්දත් වාර ගණනක් ලූණුගල කරක් ගහලා පුරුදු මට හැමදාම හිතුණෙ 1965 අවුරුද්දෙ විතර ඒ ටවුමෙ කැලැන්ඩරය නැවතිලා කියලා.


ලූණුගල පහු කරගෙන මං ගියපු හුඟක් ගමන් අහවර වුණේ පුරාණ වෙල්ලස්සෙ මහා සටන් බිම බිබිලෙන්. සුද්දන්ගෙ බලයට අභියෝග කළ මිනිස්සුන්ගෙ මහගෙදර හින්දාම එදා වනසපු බිබිල අදත් අඩුවෙන් ඉර එළිය වැටෙන තැනක්. 1818 කැරැුල්ල ගැන වීරාභිවාදන ගැයෙද්දි කැප්පෙටිපොළගෙ නම කියවෙන තරම් කොහුකුඹුරෙ රටේ රාළ, හාමාපොළ දුරයා වාගේ ඇත්තන්ගෙ නම් කියවෙන්න නැත්තෙ ඇයි කියලත් මට හිතුණු වාර අනන්තයි. මේ සාවියෙ මායිම් ඉසව් වෙච්ච පල්ලෙකිරුව වගේ ගම්වල ජීවිත ගැන අනේ අපොයි කියලා හිත් උණුවෙන තරම කියන්නෙත් සියක් අවුරුද්දක නොසලකා හැරීමේ තරම තමයි.

බුබුලෙන් උපන් බිබිල


කොහු කුඹුර, අරවා කුඹුර, පිට කුඹුර, යල් කුඹුර හුඟක් ග‍්‍රාම නාම කුඹුරු හැටියට සලකුණු වෙනවා. මේවා ගැන විස්තර පුරාණ කඩයිම් පොත්වල ලියවිලා තියෙනවා. මේ තමයි ඒ වෙල්ලස්සෙ සාක්ෂි අවශේෂ. අරවා කුඹුර ගැන මට තියෙන්නෙ හිස බමන මතකයක්. දැන් රිදීමාලියද්දෙ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියා විදියට වැඩ කරනවා කියලා ආරංචි මාත‍්‍රයෙන් දන්න සුගත් පොඞ්ඩක් හිටපල්ලා කියලා අපිව පාරෙ හිටවලා ගිහින් මෙන්න නියම තැඹිලි මලෙන් පෙරාපුව කියලා සුදු පාට අමාවක් ගෙනැල්ලා අපිව සන්තර්පණය කළේ අරවා කුඹුරෙදි. මිනිහා ඉස්සර නාට්‍යකාරයෙක් හින්දා ඒ මතකය පවා නාටකීයයි. අදත් මේ පාරෙ යන කාට වුණත් මානව සම්බන්ධකම් උපද්දා ගැනීමේ ඉව තියෙනවා නම් ඒ වගේ නාටකීය මොහොතකට ප‍්‍රවිෂ්ට වෙන්න පුළුවන්.


බිබිල ලංකාවෙ තියෙන හොඳම සංචාරක ගමනාන්තයක් කියලා කවුරුවත් කියන්නෙ නැහැ. ඒත් බිබිල පැත්තට ගිහිං නිස්කාංසුවේ ජීවිතය විඳින්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් ඒ කතාවෙ කිසිම අසාධාරණයක් නැහැ.


ගාල්ලෙ ඉඳලා සිංහලේ යනවා කියලා ගිය ජිනදාස ළමාහේවාට නම් ජීවිතය මුලිච්චි වුණෙත් නැහැ. හැබැයි අපිට පුළුවන් ජිනදාසට අහිමි වෙච්ච දේවල් ඇතුළෙ වෙන කතාවක් හොයාගන්න.


බිබිල බුබුලකින් උපන්න නමක්. අදත් මැදගම පාරෙ ඩිංග දුරක් යද්දි ඒ බුබුල සම්මුඛ වෙනවා. ඒකෙ නාන්න පහසුකම් හදලා දීලා තියෙන්නෙ ප‍්‍රාදේශීය සභාවෙන්. හැබැයි දැන් තියෙන්නෙ මහ කුඹුකක් මුල මැවෙන අපි කැමති බුබුල නෙවෙයි. බාගෙදා ඒ වෙනස්කම්වලට හේතුවෙන්න ඇත්තෙ කාලයක් බණ්ඩලයි සොයිසලයි අතරට මැදිවෙච්ච සංවර්ධන හීන. ඉස්සර බිබිල ප‍්‍රසිද්ධ දොඩම්වලට වුණත් කතාවෙ හැටියට ඊශ‍්‍රායලය බයිබල් දොඩම් හඳුන්වලා දෙන කාලෙ වෙනකොට බිබිල දොඩම් වැලිගම් ගිහිල්ලා. හැබැයි දැන් ආයෙමත් බිබිලෙ දොඩම් වැවෙන්න පටන් ඇරගෙන. ඒවාට කියන්නෙ බිබිල ස්වීට්. උත්සාහය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. දැන් තියෙන ප‍්‍රශ්නෙ දොඩම් අස්වැන්න නෙලාගන්න කාලෙට ගෙඩියක් රුපියල් හත අටකටවත් විකුණගන්න අමාරුයි කියන ගොවි මහත්තුරුන්ට උත්තර දෙන එක. පදියතලාව, ඇකිරියන්කුඹුර වගේ පැතිවලට යද්දි හුඟක් ගොවියන්ට ඉතිරි වෙලා තිබ්බෙ මැසිවිලි කියන්න තියෙන අයිතිය විතරයි.


නැගෙනහිර පළාතෙ අම්පාරෙන් ඔබ්බට කල්ලාර් පැත්තට යනකම්ම කිරි එරුණෙ ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය හින්දා. ඒ ඉසව්වෙ පුරාණ ගම ගෙවල්වල තවම ඉඳහිට ඞීඑස්ගෙ රාමු කළ පින්තූරයක් තියෙනවා. හැබැයි බිබිලෙ උල්පත් සාරයත් හූරගෙන ගලන ගලඔයෙ කිරි කඳුළක්වත් වෙල්ලස්සට ලැබුණෙ නැහැ. ඞීඑස්ගෙන් පස්සෙ ආ කාටවත් බිබිලට ඒ කිරි කඳුළ අයිති කරලා දෙන්න පුළුවන් වුණෙත් නැහැ. අද වෙනකොට නැගෙනහිර මායිමේ තියෙන ඉඟිනියාගල ටවුම ඌව පළාත් සභාවට පවා අමතක වෙලා. කවදහරි දවසක ඉඟිනියාගල ගියොත් දකින ඒ සුසානය නොසලකා හැරීමේ පලවිපාක ඔබට කියලා දෙයි.

පිටකුඹුරෙ ගමගෙදර


රට උළු වහපු පුංචි මැටිගෙදර. කුරක්කන් රොටී පුසුඹ උදේට ගේ බඩ කිතුලෙන් බාන නැවුම් තෙලි දිය. ඇඹලයෙක් දෙන්නෙක් හිටියොත් ගොට්ටෙන් පෙරල අයින් කරලා පිරිපහදු කරගන්න ජීවන සාරය. ලී මෑ මැල්ලූම්. වල් මස් එක්ක ඉරුං තලප. මේ මහින්ද බිබිලෙ මට දුන්න මතක තෑගි. පස්සෙ කාලෙක ලක්හඬ රේඩියෝවෙ ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වෙච්ච මගේ මිත‍්‍රයා අසංස්කෘතික ජීවිත එක්ක හැප්පිච්ච සංස්කෘතික මිනිහෙක්. තැන තැන ඉතුරු බිතුරු වෙච්ච පුරාණ ගල් කණුවක්, සුද්දො තලා දාපු පොඩි වැව් බැම්මක්, සිලි සිලියෙ ගලන ගලඔයෙ රුව වරුණ, කාගෙ හරි දාඩියෙන් ඔපවෙච්ච හේනක් බලන්න මහින්දයි මායි පරණ බයිසිකලය පැද්දා. බඩ රස්සාවට වඩු වැඩ කළ, යතු කැටයට, නියනට වැඩි දෙයක් ගැන දේශපාලනික දැනුමක් තිබුණ රෝහණත් සමහර ගමන්වලදී මුණගැහුණා. බිබිල සේනක බිබිලෙගෙත් උපන් ගම වුණු හින්දා එහෙම මිනිස්සු ඉඳහිට අදත් ඉන්නවා.


මහින්දලාගෙම හේනක් අද්දර බයිසිකලය නැවත්තුවාම මිනිහා කතාව පටන් ගන්නවා. එතැන නැවුම් ඉර එළිය. පුංචි ගොඩැල්ලක මුදුනෙ කැටකෑල ගහක්. පහත්ම බිමේ ගොඩ වියක් වපුරලා. ඒ හැල් වී වර්ගයක්. අහස් දියෙන් වැවෙන්නෙ ගම ගෙදර බත් පිඟානට වඩින්න. මට එතැන තිබ්බෙ හරිම අපූරු සිත්තමක්. ”මචං බලපං කෑල ගහ වටේ ගොඩැල්ලෙ හැම ඉරුං ගහකම ලී මෑ වැලක්. ඒ තමයි අපේ ගොවිකම් තාක්ෂණය. හේනෙ ඉරුං හිටවද්දි බඩඉරිඟු ඇට දෙකක් එක්ක ලීමා ඇට දෙකකුත් හැතපෙන්න අරිනවා. එක විඬේ දෙකම කරදඬු උස්මහත් වෙනවා. මුලිං ඉරුං බිඳගන්න පුළුවං. ඊට පස්සෙත් වේලෙන ඉරිඟු ගහ බදාගෙන ඉන්න මෑ වැල එයාගෙ අස්වැන්න දෙනවා. අමුතුවෙන් මෑ වැලට උඩයන්න ඉණි මං කෝටු දෙන්න ඕන නැහැ මචං”


මහින්ද කොහොමත් හොඳ විස්තර කථකයෙක්. හේන කටුසර බෝග උපද්දන බිම. මහින්දත් එක්ක හේනට යද්දි වැට මුල රබර් සෙරෙප්පු දෙක ගලවලා යන්න සිද්ධ වුණා. ඇත්තටම හේනෙ තියෙන හැම බෝගයක්ම බුද්ධබෝග කිව්වට කාරි නැහැ. දොසක් විපත්තියක් වුණොත් අවුරුද්දම හාමතේ. අවුරුදු දහඅටකට ඉස්සර මේ කතාව අද වෙනස් වෙලා ඇති බාගෙදා. ඒත් මගේ හිත ඉව අල්ලන මනුස්සකමේ පුසුඹ තියෙන්නෙ ඒ කතාවෙ. මොකද ඒ වගේ කතාවල ඇත්තටම අහිංසක මිනිස්සු ඉන්නවා. මහින්දයම කියනවා පරම්පරා දෙකකට උඩ මිනිස්සුන්ගෙ අහිංසක නොදන්නාකම් ගැන කතා.. ”පුංචි කාලෙ හැතැක්ම හත අටක් ඈත තියෙන බිබිල පොළට උන්දැගෙ අම්මා එක්ක පයින්ම ගිහිල්ලා අයිස් පලමක් තෑගි ලැබිච්ච ළමයෙක් ඒක කරදහියක ඔතා ගෙන පන් මල්ලට ඔබා ගන්නෙ ගෙදර ඇවිත් කන්න. ආපහු පයින් ඇවිදිල්ලා මල්ල බලද්දි ඉතුරු වෙලා තිබ්බෙ කූර විතරයි.”


පැහිච්ච තෙලිදිය හිස් වෙද්දි මං මේ කතා සමපාත කරගත්තෙ දේශපාලනයට. අන්තිමට දෙපැත්ත තුන්පැත්තට ඡුන්දෙ දීපු බිබිලෙ මිනිස්සුන්ට ඉතුරු වුණෙත් කූර විතරයි. පිටකුඹුරෙ හුදුවලා පවු. සොයිසා මහත්තයාගෙ කතාවකින් පස්සෙ ජනප‍්‍රිය වුණා කියලා මට හිතෙන ”අපි සියඹලා ගෙනාවෙම නැද්ද ආයිබෝං එතකොට” කියන උපහැරණෙත් මහින්ද මට මුලිම්ම කියලා දුන්නෙ තමන්ගෙ උන් හූරගෙන කන විදිහ ගැන විස්සෝපෙන් කියන කතා අතරෙ. වෙල්ලස්ස කැරැුල්ලෙ පළමු වෙඩිමුරය ඊතලයක්. ඒක විද්ද තැන හොයාගන්න පුළුවන් විල්සන් කුලූන හොයාගෙන ගියාම. එතැන තමයි විල්සන් සුද්දා මැරිලා වැටුණෙ. හරියටම කියනවා නම් උණගොල්ල පන්සල ගාව. අදත් ඒ පුරාණය ගැන ආඩම්බර වෙන බිබිලෙ මිනිස්සු සියඹලා ගෙනල්ලාම නැද්ද කියලා හිතෙනවා ගම් වැදිලා ජීවිතවල පතුලට එබිලා බැලූවාම.

නිල්ගල තලාවෙ විත්ති


බිබිල පැත්තට යනවා නම් ගම ගෙදරක බත් ටිකක් කන්න විතරක් නෙවෙයි රතුගල නිල්ගල කරක් ගහන්නත් බලාගෙන යන්න. ඇත්තටම ගමනාන්තය වෙන්න ඕන ඒ වනපෙතයි තලාවයි. රතුගල වැද්දොත් මුලිච්චි වෙන්න පුළුවන්. 1926 විතර සෙලිග්මාන්ලා ලියනවා දඹානෙ වැද්දන්නෙ විස්තර ටිකක් වෙනස් විදිහට. ඒ කතාවෙදි රතුගල තියෙන්නෙ මුදුනක. මට සිංහල භාෂාවෙ ස්වරිතය භාවිතය එක්ක වෙනස් වෙන හැටි දනවපු තැන්වලින් සමහර ගම් තිබ්බෙ රතුගල අවට. කතාවෙ හැටියට නිල්ගල කියන්නෙ රජ්ජුරුවන්නෙ ඔසු උයන. ඇත්ත මේ වනන්තරේ ගස්වලින් වැඩි පංගුව බෙහෙත් අවුසද. මෑත කාලෙක ඒ රත්තරන් තලාවෙ තමයි උක් වවන්න සැලසුම් හැදුවෙ. රටේ වාසනාවට මිනිස්සු ඒ කුමන්ත‍්‍රණයට විරුද්ධ වුණු හින්දා නිල්ගල තාවකාලිකව පණ ගැට ගහගත්තා. තාවකාලිකව කිව්වෙ මේ සැලසුම් යට ගියා මිස ගිනි ලෑවෙ නැති හින්දා.


නිල්ගලත් රතුගලත් ගමන් මතක ගැන ආයෙ වංගියක කතා කරන්න ඉඩ තියා ගනිමු. ගලඔය ජාතික වන උයන මැදින් ගිහින් නාමල්ඔය වැව් බැම්ම මත්තෙ නැවතිලා ඉර බහින හැටි බලා ඉන්න බැරුවයෑ. මතක ඇතිව යන ගමනෙ අතරමග නැවතිලා ගිමන් හරිනවා නම් සීතල නෙල්ලි බීම වීදුරුවක් බීල යන්න. x

මතක ගැන ආයෙ වංගියක කතා කරන්න ඉඩ තියා ගනිමු. ගලඔය ජාතික වන උයන මැදින් ගිහින් නාමල්ඔය වැව් බැම්ම මත්තෙ නැවතිලා ඉර බහින හැටි බලා ඉන්න බැරුවයෑ. මතක ඇතිව යන ගමනෙ අතරමග නැවතිලා ගිමන් හරිනවා නම් සීතල නෙල්ලි බීම වීදුරුවක් බීල යන්න. x

x ලසන්ත ද සිල්වා