කලාකෘති කීපයක නම් පිළිබඳව මේ දිනවල වාදවිවාද එමටය. අතීතයේ සිටම ගෙදර බුදුන් අම්මා, බුදු මල්ලී, බුදු කෙළියක්නේ වැනි යෙදුම් සිංහල භාෂාවේ තිබේ. එවැනි යෙදුම් නිසා බුදුහිමිට අගරුවක් වනවායැයි කිසිවෙක් නොකියති. වැරදිලාවත් එසේ නොවී තිබී අලූත් භාවිතයක් ලෙස කවුරුන් හෝ ‘බුදු තාත්තෙ බොන්න එපා’‍ වැනි සිංදුවක් රචනා කළා නම් බේබද්දෙකුට බුදු යන විශේෂණ පදය යෙදුවායයි කියාද ‘බුදු අම්මා’‍ කියා නාට්‍යයක් නිර්මාණය කළා නම් බුදු යන්න ගැහැනියක විස්තර කිරීමට විශේෂණ පදයක් ලෙස භාවිතා කළා යැයිද කියා මහා කම්බැල්ලයක් කරන්නට ඉඩ තිබුණි.‍

ආගම් කතුවරු වනාහි විදුලියවත් සොයාගෙන නොමැති අවුරුදු දහස් ගණනකට පෙර අන්ධකාර ලෝකයේ ජීවත් වූ චින්තකයෝය. ඔවුන්ගේ නම් අදටත් එම රටවල පුද්ගලයන්ටද යෙදේ. එකී නම්වලින් හඳුන්වන වලින් බාර්, හෝටල් ආදියද තිබේ.
පරම සැපයද එකිනෙකාට සාපේක්ෂව වෙනස්ය. කෙනෙකුට ‘නිබ්බානං පරමං සුඛං’ විය හැකිය. තවත් අයෙකුට ‘දේව ලෝකං පරමං සුඛං’‍ විය හැකිය. සමහරුන්ට ‘බහුවස්ත‍්‍රං හෝ නිර්වස්ත‍්‍රං පරමං සුඛං’ විය හැකිය.

සිදුහත් තවුසාණෝ වසර 7ක්ම සත්‍යය සෙවීමට ගුරුවරු එසේත් නැතහොත් එකල සිටි ශාස්තෲවරුන් කීප දෙනෙකු අනුගමනය කරමින් උත්සාහ කළහ. එම ව්‍යායාමය ව්‍යර්ථ වූ තැන තෙමේම ස්වඋත්සාහයෙන් නිර්වාණ මාර්ගය අවබෝධ කර ගත්හ. ඒ අනුව බලන විට සිදුහත් තවුසාණෝද ඵල රහිත වසර 7ක කාල සීමාවක් ගෙවා ඇත. එනිසා එම කාලය තුළ ඔහු රස්තියාදු වූවායැයි යමෙකුට ලිවිය හැකිය. එක් අයෙකු භාෂාව හසුරවන ආකාරයටම තවත් අයෙකු භාෂාව හැසිරවිය යුතු නැත. තමා ඉලක්ක කරන පිරිසට තමන් කියන්නේ කුමක්දැයි අවබෝධ වන්නේ නම් භාෂා මාධ්‍යය සාර්ථකව භාවිතා කළා සේ සැලකිය හැකිය. අනෙක් අතට භාෂාවන් පොදු සම්පත්ය. පාවිච්චි කරමින් සන්නිවේදනය කරන ආකාරය එකිනෙකාට අනුව වෙනස් වේ. මාටින් වික‍්‍රමසිංහට, ශේක්ෂ්පියර්ට ආවේනික භාෂා රටා තිබුණි. වර්තමාන ලේඛකයන් ගත්තද එහි වෙනසක් නැත. තමුන්ගේ කෘතිවලට නම් තබන්නේත් එම ආවේණික පිළිවෙළටමය.

කෙසේ වුවද මේ දිනවල කෙරෙන සංවාදය හරහා එම කලාකෘති නැරඹූ හෝ පරශීලනය නොකළ විචාරශීලී පුද්ගලයන් සුළු පිරිසට ඒවා බැලීමට පෙළඹුමක් ඇති කරවයි. එහෙත් අන්තවාදීහු, භාෂණයේ නිදහස හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හර පද්ධතීන් පිළිබඳ හැඟීමක්වත් නොමැති ලෝකයේ වඩාම ආගමික වූ මෙරටේ අතිබහුතර ජනයා ඔවුන් වෙත නැඹුරු කරවාගැනීමට මෙවැනි අවස්ථාවන් කදිමට උපයෝගි කර ගනිති. අනෙක් අතට මෙවැනි අවස්ථා මහා ආගම්වාදී මරා ගැනීමකට වුව හරවන්නට තරම් උහු දක්ෂය.

එනිසා වෙනස් අයුරින් යමක් සමාජගත කරන්නට උත්සාහ කරන කලාකරුවාට සමහර විට තමා හීනෙකින්වත් නොසිතූ සිදුවීම් ජාලාවක් දැකබලා ගන්නට හෝ අත්විඳින්නට සිදුවනු ඇත. ආගම රාජ්‍යයෙන් වෙන්වූ අනාගමික දේශයක ජීවත් වන කලාකරුවා භුක්ති විඳින නිදහස තමනට නොමැති බව තේරුම් ගෙන බහුතරය වෙනුවෙන් කෙරෙන සියුම් සංවේදනාත්මක නිර්මාණ හරහා ජනවිඥානය වෙනස් කළ හැකිය. එසේ නොවී අන්තවාදීන්ට කොනක් අල්ලාගත හැකි ලෙස කෙරෙන නිර්මාණ උන්ට පනින්නට බඳින ඉනිමං වැනිය. මා කියන්නට උත්සාහ කරන්නේ බහුතරය වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්නා උන්ට වඩා තීක්ෂ්ණ විය යුතු බවයි. එහෙත් තමනට රිසි පරිදි නිර්මාණකරණයේ අවශ්‍ය කෙනාට කිසිදු බාධාවක් නොතිබිය යුතු අතරම තස්ලිමා නස්රීන් හෝ සලමන් රෂ්ඩි වැනි ඕනෑම අයෙකුගේ නිර්මාණවලට හා ඔවුන් වැන්නවුන්ට මෙරටේ දොර විවර විය යුතුය.

අරාබිකරයේ ආගමික රාජ්‍ය ශාරියා නීතිය අනුව බෙලි කපයි. එල්ලයි. අතපය කපයි. කසපහර දෙයි. කරන වැරදිවලට ශාරීරික දඬුවම් පැනවීම ශිෂ්ඨට සමාජයෙන් අතුගෑවී ගියද එවැනි දඬුවම් ක‍්‍රම නැවත ලංකාවටද ගෙන එන්නට කැසකවන සමහරුන් පන්නරය ලබාගෙන ඇත්තේ දැහැමින් නොව වසර දෙදහස් ගණනක සිට වෙනස් වෙමින්, එකතු වෙමින් එන ජාතක කථා, බයිබලයේ කුරානයේ එන උපමා කථා හා විවිධ දේවවාදී සාහිත්‍ය ප‍්‍රබන්ධ යනාදියෙන් වන්නට පුළුවන. ඔවුන්ට අනුව නවකථාවක්, පොතක පතක නමක්, පන්සලට පල්ලියට කලිසමක් ඇඳීම, අතක් කකුලක් පෙනීම වැනි දේ ස්ත‍්‍රි දුෂණයට, ළමා අපචාරයට වඩා බරපතළ වැරැද්දකි.

ජනතාවගේ පෞද්ගලික විමුක්තිය සඳහා වූ ආගම හා ඒ හා බද්ධ විවිධ ව්‍යුහයන් ව්‍යවස්ථාවක් හා නීති පද්ධතියක් ඇති රටේ රාජ්‍යයට පහළින් පිහිටන බවත් එමෙන්ම එකම ආගම වුවත් ඇදහිල්ල, විශ්වාසය එකිනෙක පුද්ගලයාට අනුව වෙනස් වන බවත් ලාංකික ජන විඥානය තුළ ස්ථාපිත වී නැත. එසේ කිරීම සහජීවනයෙන් ජීවත්වන දියුණු ජනසමාජයකට අවශ්‍ය බවවත් නායකයන් අවබෝධ කරගෙන ඇති බව නොපෙනේ. එම සන්දර්භය තුළ තම සංස්ථාවේ පැවැත්ම තහවුරු කරගැනීමට කටයුතු කරන ආගමික අන්තවාදීන් හා අත්වැල් බැඳගත් සමහර දේශපාලකයන් දෙපාර්ශ්වයේම වාසිය තකා ජනතාවගේ ආගමික බැඳියාව මනාව කළමනාකරණය කර ගනිති. නාට්‍යයක හෝ පොතක නමක් වුව ඔවුන්ට මහා ඉෂූ එකකි. යහපාලන රජයේ කොටස්කාර සමහර දේශපාලකයන්ද මෙම ගණයට වැටෙන බව කිවයුතුය.

පි‍්‍රයදර්ශනී ආරියරත්න