කඩුගන්නාව මාවනැල්ල, පේරාදෙණිය යන ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරිමේ සිදුවීම් අන්තවාදී කැළඹීම් දක්වා වර්ධනය කිරීමේ උත්සාහයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
දිවයින ඇතුළු පුවත්පත් කිහිපයක්ද, ජාතිකවාදී දේශපාලන පක්ෂ හා සංවිධානවල සාමාජිකයන්ද, වෙබ් අඩවි කිහිපයක්ද මෙම සිදුවීම් පිළිබඳව පුවත් පළ කර තිබුණි. එම පුවත්වල බුදුපිළිම කැඩීමට සම්බන්ධයැයි කියන පුද්ගලයන් අන්‍යාගමිකයන් බව ඉස්මතු කර තිබුණි. ඊට අමතරව හෙළ බොදු සවිය නම් සංවිධානයක් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබුණු අතර එම ලිපියෙන්ද බුදුපිළිම කැඩීමට මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ බව සඳහන් කර තිබේ. එසේ වුවද එම සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සියලු පුද්ගලයන් මුස්ලිම් ජාතිකයන් නොවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මීට අමතරව සමාජ මාධ්‍ය හරහාද ජාතිකවාදී ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් බුදුපිළිම කැඩීමට එරෙහිව අදහස් දක්වා තිබුණු අතර එය ජාතිවාදී සිදුවීමක් ලෙස අර්ථකථනය කර තිබුණි.
දෙසැම්බර් 26 වන දින අලු‍යම මාවනැල්ල පොලිස් වසමට අයත් මාලිම්බඩ ප්‍රදේශයේ බුදු පිළිමයකට හානි සිදු කළා යැයි සැක පිට පුද්ගලයන් 4ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
මේ පිළිබඳ අනිද්දා කළ විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ අදාළ පරීක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.■