දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ කල්ලිය සහ ගෝඨාභය රාජපක්ෂ කල්ලිය අතර අභ්‍යන්තරිකව හටගෙන ඇති ගැටුම මේ වනවිට මතුපිට තලයට පැමිණ තිබේ.

ඒ රාජපක්ෂවරුන්ගේ මස්සිනා කෙනෙකු වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා තිරුකුමාර් නඬේසන්, පැලවත්ත අකුරේගොඩ ඉදිකරන ආරක්ෂක හමුදා සංකීර්ණයේ ඉදිකිරීම්වලට අදාළ ගනුදෙනුවල වාර්තා, තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගැනීමත් සමගය.

එම තොරතුරු ලබා ගැනීමෙන් පසු තිරුකුමාර් නඬේසන් මහතා, ලංකා නිව්ස්වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමාට අවශ්‍ය වූයේ බිලියන ගණනක දූෂණයක් හෙළකිරීම බවයි. අත්දැකීමෙන් ඉතාම අඩු පුද්ගලයෙකුට බිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් ලබා දෙමින් සිදුකර ඇති මහා පරිමාණ දූෂණය පිළිබඳව පළවී ඇති තොරතුරු නිල වශයෙන් ලබාගන්නට ඔහු උත්සාහ කළ බවයි. අකුරේගොඩ ආරක්ෂක හමුදා සංකීර්ණය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් මත ඉදිකෙරුණු අතර එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව මුදිත ජයකොඩි ඇසෝසියේට් සමාගම වෙත ලබාදීම සිදු කර තිබුණි.

මුදිත ජයකොඩි යනු බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව දැනට විභාග වෙමින් පවතින මල්වාන මන්දිරය පිළිබඳ නඩුවේ පැමිණිලිකරු වේ. එම මන්දිරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු මුදිත ජයකොඩි වන අතර බැසිල් රාජපක්ෂ තමාට එහි ඉදිකිරීම් ගාස්තු නෙගෙවූ බවට මීට පෙර ඔහු පැමිණිලි කර තිබුණි. තිරුකුමාර් නඬේසන්ද එම නඩුවේම විත්තිකරුවෙක් වේ. ඒ මල්වානේ මන්දිරයේ ඉදිකිරීම් ඉඩම තිරුකුමාර් නඬේසන්ගේ නමින් මුලින් මිලදී ගෙන තිබුණු නිසාය.

පසුව එම ඉඩමේ අයිතිය තිරුකුමාර් නඬේසන්, මුදිත ජයකොඩිගේ නමට පවරා තිබූ අතර මල්වාන මන්දිර නඩු විභාගයේදී මුදිත ජයකොඩි පවසා තිබුණේ එම පැවරීම තමා නොදැනුවත්ව සිදුකර ඇති එකක් බවත් තමා එම ඉඩමට අයිතිවාසිකම් නොකියන බවත්ය.

අකුරේගොඩ හමුදා සංකීර්ණයේ ඉදිකිරීම්වලට අදාළව මුදිත ජයකොඩි සමාගමට ලබා දී ඇති ගෙවීම් පිළිබඳව තිරුකුමාර් නඬේසන් අමාත්‍ය මණ්ඩලයෙන් තොරතුරු ඉල්ලූ විට එය ප්‍රතික්ෂේප  වී ඇත. පසුව අභියාචනයේදී තොරතුරු කොමිසම එම තොරතුරු ලබා දෙන ලෙස නියෝග කර ඇත. එම නියෝගය මත එම තොරතුරු ඔහුට ලබාදීම අමාත්‍ය මණ්ඩලය විසින්ද අනුමත කොට තිබේ. නඬේසන් මහතාට එම තොරතුරු ලබා දී ඇත්තේ හමුදා සංකීර්ණය පිළිබඳ විමර්ශනය කළ විතානගේ කමිටු වාර්තාවේ පිටපතක් ලබා දීම මගින්ය. ■