ලෝක ප‍්‍රකට නාට්‍යකරුවෙකු වන ඇමරිකානු ජාතික ආතර් මිලර් ලියූ ‘ද කෲසිබල්’ නැමැති නාට්‍යය ‘මායා බන්ධන’ නමින් මීට කලකට පෙර මා සිංහලට පරිවර්තනය කොට තිබේ. ගිය වසරේ එම පිටපත නාට්‍ය නිෂ්පාදනයක් වශයෙන් උෂාන් පෙරේරා නැමැති තරුණ නාට්‍යකරුවා කරලියට ගෙනාවේය. මේ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන දහයක් ඊට හිමි විය.
මේ නාට්‍යයට ප‍්‍රස්තුත වන්නේ, 15 වැනි සියවසේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ එක් නගරයක පැතිරී ගිය යක්ෂාවේශයක් පිළිබඳ සත්‍ය ප‍්‍රවෘත්තියකි. එදා, යක්ෂාවේශයකට ලක්වන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. මේ කියන නගරයේ ගැහැනු කිහිප දෙනෙකුගෙන් ඇරැුඹුණු ඒ ප්‍රෝඩාකාරී යක්ෂාවේශයට, වැඩි කල් නොගොස්, මුළු නගරයම බිලිි වුණි. යක්ෂයෙකු ආවේශ වූ කෙනෙකුට පල්ලියේ අධිකරණය (දණ්ඩාධිකරණය) ඉදිරියේ යම් නිදහසක් ලබා ගත හැකි වුණේ, තමා යක්ෂාවේශයට යටව ඇති බවට පාපොච්චාරණයක් කිරීමෙන් සහ තමන්ව ඒ යක්ෂයාට ආවේශ කැරැුවූ වෙනත් පුද්ගලයන් හෙළිදරව් කිරීමෙනි. මේ තත්වය තුළ, නගරයේ විශාල පිරිසක්, මේ අභූත චෝදනාවට ලක්ව, මරණීය දණ්ඩනයට නියම වූහ.
1950 දශකයේදී ආතර් මිලර් මේ සිද්ධිය පාදක කොටගෙන ‘මායා බන්ධන’ නාට්‍ය කෘතිය ලියන්නේ, එදා ඇමරිකාවේ ඇති වෙමින් තිබූ ඊට සමාන වෙනත් දේශපාලනික තත්වයක් නිරූපණය කිරීමට ය. මේ කාලයේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෝසප් මැකාර්ති, ‘රතු භීතිකාවක්’ රට තුළ වපුරමින් සිටියේය. කොමියුනිස්ට්වාදය මගින් ඇමරිකාව ගිල ගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත්ව ඇති බවට ඉතා ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගූ මොහු, එය මර්දනය කිරීම සඳහා රාජ්‍ය යන්ත‍්‍රය භාවිත කෙළේය. යමෙකු කොමියුනිස්ට්වාදියෙකු වශයෙන් හඳුනා ගැනුණොත්, එම පුද්ගලයාව විවිධ අඩන්තේට්ටම්වලට ලක්කෙරුණි. ඔහු රාජ්‍ය නිලධාරියෙකු නම් සේවයෙන් පහ කෙරුණි. ඇතැම් අවස්ථාවක ඊටත් එහාට යමින්, කුමන්ත‍්‍රණ චෝදනා මත හිරේට නියම කෙරුණි. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් බොහෝ දෙනා, තම තමන්ගේ පුද්ගලික කෝන්තරත් පාවිච්චියට ගනිමින් තම සතුරන් සහ ප‍්‍රතිවාදීන් ‘කොමියුනිස්ට්වාදීන්’ වශයෙන් හඳුන්වා රාජ්‍ය බලධාරීන්ට පාවා දීමට පටන් ගත්හ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එදා මුළු ඇමරිකාවම ඉහත කී ‘රතු භීතිකාවෙන්’ ඇළලී ගියේය.
බැඳුම්කර වංචාව පටන් ගත්තේ පුද්ගලයන් දෙතුන් දෙනෙකුගේ සහ එක් ව්‍යාපාරික ආයතනයක මහ පරිමාණ සොරකමක් වශයෙනි. ඒ සොරකම සඳහා යොදා ගැනුණේ මහජන මුදල් නිසා එය වෙනත් සොරකම්වලට වඩා සමාජයේ කතාබහට ලක්වුණි. මේ ගැන එදා පටන්ම මේ ලියුම්කරු ඇතුළු විවිධ සමාජ ක‍්‍රියාධරයන් (විපක්ෂයේ දේශපාලනඥයන්ට අමතරව) රට ඉදිරියේ කරුණු ගෙනහැර දක්වා ඇත. එපමණක් නොව, මහ බැංකු අධිපති ධුරයට දෙවැනි වතාවටත් අර්ජුන මහේන්ද්‍රන් පත් නොකළ යුතු බවට විශාල සමාජ මතයක් ද අප විසින් ගොඩනගන ලදි.
කරුණු එසේ තිබියදී, පසුගිය සතියේ, පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් මේ බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල් ඇලෝසියස් විසින් සමාජ ක‍්‍රියාධරයන් කිහිප දෙනෙකුටත් දී ඇති බවට චෝදනා කළහ. පූජ්‍ය දඹර අමිල හිමි, ධර්මසිරි බණ්ඩාරනායක, සමන් රත්නප‍්‍රිය, සමනලී ෆොන්සේකා සහ මගේ නම එහිදී ඔවුහු සඳහන් කළහ.
දැන්, මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අප විසින් කරන ලදැයි ඉහතින් කී සියලූ විරෝධතා, මේ මන්ත‍්‍රීන්වරුන් දෙන්නාගේ චෝදනාවෙන් ගැලවීම සඳහා අපේ නිදහසට පාවිච්චි කිරීමේ සාක්ෂියක් වශයෙන් ගැනීමේ හැකියාවක් අපට නැත. මන්ද යත්, අප මෙන්ම මේ වංචාව විවේචනය කළ සහ ඊට එරෙහිව විරෝධය පෑ දයාසිරි ජයසේකර වැනි දේශපාලනඥයන් ද මහ බැංකුවෙන් සොරකම් කරන ලද එම මුදලින් කොටසක් ලබාගෙන ඇති බවට සමාජය ඉදිරියේ ඔප්පු වී ඇති බැවිනි. ඔහු විසින්මත් මේ වන විට එය පිළිගෙන ඇති බැවිනි. මේ නිසා, අද වන විට මා ඇතුළු සිවිල් ක‍්‍රියාධරයන් පස් දෙනෙකුත් ඒ ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට කෙනෙකු චෝදනා කළ විට, එම සොරකමට එරෙහිව අතීතයේ අප කළ කී දෑ අද අපේ ආරක්ෂාව සඳහා පාවිච්චි කිරීමට තිබූ හැකියාව පරල වී ගොස් තිබේ.
එබැවින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් මගේ සරල උත්තරය වන්නේ මෙයයි: පසුගිය ජනාධිපතිවරණයට කලින් හෝ ඉන් පසුව, අර්ජුන ඇලෝසියස්ගෙන් හෝ ඔහුට සම්බන්ධ කිසි පුද්ගලයෙකුගෙන් හෝ කිසි ව්‍යාපාරයකින්, සෘජුව හෝ වක‍්‍රව, චෙක්පතකින් හෝ වෙනත් කිසියම් මාර්ගයකින් සත පහක මුදලක්වත්, මූල්‍යමය නොවන වෙනත් ප‍්‍රතිලාභයක්වත් ලබාගෙන ඇති බවට කෙනෙකු ඔප්පු කළොත්, ඊට අදාළව නීතිය ඉදිරියේ ඇති දඬුවමකට අමතරව, සමාජ-ශෝධනය සඳහා වන පොදු ක‍්‍රියාකාරීත්වයෙන් මුළුමණින් ඉවත් වීමටත් මම යටත් වෙමි. මන්ද යත්, එවැනි සදාචාර-විරෝධී ක‍්‍රියාවක නිරතව ඇති කෙනෙකුට, තවදුරටත් සමාජය පිරිසිදු කිරීමේ පොදු කාර්යයක නිරත වීමේ සදාචාරමය අයිතියක් හිමි නොවන බැවිනි. මෙහිදී, ‘ඔප්පු’ කිරීම යන්නෙන් මා අදහස් කරන්නේ, උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීමම නොවේ. දේශපාලඥයන් සහ අප වැනි සමාජ ක‍්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් උසාවියකට යාටම කලින්, මෙවැනි කාරණයක් ඉන් මෙහා ‘ඔප්පු’ කිරීමේ ඉමක් තිබේ. උදාහරණයක් වශයෙන්, අහවල් පුද්ගලයා විසින් අහවල් දවසේ අහවල් මුදල් ප‍්‍රමාණයක් හෝ වෙනත් ප‍්‍රතිලාභයක් මට සපයා ඇතැයි යම් සාක්ෂියක් හෝ සාක්ෂිකරුවෙකු සහිතව ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් වන්නේය.
මේ කාරණය පිළිබඳව සමනලී ෆොන්සේකා හැරුණු කොට අපි සියලූ දෙනා පසුගිය සතියේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වා කරුණු ඉදිරිපත් කෙළෙමු. (සමනලී ෆොන්සේකා මේ දිනවල විදේශගතව සිටින නිසා ඈට ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගී වීමට නොහැකි වූ අතර ඇය වෙනුවෙන්, ‘අලූත් පරපුර’ නියෝජනය කරමින්, සුදන්ත මාධව ඊට සහභාගී විය).
අපේ පොදු ආස්ථානය වන්නේ මෙයයි:
මුලින්ම, මේ කියන මන්ත‍්‍රීවරුන් දෙන්නා ඔය කියන ප‍්‍රකාශය පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කළ යුතුව තිබේ. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වී ඕනෑම කුණුහරුපයක් දෙසාබෑමේ අයිතියක් බොහෝ මන්ත‍්‍රීවරු පාවිච්චි කරති. ඔවුන්ට විරුද්ධව කිසි නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ පුළුවන්කමක් පුරවැසියන්ට නැත. එනිසා, මේ දෙන්නා කරන්නේ හුදු අවලාදයක් නොවන්නේ නම්, ඔවුන් කළ යුත්තේ, ඔය චෝදනාව ඔය ආකාරයෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතට විත් ප‍්‍රකාශයට පත්කිරීමයි.
ඇලෝසියස් නැමැති තනි පුද්ගලයෙකුගෙන් පටන් ගත් සොරකම, අද වන විට සාමූහිකයක සොරකමක් බවට රූපාන්තරණය වෙමින් හෝ කෙරෙමින් හෝ පවතී. සමහරුන්ට මෙය, මුල් සොරකමේ සැර බාල කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි උපායක් විය හැකිය. තවත් අයට එය, හතර අතේ මඩ ගැසීම සඳහා පාවිච්චි කළ හැකි මෙවලමක් විය හැකිය. ඇලෝසියස්ගේ සිට රවි කරුණානායක දක්වා මුලින් දිගෑදුණු මේ ආකෘතිය, අනතුරුව, දයාසිරි ජයසේකර, සරත් ෆොන්සේකා සහ සුජීව සේනසිංහ දක්වා ව්‍යාප්තව ගොස්, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකු දක්වා ද පැතිරී ගොස් තිබේ. ඉන් පසුව තවත් එය ව්‍යාප්තව ගොස්, මන්ත‍්‍රීවරුන් 164ක් දක්වා ඊට සම්බන්ධ බවට චෝදනා නැගේ. සමාජ කි‍්‍රයාධරයන් වන අප වැන්නන් ඊට ඈඳා ගැනෙන්නේ ඉන් පසුව ය. ඊටත් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ දොස්තර නලින්ද ජයතිස්සට පවා නිදහසක් නොවුණි. මේ වනාහි, අර මුලින් කී යක්ෂාවේශය මිස අන් කවරක් ද?
මේ පසුපස දේශපාලනික හස්තයක් ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය. බැªම්කර වංචාව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කරන්නේ, ඒ පිළිබඳ සියලූ තොරතුරු දැන ගැනීමේ අයිතියක් මේ රටේ පුරවැසියන්ට ඇති බවට වන විශ්වාසයක් නිසා ය. හුදෙක් වැරදිකරුවන්ට දඬුවම් දීම පමණක් අරමුණ විණි නම් එය කළ යුතුව තිබුණේ අධිකරණය මාර්ගයෙනි. එහෙත්, දැන්, ඒ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව තිබියදීත්, එයින් කොටසක් පමණක් කතානායකවරයාට ලබා දී ඉතිරි කොටස ජනතාවගෙන් වසංගන්නේ කුමක් සඳහා ද? ඒ සඟවන කොටස තුළ අඩංගු කාරණා කවරේදැයි දැන ගැනීමේ අයිතියක් ජනතාවට නැත් ද? මේ වාර්තාව සම්පූර්ණයෙන් ජනතාවට නිරාවරණය නොකරන තාක් කල්, ඕනෑම කසඩයෙකුට මේ රටේ ඕනෑම පුරවැසියෙකු සම්බන්ධයෙන් රිසි සේ අවලාද නැගීමේ අවස්ථාව ජනාධිපතිවරයා විසින්ම උදා කර දී ඇති බව පැහැදිලි ය.
ඒ නිසා මේ වාර්තාව වහා ප‍්‍රසිද්ධ කළ යුතු බව අපි ඉල්ලා සිටිමු. වෙන කිසිවක් සඳහා නොවෙතත්, අඩු වශයෙන් සොරුන් සහ තක්කඩියන් නොවන පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහාවත් එයින් ඉමහත් පිටිවහලක් ලැබෙන බැවිනි.