ටැබූ සබ්ජෙක්ට්ස්

‘මැයි මස අවසන් වන විට ලාංකීය සිතුවිලි වසා දමනු ලැබේ. වසර දහයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ වෙබ් අඩවිය සඳහා ඩොමයින් නාමයට 2018 – 2019 වසර සඳහා රුපියල් 3,450.00 ගෙවිය යුතුව ඇත.’

මේ නොතීසිය ලේඛකයා ඇසැ ගැටෙනුයේ ‘ලාංකීය සිතිවිලි’‍ සින්දියේය. ගොළුඅබා රජපස සිරිමතුන් සුරතලයට කිරිමෝරුන් ඇති කරන සමයෙහි ‘ලාංකීය සිතිවිලි’ සින්දිය තවත් එබඳුම සින්දි දහ පහළොවක් සමඟ තරගයට සේ බ්ලොග් සින්දිකිත කළේය. නැතිනම් එක පියසකට රැුගෙන ආයේය. ඒ යුගයේ සින්දි කෙතරම් ජනප‍්‍රිය වීද යත් අපට අඩු වූයේ ‘සින්දි සින්දිකිත කරන සින්දියක්’ පමණකැයි මහදැනමුත්තෝ කීහ.

අද සින්දිද, ඒවායින් සින්දිකිත කළ බ්ලොග් සේම එකිනෙක මියැදෙමින් පවතී.

‘‍ඇත්තටම එහෙම වෙනවද අයියෙ?’‍ අප තුළ සිටින මහඋල්පතගමින් ආ යව්වනයා අසන්ට පිළිවන.

නො එසේය කෙනකුට තර්ක කරනු බැරිම නැත්තේය. ඉකොනොමැට්ටා ‘සතපහ’‍ ට හා ‘බොදුන් හල’‍ට දැනුදු එක් කරන පර්යේෂණාත්මක, එහෙත් කියැවියැකි බ්ලොග් සටහන් රැුසක් අපේ නේත‍්‍රාංජනය කරති. මසෙකට එක දෙකක් වුව රසිකයාද දකුණු කුරුදිවයිනෙහි හිඳ තවමත් කතන්දර ලියයි. ශාස්තෘ අජිත් පැරකුම් ජයසිංහ නේක වර්ණ පිළි ඇඟලූ සැටියෙකි. ඔහුද දිනපතා හරවත් යමක් අපේ දෙනුවනට යොමු නොකරන්නේමැයි කිව නොහැකිය. නොරටක වෙසෙන රුවන් එම්. ජයතුංග වෙදනුවෝ ට‍්‍රාන්ස්සිල්වේනියා නමින් බ්ලොගයක් කරති. අසමි දකිමි සොයමි විචාරක නැති අඩුව පිරවන්ට ඔහුගේ දියණිය යම් උත්සාහයක් දරයි. පැරැුණිම බ්ලොග් රචකයකු වූ දයාල් බතීද තවම ඉඳහිට හෝ ලියන්නෙකි. ලේඛකයාගේ රස බලන්ට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරෙකින් වුවද හැලපේද හැලප බායි. අරුණි ශපීරෝද පෙර ජවයෙන්ම වේගයෙන්ම ලියයි. ඇගේ ලිබරතේරියන් බ්ලොගය ලබන ප‍්‍රතිචාරය නොදනිමි.

‘බ්ලොග් කියන්නෙ වෙනම ආතල් එකක් බං. තාමත් කට්ටිය ලියනවා නම් තමයි.  ඕවා කියවන පිරිසකුත් ඇති, අපි නොකියෙව්වට. හැබැයි දැන් අර අවුරුදු හත අටකට උඩින් තිබුණු ගැම්ම නෑ. මටත් හරියටම තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියලා. දැන් ඉතින් හැම මඟු‍ලම වෙන්නෙ ෆෙස්බුක් එකේ…’ මේ ජෙහාන්ය.

බ්ලොග් අවකාශයෙහි අක‍්‍රියාකාරිත්වයට හේතුව වත්පොතය යන ජෙහාන්ගේ තර්කයෙහි ඇත්තක් සේම නැත්තක්ද ඇත්තේය.

ඇත්ත නම්, අද වත්පොතෙහි අධික‍්‍රියාකාරී බොහෝ දෙනකු පෙර බ්ලොග් රචකයන් රචිකාවියන් බවය. කිසිදු පිළිවෙළකින් තොරව – අහඹු ලෙස – ලේඛකයාගේ මතකයට නැෙඟන නම් ලෙසින් සලකතොත් මනෝරම වීරසිංහ, ප‍්‍රියන්ත හේවගේ හෙවත් මාතලන්, වත්සලා උපමාලි හෙවත් සොඳුරු සිත, සුභාෂ් ගුණවර්ධන, දුෂාන් කරවිට, චමීර ජීවන්ත දෙද්දුවගේ, දමිත් කේතක, සුජීව කොකාවල, දුලිප් සිකුරාජපති, බුද්ධි ප‍්‍රසාද්, රචින්ත ජයවර්ධන, චානක අරුණ මුණසිංහ, සිතුමිණි රතනමලල, සහන් කසීර වික‍්‍රමසිංහ, මෞර්ය රාජ්, රංග මිගාර වීරක්කොඩි, රමිඳු ලක්ඛික පෙරේරා, රිටිගල ජයසේන, රසික නානායක්කාර, චතුශ තුෂර කුමාර, අභීත එදිරිසිංහ, ඉන්දික කොඩිතුවක්කු, ප‍්‍රියන්ත වෙනිවැල්පිටිය, සුමිත් නිරිඇල්ල, හසිත චාමිකර ගුණසිංහ, නලීන් දිල්රුක්ෂ, පියල් අරියනන්ද, උදිත මීගහතැන්න වැනි චරිත අටෝ රාසියක් අපට මුල් වරට හමුවන්නේ බ්ලොග් අඩවියක් තුළිනි. අද මින් අතිබහුතරය එක්කෝ බ්ලොග් නොලියති. නැතොත් අවාරයේ සිරිපා නඟින්නාක් සේ බ්ලොග් සටහනක් ලියමින් සිය ක‍්‍රියාකාරිත්වය වත්පොතට අභිසාරී කරති. බැහැරින් එදෙස බලන කනෙකුට පෙනෙන්නේ ඒ බ්ලොග් රචකයන් රචිකාවන් පිරිසක වත්පොතට සංක‍්‍රමණය වීමක් සෙයිනි. පුහුලම් මඳ වූ කල්හි වවුලෝ ගස් හැර නොයතිද සකියනි? එනයින් ජෙහාන් නිවැරදිය. පෙර බ්ලොග් අවකාශයෙහි වූ මත දැක්වීම්, නිර්මාණ, ගැටුම් සියල්ල වත්පොතට පැමිණ ඇත්තේය. පෙර බ්ලොග් රචකයෝ රචිකාවෝ දැන් වත්පොතෙහි අදහස් පළකරති; ගැටෙති.

සමාජ මාධ්‍ය පොදුවේ ගත් කල කිසිවක වෙනසක් නැතැයි කවරෙක් හෝ තර්ක කළ හැක්කේය. යුගයෙක පේ‍්‍රක්ෂකයෝ සිතුවම්පට නැරැුඹීම පිණිස සිනමාශාලා වෙත ඇදුණහ. අද ඒ පේ‍්‍රක්ෂකයෝම සංයුක්ත තැටි මිලට ගෙන සිය නිවෙසේදී සිතුවම්පට නරඹති. තිරය කුඩාය. පොප්කෝන් නැත. පේ‍්‍රක්ෂකයා තිරයටම ඇදබැඳ තබන අඳුරු පරිසරයද නැත. එතකුදු වුව ඒ එකම කර්මාන්තයයි. සිතුවම්පට කර්මාන්තයෙහි වෙනසක් ඇති වේ නම් ඒ වෙනම තලයකය. අද පේ‍්‍රක්ෂකයන් රේඛාව හෝ නිධානය නොනරඹන්නේ නම් ඒ වෙනත් හේතූන් නිසා මිස කර්මාන්තය බිඳවැටී ඇති හෙයින් නොවේ. මෙසේම බ්ලොග් වෙනුවට ෆෙස්බුක් ආදේශ වීම හුදෙක් වේදිකාවේ වෙනසක් පමණෙකැයිද බ්ලොග් ලෝකය අක‍්‍රියාකාරී වී නැති බවද තර්කයක් සේ ඉදිරියට ගෙනෙන්ට පිළිවන.

ජෙහාන් හා ප‍්‍රියන්ත මැදට ඔස්ටින් අයියා පාත්වී පෙන්නා දෙන්ට ඉඩ ඇත්තේ කර්මාන්තයක් වශයෙන් එකක් වුව බ්ලොග් හා ෆෙස්බුක් යනු සංස්කෘතීන් ලෙස දෙකක් බවයි.

ලේඛකයාට මේ සම්බන්ධයෙන් ගෙනහැර දැක් විය හැකි විශිෂ්ටම නිදර්ශනයක් නම් කෙටිම කාලයක් තුළ හිට්ස් 200,000 පසුකළ බ්ලොගය සේ සැලකිය හැකි ‘‍වර්ගපූර්ණිකාව’‍ නම් නිර්මාණාත්මක බ්ලොගයයි. මේ බ්ලොගයේ අරමුණ වූයේ එවක (2011-12 පමණ* ළැව්ගින්නක් සේ පැතිරගිය රාවණා උන්මාදය සියුම් උපහාසයට ලක්කිරීමයි. එහි රචකයා ‘‍මීවනපලාන ජයරත්න’‍ සේ පෙනීසිටියේය. මේ අන්වර්ථ නාමයක් බවට සැක නැත. ඉහත සඳහන් නම් දෙකකට අදාළ චරිතයන්හි ලේඛන ශෛලිය වර්ගපූර්ණිකාවේ ශෛලියට අනුරූප බව පහත කෙටි උපුටනයෙන් ඔවුනගේ පාඨකයන් පහසුවෙන් හඳුනාගනු ඇතැයි සිතමි.

උපුටනය

එංගලන්තය, රාවණ රජතුමාට තිබූ විදේශ යටත්විජිතයකි.

හෙලෝ!, අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න සිත් විය. ඒ තමයි එංගලන්තය!

දැන් ඔබ හිතාවි ආයුබෝවේවා! නොකියා ඇයි මේ ‘හෙලෝ!’‍ කියමින් පර සුද්දන්ගේ බාසාවෙන් මේ හෙළගවේෂණ වර්ගපූර්ණිකාවෙ ලිපිය පටන් ගත්තෙ කියල. ඊට හේතුව තමයි එයත් අපගේ හෙළ වදනක් වීම. සැබෑ රාවණගවේශකයෙකුට අනුව ‘හෙළෝ’ යන වචනය හැදී තියෙන්නේ, රාවණා රජතුමාගේ කාලයේදී තලබනුවෙන් බණන විට හෙළයෙක්දැයි දැනගැනීමට ග‍්‍රාහකයා ‘‍හෙළෝ’ කියා අසන නිසයි. හෙළ+ ඕ=හෙළෝ. අනික් පස සිටින්නේත් හෙළයෙකු නම් ඔහුත් ‘‍හෙළෝ’ කියා ප‍්‍රතිචාර දක්වයි. ඒ සිරිත සිට අද දක්වාම එය පැවතෙයි.

ආදි සිංහලන්ත දිවයින, ලංකාපුරයට යට පැත්තේ පිහිටා තිබීම නිසා රාවණ රජතුමා විසින් එය ලංකාපුරයේ අනිත් පැත්තට ගැළපෙන ආකාරයට න්‍යෂ්ටික පිපිරීම් සිදුකර සැකසුව බව, ඉපැරණි යක්ෂ ගෝත‍්‍රික පුස්කොළ පොතක් වන වර්ගපූර්ණිකාවේ, ලෝනාගවසකය නැමැති ටීකාවේ දැක්වේ. එසේ කළේ විශ්ව ශක්ති නියමයට අනුව ලෝකය සමතුලිත කිරීමටලූ. බොරුයි කියා සිතේ නම් වර්ගපූර්ණිකාව හොයාගෙන කියවා බැලිය හැක. එහෙත් කාලයත් සමග ඇතිවූ සුනාමි (සුසුණුවිසුණු, නාවතුර, මිමිහිතලය, ඒක නිසා සුනාමි කියන්නේ පොලොව සුණු විසුණු කරන වතුර කියන එක. මූලාශ‍්‍රය: අරිසෙන් අහුබුදු සූරීන්ගේ පද පෙරළියක්) සහ සමුද්‍ර ඛාදන තත්ත්වයන් නිසා, අංගසමව තිබූ සිංගලන්තයේ සහ ලංකාපුරයේ හැඩරුව එකිනෙක වෙනස් විය.

ඒ ආකාරයෙන් චක‍්‍රවර්තී දසිස් රාවණා රජතුමා විසින් පාලනය කළ අතීත සිංහලන්ත (අද එංගලන්ත) දිවයිනේ හැම නගරයක් නගරයක් පාසාම තාමත් ශ‍්‍රී රාවණ නරේන්ද්‍රයාගේ කිතු ගොස ‍රැව්-පිළි‍-රැව්දේ. වර්තමානයේදී එංගලන්තයේ ඇති නගරවල නම් පවා බිහිවීමට රාවණ රජතුමා මූලික වූ බව අද සනාථ වී අවසානයි.(උපුටනය)

වත් පොත්හි කවරක් ලියැවුණද මේ හා සම කළ හැකි නිර්මාණයක් දීර්ඝකාලයක් තිස්සේ නොවූ බව සහතිකය. වත්පොත්හි ලියැවෙන මෙවැනි බොහෝමයක් දේ සෝඩා බෝතල මෙන් කැඩූ විගස හඬක් නඟා මැකී යයි. දීර්ඝ කාලයක් තිස්සේ පාඨකයා රඳවා ගැනීමක් ඒවායින් සිදු නොවේ. මෙබඳු සංස්කෘතියක් ගොඩ නැෙඟන්නේ අනිවාර්යයෙන්ම සාම්ප‍්‍රදායික බ්ලොගයකමැයි.

බ්ලොග් සංස්කෘතියේ තවත් අනන්‍ය පැතිකඩක් විදහා දක්වනු පිණිස ලක්මාල් කන්දෙවිදානගේ ‘‍අටම්පහුර’‍ හා චින්තක සඳරුවන් ජයවික‍්‍රමගේ ‘‍හිස් අහස’‍ එකට සලකමු. මේ දෙදෙනාම පෙර කී බ්ලොග් රචකයන්/රචිකාවන් මෙන් බ්ලොග් අතැර වත්පොත ආගමනය කළෝ නොවෙති. ඔවුනට වත්පොත ආගමනය කළ හැකියැයිද නොසිතමි. ඒ ඔවුන්ගේ වේදිකාව නොවෙන හෙයිනි.

මේ දෙදෙනාගේම අපූර්වත්වය ඔවුන් දෙදෙනා කිසිම අයුරෙකින් සම්මත මුළු ධාරාවේ ජනමාධ්‍යයකින් එළි බහින්ට ඉඩ නැති ආකාරයේ ලියන්නන් දෙදෙනකු වීමය. එක අතෙකින් ඔවුනට ඊට අධ්‍යාපන සුදුසුකම් නැත. අනෙක් අතින් ඔවුන් ලියන්නේ ඔවුන්ට රිසි දේ ඔවුනට රිසි අයුරින් මිස මුළු ධාරාවේ මාධ්‍ය පණ්ඩිතයන්ට අවශ්‍ය ආකාරයට නොවේ. බ්ලොග් කෙළියට බහින විට චින්තක සඳරුවන් (‘සඳරු’‍) අම්පාරේ පෞද්ගලික පරිගණක පාසලක පුහුණුකරුවෙකි. ලක්මාල් කන්දෙවිදාන මහන මැෂින් අලූත්වැඩියා කරන්නෙකි. මේ ඔෆීසියල් භූමිකාවලට එපිටින් ඔවුන් දෙදෙනා තුළම අපූරු සත්ත්වයෙකු බැගින් සැඟව සිටී. ඔවුන්ගේ බ්ලොග් හරඹයෙන් එළියට එන්නේ මේ සතාය. ඒ ආගමනය පිණිස බ්ලොග් එකක්ම ඇවැසිය. එසේ නැතිව වත්පොතෙහි එවන් ආගමනයක් වනු නැත්තේය. මේ ලියැවිල්ල අහවර කරනු වස් දිගු කතාවක් කෙටියෙන් කියන්නේ නම්, ලේඛකයා කලෙක පටන් වත්පොතින් එපිට බ්ලොග් හරඹයක් ගැන සිහිනයක් දකිමින් සිටියේය. එය පෙර බ්ලොග් හරඹයෙන් වෙනස් විය යුතුය යම් අදහසක් ඔහුට විය. එහෙත් ඒ කෙසේද යන්න පැහැදිලි නොවීය.

ඔබ කියවන මේ අසම්පූර්ණ අවිධිමත් සටහන එවැනි අළුත් ගමනෙක ඇරැුඹුම විය හැකිය.