ඔක්තෝබර් 26 වැනිදා ගත් ක‍්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර තත්වයකට පත්වී ඇති බවත්, තවත් කල් නොයවා පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන්දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක‍්‍රියාකරන ලෙසත් සියලූ පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනය කරන බව කථානායක කරු ජයසූරිය ජනාධිපතිවරයාට පිළිතුරක් යවමින් සඳහන් කරයි.

කථානායක කරු ජයසූරිය විසින් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුවේ තත්වය පිළිබඳව දැනුවත් කරමින් ජනාධිපතිවරයාට යැවූ ලිපිය සඳහා ජනාධිපතිවරයා විසින් යොමුකළ ප‍්‍රතිචාර ලිපියට ප‍්‍රතිචාර වශයෙන් ජයසූරිය මහතා විසින් මෙම ලිපිය නොවැම්බර් 15 වැනිදා යවා තිබේ.

ආර්ථිකය, සහජීවනය, සංචාරකයන්ගේ පැමිණීම හා අන්තර්ජාතිකව ශ‍්‍රී ලංකාව ලබා තිබූ කිර්තිනාමයද දිගු දේශපාලන දිවිය තුළින් ජනාධිපතිවරයා පෞද්ගලිකව උපයාගත් ගෞරවයද අද ශීඝ‍්‍රයෙන් පිරිහෙමින් පවතින බවත් දැනට ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී ඇති බවත් කථානායකවරයා එම ලිපියෙන් අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි නොවැම්බර් 15 දින පෙරවරු 8.30ට හමුවීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයා එවා ඇති ලිපියේ සඳහන් ආකල්ප නිරීක්ෂණය කරන විට එවන් හමුවීමක් ඵල රහිත බව පක්ෂ නායකයන්ගේ අදහස බවද කථානායකවරයා එහි සඳහන් කර ඇත.

තවද ජනාධිපතිවරයාගේ ලිපියෙහි සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයන්ගේද උපදෙස් ඇතිව පිළිතුරු එවීමට අපේක්ෂා කරන බවද එහි වැඩිදුරටත් සඳහන්ය.

ඉඳුවර බණ්ඩාර