හංසි මානවඩු

බස් සංගම් විසින් මේ වන විට තෙල් මිල වැඩිවෙද්දී බස් ගාස්තු වැඩිකිරීම සඳහා ආණ්ඩුවට තියෙන වගකීම සිහිකරලා දෙන්න පටන් අරගෙන තියෙනවා. වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡුා කිරීමේ ප‍්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප‍්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාව දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ඒ සඳහා පැහැදිලි අයිතියක් තියෙනවා. බස් කර්මාන්තය මහා ලාභ ලබන ව්‍යාපාරයක් නොවන බවත් අපි දන්නවා. බස් ගාස්තුවේ 12.5ක වැඩිවීමක් වෙලා තියෙන්නේ ඔය සියල්ලම අනුව.
තෙල් මිල වැඩි වෙද්දී බස් ගාස්තු වැඩිවෙන්න ඕනෑ බව බස් සංගම් නිවැරදිවම ආණ්ඩුවට මතක් කරනවා. ඒක ඇත්ත. එහෙත් තෙල්මිල අඩු වුණොත් බස් ගාස්තු අඩුවෙන්නේ නැහැ. ඒ වෙද්දී වෙනත් අමතර උපකරණවල මිල වැඩිවීම වගේ හේතුවක් එක්ක බස් ගාස්තුවත් ඒ මට්ටමෙන්ම පවතිනවා. ඒ සියලූ‍ කාරණා පසෙක තිබියදී අප සොයාබැලිය යුතු කාරණයක් තියෙනවා. පෞද්ගලික බස් සේවාවේ ගුණාත්මකභාවය මොනවගේද කියන එක. එහි වෙනසක් සිදුවෙලාද.
2015 දී ලංකාවේ තිබුණු පෞද්ගලික බස් ප‍්‍රමාණය 19,000ක් පමණ වෙනවා. ඒ බස් සම්බන්ධයෙන් ආ පැමිණිලි ප‍්‍රමාණය 3,400ක්. මේ ප‍්‍රමාණය එදිනෙදා බස් සේවයේදී සිදුවෙන නොකටයුතුකම්වලින් සීයට එකක්වත් නියෝ්ජනය නොකරන බව බස් පාරිභෝගිකයන්ගේ එදිනෙදා අත්දැකීම. සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමක් නිහඬවම විඳදරා ගැනීම තමයි පාරිභෝගිකයන්ගේ සිරිත.
ලංකාවේ එස්.එල්.ටී.බී. බස්වලට කිසිසේත්ම ප‍්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බැහැ. ඉතින්, ප‍්‍රවාහන අවශ්‍යතාව තියෙන්නේ පෞද්ගලික බස් සේවයේ අධිකාරිය යටතේ්. ඒ නිසාම රජයට පෞද්ගලික බස් සංගම්වල යෝජනාවලට ඇහුම්කන් දෙන්න සිද්ධවෙනවා. ඒ වගේ්ම මඟීනුත් බස් රථයේ නීතිවලට අනුගත වෙන්නට හුරුවෙලා. බස් රථයක් මහපාරේ දුවන්නේ පොදු ජනතාවට අයිති ගමන් කාලය පාවිච්චි කරමින්, කොන්දේසි බොහොමයකට එකඟ වෙමින් බව මඟීන්ට සහ රජයටත් අමතක වෙලා. සමහර විට මේ පාර්ශ්වයන් දෙකම ඒ බව නොදන්නවා වෙන්න ඇති.
බස් රථයේ රියැදුරාට හෝ කොන්දොස්තරවරයාට බස් රිය තමන්ගේ පෞද්ගලික දේපලක් ලෙස සැලකීමේ අයිතියක් නැහැ. බස් පර්මිට් එකක් හෙවත් ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබාගෙන බස් රථයක් මහාමාර්ගයට යොදවද්දී මඟීන්ට ලැබෙන අයිතීන් රැුසක් තියෙනවා. බස් හිමියා බලපත‍්‍රය ලබාගනිද්දී කොන්දේසි විදියට ඒ අයිතීන්ට එකඟ වෙනවා. මේ සටහන ලියැවෙන්නේ ලියුම්කාරිය සහ ලියුම්කාරියගේ සමීපතමයන් මුහුණදුන් සැබෑ සිදුවීම් එකතුවක් සමඟ. මේ සිදුවීම් එදිනෙදා දහස් ගණනකට මුහුණදෙන්නට සිදුවෙන අත්දැකීම්.

ටිකට් පත
‘‘රාත‍්‍රී එකොළහට කොට්ටාවේ සිට කොටුවට බස් රියක් ගමන් කරනවා. ඒ බස් රියට නැෙ`ගන මගීන්ගෙන් රුපියල් 50 බැගින් අය කරන්නේ සාමාන්‍ය බස් ගාස්තු ඉක්මවා යමින්. මගීන් දෙදෙනෙක් ඉල්ලා සිටිනවා තමන්ගෙන් අය කරපු මුදලට ටිකට්පතක්. කොන්දොස්තරවරයා කරන්නේ රියැදුරු ලවා බස් රිය නවත්වා ටිකට්පත් ඉල්ලූ මගීන්ව බැස්සීම.’’
එහෙත් ඉහතින් කිව්ව කොන්දේසි අනුව මගීන්ට ලැබෙන පළමුවැනිම අයිතියක් තමයි බස් මගියෙකුට බස් රියක ගමන ආරම්භයේදී ටිකට් පතක් ලබාගැනීමට තියෙන අයිතිය. බස් රියක් බස් නැවතුමෙන් පිටවෙන්නට පෙරම ටිකට්පත ඉල්ලන්න පුළුවන්.
‘‘138 බස්රියකට කොට්ටාවෙන් නඟින මගියෙක් විජේරාම හන්දියට ටිකට් ගන්නවා. ඔහුට දෙනවා ලෑල්ලක අමුණා තිබුණු මුද්‍රිත ටිකට්පත් අතරින් එකක්. ටිකට්පතේ මිල පමණක් එහි සඳහන් වෙනවා.’’
බස් රියට නැෙ`ගන තැන, බැස යන තැන, ගමන්ගත් දිනය සහ බස් රථයේ අංකය බස් රියෙහි සටහන්ව තිබිය යුතුයි. එසේ නැති වුවහොත් එසේ සඳහන් වූ ටිකට්පතක් ඉල්ලා සිටීමට අයිතිය බස් මගියෙකුට තියෙනවා.

මගින් නැවතීම
රාත‍්‍රි අටට පමණ කොට්ටාවෙන් 336 බස්රියකට මඟින් පිරිසක් නඟිනවා. බස්රියේ ගමනාන්තය මාලබේ. බදුල්ලේ සිට පැමිණි මගියෙක් මාලබේ තියෙන නිවසට යන්නට බෑග් එල්ලාගෙන මේ බස්රියට ගොඩවෙනවා. මගියා මාලබේට ටිකට්පතකුත් ගන්නවා. බස්රියෙහි සිටින්නේ පස්දෙනෙක් පමණයි.
එහෙත් මේ බස්රිය විද්‍යාල හන්දියට පමණක් ගමන් ගන්නා බව කොන්දොස්තරවරයා කියනවා. මේ මගියාගේ ටිකට්පතෙන් විද්‍යාල හන්දියට අදාළ මුදල තබාගෙන ඉතිරි මුදල් කොන්දොස්තරවරයා දෙනවා. මගියා සම්පූර්ණ ගමනාන්තයට යා යුතු බව තර්ක කරද්දී කොන්දොස්තරවරයා කියන්නේ තෙල් වියදමවත් ගමනෙන් ‘කවර් කරගන්නට’ නොහැකි බව. අන්තිමේ වාදය ඇවිස්සී මගියාට කොන්දොස්තරවරයා පහරදෙනවා.
ඉහත සිදුවීම ටික කලෙකට පෙර සිදුවූ සැබෑ සිද්ධියක්. බොහෝ බස් මෙලෙස මගදී ගමන නවත්වනවා. තමන් බලාපොරොත්තු වන මගී ප‍්‍රමාණය නැති නිසා. රුක්මල්ගම, මත්තෙගොඩ, බොරැුල්ල – කොට්ටාව, පැලවත්ත – කොටුව, කඩවත – කොල්ලූ‍පිටිය වැනි බස් රථ මෙලෙස මගදී නැවැත්වීම ගැන අත්දැකීම් ලියුම්කාරියට පෞද්ගලිකවම තියෙනවා.
එහෙත් බස් රිය කැඞී යෑමකදී මිස එහෙම බස්රිය මගදී නැවැත්වීමේ අයිතියක් කිසිසේත්ම රියැදුරුට නැහැ. ටිකට් පත ගෙවීමට අදාල දුර ආරක්ෂිතව ගමන් කිරීමට මගියෙකුට අයිතියක් තියෙනවා. ‘‘බස්රිය කැඞීයෑම නිසා මඟදී බස් රිය නවත්වන්නේ නම් මගියා එතෙක් පැමිණි දුර වෙනුවෙන් නොව, සම්පූර්ණ ගමන සඳහා ලබාගත් ටිකට්පතට අදාල මුදල ගෙවිය යුතුය.’’ කියන කොන්දේසියට බස් හිමියා එකඟ විය යුතුයි.

රේස්
මොනරාගල කොළඹ බස් රියකට අප පුවත්පතේ මාධ්‍යවේදියෙක් ගොඩවුණේ රත්නපුරය දක්වා ගමන් ගන්නට. මේ බස්රිය අධික වේගයෙන් පාර පුරාවට ගමන් ගත්තේ බස් මගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින්. මේ ගැන කිහිප විටක් අප මාධ්‍යවේදියා විරුද්ධ වුණත් බස් රියැදුරා එය ගණන් නොගෙන සුපුරුදු අවදානම් වේගයෙන් ගමන් ගත්තා. අන්තිමේදී මාධ්‍යවේදියා කළේ රත්නපුර පොලීසියට දුරකථන ඇමතුමක් දී මේ බව පැවසීම. පොලීසියෙන් බස් රිය නවත්වා මේ ගැන ප‍්‍රශ්න කළත් මගීන් නිහඬව සිටියා පමණයි. අන්තිමේ අප මාධ්‍යවේදියා රත්නපුරයෙන් බැහැගත්තා. බස්රිය සුපුරුදු අවදානමෙන්ම කොළඹ බලා පිටත් වුණා.
මගීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන රියැදුරාට දැඩි වගකීමක් තියෙනවා. මගී අයිතීන්වල ඊළඟ වගන්තිය මඟීන්ගේ ජීවිත ආරක්ෂාව ගැන.. ‘‘ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇතිවෙන ආකාරයට බස් රිය රැුගෙන යෑමට බස් රියැදුරුට අයිතියක් නොමැති අතර එවැනි පැදවීමකට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට ඇත. රියැදුරා ජංගම දුරකථන පාවිච්චි කළහොත් එයට විරුද්ධ වීමේ අයිතිය ඇත. අධික වේගයට, මාර්ග නීති උල්ලංඝනය කිරීමට විරුද්ධ වීමේ අයිතිය ඇත.’’

ගෞරවය
මෑත දිනයක කොට්ටාවෙන් 138 බස්රියකට මඟී කාන්තාවක් ගොඩවුණේ කිරුළපනට යෑමට. ටිකට් කිරුළපනට ගත්තත් හදිසියේ ඇයට ඊළඟ නැවතුමෙන් බහින්නට සිදුවුණා. ඒ නැවතුමට බස් ගාස්තුව රුපියල් පහකින් පමණ වැඩිවෙනවා. එහෙත් කොන්දොස්තරවරයා කිරුළපන සිට ඊළඟ නැවතුම සඳහා අලූ‍ත් ගාස්තුවක් ලෙස රුපියල් දහයක් ඉල්ලා සිටියා. එයට එකඟ නොවී බස් රියෙන් බැසගත් ඇයට කොන්දොස්තරවරයා බැණවැදුණේ ලිංගික අපහාසය මුසු වූ අසභ්‍ය වචන රැුසක් සමඟ.
මගියෙක් කොන්දොස්තරවරයාගෙන් ප‍්‍රශ්න ඇසීම නිසා පහරකෑ බවත් ඉහළ සටහන් වුණා. එපමණක් නෙවෙයි බස්වල සේවය කරන්නන් මඟීන්ට ඉදිරියට හා පසුපසට යන්නට අණ දීම, අණ පිළිනොපදින මඟීන්ට බැණවැදීම, බස්රිය මැදින් මඟීන්ව තල්ලූ‍කරමින් ගමන් කිරීම, විශේෂයෙන් කාන්තාවන්ව අපහසුතාවට පත්වන අන්දමින් සෙනඟ පිරුණු බස්රථවල ගමන් කිරීම සුපුරුදු සිදුවීම්. එහෙත් එලෙස හැසිරීමේ කිසිදු අයිතියක් ඔවුන්ට නැහැ.
මගියා ආචාර සම්පන්න, විනයානුකූල, ගෞරවනීය, මිත‍්‍රශිලී සැලකීමක් ලැබීමට අයිතිය ඇත්තෙක් බව කොන්දේසිවල පැහැදිලිවම සඳහන්. කොන්දොස්තරවරයෙක් මඟීන්ට රළු ලෙස සැලකීම බරපතළ වැරැුද්දක්.

තවත් අයිතීන්
සුඛෝපභෝගී බස්රියක් නම් බස්රිය ඒ.සී. පහසුකම් ඇති බස් රියක් විය යුතුයි. එවැනි බස් රියක සීට්වල ගමන් ගත හැකි මගීන් ප‍්‍රමාණයට වඩා ගමන් නොකළ යුතුයි. බස් රියක දුම්බීමට විරුද්ධ වීමේ අයිතිය මගීන්ට තියෙනවා. වයස අවුරුදු 12කට අඩු දරුවෙක් අසුනක හිඳගත්තත්, නැතත් එවැනි දරුවෙකුගෙන් අර්ධ ටිකට්පතකට අදාළ මුදල ලබාගත යුතුමයි. අර්ධ ටිකට්පතක් ගත් පසුව දරුවාට අසුන අහිමිකිරීමට අයිතියක් නැහැ.
ඔබ ගමන් ගන්නා බස්රියට රේඩියෝවක් වැනි හඬ නිකුත් වෙන යන්ත‍්‍රයක් පාවිච්චි කිරීමේ අයිතිය තිබුණත් එවැන්නක හඬ ඩෙසිබල් 80ට අඩු විය යුතුයි. එය ඉක්මවා ගියහොත් එයට විරුද්ධ වීමේ අයිතිය මගී ඔබට තියෙනවා. කර්ණ කඨෝර, පීඩාකාරී සංගීත හඬ මගීන් එදිනෙදා මුහුණදෙන බරපතළ ගැටලූ‍වක්.
ටික කලෙකට ඉහත අවිස්සාවේල්ලේ සිට නුගේගොඩට යන්නට මගියෙක් දුර ගමන් බස් රියකට ගොඩවෙනවා. එය අර්ධ සුඛෝපභෝගී බස් රියක්. ඒ වෙද්දීත් බස් රියෙහි සෙනඟ පිරී තියෙනවා. හිරවී, තෙරපෙමින් මගියාගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතකට අදාල මිල ඉල්ලා සිිටිනවා.
‘‘මම සෙමි ලක්ෂරි සේවයක් ලබන බව ඔයාට පේනවද? මම තෙරපිලා ගමන් කරන්න සෙමි ලක්ෂරි ටිකට් එකක් ගන්නෙ නැහැ.’’ මගියා තර්ක කරනවා. එහෙත් කොන්දොස්තරවරයා බස්රිය නවත්වා කියන්නේ ඒ මගියා ටිකට්පත ගැනීම හෝ බස්රියෙන් බැසයෑම යන දෙකෙන් එකක් තෝරා නොගත්තොත් බස්රිය ගමන් නොකරන බව.
දුර ගමන් සේවා බස්රථ විසින් අතරමැද නගරවල ගමන් ගන්නා මගීන්ව නංවාගෙන, ඔවුන්ගෙන් අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මිල අයකොට ඔවුන්ව හිටගෙන ගමන්කරවීම එදිනෙදා දකින්නට ලැබෙන තත්ත්වයක්. එහෙත් අර්ධ සුඛෝපභෝගී බස් පර්මිට් එකක කොන්දේසි අනුව අර්ධ සුඛෝපභෝගී බස් රියකට සීට් ගණනට වඩා මගීන් රැුගෙන යා නොහැකියි. ඔබෙන් ලබාගන්නේ අර්ධ සුඛෝපභෝගී ටිකට්පතක මුදල නම් ඔබට අනිවාර්යයෙන්ම අසුනක් ලැබිය යුතුයි.

පැමිණිලි
බොහෝවිට මෙවැනි සිදුවීම්වලදී මගියකු වාදයට පැටලූ‍ණත්, බස්රියේ අනෙක් මගීන්ගේ සහයෝගය නොලැබීම වැනි හේතු නිසා පහසුවෙන්ම කොන්දොස්තරවරයා වාදය ජයගන්නවා. නැත්නම් කොන්දොස්තරවරයා පහරදීම වැනි බලය පාවිච්චි කිරීමක් කරනවා. තවත් බොහෝ අවස්ථාවල මෙවැනි ‘කරදරකාර මගීන්’ බැස යන තෙක් බස්රිය නවත්වාගෙන සිටිනවා. මේ හේතු නිසා බස් මගීන් නිහඬව ඉන්නවා.
එහෙත් එවැනි අවස්ථාවල බස් රියේ අංකය සමග කොමිසමට පැමිණිලි කිරීමේ අයිතිය මගීන්ට තියෙනවා. පොලීසියට වුව පැමිණිලි කළ හැකියි. මේ යුගයේ තාක්ෂණය දියුණු නිසා වීඩියෝ, සමාජ මාධ්‍ය මෙවැනි අයිතීන් පිළිබඳ සටන්වලට ගුණාත්මකව පාවිච්චි කළ හැකියි. ජනතාව අතරින් එවැනි සිදුවීම්වලට එරෙහිවීමේ ව්‍යාපාරයක් පැනනැඟු‍ණොත් මේ තත්වයන් වෙනස් කිරීම අපහසු නැහැ. වැදගත්ම කාරණය තමන්ගේ අයිතීන් පිළිබඳව මඟීන් දැනුවත් වීමයි.
මේ සියල්ල මෙසේ තිබියදී බස් සේවාව ගුණාත්මක තත්වයට පත් කිරීමේ මූලිකම වගකීම තියෙන්නේ රජයට. මේවා පාලනය කිරීමේ හැකියාව ඇත්තේ රජයටමයි. එහෙත් එය කිසිසේත්ම තමන්ගේ වගකීමක් යැයි රජය සලකන්නේ නැහැ.
බස් සේවාව ගැන සොයාබලද්දී කතාබහට ලක් කළ යුතු වැදගත් ක්ෂේත‍්‍ර ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම බස් ගාස්තු විෂමතාවන්. ඒ කිසිවක් බස් හිමියන්ගේ සංගම්වල හෝ රජයේ අවධානයට ලක්වෙන්නේ නැහැ. තවමත් බස් මගීන් සංවිධානය වී නැහැ. ඉතින් ඒවා ගැන අප විසින්ම සංවාදයක් ඇති කළ යුතුයි.x