අපේ ගම්වල පැරැුන්නන් අතින් නිතර කියැවෙන කියමනක් වන්නේ ‘බල්ලාට වගේ සලකනවා’ යන්නයි. එදා ගම්වල සිටියේ පිලේ බුදියන මැක්කන් කිණිතුල්ලන් සිටින සමහර විට කටුවා කාපු බල්ලන්ය. සමහර ගෙවල්වල කාර්බලික් සබන් ගා නාවා මැක්කන් කඩා සාත්තු කර දම්වැල්වල ගැටගැසූ සැර බල්ලෝද සිටියෝය.

මොකා වුණත් ඌට ලැබෙන්නේ ඉඳුල් බත්ය. ඌට කථා කරන්නෙත් වරෙන් පලයං භාෂාවෙන්ය. ගෙතුළට කුස්සියට වද්දා ගන්නේ නැත. අමුත්තන් පැමිණි විටක අසලට ආවොත් එක්කෝ පා පහරකි. එහෙමත් නැත්නම් කුණුහරුපයකුත් එක්ක පල බල්ලා කියා සැරකර පන්නති. ගෙහිමියන් එළියට යන විට බල්ලා පස්සෙන් ආවොත් ගල් පාරක් හෝ අසලින් කඩාගත් කෝටු පාරක් වැදේ. එවිට නැට්ට අකුලාගෙන ආපසු හැරෙන බල්ලාට අහල පහල බල්ලෝ දත් විරිත්තා ගොරවති. එසේ කළද සමහර බල්ලෝ ඈතින් ඈතින් පස්සෙන් ඇවිත් ගමනාන්තයටම ගොස් දුරින් සිට ගෙදර කට්ටිය සමඟ ආපසු එති. සමහරු හොරෙන් බලූ‍ පැටවුන් පාර අද්දරට හෝ පන්සලට ගෙනැවිත් දමති. සමහර අවස්ථාවලදී බීමත් ගෙහිමියාගේ බත්පතෙන් බල්ලාද කයි. ඉඳහිට බලූ‍ පැටවුන් වඩාගෙන සුරතල්ද කරති. බල්ලන්ට බෙහෙත් විදින සිරිතක් නොතිබුණු අතර පිස්සු බලූ‍ රෝගය වැළඳී ඇතැයි සැක සිතුණහොත් ගෙහිමියා ගම්මුන් සමඟ එකතුවී බල්ලා පසුපස එළවාගෙන ගොස් පොලූ‍ පහරදී ඌ මරාදමයි.

හිටපු ජනාධිපතිවරයා අවස්ථා කීපයකදීම තම කිට්ටුවන්තයන් කීප දෙනෙකුම කාමරයට දමා ගුටිබැට දී තර්ජනය කර එළියට පැමිණි පසු කොහොමද මල්ලි කියා පිට අතගෑ බව කියැවේ. ඊයේ පෙරේදාත් උදිත් ලොකු බණ්ඩාරට බැන පලවා හරින ආකාරය සමාජජාල මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණි. අහළ පහළ සිටි අය උදිත්ව පිටුපසට තල්ලූ‍ කරනවාත් අපි දුටුවෙමු.

ඔහුගේ මේ සැරය බලපවත්වන්නේ දේශපාලන චක්ගෝලයන් කෙරෙහි පමණක්ම නොවන බව පහුගිය දාක රූපවාහිනී ප‍්‍රවෘත්ති තුළින් ඇස් පනාපිට දකින්නත් ලැබිණි. එහි නිමිත්ත පන්සලක බුදුපිළිමයක් විවෘත කිරීමේ උත්සවයකට කළ ආරාධනාව පිළිගෙන ඔහු නොපැමිණ සොයුරු චමල් සහභාගිවීම ගැන මහජනයා විරෝධය පළකිරීමකි. මේ ගැන කිපෙන හිටපු ජනාධිපතිවරයා උත්සව සංවිධායකයාට දුරකථනයෙන් අමතමින් කියන්නේ ”‍තමුසෙලාට ඕන හැටියට නටන්න බෑ, අපි වැඩ කරන්නේ අපට ඕනෑ හැටියට”‍යි යන්නයි. රත්තරන් පාට සමටත්, ලොකු උඩුරැවුලටත් වැසී සිටි රියල් මිනිහා අර අප මුලින් කියූ බලූ‍හිමියා බව නිතැතින්ම ඔප්පුවිණි. ඒත් පයින් පහරකෑ බල්ලාගේ තැන ඡන්දදායකයා නතරවී සිටී. එනම් දේශපාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හැසිරිය යුතු බව අමතක කළ අය මේ රටේ බොහෝ වෙති.

ඔහු හැරුණුකොට විශාල හා කුඩා පරිමාණ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සිටින පළමු හා දෙවැනි පෙළේ දේශපාලකයන් කීපදෙනෙකුගේම මෙවැනි හැසිරීම් පිළිබඳව අපි අසා ඇත්තෙමු. එපමණක් නොව මෙම තාලයේ හැසිරීම් ඇති නවක දේශපාලකයෝද සිටිති. නායකයාට ඉතාම ළැදි එනයින් වාසි ලබන සුවච කීකරු කිට්ටුවන්තයෝ තමාට බල්ලාට වගේ සලකන බව අත්විඳිමින් පස්සෙන්ම යති. එසේ කරන්නේ වාසි පිණිසය. එහෙත් එවන් විශේෂ වාසි හෝ වරප‍්‍රසාද නොලැබ බලූ‍ ගැතිභාවයෙන් යම් යම් නායකයන්‍ පසුපස යන, අපි කැපුවත් අහවලා වෙනුවෙන් යයි කියන පිරිසක්ද සිටිති. එනිසා නායකයන් හැදෙන්නේද නැත.

බටහිර අධිරාජ්‍යවාදීන්ට නතුව සිට නිදහස ලැබුවාවූ ජාතියකට ඉන් වසර 70ක් ඉක්මගිය අද දිනයේත් එම ගැතිභාවයෙන්/ වහල්භාවයෙන් මිදීමට නොහැකිව ඇත. oqපත්වාසී වූ අප රාජාණ්ඩුවලට හා ආගමික සංස්ථාවන්ට යටත්ව වසර දහස් ගණනක් ජීවත් වූ ජන කොටසකි. ඉන් පසුව බටහිර අධිරාජ්‍යවාදීන් යටතේය. නිදහසෙන් පසුව ගෙවූ වසර 70න් කීපයක් හැරෙන්නට ඉතිරියද කළුසුද්දන්, සොඳුරු ආඥාදායකයන් හා රට වෙනුවෙන් ඉදිරි දැක්මක් නැති නායකයන් යටතේය. එම නායකයන් සියලූ දෙනා හා රටවැසියා අතර සම්බන්ධය යම් යම් වෙනස්කම් සහිතව බල්ලන් හා ස්වාමියා අතර ඇති සම්බන්ධයට සමානය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව යම් හැඟීමක් ඇතැයි පෙනෙන අය පවා ජනතාවගෙන් වෙනස්ව අප‍්‍රමාණ වරප‍්‍රසාද භුක්ති විඳිති. ඒ අතරේ ගමේ කඩෙන් ප්ලේන්ටී බොති. කෙසෙල්‍ කොළේ බත්කති. කෝටි ගණන් වටින වාහනවලින් හෝ හෙලිකොප්ටරයෙන් පැමිණ ජනයා සමග ටික දුරක් පයින් යති. ළමුන් සුරතල් කරති. වලක සිට හෝ බෝඞ් මත සිට පැල සිටුවති. තමුන්ගේ දරුවන්ට සුපිරි දේ ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුව දෙමින් රටේ ළමුන්ට දේශීයත්වය කියාදෙති.

මෙම රඟපෑම නොහොත් ව්‍යාජය බීමත් ගැමියා හා බල්ලා අතර ඇති සම්බන්ධයට සමාන කළ හැකිය. ගැත්තන් ලෙස හැසිරෙන ඡුන්දදායකයාද ගහන්නට ගහන්නට පස්සෙන් එන බල්ලන් හා උන්ට ගොරවන අසල්වැසි බල්ලන් වැනිය.

තමුන්ද තම පුතුද නීතිඥයන් වන තම පක්ෂයේ සභාපතිවරයා නීති විශාරදයෙකුද වන සන්දර්භයක් තුළ නැවතත් තමාට ජනාධිපති අපේක්ෂකයා විය හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන්‍ අසන්නට යන්නේ එදා තමුන් බලයේ සිටින විට බල්ලාට මෙන් සැලකුම් ලැබූ අධිකරණය තවමත් තිබේයැයි සිතාගෙන විය හැකිය.

පි‍්‍රයදර්ශනී ආර්යරත්න