‘කෙටුම්පත් තෘෂ්ණාව’ සුජිත් රත්නායකගේ 9 වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයයි. ඊට අමතරව සමූහ වශයෙන් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශන 29 කට සුජිත් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ. කඩදාසි මත අඟුරුවලින් අඳින ලද කෘති 30ක් කෙටුම්පත් තෘෂ්ණාවෙහි ප්‍රදර්ශනය වේ. 2020 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 10 දක්වා පෙ.ව. 10 සිට ප.ව. 7 කාලය තුළ කොල්ලුපිටිය බෙයාර්ෆූට් කලාගාරයේදී ‘කෙටුම්පත් තෘෂ්ණාව’ මහජනයා වෙත විවෘතය.

 

 

 

 

අනෙක් කලා මාධ්‍යවලින් චිත්‍රය වෙනස් වෙන්නේ කොහොමද?

චිත්‍ර කියන්නේ පුද්ගලානුබද්ධ අත්දැකීමක්. සාහිත්‍යයේ වචනවලට තිබෙන අදහස නිශ්චිතයි. ශබ්දකෝෂවලට අනුව එක් එක් වචනය කිසියම් නිශ්චිත අදහසක පිහිටුවනවානේ. චිත්‍රවල ඉරි කෑල්ලක් පවා පුද්ගලානුබද්ධයි. සමහර විට චිත්‍ර අඳින්නේ නැති කෙනෙක් පවා මාංචු දාලා අරන් යන වෙලාවක අඳින්න කිව්වොත් අඳින ත්‍රිකෝණයකයි වෙන වෙලාවක අඳින ත්‍රිකෝණයකයි ලොකු වෙනසක් තියෙනවා. එකම පුද්ගලයාගේ වුණත් එක් එක් අවස්ථාවේ ඇඳීම වෙනස්. මේක චිත්‍ර කලාවටම සුවිශේෂ වූ ලක්ෂණයක්. අනෙක් කලාවලදී වගේ පුද්ගලයා අයින් කරලා චිත්‍ර කලාව තේරුම් ගන්න බැරි ඒ නිසයි. වින්සන්ට් වැන්ගෝගේ චිත්‍ර අපි රස විඳින්නේම වැන්ගෝ ජීවිතේ මුහුණ දුන්නු ප්‍රශ්න ජරමර එක්කමයි. ඒකෙන් වියුක්ත වෙලා වැන්ගෝගේ චිත්‍ර රස විඳින්න බෑ. වැන්ගෝ පුදුමාකාර ලෙස සමාජයෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක්. පස්සේ තමයි ඔහුට හා ඔහුගේ නිර්මාණවලට මිනිස්සු ආදරේ කරන්න ගන්නේ. ඒ වගේ සමහර අය යම් මානසික තත්ත්වයක් නිසා නොනවත්වා කියවනවා. ඒ වගේ අයට කරුණාව දක්වනවා කියලා අපට එක දිගට ඒ කෙනාගේ කතාව අහගෙන ඉන්න බෑ. සමහර විට අපි හිත නොරිද්දා උපායශීලීව එයාගෙන් අයින් වෙනවානේ. ඒක ප්‍රතික්ෂේප කිරීමක්. එවැනි ප්‍රතික්ෂේප කිරීම් නිසා සාමාන්‍ය සමාජයේ අපි තමන්වම සංස්කරණය කරගෙනනේ ජීවත් වෙන්නේ. එහෙත් අවංක චිත්‍ර ශිල්පියා සංස්කරණය වෙන්නේ නැහැ. ඔහු ප්‍රකෘතියට ළඟ මිනිහෙක්. ඔහුගේ පුද්ගලික ජීවිතයේ සිද්ධ වෙමින් තියෙන දේට සමගාමීව තමයි අපට චිත්‍ර කියවාගන්න වෙන්නේ.

 

ඒ අදහස ඔබ චිත්‍ර අඳිනකොට බලපාන්නේ කොහොමද?

උදාහරණයක් කීවොත්, මම චිත්‍රයක වැරදි මකන්නේ නෑ. අපි වස්තුවක් අඳිනකොට ඒ හැඩය තහවුරු කර ගන්නට ඒ ළඟම තව රේඛා අඳිනවා. මගේ චිත්‍රවල ඒවා මකන්නේ නෑ. සීගිරි චිත්‍රවල පවා ඒ ලක්ෂණය තියෙනවා. ඒවා ලස්සන ඒ නිසයි. නුවර යුගයේ චිත්‍රවල පැහැදිලි තනි ඉරක් තියෙන්නේ. මයිකල් ආන්ජලෝ, පිකාසෝ වගේ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රවලත් වැරදිච්ච ඉරි ලා පාටකින් හරි තියෙනවා. ඒක හරහා තමයි අපි චිත්‍රය කිවන්නේ, ලස්සන දකින්නේ. චිත්‍රයක් අඳින්නේ මිනිහෙක්. ඒ මිනිසාගේ ඒ මොහොත, සජීවී බව පෙනෙන්නේ ඒකෙන්. මගේ චිත්‍රවල තියෙන මූලිකම ලක්ෂණයක් කළු වර්ණය පාවිච්චි කිරීම. මම චිත්‍රයක් අඳිනකොට එක හුස්මට ඇඳලා ඉවර කරනවා. වෙනත් වැඩ කරන ගමන් මම චිත්‍ර අඳින්නේ නෑ. සරලව කියන්නේ නම් වෙන වැඩ කරන වෙලාවට වෙන වැඩ කරනවා. චිත්‍ර අඳින වෙලාවට චිත්‍ර අඳිනවා. එක ආවේශයක තමයි මම ඇඳලා ඉවර කරන්නේ.

 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී ඔබ හදාරන්නේ මූර්ති කලාව. වැඩි පිරිසක් ඔබව අඳුනන්නේ චිත්‍ර ශිල්පියෙක් ලෙස..

ඔබ හරියටම හරි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිය සඳහා මම තෝරා ගත්තේ මූර්ති කලාව. මේ වෙනකොට මම පැවැත් වූ ප්‍රදර්ශන එකක්වත් මූර්ති ප්‍රදර්ශන නෙමේ. ජීවිත කාලේ මම ඇඳලා තියෙන්නේ චිත්‍ර. මිනිස්සු මා අඳුනන්නේ චිත්‍ර ශිල්පියෙක් ලෙස. මූර්තිවල තියෙන්නේ දිගු කාලීන තාක්ෂණික ක්‍රියාවලියක්. මූර්තියකට මුලින්ම ප්ලාස්ටර් ඔෆ් පැරිස්වලින් හරි, මැටිවලින් හරි අච්චුවක් හදා ගන්න ඕනෑ. ඊට පස්සේ ඒකට සිමෙන්ති හරි, ලෝකඩ හරි වාත්තු කරලා, අච්චුව ගලවලා විශාල ක්‍රියාවලියකට ලක් කරන්න ඕනෑ. සති ගණන් මාස ගණන් මූර්තියේ වැඩ ඉවර කරන්න කල් ගතවෙනවා. ඒ නිර්මාණය කරන අතරතුරත් අපට හැඟීම් ප්‍රකාශ කරන්න ඕනෑ වෙනවා. ඒ වගේ දෙයක් දැනුණාම මම කරන්නේ කුරුටු ගාන එක. අපි මූර්ති හදනකොටත් මුලින්ම මූර්තියේ මූලික හැඩතල කඩදාසියක සටහන් කරගන්නවා. මේ කටු සටහන්වල දෙයක් තියෙනවා කියන දේ මට තේරෙන්න ගත්තා.

 

ඒ කිව්වේ?

කෙනෙක් පුටුවක වාඩි වුණාට පස්සේ ඒ පුද්ගලයාගේ බරට සමාන්තරව අපේ තට්ටම් හරි, මොනවා හරි ඒ ඝන මතුපිටට තියෙන තැන තැලෙනවානේ. එක එක්කෙනාගේ බර අනුව ඒක වෙන්නේ. ගොඩක් මහත මිනිහෙක්, ගැහැනියක් ඇන්දට වැඩක් නෑ එයාගේ බර දැනෙන්නේ, පෙනෙන්නේ නැත්නම්. ලොකු මිනිහෙක් අඳින්න පුළුවන්. ඒක නෙවෙයි, එයාගේ බර අඳින එකයි වැඬේ. මගේ කටු සටහන් චිත්‍රවල තිබුණේ අන්න ඒක. ඒකට අපි මූර්ති හා චිත්‍ර කලාව ඇතුළේ වැලිව් කියලා කියනවා. මනුස්සයාගේ මතුපිටින් පෙන්නේ සම. ඒත් ඔහුගේ ශරීරය මාංස පේශි අස්ථිවලින් සමන්විතයි. අඳින මිනිස් රුවක ඒක දනවන්න ඕනේ. ඒක දැනවීම තමයි වැලිව් කියලා කියන්නේ. ඒක මතුකිරීම චිත්‍රවලින් විතරක් කරන්න පුළුවන් දෙයක්. සමහර ඡායාරූප ශීල්පීන් ඉතාම සියුම් ලෙස ඒක අල්ලනවා. එහෙත් කැමරාවට වැඩියෙන් චිත්‍රවලදි මේක කරන්න පුළුවන්. ඒ බව මාගේ කටු සටහන් චිත්‍රවල පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

 

අඟුරු චිත්‍ර බිහිවුණේ ඒ අනුවද?

ඕනෑ කෙනෙක් කටු සටහන් කරන්නේ කළු, නිල් කාබන් පෑන, පැන්සල හෝ චාකෝල් කූරෙන්. ඒ කටු සටහන කවුරුවත් කෘතියක් කියලා සලකන්නේ නෑ. කටු සටහනෙන් පස්සේ වැඩි දියුණු කළ දේ තමයි කෘතිය. නමුත් මම අර කටු සටහන සිතුවමක් ලෙස කලාගාරයට ගෙනාවා. ඒක තමයි මගේ චිත්‍ර වෙනස් වෙන තැන. මේ පාර මම සිමෙන්ති පාට කොලේක අඟුරුවලින් තමයි චිත්‍ර ටික ඇන්දේ. ඒ නිසා කටු සටහන තවත් තීව්‍ර විදියට දනවන්න මට හැකි වුණා. එය මිනිසාගේ මූලික හැඩය උත්කර්ෂයට නැංවීමක් කීවාට කමක් නෑ.

 

සිමෙන්ති වර්ණය නිසා බිත්තියක චිත්‍ර ඇඳීමක් වාගේ නේද?

ලෝකයේ චිත්‍රකලාව ආරම්භ වෙලා පවතින්නේ ගොඩනැගිලි තුළ. චිත්‍රයක් කියනනේ ගොඩනැගිල්ලේම කොටසක්. ගල් ගුහාවල ඉඳලා අපි දන්න ක්‍රිස්තියානි පල්ලි ඉතිහාසයේත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා. අපේ පන්සලක වුණත්, පන්සලේ ගෘහ නිර්මාණ සැලැස්මේ කොටසක් ලෙස තමයි චිත්‍ර කලාව තිබුණේ. නූතන යුගය වෙනකොට මේක වෙනස් වෙලා. රාමු කරලා එල්ලන්න පුළුවන් ආකාරයට සිතුවම ගොඩනැගිල්ලෙන් වෙන් වෙලා. දැන් චිත්‍රය අඳින්නේ වෙන තැනක. පස්සේ අවශ්‍ය තැන එල්ල ගන්නවා. මුල් අවස්ථාවේ ආගමෙන් හරි, ධනපතියෙක් හරි දෙන තේමාවක්, මාතෘකාවක් තමයි චිත්‍ර ශිල්පියා ඇන්දේ. දැන් චිත්‍ර ශිල්පියාට අවශ්‍ය මාතෘකාව අඳිනවා.

 

බිත්තියක චිත්‍රයක් එල්ලීමේ පුරුද්ද අද ගෘහ අලංකරණයේ කොටසක්නේ..

දැන් ගෘහයක් තුළ මාස හයෙන් හයට, අවුරුදෙන්, අවුරුද්දට චිත්‍ර මාරු කරන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉස්සර චිත්‍රයක් ගත්තොත් ගත්තාමයි. පරම්පරා ගණනාවක් එකම මන්දිරයේ, එකම බිත්තියේ එය එල්ලලා තිබුණා. දැන් වසන්ත කාලය අනුව, ගිම්හාන කාලය අනුව අලංකරණය වෙනස් කරනවා. මේ වෙළෙඳපොළට ගැලපෙන්නට තමයි දැන් බොහෝ චිත්‍ර ශිල්පීන් සිතුවම් අඳින්නේ. ජෙෆ්රි බාවාගේ පන්නයේ ගෘහනිර්මාණවලට එක් විදියක්. චන්න දාස්වත්තගේ පන්නයට තව විදියක්. අනුර රත්නවිභූෂණගේ විදිහ තව එකක්. ඔන්න ඔය විදියට ක්ෂේත්‍රයේ ඉන්න දෘශ්‍ය කලාකරුවන් හැඩතල අඳුනගෙන ඉන්නවා. සමහර නිවාසයකට ඕනෑ ලොකු සිතුවමක්. තව කෙනෙක්ට පොඩි එකක්. කොරිඩෝවකට නම් උසින් වැඩි තීරු හැඩයක එකක්. ඔය කාරණා කලින්ම හිතලා තමයි චිත්‍ර රාමුවේ ප්‍රමාණය පවා සැලසුම් කරන්නේ. එහෙම කළ ඒවා තමයි පදික වේදිකාවල පවා අලෙවි කරන්න තියෙන්නේ. මගේ චිත්‍ර එහෙම චිත්‍ර නෙමෙයි.

 

ඒවා එක්තරා විදියකට චිත්‍ර ශිල්පියාගේ ආධිපත්‍යය පිළිබඳ කාරණා නේද?

පදික වේදිකාවේ චිත්‍ර විකුණන ශිල්පියාට සිවිල් බලයක් නෑ. එයාලාට වෙනස්කම් කරන්න අමාරුයි. විශ්වවිද්‍යාලේ ගිය ශිල්පියාට සිවිල් බලයක් තියෙනවා. මට මේ උපාධිය තියෙනවා කියලා කියනවා. මම මේ රැකියාවේ කියලා කියනවා. විශ්වවිද්‍යාලේ උගන්වනවා නම් මම අහවල් ආචාර්ය කියලා කියනවා. බලය පෙන්නන්නේ එහෙම. බලය නැති අය කරන්නේ පාරට ගිහිල්ලා තමන්ගේ නිර්මාණ විකිණීම. ඔවුන්ට ගොඩනැගිලිවලට ගැළපෙන විදියට අඳින්න වෙනවා. එහෙත් චිත්‍ර කලාව කියන්නේ ගොඩනැගිල්ලට හරි යන චිත්‍ර ඇඳීමම නෙවෙයි. කලා කෘතියක් ගන්නේ එකතු කරන්නෙක්. එකතු කරන්නේ තනි පුද්ගලයින් පමණක් නොවෙයි. භාරකාර මණ්ඩල, පදනම් ආයතන, කෞතුකාගාර, කලාගාර තියෙනවා. ඒ ඒ රටවල සංස්කෘතික කේන්ද්‍රස්ථාන තියෙනවා. පුද්ගලික නිර්මාණ එකතු තියෙනවා. විශ්වවිද්‍යාලවල දෙපාර්තමේන්තුවල එකතු තියෙනවා. අපේ රටේ නැති වුණාට ලෝකයේ එහෙම කලාකෘති මිලදී ගන්න අය ඉන්නවා. කෙනෙක් ලිපියක් ලියනකොට කලා කෘතිය ගැන සඳහන් වෙනවා නම් එහි රූපයක් පළවෙනවා නම් කාගේ එකතුවෙන්ද කියලාත් සඳහන් කරනවානේ.

 

බිත්තියක චිත්‍රයක් එල්ලන කෙනෙක් සහ එවැනි එකතුවක් පවත්වාගෙන යන කෙනෙක් එකිනෙකට වෙනස් නේද?

එකතුවක් පවත්වාගෙන යන අයෙක් කෘතියක් මිලදී ගත්තට පස්සේ ඒකේ භාරකාරයා වෙනවා. කෘතියක් ගැන ගොඩනැගෙන සාකච්ඡාවලදී කෘතිය මිලදීගත්ත කෙනා ඒ සාකච්ඡාවට මැදිහත් වෙන්නේ නෑ. කෘතිය තියෙන්නේ කෙනෙක් ගාව, කතිකාව තියන්නේ සමාජයේ. කෘතිය මිල දී ගත්ත කෙනාට තියෙන්නේ ඒ කෘතියෙ හිමිකම පිළිබඳ අභිමානයක් පමණයි. එයා අභිමානයෙන් කියන්නේ ඒ කෘතිය තියෙන්නේ මා ගාව කියලා විතරයි. ධනවතෙක්ට ඉන් ලැබෙන අභිමානය වෙන කිසිම දෙයකින් ගන්න බෑ. යම් කෘතියක් ගැන සමාජයේ සංවාදයක් ගොඩනැගිලා තියෙනවා නම් ඒ කෘතියට විශාල ඓතිහාසික වටිනාකමක් තියෙනවා. කෙනෙක් චිත්‍ර ශිල්පියාගෙන් කෘතිය මිලදී ගත්තාට පස්සේ එක එක්කෙනාගේ අතින් අතට එය මාරු වෙන්න පුළුවන්. ඒ මාරු වීමත් එක්ක කල් යන්න, යන්න එයට ආවේණික ඉතිහාසයක් හිමි වෙනවා. මුලින්ම මෙය මිලදී ගත්තේ අහවල් ධනපතියා. ඊට පස්සේ තිබුණේ අර ධනපතියා ගාව වගේ. මම 1999 කළ මගේ පළමු ප්‍රදර්ශනයේ චිත්‍රයක් අලෙවි කළේ රුපියල් 20,000 ට විතර. දැන් ඒවා අතින් අත ගිහින්. මගේ සමහර චිත්‍ර දැන් රුපියල් ලක්ෂ 10ට වැඩියි. කලා ශිල්පියාට ඒ රටේ කොයිතරම් පිළිගැනීමක් තියෙනවාද කියන කාරණයත් එක්ක කෘතියේ වටිනාකම තීරණය වෙනවා. ඒ ඒ සමාජය අනුව කලා ශිල්පියෙක්ට බලයක් හැදෙන්නත් පුළුවන් නොහැදෙන්නත් පුළුවන්.■

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර