ස්ටැටිස්ටික්ස් හෙවත් සංඛ්‍යානය ගණිත රුකෙන් වැඩුණු අනුවිෂයීය අත්තකි. සංඛ්‍යාන විෂයේ මූලික ව කෙරෙන්නේ දත්ත එකතු කිරීම, සංවිධානය, සැකැසීම, විශ්ලේෂණය හා අර්ථ නිරූපණය යි. විටෙක එම විශ්ලේෂණ මත පදනම් ව පුරෝකථනය කිරීම ද කෙරේ. මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ මෙවලම් හා විධික‍්‍රම සංඛ්‍යානඥයෝ භාවිත කරති. පයි චාර්ට් ඒ එක් ඉදිරිපත්කිරීමේ හා විශ්ලේෂණයේ මෙවලමකි.

පයි (pie) යනු ඉංග‍්‍රීසියෙන් වෘත්තාකාර හැඩයෙන් යුක්ත පිට්සාවක් වැනි ආහාරයට යෙදෙන නමයි. කුඩා කැබලිවලට කපන ලද ඇපල්, අත් ගසන ලද පිටි ස්තරයක් මත අතුරා, අවනයක බේක් කර, හදන ඇපල් පයි යුරෝපයේ හා සෙසු රටවල ද ජනප‍්‍රිය රසකැවිල්ලකි. සංඛ්‍යානයේ පයි වගුවකින් කැරෙනුයේ, සමස්ත සංඛ්‍යාවක දක්නට ඇති අනුප‍්‍රභේද වෘත්තයේ කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා විහිදෙන රේඛා ද්වයකින් සෑදෙන කෝණයකින්, පිට්සා කැබැල්ලක් වැනි, නිරූපණය කිරීමයි. අදාළ ප‍්‍රභේදය සමස්ත ජනගහනයෙන් ඉහළ අගයක් ගන්නේ නම් කෝණය පුළුල් වෙයි. ‘වට්ස් මයි පීස් ඉන් ද පයි’ කියා ඉංග‍්‍රිසි රූපක යෙදුමෙන් අදහස් වෙන්නේ මුළු ගණනින් මගේ කොටස කුමක් ද යන්න හෙවත් මට ලැබෙන වාසිය යන්න යි. දමිළ බසේ ‘ප’ යන්න දෙආකාරයකට හඬ නැඟිය හැක. එනම් ‘ප’ හෝ ‘බ’ ලෙස ය. ඒ අනුව සංඛ්‍යානය විෂයෙහි එන වගු ප‍්‍රභේදයක් වන පයි චාර්ට් හෙවත් පයි වගු දෙමළ බසින් බයි ප‍්‍රස්තාර ලෙස ද උච්චාරණය කළ හැක. ‘බයි’ නමැති ඉංග‍්‍රීසි යෙදුමෙන් අදහස් වන්නේ ද්වි-ලිංගික හෙවත් ස්ත‍්‍රීන් සමග ද පුරුෂයන් සමග ද රමණයට රිසි ස්ත‍්‍රීන් හා පුරුෂයන් ය.

සාමාන්‍ය භාෂාවෙන් කියතොත් මස් ද මාළු ද එකසේ අනුභව කිරීමට ලොල් බව ය. එහෙත් ලාංකීය සන්දර්භයේ ‘බයි‘ යන්නෙන් යම් නිශ්චිත දේශපාලන හා සමාජ විද්‍යාත්මක අර්ථයක් ගම්‍ය වේ. එහෙත් එය මෙම කොලමේ විෂයට අදාළ නැත. මෙවර අලූත් අවුරුදු චාරිත‍්‍ර හා නැකැත් පැවැත් වූයේ වෙනස් සන්දර්භයක ය. කෝවිදියා ඇඳිරි නීතිය මැද කුටුම්බවලට ම කොටු වී ලක්වැසියෝ අවුරුදු සැමරූහ. අවුරුදු කැවිලි මෙවර හුවමාරු වුණේ වට්ස්-ඇපයෙනි.

නැකැත් මාලාවේ අවසන් කාර්යය වන රැකී-රක්ෂා සේවාස්ථාන බලා පිටත් වන නැකැත යෙදී තිබුණේ අපේ‍්‍රල් 17 දින පූර්ව භාග 7.56ට ය. ලා නිල් පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ‍්‍රිත කිරිබතක් අනුභව කර රැකියාධරයෝ අදාළ නැකැත් වේලාවට නිවසේ ඉදිරි දොරින් පිට වී, ගෙමිදුල හරහා නැවත මුළුතැන්ගෙයි දොරින් ඇතුළු වී තම පරිගණකය කලවයේ හොවා ගෙන වර්කින්-ෆ්‍රොම්-හෝම් කියා වැඩ ඇල්ලූ හ. එදා වේල පිරි මහගන්න කුලියක් මලියක් කරන ඇත්තෝ අල්ලන්නට වැඩක් නැති හෙයින් නැකැතට හිස් අහස දෙස බලා හීල්ලූ හ. රැකීරක්ෂා සේවාස්ථාන බලා පිට වීමට අනතුරු ව මෙවර අලූත් අයිතමයක් නැකැත් මාලාවට එකතු වී ය. එනම් සිරිලකෙන් කෝවිදියා වසංගතය චුත වීමේ නැකැත ය. එය යෙදී තිබුණේ අපේ‍්‍රල් 19 වන දින ය.

එනමුදු මේ නව නැකැත ගැන දැනුම් දුන්නෝ ජ්‍යෝතිෂඥයෝ නොවේ. එය කළේ කුරිරු කෝවිදියාව අප මවු බිමෙන් අතුගා දමන්නට කෙරෙන අවසාන සටනේ අප විරු-ජනපති සමග උරෙනුර ගැටෙමින් (මීටරයක දුරින්) ඉදිරි පෙළ සෙන්පතිනියක වන සෞඛ්‍ය ඇමතිනිය ය. අපේ‍්‍රල් 12 සන්ඬේ ඔබ්සවර් ඊ-කලාපයෙන් ඕ අපට කීවේ අපේ‍්‍රල් 19 දින වන විට කෝවිදියාව සිරිලකෙන් මුළුමනින් ම චුත වීමට නියමිත බව ය.

මීට සමාන අදහසක් ලංකාවේ වැඩිම අලෙවියක් ඇති සිංහල පුවත්පත වන ලංකාදීපයේ අපේ‍්‍රල් 18 වන කලාපයේ සිරස්තලය ‘කොරෝනා අවදානම ඉවරයි‘ ලෙස කැවුම් ගෙඩි මෙන් විශාල පොන්ටයකින් පළ විය. එම සති අන්තයේ ම, ශාස්ත‍්‍රීය හොරණෑ වැයුමේ නිපුන් නාලිකාවක මේ ධාරාවේ ම පුවතක් විකාශනය කළේ අතිශය විදග්ධ අයුරිනි. එනම් සිරිලකේ කෝවිදියා තත්ත්වය සිරිපාදේ සිට සෙල්ලකතරගමට පල්ලම් බැස ගෙන එන හැඩයේ ප‍්‍රස්තාරයක් මගිනි.


යට කී සංඛ්‍යානවේදයේ මෙවන් ප‍්‍රස්තාර හඳුන්වන්නේ බාර් චාර්ට් හෝ ග‍්‍රාෆ් කියා ය. එක්ස්(x) අක්ෂයේ ඇති කාල වකවානුවට අනුකූල අගය සිරස් ආකාරයට ඉහලට යන බාරයකින්, වයි (y) අක්ෂයෙන් අපට කියවා ගත හැක. නමුදු එක්ස් අක්ෂයේ කාල වකවානු සමාන අගයන් විය යුතු ය. උදාහරණයක් ලෙස මාසයක් නම් අක්ෂය පුරා ම වකවානුව මාසයක් විය යුතු ය. දේශීය දේ ප‍්‍රවර්ධනය කරන හා දේශීය ඥානය වඩවන මහැදුරු කෙනෙකුට ද නිතර පුද පූජා කරන යට කී නාලිකාව සමාන කාල වකවානු එක්ස් අක්ෂයේ පිහිටවිය යුතු යි කියන බටහිර සංඛ්‍යාන නීති-කලිසම ඔලූවෙන් ගලවා දැමී ය. අපේ සංස්කෘතියට ගැළපෙන ‘වැල යන අතට මැස්ස ගැසීමේ‘ දේශීය සම්ප‍්‍රදාය අනුව ප‍්‍රස්තාරය බස්සා ගන්න නම් අවසාන කාල වකවානු සිතැඟි පරිදි වෙනස් කර ගති. මෙහි එක්තරා තර්කයක් හා සත්‍යයක් ඇත. දවස අවසානයේ සියලූ ශිල්ප ශාස්ත‍්‍ර උපයෝගී කර යුත්තේ මානව වුවමනාවට ය.

ජනතාව වෙනුවෙන් ප‍්‍රස්තාරය ටිකක් ඇල කිරීමේ වරද කිම? කෙසේ නමුදු, නැවතත් අලූත් නැකැතට. සැලසුම වූයේ, දහනම නව වැනි ඉරිදා සුභ නැකැතින් කොවිදියාව චුත කර, සඳුදා හිරු නැගෙන්නට පෙර ම ඇඳිරි නීතිය ද හකුළා පෙර පරිදි ජන ජීවිතය ඩිස්ටි-ඩිඩින් ලෙස ගලා යන්නට සැලැස්වීම ය. එම සද්භාවී තීරණය ගැන ජනයා මහත් සොම්නසින් පසු වූහ. සඳුදා වැඩට යන්නට ඇඳුම් මැදගෙන මහත් බලාපොරොත්තු දල්වාගෙන සිටියහ. එහෙත් සිදු වූයේ කිම? සඳුදා මෙතෙක් දිවයිනේ දිනකට වාර්තා වූ වැඩි ම ආසාදිත සංඛ්‍යාව වාර්තා විය. සතිය පුරා එය කෙමෙන් වැඩි වෙන්නට පටන් ගති. ඇඳිරි නීතිය නැවත පැනවිණ. මෙය අප තේරුම් ගත හැක්කේ කෙසේ ද? යමක් හෝ යමෙකු අසාර්ථක වීමට හෝ බිඳ වැටීමට ජන විශ්වාසය අනුව ඇස්වහ, කටවහ හා හෝවහ හේතු වේ.

මේ තුන්වහට අමතර ව ප‍්‍රස්තාර-වහක්වත් අප රටට වැදුණා ද කියා වරෙක සිතේ. චිර පරසිදු ගත්කතුවර මාර්ක් ට්වේන්, 1907 පළ කළ ‘මගේ චරිතාපාදනය‘ නමැති ග‍්‍රන්ථයේ බි‍්‍රතාන්‍ය අගමැතිවරයෙකු වූ බෙන්ජමින් ඩිස්රේලිගේ ජනතාව මුලාකරන ක‍්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේ ය. දත්ත හා කරුණු තමන්ට වාසි වන ආකාරයට වෛශ්‍යා වෘත්තියේ යොදවා ගන්නා ආකාරය ට්වේන් අපූරු උත්ප‍්‍රාසජනක ආකාරයකට විස්තර කළේ ය. යම් ගුණයක් ආරෝහණ හෝ අවරෝහණ ලෙසකට පෙළගස්වා ගැනීමේ ඉංග‍්‍රීසි ව්‍යාකරණයේ ‘කොම්පැරටිව් හා සුප(ර්)ලටිව්‘ යනුවෙන් රීතියක් ඇත. බෙන්ජමින් ඩිස්රේලිගේ ජනතාව ගොනාට අන්දවන කරන ආකාරය, ඒ රීතිය අනුව, ට්වේන් අසත්‍ය හෙවත් බොරුව යන්න ආරෝහණ ක‍්‍රමයට, පෙළ ගැස්වූයේ මෙලෙස ය : බොරු, පට්ටපල් බොරු හා සංඛ්‍යාලේඛන!

උදන් ප‍්‍රනාන්දු