අපේ ගම්පළාතේ මෑතක් වන තුරුම නිවසක අනිවාර්ය වාහනය වූයේ බයිසිකලයයි. අපි ඉස්සර ඉස්කෝලෙ ගියේද, ටවුමට ගියේද, පල්ලි ගියේද, දහම් පාසල් ගියේද, කඬේ ගියේද බයිසිකලයෙනි. දැන් නම් ඒ තැන ස්කූටිය උදුරාගෙනය. ඒත් මම තාමත් කැමති ගම පුරා බයිසිකලයේ යන්නටය. ඒ පරිසර හිතකාමීත්වය ගැනද සලකා බැලීමෙනි.

පුංචිම කාලයේ මට ට‍්‍රයිසිකලයක් තිබූ බව මතකය. ට‍්‍රයිසිකලයක නැගී ගත් පින්තූරයක්ද ඇත. ඒ ට‍්‍රයිසිකලය නම් ටවුමේ ස්ටූඩියෝවේ එකකි. මමත් නංගීත් මොන්ටිසෝරි ගියේ තාත්තාගේ බයිසිකලයෙනි. ඉස්පෝක් කම්බි අතරට කකුල දමා ගැනීම නිසා බයිසිකලය පෙරළී තුන්වරක් කකුලේ එකම තැන තුවාල වීම මා පුංචි කාලයේ ලද මාරාන්තික අත්දැකීමය. තාමත් වම් පාදයේ ඒ කැළල ඇත. එක්වරක් මේ කකුල් පටළැවිල්ල නිසා බයිසිකලය පෙරළී ගියේ වෑ කන්දේය. මා වෑ කන්දෙන් පහළට රූටා ගියේ බෙරිහන් දෙමින් බව මතකය. එදා මට වෑ කන්ද පිදුරුතලාගල කන්ද තරම් උසට දැනිණි.

දන්නා කාලයේ සිටම අපේ ගෙදර බයිසිකල්වලින්ද, බයිසිකල් බඩුවලින්ද, ටයර් ටියුබ්වලින්ද අඩුවක් තිබුණේ නැත. ඒ අපේ ගෙදර 24 පැයේම විවෘත වින්කලයක්ද, හුළං පොම්පයක්ද තිබූ බැවිනි. වින්කල් බාසුන්නැහේ තාත්තාය. ගේ වටේට බයිසිකල් තුන හතරක් නොවූ දවසක් නැති තරම්ය. හතරවටේ කොහෙවත් වින්කලයක් නොතිබුණු නිසා අපේ ගෙදර නිකම්ම වින්කලයක් බවට පත් වී තිබිණි. ට‍්‍රයිසිකල්, බයිසිකල්, මෝටසයිකල් මේ මොක කැඩුණත් ගෙනාවේ අපේ ගෙදරටය. හදන්නට බැරි නම් ටවුමට යන තුරු ෂේප් කරගන්නට හෝ ඒවා අමට්ටා දීමේ හැකියාවක් තාත්තාට තිබුණි. හදන්නට ගෙනා සමහර පොඩි උන්ගේ බයිසිකල් මගේ සිහිනද හැඩ කළේය. ඒවා හැ¥ විගස ගෙනයන්නට පෙර පැද බැලීම අපට මහත් සතුටක් විය.

‘බයිසිකල් කැඩුණට කමක් නෑ. මට ඒවා හදන්න පුළුවන්. අත පය කඩාගන්න එපා.‘‘ බයිසිකල් පැදිල්ල පුරුදු පුහුණු වුණ පුංචිම සන්දියේ තාත්තා දුන් එකම අවවාදය එච්චරය. මා එක වර බයිසිකල් පැද්දා නොවේ. පියවරින් පියවර විද්‍යානුකූලව පෙරට ආ බව මතකය. මුලින්ම කළේ වම් පැඩලය මත දකුණු කකුල තබා, අනිත් කකුල බිම ගසමින් ඉදිරියට තල්ලූ‍ කරගෙන යාමය. පසුව පොල්ලට යටින් දකුණු කකුල දකුණු පැඩලය මත තබා එලෙසම පැන පැන යාම සිදුවිය. වම් කකුල පැඩලය මතට ගෙන පැද යාම සිදුවූයේ හෙමිනි. තාත්තාගේ අවවාදය මතක තිබූ නිසා පෙරළෙන්නට වගේ යන්නේ නම් බයිසිකලය තල්ලූ‍ කර දමා පැත්තකට වී සීරු මාරුවට හිටගත්තේ කෙලෙසදැයි දැන් මතක නැත. පරිස්සම වැඩි නිසාම මා ලොකු නංගී තරම් තුවාල කරගත්තේද නැත. ඒ කාලයේ ඉතින් තුවාල වුණාමත් කුරුම්බැට්ටියක් උරච්චි කර ගානවාට වැඩි යමක් කරන්නේද නැත.

පහේ පන්තියේ සිට මා ඉස්කෝලෙ ගියේ බයිසිකලයෙනි. එය ඒ කාලයේ මහ දෙයක් නොවේ. හැමෝම පුළුවන් පළමු අවස්ථාවේම ඉස්කෝලෙ ගමනට බයිසිකලය යොදාගන්නේය. අපට යන්නට බස් තිබුණේත් නැත. ඉස්සර මේ තරම් පාරවල වාහන තිබුණේද නැත. ඉතින් ළමයි බයිසිකලේ ඉස්කෝලෙ යද්දී දෙමව්පියන් ගිනි පත්තු කරගත්තේද නැත. ගඩාගෙඩි කඩා කමින්, දන්නා නොදන්නා පාරවල් ඔස්සේ, වැව් පිටි, වෙල් යායවල් අස්සේ කරක් ගසමින් රංචු පිටින් පාසල ඇරී එන එක අපේ එක විනෝදාංශයකි.

පාරවල් අයිනේ මිනී පිච්චුණේ මා පහ වසරේ උගන්නා කාලයේදීය. එකට ගිනි ලා තිබූ සිරුරු දෙකක් දින දෙකක් පමණ පාර අයිනේ තිබියදී එතැනින් ඉස්කෝලෙ යන්නට සිදුවීම ළමා වියේ මා ලැබූ නරකම අත්දැකීමකි.

මට මගේම කියා අලූ‍ත් බයිසිකලයක් ලැබුණේ හතේ පන්තියේදී වීතරය. එය පාවිච්චි කළ එකක් වුවද අලූ‍ත්ම අලූ‍ත් ලෙස තිබිණි. උසස් පෙළ දක්වාත්, ඉන්පසුව බැංකුවට ගිය අවුරුදු එකහමාරත් මා සමඟ සිටියේ එයාමය. කැම්පස් ආවාට පසු බයිසිකලයට වූයේ කුමක්දැයි දැන් මතක නැත.

කාලයක්ම මම මල්ලීවද, ලොකු නංගී පොඩි නංගීවද බයිසිකලය මත තියාගෙන අපි ඉස්කෝලේ ගියෙමු. මා ගමේ පාසලින් අස් වූ පසු ලොකු නංගී මල්ලීව භාරගත් අතර, පොඩි නංගීට තනි බයිසිකලයක් ලැබිණි. එක දවසක ඉස්කෝලෙ කන්ද ළඟ බයිසිකල් පෝලිමට නවත්වද්දී ඉදිරියෙන් ගිය සයිකලේ පෙරළෙනුත්, ඒ සමඟම කන්ද පහළට බස් එක ආවාත්, මා කෑ ගසනුත් මතකය. එහි වාඩි වී ගිය පොඩි නංගී පෙරළෙන බයිසිකලයේ පොල්ල යටින් රිංගා අගලට පැනගත්තේ කෙසේදැයි මට තාමත් හිතාගන්නට නොහැකිය. බස් එක තිරිංග පෑගූ සද්දය බොහෝ දුරකට ඇසී තිබිණි.

ගමේ ඉස්කෝලයට ගිය කාලයේ මාතින් බයිසිකල් අනතුරක් වූයේ එක ම එක වරකි. දවසක් පාසල ඇරී එන විට එක් වරම පාරට පැන්න දැරියක නිසා මාත් පෙරළී, ඇයත් තුවාල කරගත්තාය. ඈ එසේ පාරට පැන්නේ ගැරඬි මළකුණක් දැක බය වීමෙනි. අම්මාත්, තාත්තාත් නැතිව ආච්චී සමඟ හැදුණු වැඩුණු ඈ දිළිඳු දැරියක බව මා දැනගත්තේ ඇයව ඇරලන්නට ගෙදර ගිය විටය. පසුදා ඇගේ ආච්චි පාසලට පැමිණ ප‍්‍රින්සිපල් ළඟටම ගියේ මා ඇගේ මිණිබිරිය හප්පා තුවාල කර ඇති බව කියන්නටය. ප‍්‍රින්සිපල් ළඟට ගිය මම ඇත්ත කතන්දරේ පැවසීමි. ඒත් ආච්චිට උවමනා වූයේ මට දඬුවම් කරවන්නටමය. දැරිය තමාගේ වරද පිළිගත්තාට පසු ආච්චි යන්නට ගියේ අප දෙදෙනාටම බැණ වදිමිනි. ‘අනේ අක්කෙ ඉස්කෝලෙට එන්න එපා කිව්වට ආච්චි ඇහුවෙ නෑ.’ ඈ කීවේ අසරණවය. ඉන්පසු ගමේ ඉස්කෝලයෙන් අස් වන තුරුම ඈ මගේ දයාබර සොයුරියක විය.

උසස්පෙළ හදාරන්නට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට යන්නට පටන් ගත් මුල්ම සතියේ මා ගියේ බස්රියෙනි. එය පුදුමාකාර තෙහෙට්ටුව ගෙන දෙන වැඩකි. බස් දෙකක ගමනකි. ගෙදර එද්දී හතර පමණ වේ. සයිකලයට පුරුදු වී සිටි මට මෙය මහා දුෂ්කර ක‍්‍රියාවකි. බැරිම තැන පුරුදු වාහනයෙන් පාසල් යන්නට හිත හදාගතිමි. වෙල් යාය මැද්දේ ගුරු පාරෙන් තාර පාරට වැටී, මීගහකොටුව හන්දියෙන් හැරී උසාවිය අසලින් පාසලට යාම පසුව ගමේ පාසලට ගිය තරම්ම හුරු පුරුදු ගමනක් විය. දෙකට පාසල ඇරී දෙකහමාර වෙද්දී මං ගෙදරය. අව්ව, වැස්ස, සුළඟ, ගහකොල විඳිමින්, මඟතොට මිනිසුන් සමඟ හිනාවෙන්, කතාවෙන් බයිසිකලයෙන් ආ ගිය ගමන් සිහිකිරීම තාමත් සතුටකි. එක දවසක් පාසල ඇරී එන විට අයිස් වැස්සක්ද වැටිණි. වැස්ස දවස්වලට නම් ඉතින් මඟ නැවතීමක් නැත. තෙමීගෙනම ගෙදර එන්නේ හදිසියකට නොවේ. වැස්සේ තෙමෙන්නට ඇති ආසාව නිසාමය.

සෙන්ට‍්‍රල් එකේ පාපැදි නවත්වන්නට වෙනම විවෘත ශාලාවක් තිබිණි. එහි දිනකට බයිසිකල් දෙතුන් සියයක් වැරදුණේ නැත. ඒ අතර තිබූ අබලන්ම බයිසිකල් අතර මගේ බයිසිකලය තිබූ බව මතකය. විටෙක එය ලැජ්ජාවක් වුවද මම බයිසිකලයෙන් පාසල් යාම නතර නොකළෙමි.

එක් දිනක් උසාවි කන්ද බැහැගෙන එන විටම බයිසිකලයේ බ්‍රේක් අහුනොවන බව මට දැනිණි. ටික දිනක සිට බ්‍රේක් වැඩ කළේද එක පැත්තක පමණි. එදා නම් ඇෙඟ් ලේ වතුර වුණ දවසකි. උසාවි කන්ද ස්රීස් ගා බැස්ස බයිසිකලය පන්නල පාරට වැටෙන විට වාසනාවට පාරේ වාහන නොවුණි. ඒ වේගයෙන්ම මීගහකොටුව ඔර්ලෝසු කණුව ළඟට එන විට මා සිතුවේ වාහනයක් ආවොත්, තුවාලයක් වුණත් කමක් නෑ බයිසිකලය අතහැර පැනගන්නා බවය. වාසනාවට ප‍්‍රධාන පාරේද වාහනයක් නොආවෙන් පණ බේරාගෙන ගෙදර එන්නට හැකි විය. එදා නම් තාත්තාට අම්මාගෙන් හොඳවැයින් අහගන්නට සිදුවිය. වඩුවගේ ගෙදර පුටු නෑ වගේ, තාත්තා වින්කල් වැඩ දැනන් උන්නාට අපේ බයිසිකල් හදාගන්නට සියදහස් වාරයක් සිහිපත් කළ යුතුය. අදටත් මගේ බයිසිකලය මුල්ලක දමා ඇත්තේ තාත්තාට රටේම වැඩ කරන්නට වෙලාව ඇතත් මගේ බයිසිකලය හදා දෙන්නට වෙලාව නැතිකම නිසාය. දැන් වින්කල් කියා දෙයක් හතර මායිමක ඇත්තේම නැත. පුංචි උන් ඇර බයිසිකල් පදින අය දැක්මද දුබලය. සියල්ලන් ඉගිලෙන්නේ මොටෝබයිසිකල්වලිනි.

උසස්පෙළ ප‍්‍රතිඵල බලන්නට මා පාසලට ගියේද බයිසිකලයෙනි. මීගහකොටුව බස් නැවතුම අසලදීම පාරට පැන මා නැවතූ යහළු යෙහෙළියන් පිරිසක් කීවේ ‘බලන්නට දෙයක් නැති බවය.’ මම සීතල වීමි. කාණු ගැට්ටේ තබා තිබූ පය කට කට ගා ගැහෙනු මටම දැනිණි. ‘ඒ හතරක්ම තියෙනවා’යන්න ඇසුණේ පසුවය.

පසුව විශ්වවිද්‍යාලයට එනතුරුම කුලියාපිටිය මහජන බැංකුවේ වැඩ කළ අතර ඒ වසර එකහමාරද මගේ වාහනය වූයේ බයිසිකලයමය. ගමේ ගිය සතිඅන්තවල ගම පුරා කරක් ගසන්නට බයිසිකලය මෙන්ම චැලියක්ද තිබිණි.

ඊටත් වසර ගණනාවකට පසු (2014)මට නැවතත් අලූ‍ත්ම බයිසිකලයක් තෑගි ලැබිණි. ඒ ලොකු නංගීගෙනි. ඒ බයිසිකලය මිල දී ගෙන තිබුණේ ඇය බුලත් වැඩ කිරීමෙන් ලත් මුදලෙනි.

පාපැදිය සම්බන්ධයෙන් තවත් සුන්දර අත්දැකීමක් ලැබුණේ ජපානයේදීය. ජපානය සුන්දර රටක් ලෙස මට දැනෙන්නේ ඒ මිනිසුන් පරිසරයට දක්වන ආදරය නිසාය. අප නැවතී උන් ධෂීක්‍් පුහුණු මධ්‍යස්ථානය පැවතියේ ශිකොකු පළාතේ අයගාවා නගරයට එපිටින් වන සුන්දර ගම්මානයකය. එහි සිට නගරයට ඒමට ආයතනයේ බස් රිය හැරුණු විට වෙනත් ප‍්‍රවාහන පහසුකම් නොතිබිණි. ඒ වෙනුවෙන් තිහක් පමණ බයිසිකල් තිබුණි. බයිසිකලයෙන් නගරයට ඒම අපහසු කටයුත්තක් නොවුණි. බයිසිකල් පැදීමට දැන සිටීම කොතරම් වාසනාවක්දැයි පළමුවරට දැනුණේ එහිදීය. අපේ කණ්ඩායමේ භාෂා පරිවර්තක මිසතො සන් හැරුණු විට බයිසිකල් පදින්නට දැන උන්නේ මා සහ ලා ඕස්වලින් පැමිණි ෆොන්සි පමණි. අපට කැමති සයිකලයක් තෝරාගෙන පැද පෙන්නන්ට කීවේ අපේ සයිකල් පැදීමේ හැකියාව මැන බැලීමටය. අහන්නත් දෙයක්ද? එක වටයෙන්ම සමත්ය. ඒ බයිසිකලය පුහුණුව නිම වී එනතුරුම මගේ නමින් වෙන් වී තිබිණි. ජපානයේ මහා නගරයක වුවත් බයිසිකල් පදින්නට බිය විය යුතු නැත. සෑම මාර්ගයකම වෙනම තීරුවක් පා පැදි සඳහා වෙන්ව ඇත. ටයි කෝට් ඇඳ, බි‍්‍රෆ් කේස්, ලැප්ටොප් ගත් මහතුන්ද, රස්සා පිණිස යන කාන්තාවන්ද, කොටට කොටේ ඇඳගත් තරුණ කෙල්ලන්ද, විසේකාර කොල්ලන්ද, පාසල් ළමුන්ද එක සේ සයිකල් පදිති. එතරම් නිදහසේ සයිකල් පදින ජන කොටසක් මා ඒ දැක්කාමය. මමද ලැබෙන පුංචි විවේකයක් හෝ අපතේ නොයවමින් ගමේ තරම්ම නිදහසේ ඇති තරම් බයිසිකලයේ සවාරි ගැසුවෙමි

ටකමට්සු නගරයේ මාසයක් නැවතී උන් හෝටලයේ තිබුණේ බයිසිකල් දෙකක් පමණි. එය ගෙන මුහුදු වෙරළට, වරායේ රෝස උයනට, ටකමට්සු උයනට, මාළිගාවට, සල්පිල් කඩපිල් අස්සේ ආ ගිය ගමන් සිහිපත් වන විට අප‍්‍රමාණ සතුටක් සමඟ සුසුමක්ද නැගේ. මගේ රටේ ප‍්‍රධාන නගරයක නම් එලෙස බයිසිකල් පැදීම පණ පුදන්නට වන වැඩකි. ඒ නොදන්නා නගරයේ ? කාලයේ පවා අප බයිසිකල් පැද්දේ කිසිදු බියකින් තොරවය. සමහරවිට ඒ ආරක්ෂිත බව නිසාමද, නැත්නම් අපගේ නොදන්නාකම නිසාද නිශ්චිත නැත. කිසිදු බියක් නොදැනුණු බව නම් නිසැකය.

 තරුරසි ප‍්‍රනනාදු