■ පවිත්‍රා රූපසිංහ

ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ ඇගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල සිනමාවේ මායිම් ලකුණක් වන ඒ චිත්‍රපටය ඇගේ සිනමා දිවියේත් විශේෂ සලකුණක්.

නරි බෑනා නාට්‍යයේ ගම දුවගේ චරිතය රඟපාමින් ඔබ වේදිකාවට පැමිණියා. නරි බෑනා සහ ගම දුව පිළිබඳ මතකය කොහොමද?
නරි බෑනා නාට්‍යයේ ගම දුව විදියට රඟපෑවේ ශ්‍රියානි වීරකෝන්, ශ්‍රියානි අමරසේන නෙමෙයි. මගේ කලා ජීවිතයේ පෙර දැක්ම වුණු නරි බෑනා අතිශය ජනප්‍රිය වූ ගැමිවහරේ කතාවක්. රබන් පද ඇසුරෙන් සකසා තිබූ ගීතයන්ට ලයනල් අල්ගම සංගීතය සැපයුවා. නාට්‍යයේ චරිත තිබුණේ අඩුවෙන්. නාට්‍යයේ නරියෙක් සහ බල්ලෙක් රඟපානවා කිව්වාම මිනිසුන්ට විශාල කුතුහලයක් මුලින් තිබුණා. නරියාගේ චරිතය අසීරු චරිතයක්. නාට්‍යයේ සාර්ථකත්වයට නරියාගේ නැත්නම් ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ රංගන කෞශල්‍යය ප්‍රබල හේතුවක් වුණා. නරියාගේ චරිතයේ ආකෘතිය හැදුවේ ඔහුයි. අනෙක් පැත්තෙන්, ගම දුව මගේ චරිතය මිනිස්සු කැමැත්තෙන්ම වැළඳගෙන තිබුණා. ‘කුමටද සොඳුරිය කඳුළු සලන්නේ හේතුව මම නොදනිම්’, ‘තෝව දෙන්නෙත් නරියටයි තෝව ගන්නෙත් නරියමයි’ වැනි වේග රිද්මයක් තිබුණු කෙටි ගීතවලට ප්‍රේක්ෂකයන් ආශා කළා.

හැත්තෑව සහ අසූව දශකවලදී ඔබව හැඳින්වූවේ ‘සිනමාවේ අහිංසකාව’ විදියටයි. චරිත තෝරා ගැනීමේදී කටයුතු කළේ කොහොමද?
සිනමාවේදී මුලින් මට ලැබුණේ අහිංසක ගැමි චරිත. ඒ චරිත මිනිස්සු අතරට ගියා. කල්‍යාණි ගංගා, රත්තරං අම්මා, අපරාධය සහ දඬුවම, හතරදෙනාම සූරයෝ වැනි චිත්‍රපටවල මා රඟපෑ භූමිකාවන් ප්‍රේක්ෂකයන් වැළඳගත්තා මතකයි. මා චරිත තෝරාගැනීමක් කළේ නැහැ. විවිධාකාරයේ චරිත රඟපෑම මගේ පමණක් නෙමෙයි, සෑම කලාකරුවෙකුගේම කැමැත්තක්. සිනමාවේ අහිංසකාව යන නාමය ඒ කාලයේ පටබැදුණා සහ මං එය සතුටින් භාරගත්තා. ‘නිවෙන ගින්න’ චිත්‍රපටයේ මා රඟපෑවේ ප්‍රධාන චරිතය, නිවසක මෙහෙකාරියක්. ඒ වලව්වේ සිටි එකම සෙල්ලක්කාර තරුණ පුතාට රඟපෑවේ රොබින් ප්‍රනාන්දුයි. ඔහු අතින් මෙහෙකාරිය අනාථ වෙනවා සහ අවසානයේ ඇයව වලව්වෙන් පන්නනවා. පසුව දරුවා බිහිකරන ඇය වලව්කාර පවුලෙන් බොහොම සූක්ෂ්මව පළිගන්නවා. ටී.බී. ඉලංගරත්නගේ නවකතාවක් ඇසුරෙන් අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ මගේ චරිතයට මා අදත් ආසයි. අහිංසක චරිතයක් වුණත් ඉන් සමාජයට දෙන පණිවුඩය විශාලයි. කවදාකවත් වලව්වල හාම්පුතුන්ට ප්‍රේම කළාට මොහෙකාරියකට ඔහු හා විවාහ වෙන්න බෑ, දරුවො ලැබුවත් ඒ පරතරය හරිම දුරස්ය යන්න අපූරුවට විදහා දක්වනවා.

එදා චිත්‍රපටයටත් වඩා සමහරවිට චිත්‍රපට ගීත ප්‍රේක්ෂකයන් වැළඳගත්තා. චිත්‍රපට ගීත පටිගත කිරීම්වලදී එදා සහ අද ඔබ අත්දකින විශේෂ වෙනසක් තිබෙනවාද?
මම සිනමාවට පිවිසුණේ සිනමාව කළු සුදු වර්ණයෙන් පවතින කාලයේයි. ‘පුතුනේ මේ අහගන්න’, ‘පැතුම් මල්ලකි ජීවිතේ’ යන ගීත ජනතාව අතරට ගියේ ඒවායේ රූපයත්, සංගීතයත්, රගපෑමත් සහ පසුබිම් තලයත් යන හැමදේම නිසායි. එදා චිත්‍රපට ගීතවලදී විශේෂයෙන්ම සංගීතයට, පසුබිම්තලය විශාල බලපෑමක් කළා. ‘පැතුම් මල්ලකී ජීවිතේ’ ගීතය විජය චිත්‍රාගාරයේ දර්ශන තලයක ගෙපැළක් හදලා එහි තමයි රූපගත කළේ. ගෙපැළේ මගේ කාමරය ඉතාමත් පුංචියි. විවාහ මංගල්‍යයට අඳින ඇඳුමකින් සැරසිලා මා ජීවිතේ ප්‍රාර්ථනාවන් ගැන සිතනවා. මෙතනදී ලෙනින් මොරායස්ගේ කැමරා ශිල්පීය ඥානය සහ ඔහු කැමරාවෙන් කළ හරඹය නිසා කාටවත් තේරුණේ නැහැ මේ ගීතය එක තැනක කළ රූපගත කිරීමක් කියලා. ‘පුතුනේ මේ අහගන්න’ ගීතයත් රූපගත කළේ ලංකා චිත්‍රාගාරයේ දර්ශන තලයක. අපි පිටතට ගියේම නැහැ. ධර්ම ශ්‍රී කල්දේරාගේ අධ්‍යක්ෂණයෙන් සිදු වුණු ඒ ගීතය ගැයුවේ සුජාතා අත්තනායකයි. එදා චිත්‍රපට ගීතවල ජනප්‍රියත්වයට, ගීතයේ පද, ගායනය, සංගීතය, රංගනය සහ පසුබිම්තලය සමසේ උපයෝගි වුණායි මා සිතනවා.

ඒත් අද තත්ත්වය ඊට වෙනස්. ඉස්සර චිත්‍රපටයක ගීත පහක් හයක් තිබුණා. අපි සිනමාවට එන්නට පෙර චිත්‍රපටයක ගීත විස්සක් පමණ තිබුණා. පැය තුනක් පමණ විහිදෙන චිත්‍රපට එදා තිබුණා. අද පැය එකහමාරක් දෙකක් පමණ කාලයකදී චිත්‍රපටය අවසන් වනවා. අද සමහර චිත්‍රපටවල ගීත නැහැ. ගීත තිබුණත් බොහොම අමුතු විදියට ඉදිරිපත් කරන්නේ. එදාට වඩා අද සංගීත භාණ්ඩ පැත්තෙනුත් දියුණුයි. අපේ කාලයේ ගීතයක් පටිගත කරන්න දින තුන හතරක් ගතවනවා. ඒත් අද නව තාක්ෂණයත් සමග හැමදේම පහසු වෙලා තිබෙනවා. අද සිනමා පටයක ගීතයක් ගැන බරපතළ විදියට හිතන්නේ නැහැ. ඒත් නව තාක්ෂණය සමග ඇස ප්‍රිය කරන ගීතයක් අවසන් කිරීමට විශාල මුදලක් වියදම් කරන්න සිදුවී තිබෙනවා.

සිනමාවේ කලින් කලට ජනප්‍රිය වූ දැවැන්තයන් සිනමාපටවලදී ඔබගේ පෙම්වතුන් වී තිබෙනවා. ඔවුන්ගේ රංගන පෞරුෂයන්ගේ විවිධත්වය ඔබට අභියෝගයක් වුණාද?
ගාමිනී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, එච්.ආර්. ජෝතිපාල, විජය කුමාරණතුංග, ඩග්ලස් රණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, ඔස්වල්ඩ් ජයසිංහ, සනත් ගුණතිලක, තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක යන අය සමගම මා සිනමාවේ රඟපා තිබෙනවා. එය මට විශාල සතුටක්, භාග්‍යයක්.

රංගනයේදී මුලින්ම පිටපත අධ්‍යයනය කරනවා. චිත්‍රපටයේ මගේ චරිතය නන්දා නම් මා තවදුරටත් ශ්‍රියානි අමරසේන නෙමෙයි, රූප රාමුව තුළ මා හැඩ ගැසෙන්නේ නන්දාගේ ජීවිතයටයි. අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම අනුවත් අප චරිතය හදා ගන්නවා. ඇත්ත මම කවුද කියලා දර්ශන තලයේදී සහමුලින්ම අමතක කරනවා. පෙම්වතියක් නම් ආදරය කරනවා, ගුටිබැට හැළහැප්පීම් සිදුවෙනවා, එකිනෙකාට එරෙහිව තලාපෙලා ගැනීම සිදු කරනවා. ඒ හැම දෙයක්ම රගපෑමක්. දර්ශන තලයේදී අප වටා කාර්මික ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් බලා සිටියත් අපට අවට අමතක වෙනවා. රංගනය කියන්නේ භාවනාවක් වගේ දෙයක්. ඉතින් මට ජෝ අයියා හමුවන්නේ ඔහුගේ චරිතයෙන්. ඇත්ත ජෝ අයියා නෙමෙයි. සහාය නළුවා වෙනුවට ඒ නළුවා රඟන චරිතය සමග කටයුතු කරනවා. අධ්‍යක්ෂවරයා දර්ශනතලයේදී සයිලන්ට් කියද්දී, මා මොහොතක් නිහඬ වී සිට ඒ චරිතයට පිවිසෙනවා. අධ්‍යක්ෂවරයා ඇක්ෂන් කියද්දී, ඒ සිටින්නේ මා නෙවෙයි. අවසානයේ කට් කියන තුරු මා සිටින්නේ ඒ මූඩ්එකේයි. එය ඇත්ත වශයෙන්ම භාවනාවක් වගේ දෙයක්. ඒ තෘප්තිය වෙනත් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙකුට ලබන්න බැහැ. කලාවේ රංගනයේ තිබෙන විශේෂත්වය ඒකයි.

රත්තරන් අම්මා, දෑස නිසා, අහසින් පොළවට කියන්නේ අපේ රටේ සිනමාලෝලීන්ට අමතක නොවන චිත්‍රපටයි. රත්තරන් අම්මා චිත්‍රපටයේදී ඔබ ආරම්භයේදී ගාමිණී ෆොන්සේකාගේ පෙම්වතිය විදියටත්, දෙවනුව ඔහුගේ අම්මා විදියටත් රඟපානවා. එවකට තරුණ ඔබ මේ අභියෝගය ජය ගත්තේ කොහොමද?
මේ චිත්‍රපටයේ රඟපාද්දී මා තරුණියක් තමයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා සහ චිත්‍රපටයේ වේෂ නිරූපණය කළ ඊබට් විජේසිංහ මට මේ භූමිකාවන් දෙකට පිවිසීමට විශාල දායකත්වයක් දුන්නා. චිත්‍රපටයේ මුලින් මම ගාමිණී අයියාගේ පෙම්වතිය සහ බිරිඳ. ඔහු මිය යාමෙන් පසුව චිත්‍රපටයේ මගේ භූමිකාව වෙන්නේ අම්මාගේ චරිතයයි. එහිදී තරුණ සෙල්ලක්කාර පුතා වෙන්නේත් ගාමිණී අයියාමයි. මේ දඩබ්බර පුතා සමඟ අම්මා හැප්පෙන ආකාරය තමයි රත්තරන් අම්මා චිත්‍රපටය කතා කරන්නේ. වේෂ නිරූපණයෙන් පසුව කන්නාඩිය ඉදිරියට ආවාම, මට පෙනෙන්නේ නැහැ මම ශ්‍රියානි විදියට. මා දකින්නේ, මා ඉදිරියේ සිටින වයසක ගැහැනියක් පමණයි. චරිතයට පිවිසෙන්න ඒ විදියට පහසුයි. මෙහිදී කටහඬ, දෙබස් උච්චාරණය කරන ආකාරය, ගමන බිමන සහ සහාය නළුවාගෙන් ලැබෙන සහාය වැදගත් වනවා. මේවා අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒත් එදා අපට රංගනය පිළිබඳ හදාරන්න ආයතන තිබුණේ නැහැ. ඒත් මම එදා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබූ විදෙස් චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන සිටියා. ඒවායේ රඟපාන ඉතාමත් දක්ෂ නළු නිළියන්ගෙන් මා ඉගෙන ගත්තා. ඔවුන් ආදරය කරද්දී, උද්වේගකර අවස්ථාවලදී මුහුණදෙද්දී, මුව හසුරුවන ආකාරය සිරුර චලනය කරන ආකාරය මා අධ්‍යයනය කර මතකයේ තබා ගන්නවා. පසුව ඒවා අනුකරණය කරන්නේ නැහැ. මොකද එම හැසිරීම් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ. එම හැසිරීම් අපේ විදියට මා සකසා ගන්නවා. ඔවුන් ආදරය කරන විදියට අපට ආදරය කරන්න බැහැ. බටහිර රටවල හැසිරීම් රටා වෙනස්. අපට සීමාවන් බොහොම තිබෙනවා. අවස්ථාවට උචිත ආකාරයට අපේ සංස්කෘතික සීමාවන් තුළ අපට රඟපාන්න ඒ විදියට ඉගෙන ගත්තා.

සිනමා පුවත්පත් කලාවේ ප්‍රවීණයකු වන ආතර් යූ. අමරසේන ඔබගේ ජීවන සහකරුයි…
ළමාවියේ සිය මා ලිවීම සහ පොතපත කියවීම කරනවා. කියවීම තුළින් තමයි, ලිවීමට හිත දෙන්නේ. කියවන්න කියවන්න ලියන්න හිතෙනවා. ලිවීම මට ජීවිතයේ විනෝදාංශයක් වී තිබුණා. මේ අතරතුරදී මටත් වඩා හොඳට ලියන්න පුළුවන් ලියන මහත්තයෙක් එක්ක මට විවාහ වෙන්න ලැබුණා.

සති අන්ත රිවිරැස පුවත්පත පළමුවරට මංගල දැන්වීම් පිටුවක් ආරම්භ කරද්දී ආයතනයේ අවිවාහක අයම දැන්වීම් දාලා තිබෙනවා. මොකද ආරම්භක පිටුවට දැන්වීම් පිටින් එන්නේ නැති නිසා. එහි තිබුණු එක දැන්වීමක් ‘කලාවට කැමති, රූමත් තරුණියක් පින්තූරය සමග විමසන්න’ කියා තිබුණා. මගේ මව ඊට පිළිතුරු ලියා තිබුණා. පසුව තරුණයන් දෙදෙනෙක් අප මුණගැසෙන්න ඇවිත් කතාබහ කළා. ඒ අය බොරු නම්වලින් තමයි මුලින් කතා කළේ. පසුව අපගේ කැමැත්තක් ඇති බව දැකලා, ඔවුන් ඇත්ත නම් කිව්වා. ඒ ආතර් යූ අමරසේන සහ ඔහුගේ මිත්‍රයා ඔගස්ටස් විනයාගරත්නම්. මම ආතර් යූ අමරසේන සමග විහාහ වුණා.

චිත්‍රපටයක මංගල දර්ශනය නරඹන්න එදා ප්‍රේක්ෂකයන් සිනමාශාලා ඉදිරියේ පොරබැදුවා. අද සිනමාව සහ සිනමාශාලා වැසීයාම ගැන ඔබගේ අදහස කුමක්ද?
අපේ රටේ දශක තුනක් තිස්සේ තිබුණු ජනවාර්ගික යුද්ධය සිනමාවේ බිඳවැටීමට මුලින්ම බලපෑවා. ඒ කාලයේ රටේ සිනමාහල් බොහෝමයක් ගිනිබත් කළා. විශේෂයෙන්ම උතුරේ සිනමාහල් අපට අහිමි වුණා. අදටත් අපට ඒ ප්‍රශ්නය තිබෙනවා. යුද්ධය අවසන්වෙලා නව තාක්ෂණයත් ඇවිත් සිනමාව තුළ නැම්මක් ඇති වෙද්දී කොවිඩ් වසංගතය ආවා. යුද සමයේ වගේම අදත් සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නරඹනවා කියන්නේ තරමක අවදානමක් ඇති දෙයක්. මේ නිසා අද සිනමාශාලා හිමිකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිනමා ශාලා වසා තැබුවත් යන්ත්‍ර ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් ඒවා අකාලයේ දිරාපත් වනවා. මේ තත්ත්වය තුළ අද සිනමා ශාලාවල යන්ත්‍ර, පුටු වශයෙන් වෙන වෙනම විකුණලා හෝල්එකත් විකුණනවා. අද රටේ උසස් නිර්මාණ බිහි වන්නේ නැත්තේ, මේ තත්ත්වය තුළයි. එවැනි නිර්මාණයකට යොදවන මුදල පෙරළා නිෂ්පාදකයින්ට ලබාගන්න බැහැ. ඉස්සර සිනමා ශාලා ප්‍රමාණයෙන් ඉතා විශාලයි. උදාහරණයකට බොරැල්ලේ ලිඩෝ ශාලාව. කොළඹින් පිටත දුර පළාත්වල ගත්තත් සිනමා ශාලාවක පන්සියයක් හයසියයක් දාන්න පුළුවන් තරම් විශාලයි. ඒත් ඒ කාලේ සිනමා ශාලා හවුස් ෆුල්. අද සිනමා ශාලාවලට මිනිස්සු එනවා බොහොම අඩුයි.■