ප‍්‍රහාරකයන්ට පොලිස් ඇප ලැබෙන සේ චෝදනා ගොනුකරලා

මිනුවන්ගොඩ, කුලිය්ාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල ඇතුළු ප‍්‍රදේශ ගණනාවක මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ දේපළ ඉලක්ක කරමින් සිංහල අන්තවාදී කණ්ඩායම් එල්ල කළ සංවිධානාත්මක පහරදීම්වලදී එම පහරදීම් වැළැක්වීම වෙනුවට ඒවාට අනුබල දෙන ආකාරයෙන් ශ‍්‍රී ලංකා පොලීසියේ සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් කටයුතු කර ඇති බවටත්, සමහර පහරදීම් සඳහා එම සාමාජිකයන් සම්බන්ධ වී ඇති බවටත් චෝදනා එල්ලවී තිබේ.

මැයි මාස 12 වැනිදා රාත‍්‍රියේ හා 13 වැනිදා එම පහරදීම් සිදුවී තිබුණු අතර, මේ වනවිට ආරක්ෂක අංශ එම පහරදීම්වලට උදව් කරමින්, රැුඳී සිටින ආකාරය දැක්වෙන සීසීටීවී වීඩියෝ දර්ශනද ප‍්‍රසිද්ධ වී තිබේ. ඇතැම් පහරදීම් ඇඳිරි නීතිය පැවති අවස්ථාවේ කර තිබෙන අතර ඒවා වැළැක්වීමට හෝ ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර නැත.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පල්ලියකට පහරදුන් අවස්ථාවේ හමුදා නිලධාරීන් හයදෙනෙකු ඒ දෙස බලාසිටි බවත්, ඔවුන් එය වැළැක්වීමට කිසිවක් නොකළ බවත් ප‍්‍රදේශවාසීහු චෝදනා කරති. ඊට අමතරව ගල්ලොලූව නම් ගම්මානයේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු ගම්වාසීන්ට පහරදීමේ ක‍්‍රියාවට සම්බන්ධ වී ඇතැයි එම ගම්වාසීහු චෝදනා කරති.

මීට අමතරව පහරදීම්වලට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලිස් ඇප මත නිදහස් කිරීමේ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී තිබේ. 11 වැනිදා රාත‍්‍රියේ කුලියාපිටියේ වෙළඳසැලකට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකුද, බිංගිරියේ පල්ලියකට පහරදීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හයදෙනෙකුද මෙසේ නිදහස් කර තිබේ.

අනිද්දා කළ විමසීමකදී  ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය ඒකකයේ නිලධාරියෙකු පවසා සිටියේ යුද හමුදාවට සමාන ඇඳුම් ඇඳ ගත් පුද්ගලයකු කලහකාරී ස්ථානයක රැුඳී සිටින වීඩියෝ කිහිපයක් යුද හමුදාවට ලැබී ඇති බවත් අදාළ නිලධාරීන් කවුරුන් දැයි හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්ය. එම පරීක්ෂණවලින් එම නිලධාරීන් වරදකරුවන් වුවහොත් දැඩි විනය ක‍්‍රියා මාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.

මේ අතර, අත්අඩංගුවට ගත් මැරයන්ට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ චෝදනා ගොනු කළ යුතුව තිබියදී, පොලිසිය විසින් සාමාන්‍ය නීතිය යටතේ ලා ඔවුන්ට සැලකීමෙන් පොලිස් ඇප දී මුදාහරින තත්ත්වයක් ඇතිවී ඇති බවද වාර්තා වෙයි.

කිසිදු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක නොයෙදී, හුදෙක් කෙටිකතාවක් ලිවීමේ චෝදනාවට ශක්තික සත්කුමාර නමැති සාහිත්‍යකරුවකුට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පනත යටතේ චෝදනා ඉදිරිපත් කර මේ වන විට මාස දෙකකට අධික කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින තත්ත්වයක් යටතේ, ජනවර්ගයක් ඉලක්ක කර මේ තරම් විනාශයක් කළ අන්තවාදී මැරයන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමත්, පොලිස් ඇප ලබාදී නිදහස් කිරීමත් නීති ක්‍ෂෙත‍්‍රයේ විමතියට හේතු වී තිබේ. x

තරිඳු උඩුවරගෙදර / රේඛා නිලූක්ෂි හේරත්