සතියකට පමණ පෙර ඇදහිය නොහැකි පුවතක් මගේ ෆෙස්බුක් මිතුරියක සිය පිටුවේ ලියා තිබිණ. ඒ අනුව නුදුරු දිනයක ඇගේ සිවු වියැති දියණියට, පෙර පාසල් ගුරුතුමිය විසින් ‘කොරෝනා-සමය’ වෙනුවෙන් වූ ගෙදර වැඩ ලබා දී ඇති අතර ඒ අතරෙහි සම්පූර්ණ කළ යුතු මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපසටහන ද, වර්ණ ගැන්විය යුතු (සහ දෙමාපිය සහායෙන් වටහාගත යුතු) කොරෝනා වෛරසයේ විද්‍යානුකූල හරස්කඩක් ද යනාදි වැඩ එකතුවක් වී ඇත. වරදක් වී ඇත්දැයි යළි ගුරුතුමිය විමසුව ද ‘ඒවා දෙමාපිය සහායෙන් කළ හැකි’ දේ බව ගුරුතුමිය පැහැදිලි කර ඇති අතර මගේ මිතුරිය ලියා තිබුණේ ඒ පිළිබඳ සිය කම්පනයයි.

මදුරුවන්ගේ ජීවන චක්‍ර ඇතුළු බොහෝ චක්‍ර, වක්‍ර සහ පැටලිලි අවිහිංසක දරුවන්ගේ මනස අබියස තබන අපගේ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඇතැම් කලාප දරුණු ලෙස දරුවාගේ ජීවන චක්‍රය විනාශ කර දමයි. වඩා දියුණු දරුවෙක් මෙන්ම අනෙකා අබිබවා ගිය දරුවෙකු බලාපොරොත්තු වන ඇතැම් දෙමාපියෝ ද පෙර පාසල හා එක්ව දරුවාගේ ජීවන චක්‍රය නසා දැමීමට සහාය දෙති. අවසානයේ හමුවන්නේ නිසි පරිදි කීට තත්වය හා කෝෂගත නොවීම හේතුවෙන් විකෘති වූ සුහුඹුලෙකි! අපේම දරුවාගේ ජීවය උරා බොන මදුරුවන් වන්නේ අපම ය!

‘දැන් ඉස්සර වගේ නෙවෙයි. ළමයි අවුරුදු 3 පිරෙද්දිම මොන්ටිසෝරි දැම්මෙ නැත්තං වැඩක් නෑ. අනිත් ළමයි අපේ දරුවො පහු කරගෙන යනවා.’

මේ දෙමාපියන්ගේ සුපුරුදු ප්‍රකාශනයයි. දෙමාපියන්ගේ ජීවන චර්යාව තුළ හමුවන අවිවේකී බව, දෙදෙනාම රැකියාවල නිරත වීම, ජීවන අරගලය හේතුවෙන් දරුවන් වෙනුවෙන් කාලය මිඩංගු කිරීමට අපහසු වීම යනාදිය හේතුවෙන් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් වෙත යොමු කිරීමට පියවර ගැනීම ඇතැම් තත්වයන් හමුවේ විකල්ප සොයාගත නොහැකි පසුබිමක් සාදන බව ද පෙනේ.

කෙසේ වෙතත්, ළදරුවියේ පසුවන දරුවකු පෙර-පාසලක් වෙත යැවීමේ අරමුණ අප විමසා බැලිය යුතු ය. නම යෝජනා කරන පරිදිම එය ‘පෙර-පාසලක්’ මිස පාසැලක් නොවේ. එනම් එහි මුණගැසිය යුත්තේ පාසැලට පෙර අවස්ථාවයි. මෙහි පැවතිය යුතු මූලිකම ප්‍රවේශය අධ්‍යාපනය ලැබීම සඳහා දරුවා තුළ ආදරයක් සහ උනන්දුවක් ඇති කිරීම ය. ඒ හා සමග, එක් එක් දරුවාට ආවේණික ශාරීරික, මානසික, ඥානගවේෂී සහ සමාජශීලී ස්වභාවයන් හඳුනාග නිමින් එළඹෙන ජීවිතය වෙත පිය නැගීම සඳහා පදනමක් සැදීම ය.

අප වැඩි දෙනෙක් හඳුනන මොන්ටිසෝරි යන්න පෙර පාසල් විෂයයෙහි එක් ප්‍රවර්ගයක් පමණි. ඉතාලි ජාතික ආචාර්ය මාරියා මොන්ටිසෝරිගේ වර්ධනය කළ එම ප්‍රවේශයට අමතරව රෙගියෝ එමිලියා, වල්ඩොෆ්, හයිස්කෝප්, බෑන්ක් ස්ට්‍රීට්, දෙමාපිය සහයෝගී, ආගමික පසුබිම් සහිත යනාදි වශයෙන් බොහෝ පෙර පාසල් ප්‍රවේශ ලොව පුරා ක්‍රියාත්මක වේ. මින් බොහෝ ක්‍රමවේදයන්, ළමා මනස පිළිබඳ දැනුමැති විශේෂඥයන් විසින් සංවර්ධනය කොට ඇති අතර පොදුවේ කුඩා දරුවෙකු විෂයයෙහි වඩාත් ඵලදායී ප්‍රවේශයන් හරහා පෙර පාසල් අධ්‍යාපනය ලබා දිය හැකි ආකාරයන් යෝජනා කරයි. මේ සියල්ල විමසන්නෙකුට අඩු වැඩි වශයෙන් හඳුනාගත හැකි වැදගත්ම කරුණ වනු ඇත්තේ, වෙනස් මාර්ග ඔස්සේ යමින් වුව, මේ සියලු ප්‍රවේශ කුඩා දරුවා ‘දරුවකු’ ලෙස පිළිගනිමින් සිය යෝජනා ඉදිරිපත් කරන බව ය. යට කී ජීවන චක්‍ර පාඩම් සහ කොරෝනා වෛරස පාඩම් නසන්නේ එම දරුවා ය.

සාපේක්ෂව ඉදිරිගාමී පෙර පාසල් අප රට තුළ ද ක්‍රියාත්මක වන බව ඔබ යෝජනා කරන බව මම දනිමි. එය ඇත්තක් වන අවස්ථා ද හමුවීමේ පසුබිම් ඇත. යටකී මිතුරියගේ පෝස්ටුව යටින් ද ‘දරුවා හඳුනන පෙර පාසලකට යාමට සිදුවීම’ පිළිබඳ සතුටු වූ දෙමාපිය ප්‍රතිචාර ද මට දක්නට ලැබිණ.

අර්බුදය ඇත්තේම එම සාධනීය ප්‍රවේශ ජාතික වශයෙන් යෙදවෙන තත්වයක් මෙරට පෙර පාසල් විෂයයෙහි නොවීම ය. අප වඩාත් ප්‍රවේශම් සහගතව විමසිය යුතු පූර්ව ළමාවිය අධ්‍යාපනය දෙස රටක් ලෙස විමසා ඇත්තේ උනන්දුවකින් තොරව ය. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැක සිතෙන, දරුවන්ට නිසි වටපිටාවක් නැති නාගරික වීදිවල ගාල් වුණු පෙර පාසල් ඇති තරම් අප රට තුළ හඳුනාගත හැක. ඇතැම් රටවල ඉතා තියුණු ලෙස විමසා බැලෙන පෙර පාසල් ගුරුවරයාගේ/ගුරුවරියගේ අධ්‍යාපන සුදුසුකම් මෙරටදී විමසා බැලෙන ආකාරය ඒ එක් එක් පෙර පාසල හමුවේ වෙනස් බව තේරුම් ගැනීමට අසීරු නැත.

දැන් අපි ඉහත මිතුරියගේ දියණිය මුහුණ දුන් සිදුවීම ඛේදවාචකයක් වන්නේ ඇයිදැයි බලමු.

ඇදහිය නොහැකි වුණු, පාසලක ප්‍රාථමික පන්තිවල දරුවකුට වුව තේරුම් ගැනීමට අසීරු වෛරසයක හරස්කඩක් වර්ණ ගන්වමින්, එය දෙමාපියන්ගේ සහායෙන් වටහා ගැනීමට යොමු කරවීම සැබවින්ම සිදු විණි දැයි විමසීමෙන් පසු ඇය මට අදාළ සිදුවීම හා බැඳුණු රූපසටහන් සියල්ල එවමින් පසුබිම ද පැහැදිලි කළා ය. පෙර පාසැල් ගුරුතුමිය විශ්වාස කරන බව පෙනෙන්නේ, අප බොහෝ වැඩිහිටියන් දැන් යෝජනා කරන පරිද්දෙන්ම, ‘දැන් හැදෙන දරුවන්ට’ මේ අසීරු දේ නොවන බවයි. එහෙත්, කුඩා දරුවකුගේ මොළය වර්ධනය වීම අසාමාන්‍ය ලෙස වේගවත් වෙමින්, ප්‍රබල විද්‍යාත්මක කරුණු පවා එකපැහැර ධාරණය කර ගැනීමේ හැකියාවක් දරුවකු තුළ දැන් පහළව ඇතැයි කිසිදු විද්‍යාඥයකු සඳහන් කර නැත. මේ අප සිදු කරමින් සිටින්නේ, අපේ හිතලු දරුවන් මත පැටවීම ය. කෙමෙන්, සිය වටපිටාව දකිමින්, විඳිමින්, තේරුම් ගනිමින් පියෙන් පිය ඔසවා නැගී සතුටින් දිව එන දරුවෙකු වෙනුවට දැඩි වෙහෙසකට පත් කොට ජීවිතය අරඹන්නට පෙරම විකෘති කළ යන්ත්‍රයක් නිර්මාණය කිරීම ය.

පින්ලන්තයේ අධ්‍යාපනය ලොව විශිෂ්ටතම අධ්‍යාපනයට හිමිකම් කියන රට බව අපි අන්තර්ජාලය හා විදෙස් මාධ්‍ය ඔස්සේ හඳුනාගනිමු. එහෙත්, විෂයයන් වෙනුවෙන් ඉගැන්වීම ඔවුන් ආරම්භ කරන්නේ අපට වඩා බොහෝ පසුපසට වී බව සොයා බලන්නට අපි නොනවතිමු.

‘පින්ලන්තෙ දරුවන්ට මුල් කාලෙ සබ්ජෙක්ට් උගන්න උගන්න ඉන්නෙ නෑලු !’

වරෙක දන්නා හඳුනන ප්‍රාථමික පාසල් ගුරුවරියක හා පැවසූ විට විස්මයට පත් ඇය පෙරළා මගෙන් ඇසුවේ ‘එහෙම නැතුව වෙන මොනවද උගන්නන්නේ?’ යන්නයි.

මේ අප සමාජ දේහය තුළම ඇති, අප පටලවා ගත්, පොදු ප්‍රශ්නයයි. අපි දරුවන්ට විෂයයන් උගන්වමින් සිටිමු. ජීවිතය ඔවුන්ට නොපෙන්වමු; පහදා නොදෙමු.

පෙර පාසල් දරුවන් වෙත මදුරුවන්ගේ ජීවන චක්‍ර තබමින් අප වසා දමන්නේ ඔවුන් ලෝකයේ අසිරිය වෙත ඉහිල්ව හෙළිය යුතු බැල්මයි. ජීවිතය අසිරිමත්ව වැළඳගත යුතු බවට වන පිවිසුමයි. යට කී ලෙස අපි අනිසි, වේගවත් සුහුඹුලන් තනා තථ්‍ය ලෝකය දකින්නට වෙර දරන බිහිසුණු සිහිනයක ගිලී සිටිමු. අවදිවීම ඉක්මණින් සිදු විය යුතු ය.