කොළ පැහැ කඩොල් කලපුවත් නීල ගොයමත් සිහිල් සුළඟත් සතා සතුන්ගේ කුයිලයත් ශරීරය ඇතුළට පෙරාගන්නෙමි. අඩි දෙකට එහායින් මුහුද උනත් ගොයම නිලට නිලේ සිනාසෙන්නේ ඇයි දැයි මේ අහා ගච්චන හැම දොහොකම මගේ හිත් කොණ එහෙට මෙහෙට වෙන්නේ ඇයි දැයි, මම නොදනිමි. එවිට එය සොබාදහම යැයි මම හැමනිතරම සිතන්නට පුරුදු වී ඇත. ඔව් නැත්තං කිම්!! මොණරාගල අහා සිට එනවිට අලි බෙටි කුයිලය යටි සුළෙඟ් පාව විත් කියන්නේ දැන් ලාහුගල බවය. මම ලාහුගල වැව් ඉස්මත්තට බෙහෙවින් ප‍්‍රිය ය.

ඒ බේරු කන්නට වැවට බසින ඇතා ඇතුන් කැළ නිසාමැයි. ලාහුගල කීවාම නීලමහා යෝධයාගේ නීල ගිරියය. ඊළඟට කාවන්තිස්ස විහාර මහා දේවි කතාවේ මඟුල් කෑ තැන මඟුල් මහා විහාරය ය. මෙහෙම පහුවෙනවිට කංචිකුඩිච්චි ආරු කැලය මැදින් වැටුණ මග අත දිගුකරන්නේ එළු රංචු, ගව රංචු දිගේලි තැනි කුඹුරු සරු පොතුවිල ය. මේ මුසල්මානු විජිතයෙන් දකුණට වැටුණ මගේ වැටුණ විට හමුවන්නේ අර මම මුලින් කී නීල ගොයමත් කඩොල් කළපුවත් දෙපසටවී ඉඩදෙන මිනිස් ජනපදය පානම ය. පානමට වැටුණ මේ මග නිතර නිතරම ගියෙමි. ඒවගේම පොතුවිලින් වමට වැව්ගම් පත්තුවටද එලෙසම කිහිප විටක් ගියෙමි. ඒ යනෙන අතරතුර නෙකවර පහළ වෙල්ලස්සේ සිට පානම් පත්තුවටද වැව්ගම් පත්තුවටද, මඟුල්තුලා ගැන කතා ඇහින්දෙමි. ඒ හිතේ තියෙන කුප්පකමට වන්නට බැරි නැත. එහෙත් ඒවා හරි රහය. එහෙත් ඒවා ලියන්නට කාලයක් නොවුණි. මේ ඒකට වෙලාවයැයි සිතමි. ඉතිං සැකෙවින් ලියමි. කියවීම ඔබට භාරහාරය.


සහේට ගැනීම


පෘතුගීසි, ලන්දේසි, බටහිරයන්ට පසු ලංකාවට බින්න බැස්සේ ඉංග‍්‍රීසීහුය. ඒ රට වැසියන් සමග අටෝරාසියක් සටන් ජයගෙන ය. 1818 කැරැුල්ලත් එවැනි කැරැුල්ලකි. එය ලංකා යටත් විජිත ඉතිහාසයේ සිංහලයන් ඉංග‍්‍රීසින්ට විරුද්ධව මෙහෙයවූ විශිෂ්ටම සටනයැයි බොහෝ දෙනෙකුගේ මතයැයි. ඉංග‍්‍රීසීහුද මෙම කැරැුල්ල නන්දිකඩාලියානු ක‍්‍රමයටම ලේ වැකි සටනකින්, යටිකූට්ටු බුද්ධි බුරූවා ගැසීමෙන් ජයග‍්‍රහණය කළෝය. ඒ කැරැුල්ලෙන් ජීවිතය රැුකගන්න බොහෝ වෙල්ලස්සයෝ කුඹුකන් ඔය දිගේ ද ගල ඔය දිගේ ද හැඩඔය දිගේ ද පහළට පහළට ගියෝය. එහෙම ගිය කණ්ඩායමක් නතර වුණේ පානමය. ඉතිං එහේ ගියාට පස්සේ සහේ ගැනීම වෙනස් වූ හැටි කියන්නට කලින් වෙල්ලස්සේ සහේ ගැනීම කියලා හිටියොත් හොඳ බව සිතමි. එනිසා මෙලෙස කියමි.

පොතක අත්සන් තබා මිනිහෙක් ගෑනියෙක් ගත්තේ හැව්ලොක් සුදු ආණ්ඩුකාරයාගේ කාලයේ සිට බව ලේඛන කියයි. ඒ 1890 දශකයේ ය. 1970 දශකයේ විවාහ වූ මගේ මවටද මා දන්නා තරමින් කසාද සහතිකයක් නැත!! ඒ වෙන කතාවක් ය. වික්ටෝරියානු විවාහයට, පෘතුගීසි විවාහයට කලින් වෙල්ලස්සේ මිනිස්සු ගැහැනු ගත්තේ කොහොමද? වෙල්ලස්සේ පිරිමි දරුවෙක් හේනේ වැඩට, පාලූවට තනිකමට ගැහැනු දරුවෙක් ගෙට ගන්නවාට කීවේ ‘සහේට ගන්නවා’ කියා ය. තම ගෙදර ලොකු එකාට වයස හරි ගියාම, හේනක් කුඹුරක් කොටාගන්න ඇහැක් වුණාම, ගෙදර මහ එකී එකා කෙළි පැංචියක් සෙව්වාය. ඒ සහේට ගෙනත් දෙන්ඩය. සමහරු සහේට කෙළි පැංචියක් ගන්නාවිට ඒ කෙළී ‘ලොකු මහත්වී’ නැති බවද කිවයුතුය. එහෙත් කාරි නැත.

එවිට සැමියාගේ ගෙදරදී ඒ දැරිවිය මල්වර වන්නීය. මෙහෙම සහේට එන උන්දැලාට තමන්ගේ ස්වාමියා හොඳ නෑ යැයි සිතුණ විට ඒ උන්දැලා සහේ ඇර ගෙදර ගියාය. ‘දීගේ ඇරිලා’ ගියා කියලා කියන්නේ එවිටය. හරි සරලය. නඩුහබ නැත. සමහර පිරිමිද ගැහැනියගේ කල්කිරියාව නොහොඳ වූ විට කරන්නේ තවත් සහේට ගැනීමක් ය. මේ විදිහට පිරිමියෙක් තවත් විවාහයක් කරගැනීම සහේට ගැනීම නොවේ. එය ‘හිරයක් ගැනීම’ ය. දීගය ඇරුණු ගැහැනු ‘ඇරිච්ච’ ගැහැනු ය. මෙහෙම දීග ඇරුණු ගැහැනු වසයි කියා කතාවක් ඇත. පවුල්වල නාකි ගැහැනු පිරිමින්ට උපදෙස් දෙන්නේ මේ ‘ඇරිච්ච ගැහැනු පස්සේ යන්නේ බලාගෙනයි කියා ය. එහි තේරුම පිරිමින් ලිංගිකව සතුටු කිරීමේ රහස් වට්ටෝරුව සහ එනිසාම පිරිමින් දැපනේ දාගැනීමේ රහස් ඒ ‘ඇරිච්ච’ ගැහැනු අත ඇති බවය. අනික් පැත්තෙන් මේ නාකි ගෑනු තම පිරිමින්ට නොකියා කියන්නේ මේ ‘ඇරිච්ච ගැහැනු පසුපස්සේ යන්නට’ කියා ය. වික්ටෝරියානු සදාචාරයෙන් අපේ ලිං ගික සමාජ ලෝකය හැකිලෙන විටත් පරිධියේ පිහිටි වෙල්ලස්සේ පානම් පත්තුවේ ලිංගික නිදහස විකසිත වීම තිබුණේ එසේය.


‘කෙලී කතාකරන්ඩ’ යෑමට සහ ‘කෙලී බලන්ඩ’ එනවා මේ සහේ ගැනිල්ලේ ඇරඹුමය. කැන්දන් යෑම ඊට පසුවය. ඊට පහු සිද්ධ වෙන මඟුල්තුලා උත්සව අසිරිය ගැන වෙනම කතා කළ යුතුය. මෙහෙම සහේට හෝ හිරේට ගත්තාම දෙන්නා අතර අඬදබර ආවහම ඒවා විසඳනු නොහේනම් සිද්ධ වෙන්නේ ‘දීගේ හැරයෑම’ ය. නැතිනම් ‘ගෙදර ඇරලීම’ ය. එහෙමත් නැතිනම් යාබදව තවත් පැලක් අටවා තවත් ගෑනියක් ‘හිර ගැනීම’ ය. සහේට ගැනීම් එක වුණාට හයිය හත්තිය ඇත්නම් හිර දෙක තුනක් වුණත් ඔට්ටුය. පහළ වෙල්ලස්සේ වැදි පත්තුවේ ජනයා අතර මෙය ජයටම තිබුණ බව දැනගන්නට ඇත. ගැහැනු ද කීවෝ ‘මාව මදිනම් තව එකියක් ඇන්න වරෙන්’ කියා ය.


සහේ ගත්ත මිනිහා අතුරු ආන්තරාවකින් මියැදුන විට ඒ ගැහැනිය ‘කනවැන්දුමී’ය. එහෙම ගැහැනියක් මුහුණට මුණ ගැසීම අසුබ බව එකල විශ්වාසය වී තිබේ. දහවලේ එලෙස මුණ ගැසීම අසුබ උවත් බොහෝ පිරිමි රාත‍්‍රී කාලවලට ඒ ගැහැනුන් මුණ ගැසී ඒ අසුබ නිමිත්ත සුබ කරගත්ත බව වයසක පිරිමි කියන්නේ සිනා සරින් කුල්මත් වෙමින් ය. ඒ අතීතයක රහ දැනී වෙන්නට ඇත!..


දැරියක් ‘කිලි’ වුණාට පහු ඒ දැරියට බොහෝ උපදෙස් ලැබෙන්නේ පවුලේ වැඩිහිටි ගැහැනුන්ගෙනි. ඒ උපදෙස්වල ඇතුළාන්තය බොහෝවිට ලිංගික අධ්‍යාපනය වන්නේය. ඉරගල වැටෙන විට අහස රතියාවට හැරෙනවිට ‘හිදට’ බැසීම කෙල්ලන්ට අගුණය. ‘හිද’ යනු නිවසින් පිටතය. නිවසෙන් එළියට බැසීම තියා ගෙදර උළුඅස්ස උඩ හිඳ සිටීමද ‘කිලි’ වූ කෙලි පැටික්කියන්ට අගුණය. ඒ තනිකම් දෝෂ හැදෙන්න පුළුවන් නිසාය. මේ කියන තනිකම් දෝෂ වෙන මොකුත් නොව පිරිමින් පිළිබඳව ලිංගික ආලයක් හිත් ඇතුළේ මෝදු වීමය. කෙලි පැටික්කියකගේ ළාමක සිතකට එවැනි හැඟීමක් ආ විට ඒ උන්දෑ හෝන්දු මාන්දු වීම ස්වභාවිකය. ඒත් වෙල්ලස්සේ පැරැුන්නන් ඒ හෝන්දු මාන්දු මාන්දමික ලීලාව ගණන් ගත්තේ ‘තනිකම් දෝෂය’ වැළඳී ඇත කියා ය. එතකොට ඉතිං යකදුරෙක් ගෙනත් නූල් බැඳීම වතුර මැතිරීම කරනවාම ය. තව ඉස්සරහට ගිහිං තොයිල් නැටීමට උනත් එය හේතුවක් ය.


වෙල්ලස්ස ජන වහරේ ‘කුයියෝනි’ කියලා වචනයක් ඇත. වයසට මෝරා නැති ඇට්ටකුණා වී ඇතැයි පෙනෙන කෙලි පැටික්කියන් මේ නමින් හඳුන්වා ඇත. ‘කොයි බොල තෝ යන්නේ? කොයි? මේ ‘කොයි’ වෙල්ලස්සේ කෝ ඇසීම ය. කෝ යෝනි යන්න කුයියෝනි උවාට සැක නැතිබව බොහෝ දෙනෙකුගේ අදහසයි. එහි නිරුක්තිය යෝනියක් නැති ගැහැනිය කුයියෝනි උවා වැනිය. මේ අනුව යෝනියට මේ සමාජයේ හිමිවූ තැන සිතාගන්නට අමාරු නැත.


වෙල්ලස්සේ බොහෝ තැනක තවමත් ළමා විවාහ සරුවට කෙරෙන්නේය. ඒ මේ මිනිසුන් වික්ටෝරියානු විවාහය තවමත් එතරම් ගණන් ගන්නේ නැති නිසා වන්නට ඇත. සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශයක ළමා විවාහ බොහෝ ය. ඒ ගැහැනු දරුවෙක් මල්වර වූ පසු ඇය දරුවන් වැදීමට සුදුසුයි යන පැරණි මතය නිසාය. අනික් පැත්තෙන් පවුලට බරක් වීමය. එනිසා වෙල්ලස්සේ ‘සහේ ගැනීම්’ වාගෙම ‘හිර ගැනීම්’ ද තවමත් බොහෝ ය. එයින් පෙනෙන්නේද විවාහය තවමත් මෙහි සරල කතාවක් බවය.


වික්ටෝරියානු විවාහය නැමති උඩැක්කිය කරේ දමාගැනීමට ප‍්‍රථම අපි සෑහෙන්න ලිබරල්ව ලිංගිකත්වය විවාහය වගේ දේවල් දෙස බැලූ බව මෙම ශේෂවූ මානව චර්යාවන් කියන්නේ ය. ඒ අස්සේ ළමා විවාහ වැනි අවුල් ද නොතිබුණා නොවේ!! එහෙත් අද වාගේ හැම මඟුලකටම සෙක්ස් ඇදගත්තේ නැත. තම සුරූපි බිරිඳ ගෙදර තනිකර පැල් රකින්නට යන පිරිමියා පසුදා උදේ පැමිණ ගැහැනියගේ කුයිලය පරීක්ෂා කරන්නට ගියේ නැත. අනික් පැත්තෙන් මිනිහා නැති දොහට පෑල දොරින් ගෙට රිංගන දස්කොන් ගැන ගමේ කයි කතන්දර ගියෙත් නැත. ඒ ලිංගික ඉරිසියාව දන් දී නිදහස සන්තක කරගෙන තිබුණ නිසා වන්නට ඇත. අනික් පැත්තෙන් වෙන ඕනීම දෙයක් වෙන්නේ හොඳටයි කියා බෞද්ධ අදහසක් සමාජය මත ආරෝපණය වී තිබීම නිසා වෙන්නට ඇත.


පහළ වෙල්ලස්සේ මොණරාගල සීමාවෙන් එළියට ගොස් පානම් පත්තුවට යනවිට මේ වික්ටෝරියානු ලිංගික ජීවිතයෙන් මගහැරුණු නිදහස් ලිංගික ජීවිතයන් පිළිබඳ ආදර්ශ එමටය. ඒ කතා මීටත් වඩා රසවත් ය. ඒ පානම කතා ඊළඟට ය. x