‘මේ පුරවැසි නාලිකාවයි. අද දවසේ අපගේ වැඩ සටහන් මෙතැන් පටන් ආරම්භ කෙරෙනු ඇත. අපගේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ද්විත්වයත්, පුවත්පතත්, සමාජ මාධ්‍ය තීරයත් යන සියල්ල මෙරට පුරවැසියන්ගේ ප්‍රමුඛ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන අතර මෙහි පළ කෙරෙන ප්‍රවෘත්ති සහ සෙසු වැඩසටහන්/ලිපි ඇතුළු සියලු‍ විකාශය කෙරෙන හෝ මුද්‍රණය කෙරෙන ඕනෑම දෙයක් වෙනුවෙන් පුරවැසි නාලිකාව පුරවැසියා වෙත වගකීමට බැඳී සිටින හෙයින් ඕනෑම මොහොතක ඒ පිළිබඳ විමසා බැලීමට ඔබට අයිතියක් ඇත. ඒ සඳහා පහත අංක යටතේ අප අමතන මෙන්……’
සිහිනයක දුටු ප්‍රකාශයකින් මා අද ලිවීම ආරම්භ කොට ඇතැයි ඔබට සිතෙන්නට ඉඩ ඇති බැව් මම දනිමි. සියලු‍ ටෙලිවිෂන හා ගුවන් විදුලි නාලිකා මෙන්ම ප්‍රධාන පුවත්පත් ද මූලිකව රජයට හෝ කිසියම් පෞද්ගලික ආයතනයකට නොඑසේ නම් තනි පවුලකට/පුද්ගලයෙකුට අයිතිව ඇති වටපිටාවක පුරවැසි නාලිකාවක් පිළිබඳ අදහස සිහිනයක මිස වෙන කොතැනක මුණ ගැසේවි ද? එහෙත්, මේ සිහින යථාවත් කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු කාලයයි. මා එසේ ලියන්නේ ඇයි?
දැනට දින කිහිපයකට පෙර පුරවැසි සංවිධාන කිහිපයක එකමුතුවෙන් තැනුණු ‘අලු‍ත් පියාපත්’ සංවිධානය ජනමාධ්‍යයේ වගකීම සහ වගවීම සිහි කැඳවමින් සහ ආචාරධාර්මික මාධ්‍ය භාවිතය ඉල්ලා සිටිමින් දිවයිනේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ල වෙතම පාහේ සංදේශයක් රැගෙන ගිය බැව් අපි දැන් දනිමු. කළු පැහැති ඇඳුමින් සැරසී, කළු මුකවාඩම් බැද, නිහඬ විරෝධයක් ද සමගින් ගිය මෙම සංදේශ භාර දීමේ ගමන කෙළවර වූයේ නොසිතූ විරූ ලෙස ‘එන්ජීඕකාර සහ පක්ෂ දේශපාලනය හා බැඳුණු’ නඩයක් මාධ්‍ය වෙත තර්ජනය කරන්නට හා පහර දෙන්නට පැමිණි බැව් වර නගමින් ඔවුන් පිළිබඳ ස්වකීය මාධ්‍ය තුළ ‘අසත්‍ය’ ප්‍රවෘත්ති පළ කරන්නට මාධ්‍ය ආයතන කිහිපයක්ම පියවර ගැනීමත් සමග ය. ‘මව්බිම’ පුවත්පත හා ‘සිරස ටීවී’ නාලිකාව මේ පුවත් පළ කිරීමේ පෙරමුණු බලඇණියේ උන් අතර සිය ශ්‍රව්‍ය දෘශ්‍ය විද්‍යුත් නාලිකාවේ බලය භාවිත කරමින් ඔවුන් විරෝධතා සංදේශය රැගෙන පැමිණි පිරිස්වල මුහුණු සමීප රූපයට ගනිමින් ‘ඔවුන් රටට හෙළිදරව් කරන්නට’ කටයුතු කළේ චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා වැනි සම්මානනීය නිළියන්ගේ, විමුක්ති ජයසුන්දර වැනි සම්මාන දිනූ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ, විදර්ශන කන්නන්ගර වැනි සමාජ ක්‍රියාධරයන්ගේ මුහුණු රක්ත වර්ණයෙන් රවුම් කොට දක්වමිනි.
මූලිකව, මාධ්‍යවලින් ජාතිවාදී ප්‍රචාර නවතා දමන මෙන් ඉල්ලීමට, සත්‍යය ප්‍රචාරය කිරීම පමණක් කරන මෙන් ඉල්ලීමට, මිථ්‍යාව සමාජගත කිරීම නවත්වන මෙන් ඉල්ලීමට පුරවැසියකු හෝ කණ්ඩායමකට නොහැකි වන්නේ කෙසේ ද? දිගින් දිගටම රටේ බහුතර මාධ්‍ය ආයතන අනේකවිධ මිථ්‍යාමතිකයන් සමාජගත කරන තත්වයක උන් බවත්, එය ක්‍රමිකව ඉහළ නැගෙමින් පවතින බවත් කිසිවකුට රහසක් නොවේ. ඒ හා සමානව සිංහල හා බෞද්ධ නොවන ජනවර්ගයන් හා ආගම් පිළිබඳව ද සත්‍ය නොවන, ගොඩනැංවූ සහ ඇතැම් විට වෛරී ප්‍රකාශ සහ තොරතුරු ද සමාජගත කරන්නට ඇතැම් මාධ්‍ය මූලිකත්වය ගෙන තිබුණු බව ද රහසක් නොවේ. ඒ සියල්ල හා සමග, රට තුළ සිදුවන සියලු දේශපාලනික හා ආගමික හා සමාජීය කටයුතු ස්වකීය ‘මිතුරු දේශපාලනික පක්ෂයට හෝ කලාපයට’ වාසිදායක වන පරිදි තොරතුරු වාර්තාකරණය තුළ දී වර නැගීමට ද බහුතරයක් මාධ්‍ය නිරතුරුව කටයුතු කළ බව කිසිසේත්ම රහසක් නොවේ. ඉදින්, ඉතා පැහැදිලි කාරණා පිළිබඳ ස්වකීය විරෝධය ප්‍රකාශ කරන්නටත්, යහපත් මාධ්‍ය භාවිතාවක් ඉල්ලා සිටින්නටත් පුරවැසියාට නොහැකි ඇයි?
‘අලු‍ත් පියාපත්’ සංවිධානයේ පිරිස දහස් ගණනක් නොවූව ද ඔවුන් මේ තැබූයේ මිලියන ගණනක සමස්ත පුරවැසි ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් වූ අගනා පියවරකි. සත්‍යය, මිථ්‍යාවෙන් තොර යථාව සහ ජාතිවාදයෙන් හා වෛරයෙන් තොර මනුෂ්‍යත්වය ඉල්ලා සිටීම සමස්ත පුරවැසියාගේ යහපත් සහ දියුණු හෙට දවස වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉල්ලීමකි. සියලු‍ පුරවැසියන් ස්වකීය තනි පුද්ගල දේශපාලනික දෘෂ්ටීන් මොහොතකට පසෙක තබා ඒ ඉල්ලීම සමග සිටගත යුතුම ය.
‘සිරස’ නාලිකාවේ ප්‍රති-විරෝධය ගැඹුරින් කියවා ගැනීමත් මෙවැනි අවකාශයක දී අත්‍යවශ්‍ය ය. ‘සිරසට අත තබා පසුතැවිලි නොවන්නැයි’ කියමින් සිය ප්‍රේක්ෂාගාරය වෙත ‘තගරි’ දමමින් තමන් කියනා දෙයම පිළිගන්නට ඔවුන් කරන ‘චණ්ඩි පාට්’ ඉල්ලීම පසුපස සැඟව ඇත්තේ මාධ්‍යයේ බලාධිකාරය නිශ්චිත පුද්ගල කණ්ඩායමක් වෙතින් ගිලිහී යාම ඉඩ ඇතැයි යන්න පිළිබඳ වන බියයි. ආණ්ඩු තැනීම, බිලියන ගණනින් කෙරෙන මුදල් හුවමාරු, කොමිස්, සුඛිත ජීවිත ඇතුළු එකිනෙකට බැඳුණු කාරණා සියල්ල ජන මාධ්‍යයේ හිමිකාරීත්වය සමග ද තදින් පෑහි ඇති හෙයින් ජනමාධ්‍ය පුරවැසියාගේ ඉල්ලීමට අනුව පාලනය වීම හෝ පිළිගත් ආචාරධර්මික පැවැත්මක් වෙත පැමිණීම හෝ ස්වකීය අවශ්‍යතා ඉටු නොකරන කලාපයක් වෙත තල්ලු‍ වීමක් බව මාධ්‍ය අයිතිකරුවන් හා රාජ්‍ය මාධ්‍ය පාලනය කරන ආණ්ඩු හොඳින් දන්නා බැව් පැහැදිලි ය. (ජනමාධ්‍ය ආයතනවල හිමිකාරීත්වය හා සබඳතා වටහා ගැනීමට වෙරිටේ රීසර්ච් ආයතනයේ ඵැාස් ධඅබැරියසච ඵදබසඑදර වෙබ් අඩවිය විමසා බලන්න.)
අප ඉදිරියේ පියවර දෙකක් ඇත. මෙම ‘අලු‍ත් පියාපත්’හි ඉල්ලීම තව දුරටත් බල ගන්වමින් අදාළ ඉල්ලීම් ඉටු කරන මෙන් සියලු‍ මාධ්‍ය ආයතන වෙත බල කිරීම සඳහා පෙළ ගැසීම පළමුවැන්නයි. ‘ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධයි’ යනුවෙන් අපගේ ෆෙස්බුක් ප්‍රොෆයිල මුහුණු ද රත් පැහැයෙන් රවුම් කරමින් ‘සිරස’ සිදු කළ සදාචාර විරෝධී කටයුත්තට ඔවුන්ගේම ක්‍රියාව ප්‍රතික්‍රියාව ලෙස යෙදීමට මා කළ ෆෙස්බුක් ඉල්ලීම ඉතා කෙටි කාලයකින් විශාල ප්‍රජාවක් තුළ පැතිරීම අපගේ බලය පෙන්වන, මා හොඳින්ම අත්දුටු, කදිම සාක්ෂියකි. එවැනි විවිධ විරෝධතා සහ පෙළගැසීම්, අපට හැකි කලාපයන් තුළ හෝ කිරීම අනගි මැදිහත්වීමකි. දෙවැන්න තරමක් දීර්ඝකාලීන ය. එහෙත් දිනිය හැකි ය. ඒ පෞද්ගලික ‘සිරස’වලට එරෙහි ‘පුරවැසි සිරස’ හෙවත් ‘හිස’ පෙරමුණට කැඳවමින් පුරවැසි මාධ්‍ය ජාලයක් නිර්මාණය කර ගැනීමයි.
වහල්බවින් මිදෙන තෙක්ම ඇතැම් වහලු‍න්ට ඔවුන් වහලු‍න් බව නොතේරුණු බැව් අතීත වහල් සමය ආශ්‍රිත කථිකා අපට පහදා දී ඇත. මාධ්‍ය වහල්බවින් අප මිදී පුරවැසි නාලිකාවක ආශ්‍රය ලබන්නට මුල පුරන දිනක අපගේ සීමා අපට වැටහෙනු ඇත. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවන් ඉදිරියට තබමින් පුරවැසි නාලිකාවක රුවගුණ වටහා ගැන්මට ජපාන එන්එච්කේ ආයතනය පමණක් හෝ විමසන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.■

■ ප්‍රියන්ත ෆොන්සේකා