පරිණාමයට පත් වන මිනිස් සමාජයක නව පන්නයන් සහ විලාසිතාවන් අනිවාර්යයෙන් දැකිය හැකිය. මේවා අතර අප රටේ දේශපාලනඥයන් අතරේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව පන්නයක් සහ විලාසිතාවක් තිබේ. එනම් පිරිත් කඹ බැඳීමේ සහ වශී බෝල සුරතේ රඳවා ගැනීමේ විලාසිතාව ය.

පිරිත යනු ශ්‍රී ලාංකික බෞද්ධ ජන සමාජයට කිසිසේත් නුහුරු, ආගන්තුක දෙයක් නොවේ. තිස් පැයේ පිරිත්, තුන්තිස් පැයේ පිරිත්, සති පිරිත්, වරු පිරිත්, සෙත් පිරිත් ආදී වශයෙන් මෙම පිරිත් විවිධාකාර ය. නූතන සමාජයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා නමින් ජනප්‍රිය පිරිත් විශේෂය සාම්ප්‍රදායිකව හැඳින්වෙනුයේ ‘තිස් පැයේ පිරිත’ යනුවෙනි. සිංහල පැය ක්‍රමය අනුව දවසක් පැය හැටකින් යුතු වීම ඊට හේතුව ය.

භික්ෂුන් මෙම පිරිත් නූල් ගැට ගසන එක්තරා ක්‍රමවේදයක් ද තිබේ. එනම් පිරිත් කරන ලද නූල් පන්දුවෙන් අඩි දෙක තුනක් දිග නූල් කැබැල්ලක් කඩා ගෙන එය තුන්පටක් වශයෙන් සකසා ගැනීමෙනි. මෙම තුන් පොට සහිත නූලක් පැළඳවීම ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සංකේතනය කරවන්නක් බවට විශ්වාසයක් අපගේ පැරණි ජන සමාජයේ විය.

මෙම ක්‍රියාව හඳුන්වනුයේ “තුන් නූල් කිරීම” යනුවෙනි. නමුදු මෙසේ නූල් පන්දුවෙන් වෙන් කර ගනු ලබන කොටස අඩි තුන හතරක් දිගට ඇදගත හැකි නම් පළමුව එය තුන් පටක් කොට යළි එය ද දෙකට නවා සය පටක් ලෙස යමකුගේ සුරතේ බඳින්නට පුළුවන. මේ ආකාරයට එය යළි නවා දොළොස් පටක් කිරීමට නම් සැලකිය යුතු දිගකින් යුතු නූල් කොටසක් ඒ සඳහා භාවිත කළ යුතුය. එහෙත් පොට ගණන වැඩිවන විට එහි බලය, ගුණය, ආනුභාවය ඉහළ නැංවෙන බවක් බුදු දහමේ, නූතන ජනප්‍රිය බුද්ධාගමෙහි තබා ජන සංස්කෘතියේ හතර මායිමකවත් නැත.

බෞද්ධ සූත්‍ර පිටකයේ සූත්‍ර දහ නව දහස් ගණනක් තිබේ. ඒ අතරින් පිරිත් වශයෙන් දේශනා කළ බව පැවසෙන එකම සූත්‍රයක් වත් නැත. අඩුම තරමින් මූලික බුදු දහමෙහි පිරිත් යන අරුත පළවන ‘පරිත්ත’ යන වදනවත් නැත. ඒ වදන මුල්වරට අපට හමුවනුයේ පසුකාලීනව ලියැවුණු සූත්‍ර අටුවාවලිනි.

සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ, සුත්ත නිපාතයේ චුල්ල වග්ගයේ එන රතන සූත්‍රය එවන් පිරිත් දේශනාවක් බවට අප ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුළ සුවිසල් පිළිගැනීමක් තිබේ. එනමුදු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 25 දරන වෙලුමේ 68 – 73 පිටු මගින් රතන සූත්‍රය එහි නිදාන කතාව  ද සමඟ කියැවිය හැකි අතර එහි ‘පිරිත් කතාවක්’ ඇත්තේම නැත. රතන සූත්‍රය පිරිතක් බව පැවසෙනුයේ සුත්ත නිපාත අටුවාව වැනි පසුකාලීන ලේඛනයන්හි ය.

පිරිත් දේශනාවන් හැඳින්වීම පිණිස යෙදෙන මෙම ‘පරිත්‍රාණ’ යන වදන සංස්කෘත සහ මරාති යන භාෂාවල ද එලෙසින් ම දක්නට ලැබේ. ඒවායේ පොදු අරුත ‘ආරක්ෂාව’ යනුවෙනි. ඒ අනුව බෞද්ධ සූත්‍රවලින් තෝරාගත් කොටසක් පසුකාලීනව පිරිත් වශයෙන් භාවිත වන්නට ඇත. ‘පරිසමන්ත තායස්සු රක්ඛත ති පරිත්තං’ යනු අටුවාව මගින් පිරිත විස්තර කොට ඇති අන්දම ය. ‘හාත්පස උවදුරුවලින් වලකාලන්නේ යමක් විසින් වේද, ඒ පිරිත් නම් වේ.’ යනු එහි සිංහල අදහස ය.

ශ්‍රී ලාංකිකයන් අතරේ බුදුසසුන ව්‍යාප්ත වූ මුල් සමයේම ඔවුන් තම ලෞකිකත්වය මත පදනම් කරගත් ශාන්තිකර්ම අවශ්‍යතාව සපුරා ගනු පිණිස සූත්‍ර පිටකයේ සූත්‍ර ධර්මවලින් කොටසක් එක්තරා සංඛ්‍යාන ක්‍රමයකට අනුව චතු භාණවර පාලි හෙවත් සතර බණවර වශයෙන් වෙන් කොට ගත් බව පෙනේ. වසර සිය ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ ශාන්ති කර්ම අවශ්‍යතා සපුරන ‘පිරුවානා පොත් වහන්සේ’ ජනතාව අතර ව්‍යාප්ත වනුයේ ඒ පසුබිම යටතේ ය. මූලික බුද්ධ දේශනා අඩංගු ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පවා ‘වහන්සේ’ යන ගෞරවාන්විත නාමයෙන් නොහඳුන්වන ශ්‍රී ලාංකීය බෞද්ධයන් පිරිත් පොත එලෙස වහන්සේ යනුවෙන් හඳුන්වා ඇත්තේ ගෞරවාදරය, භය, පක්ෂපාතීත්වය මත පදනම් වූ විශේෂ භක්තියක් ඒ සඳහා තිබූ බැවින් විය යුතුය. පරිවහන හෙවත් කට පාඩම් කිරීම යන අදහස ගෙන දෙන බැවින් මීට ‘පිරුවානා’ යන නම ලැබී තිබේ. භික්ෂුන් සඳහා වන අධ්‍යාපන ආයතන හැඳින්වීම පිණිස ‘පිරුවන’ යන වදන භාවිත වන්නේ ද මෙම මූලය අනුව බව පෙනේ.

චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර පද්ධතියක් හඳුන්වා දී ඇති ආචාර විද්‍යාත්මක දර්ශනයක් වන මූලික බුදු දහමේ යමක් ශ්‍රවණය කිරීමෙන් පමණක් යම් පිහිටක්, ඉෂ්ටාර්ථ සිද්ධියක් සැලසෙන බව සඳහන්ව නැත. බුදු දහමෙහි ඉගැන්වෙන අන්දමට යමකුට ධර්මයෙන් පිහිටක් ලබා ගත හැක්කේ එය ඇසීමෙන්, ධාරණය කිරීමෙන් හා ඒ අනුව හැසිරීමෙනි. (සුනා ථ ධාරේ ථ චරා ථ ධම්මේ) යනුවෙන් එහි දී බුදුන් විසින් කොට ඇත්තේ සෘජු අණ කිරීමකි. මක් නිසාද යත් ඉහත සඳහන් පාලි වැකියේ සිංහල අරුත ‘අසව්! ධාරණය කර ගනිව්!. (ඒ අනුව) හැසිරෙව්’ බැවිනි.

එහෙත් බුදුන් හැඳින්වීම පිණිස කට පුරා ‘බුදුරජාණන් වහන්සේ’ යැයි පවසන අපගේ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ නිකුත් කොට ඇති එවන් ‘රාජාඥාවන්’ තුට්ටුවකට වත් මායිම් නොකරන අවස්ථා බොහෝ ය. අඩුම තරමින් මෙම ‘බුදුන්ගේ අණ’ යන ශාසනික අර්ථ නිරූපණයක් සහිත වදන භික්ෂුවකගේ මුවින් නිකුත් වනු මට නම් අහම්බෙන්වත් ඇසී නැත. නමුදු බලි, තොවිල්, ශාන්ති කර්ම සිදුකරන ඇදුරන් නම් මෙම ‘බුදුන්ගේ අණ’ යන වදන පවසනු මා සිය දහස් වරක් අසා තිබේ.

ශ්‍රී ලාංකීය ජන සමාජයේ පිරිත් නූල ව්‍යවහාර වන්නට ඇත්තේ හින්දු, වෛදික ආභාසයෙනි. එම සංස්කෘතියට අනුව හින්දු පුරාණෝක්තිවල පැවසෙන මිථ්‍යා සංකල්ප පදනම් කොට ගත් රතු සහ කහ නූල් පැළඳීමක් සිදුකෙරේ. හින්දි බසින් මේවා කෞතුක්, කෝතුක් යනුවෙන් හැඳින්වේ. මෙම වදනෙහි අරුත විස්මිත, ආශ්චර්යමත් යන්නය. නූල් වශයෙන් සහ ආරක්ෂක පළඳනා වශයෙන් සකස් කොට ඇති මේවා බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ අත්වල ද තිබෙනු මා දැක තිබේ.

තත්වය මෙසේ තිබිය දී තුන් පටකින් යුතු නූලක් විය යුතු පිරිත් නූල ඇතැමුන්ගේ සුරත්වල කඹ ලෙස දැකිය හැක්කේ කවර කරුණු පදනම් ව දැයි මම නොයෙක් වර සිතා ඇත්තෙමි. මූලික වශයෙන් ඉන් හැඟී යන්නේ ඒ තැනැත්තා නිතර නිතර භික්ෂූන් විශාල සංඛ්‍යාවක් බැහැ දැක ආශීර්වාද ලබා ගෙන ඇති තැනැත්තෙකු බවය. නමුදු අපගේ ජන සම්මතයට අනුව පිරිත් නූලක බලය රඳා පවතිනුයේ තුන් වරුවකි. මෙහි ‘වරුව’ යනු කාර්යාල ජීවිතයේ වරුව නොවත දවසේ පැය දොළහක කාලයකි. අපගේ ජන සම්මතය අනුව පිරිත් නූලක වලංගු කාලය පැය තිස් හයකි.

ඒ අනුව පසුගිය දිනවල මැතිවරණ වේදිකාවල මොර දුන් ඇතැම් දේශපාලනඥයන්ගේ අත්වල ඇති පිරිත් කඹ ගලවා එහි ඇති තුන් නූල් ගණන පරීක්ෂා කිරීමෙන් ඔහු ගත වූ පැය තිස් හය තුළ බැහැ දැක ආශීර්වාද ලබා ගත් භික්ෂුන්ගේ ගණන දැන ගත හැකිව තිබිණ. ඇතැම් විට එම ගණනයට අනුව එම භික්ෂූන්ගේ සංඛ්‍යාව සිය ගණනක් වීමට ද පුළුවන.

ඔවුන්ගේ මෙම පිරිත් නූල් භාවිතය මුල් කොට විධිමත් විමසුමක් කළ හොත් ඉන් අපට ඉතා පැහැදිලිව කිව හැක්කේ මේවා ද අහිංසක ජනතාව මුලා කිරීම පිණිස ඔවුන් විසින් යොදනු ලබන අනේකවිධ උප්පරවැට්ටිවල තවත් එක් අංගයක් පමණක් බවය. යමෙකු තම ආගමික භක්තිය, විශ්වාසය පෙරදැරිව සාම්ප්‍රදායික පිරිත් නූලක් සුරතේ බැඳගැනීම පිළිබඳ කිසිදු විවේචනයක් මෙහිදී එල්ල නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මෙම නූල් සහ ආභරණ පැළඳීමේ තවත් අරමුණක් ලෙස ගුප්ත ආරක්ෂාවක් ලබා ගැනීම ද සඳහන් කළ හැක. මේවා එක් එක් සමාජයන්හි ඒ ඒ සමාජ සංස්කෘතික පසුබිම හා බැඳී පවතී. ඉහත සඳහන් පිරිත් නූල් භාවිතය ඒ සඳහා වන එක් නිදසුනක් පමණි. එහෙත් මේවා පිළිබඳව මානව විද්‍යාත්මකව සිදුකරනු ලබන විමසුම්වලදී තහවුරු වනුයේ මෙම ගුප්ත විශ්වාස ලොව ආගම් ආරම්භ වීමටත් පෙර සිටම මිනිස් සිත්සතන් තුළ පැවැති බවකි. එමෙන්ම ඒවා මගින් ලොව මූලික ආගම් සඳහා අවශ්‍ය සමාජ මනෝ විද්‍යාත්මක පසුතලය නිර්මාණය වූ බව ද මානව විද්‍යාත්මකව පිළිගැනීමට ලක්ව තිබේ.

විවිධාකාර රෝග පීඩා, අමනුෂ්‍ය උපද්‍රව ඇතුළු විශ්වයේ ඇතැයි ජන විඥානයේ පවතින නපුරු, පාපී, දුෂ්ඨ බලවේග සහ අනේක විධ සතුරු කරදර ආදියෙන් අත් මිදීම පිණිසත්, ආයුෂ, වර්ණය, සැපය, බලය වන ප්‍රධාන ලෞකික අවශ්‍යතා, අරමුණු ශාක්ෂාත් කරගැනීම පිණිසත් මෙම ආරක්ෂක පළඳනා ඉවහල් වන බවට ලොව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

අප රටේ ජන සංස්කෘතිය අනුව විවිධ පුද්ගලයන් තුළ පවතින මෙම මානසික අවශ්‍යතාව සංතෘප්ත වනුයේ ‘සුර පැළඳීම’ මගිනි. එහෙත්, බොහෝ විට පෞද්ගලික, රහසිගත මට්ටමින් සිදුකරන එම ආරක්ෂක පළඳනා ප්‍රසිද්ධියේ සමාජ කරලිය වෙත ගෙන ඒම අතින් අප රටේ ඇතැම් දේශපාලනඥයෝ ලෝක නායකයන් ද අබිබවා සිටිති.

මගේ පෞද්ගලික වැටහීම අනුව ඒ අතින් නූතන දේශපාලන කරලියේ සුවිශේෂ භූමිකාව වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වෙයි. ‘වශී බෝලය’ යන ජනප්‍රිය නමින් හැඳින්වෙන ‘වජ්‍රය’ නම් වන ගුප්ත ආරක්ෂක මෙවලමක් සුරතෙහි රඳවා ගනිමින් ඔහු ජාතිය ඇමතූ අවස්ථාවන් සේම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලට සම්බන්ධ වූ අවස්ථා පිළිබඳව ද විද්‍යුත් සාක්ෂි තිබේ.

අගමැතිවරයා තම තරුණවියේදී සමාජය හමුවේ ප්‍රසිද්ධියේ හෙළිදක්වනු නොලැබූ මෙම ගුප්ත ලෝලීත්වය ඔහුගේ දෙටු පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තම ජීවිතයේ තුන් වන දශකයේදීම ප්‍රදර්ශනය කරන බව ඔහු එම වජ්‍රයක් හෙවත් වශී බෝලයක් සුරතේ රඳවා ගෙන ජනතාව හමුවට පැමිණ සිටින  ඡායාරූපවලින් පෙනෙයි.

මෙම ප්‍රදර්ශනාත්මක ගුප්ත ලෝලීත්වයට කිසිදු සිවිල් සමාජීය සහ ප්‍රජාතන්ත්‍රීය අර්ථ කථනයක් දීමට නොහැකි මුත් එම පවුලේ සාමාජිකයන් තමන් හඳුන්වා ගන්නා අයුරින්ම කිවහොත් ‘රාජපක්ෂවරුන්’ගේ පවුල් පරාසයෙන් බැහැරව ද ව්‍යාප්ත වී තිබේ.

ඊට හොඳම නිදසුන වනුයේ 2015 වසරේ දී පසුගිය ජනාධිපතිවරණ සටනට පිවිසි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරමින් එවැනිම ‘වජ්‍රයක්’ රැගෙන සිය මංගල දේශපාලන රැලිවලට එක්වීමය.

එසේම එම සමයේ සමාජගත කළ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ගීතයක ‘සුරත දරා ජය කුන්තා’ යන වදනක් ද සඳහන් විය. එහෙත් ඒ කාලයේ ඔහුගේ බුද්ධිමත් සමීපතමයකු ‘එය අල්ලා කහල ගොඩකට විසි කර දැමීම’ නිසාදෝ ඊට පසුව හිටපු ජනාධිපතිවරයාගේ සුරතේ එවැන්නක් දක්නට නොතිබිණ.

ඒ කෙසේ හෝ එම ජනාධිපතිවරණ සමයේ තමන් සතු ඒ වජ්‍රය නම් වන ආරක්ෂක මෙවලම අතින් බිම නොතැබූ රාජපක්ෂ මහතා පරදවා එවන් වජ්‍රයක් නොමැතිව ජනාධිපතිවරණ සටනට පිවිසි සිරිසේන මහතාට 2015 වසරේ එම සටනින් ජය අත්විය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ නිතර දක්නට ලැබෙන කොටි ඇස නම් පාෂාණමය වළල්ලද එවැනි ආරක්ෂක පළඳනාවකි. ඊට සාපේක්ෂව මෙම වජ්‍රය නම් වන ආරක්ෂක මෙවලම පළඳනාවක් නොවන්නේ එය හුදෙක් සුරතේ තබාගත යුත්තක් වශයෙන් භාවිත කෙරෙන නිසා ය. නමුදු ඇතැම්හු මේවා ගෙල පළඳනා ලෙස ද යොදා ගනිති.

විශ්වයෙන් තමන් වෙත එල්ල වන නපුර, අයහපත දුරු වී, සතුට, සැපත, සෞභාග්‍යය හිමි කරගැනීමට අප ජීවත් වන පරිසරයේ ඇති යම් යම් සත්ව, ශාක, පාෂාණ සහ ලෝහ වර්ග මගින් පිටිවහලක් ලද හැකිය යන ආදිතම මානව චිත්තාවලිය මුල්කොටගත් ආකර්ෂණවාදය මෙවැනි විශ්වාස සිත තුළ රෝපණය කෙරෙන සමාජ මනෝ විද්‍යාත්මක සාධකයයි. කාන්තාවන් පරිහරණය කළ යට ඇඳුම් හොරකම් කරගෙන ඒවා තමන් සතුව තබා ගැනීම මුල් කොට පුරුෂ පක්ෂයට වැළඳෙන ලිංගික අවවර්තනය ද එනමින් හැඳින්වෙනුයේ ඉහත සඳහන් සමාජ මනෝ විද්‍යාත්මක මූලය පදනම් කර ගෙන ය.

මිනිසා තුළ පවතින ගුප්ත ලෝලීත්වය සහජයෙන්ම උරුම වූවක් මිස පසුව ආරෝපණය වූවක් නොවේ. එහෙත්, මෙලොව සෑම පුද්ගලයකු තුළම ඇති ගුප්ත ලෝලීත්වය එක සමාන නැත. එය ඒ ඒ පුද්ගලයා සතු ප්‍රවේණිගත සාධක, මොළයේ පවත්නා ජෛව රසායනික තත්වයන් සහ ඒ පුද්ගලයා ජීවත් වන සමාජ, සංස්කෘතික පදනම මත වෙනස් වේ.

මෙහිදී තමන්හට අත්වන දැඩි මානසික ආතතියක් හෝ මානසික කාංසාත්මක තත්වයක් යටතේ මෙබඳු ආරක්ෂක පළඳනා සහ මෙවලම් කෙරෙහි යොමු වීමේ ස්වාභාවික නැඹුරුවක් මිනිසා තුළ පවතී. එම නැඹුරුව තුළින් තමන් එතෙක් අත්විඳි දැඩි මානසික ආතතිය සහ කාංසාත්මක තත්වය අවප්‍රමාණ වන බවක් ද ඔහුට හැඟී යන්නට පුළුවන.

එය පුද්ගල මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් කෙසේවත් යහපත් තත්වයක් නොවේ. නිෂේධනාත්මක ප්‍රතිස්ථම්භනය නමින් හඳුන්වනු ලැබූ මෙම තත්වය මිනිසුන් හට සේම තිරිසනුන්ට ද එක සමාන බව ලෝක ප්‍රකට රුසියානු මනෝ විද්‍යාඥයකු වන අයිවන් පැබ්ලෝ (1849-1936) සුනඛයන් ඇසුරින් සිදු කරනු ලැබූ පර්යේෂණ මගින් පවා තහවුරු කොට ඇත. ඒ අනුව සමාජයේ ජීවත් වන පුද්ගලයන් පෞරුෂ, ප්‍රජා, සමාජ ආදි වශයෙන් තමන් මුහුණ දෙන ගැටලු අර්බුදවලින් සේම තම සිත තුළ තෙරපවා ගත් වරදකාරී හැඟීම්වලින් මානසික අත්මිදීමක් ලෙස මෙබඳු ආරක්ෂක පළඳනා සහ මෙවලම් භාවිත කිරීම අතිශය ස්වාභාවික කරුණකැයි ලොව පුරා සමාජ මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති.

ඒ අනුව අද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ අත්වල දක්නට ලැබෙන පිරිත් කඹ, කොටි ඇස් පළඳනා සහ වජ්‍ර නුදුරේදීම අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ බහුතරය වෙතින් දක්නට ලැබුණහොත් එය ද පුදුම විය යුත්තක් නොවේ.■