ජයග්‍රාහී හත්වෙනි වතාවටත් ඩවුන්ටවුන් පල්ස් පැවැත්වුනා. වෙන කවදාටවත් වඩා විශාලට, විසිතුරුවට වගේම රිදෙන්න වැඬේ තිබුන. පාරෙ ඉඳන් තැනින් තැන තාප්පවල ග්‍රැෆිටි. මහල්වරාවම ඒ කල්චර් ෆෙස්ටිවල් එකෙන් වටවෙලා. හැමතැනම තරුණ තරුනියො පිරිලා. එක එක තැන්වල ඉන්ස්ටොලේෂන්, පර්ෆෝමන්ස් ආර්ට්, එක්සිබිෂන් සහ ඒවා වටේ කරකැවෙන කොල්ලො කෙල්ලො. මේක දැවැන්ත උළෙලක්. ලංකාවෙ එකම වුඞ්ස්ටොක් ෆෙස්ටිවල් එක කියල කිව්වොත් අතිශයෝක්තියක් නෙමෙයි.

මොකක්ද මේ සංස්කෘතිය ටවුමට නෑහෙන ටවුමෙන් පිටමං වුණු සංස්කෘතිය. ඒ සංස්කෘතියේ ගෝෂාව තමයි ඩවුන්ටවුන් පල්ස් කියන්නෙ. එතන ගැයෙන සිංදු රේඩියෝවල ටීවීවල නෑ. එතන තියෙන ආර්ට් කොළඹ කලාගාරවල නෑ. සංස්කෘතික අනුමන්ඩල වලින් සංවිධානය වෙන උත්සව වල නෑ. මෙතන තියෙන්නෙ පිටිවහලුන්ගේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය, සෞන්දර්ය ප්‍රකාශමාන වෙන එකම පිට්ටනිය අවුරුද්දකට සැරයක් පිපිරෙන මේ තරු සැනකෙලිය.

ඒක සාමය වෙනුවෙන් ඇරුන පිට්ටනියක්. නිදහස, ආදරය, සෞන්දර්ය වෙනුවෙන් ඇරුන අවකාශයක්.

දවස් පහක් තිස්සෙ වැඬේ තිබුනත් මට යන්න පුළුවන් වුනේ අන්තිම දවසෙ. ඒ තමයි දැවැන්ත සංගීත ප්‍රසංගය පැවැත්වෙන දවස. රුපියල් පන්සීයෙ ටිකට් වලට පිට්ටනියක් පිරෙන්න සෙනග. දුම්වැටි දැල්වෙන, සව්දිය පිරෙන, ආදරේ ඉතිරෙන දහඩිය ගලන රාත්‍රිය. අවුරුද්දකට සැරයක් අපි එකිනෙකා හැමෝම මුනගැහෙන තැන එතන. ඒ අපේ සමාජය. අපේ පවුල. අහම්බෙන් තැන් තැන්වල මුනගැහිලා අතවනාගෙන වෙන්වෙලා යන අපි රාත්‍රියක් පුරා උනුසුම්වෙන කුම්භමේලා වගේ සැනකෙලියක් ඒක.

මේ පාර ඩවුන්ටවුන් පිරිලා තිබුනෙ හැමදාම එතනට එන අපෙන් විතරක් නෙමෙයි. අවුරුදු ගානක් පුරා එකදිගට, ටික ටික ලොකු වෙමින් කරපු වැඩක් ඇතුලෙ ඩවුන්ටවුන්වලට පුළුවන් වෙලා තිබුනා අලුත් යාලුවො ගොඩක් එතනට කැඳවන්න. වෙනත් වෙනත් සංස්කෘතික සමාජ වැඩවල යෙදෙන සමාන හදගැස්මක් ඇති පිස්සු උන්. මේ විකල්ප සංස්කෘතීන් එකිනෙක මුනගැහෙන එක වැදගත්. ඒවා අතර සිද්දවෙන මිනිස් ගනුදෙනු අනාගතයේ ඕල්ටනේටිව් කල්චර් එක නිර්මාණය කරනවා.

හැමදාම ඩවුන්ටවුන් ස්ටේජ් එකේ දකින බෑන්ඞ් ටිකට අමතරව අලුත් බෑන්ඞ් කීපයක් එකතු වෙලා හිටියා. සෝල් ඒ වේදිකාවට නැගපු එක මරු. සෝල් අරන් ආපු බ්ලූස්, රොක්, රෙගේ, ජෑස් මුසුව අහන් ඉන්න කන් පාත් කළා. ඒ වගේම මීෂා ප්‍රමුඛ වර්ල්වින්ඞ්ලට පුළුවන් වුනා රස්නෙට හතිවැටිලා හිටපු ඕඩියන්ස් එක ආයිමත් කෙලින් හිටවන්න. සිංහල විකල්පය වගේම ඉංග්‍රිසි විකල්පයත් එකට එක වේදිකාවක හිටගත්තා.

අපි අඳුරන, ආදරේ කරන සිංහල බෑන්ඞ් ටික වඩාත් පිරිමැදුනු, දියුණු කරගත් සංගීතයක් එක්ක තමන්ගෙ නිර්මාන අරන් ආවා. කාලයත් එක්ක ඒ නිර්මාණ ප්‍රශස්ත මට්ටමට ළඟා වෙමින් තිබුන. ඒත් මට හිතෙන්නෙ ඒ අය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය වෙන්නෙ මෙතනින් එහාට කොතනටද කියන එක. අපි කැමතියි හැපි ජර්නිලගෙ, ස්කිට්සොලගෙ, ලෝකල්ලගෙ ඊළඟ එළඹුම, අලුත් පර්යේෂන රස විඳින්න. මේ සිංදු නරකයි කියනවා නෙමෙයි. අඩු ගානෙ සිංදු ලිස්ට් එකෙන් තුනෙන් දෙකක්වත් අලුත් ඒවා ගේන්න පුළුවන් නම් ඩවුන්ටවුන් වලින් පස්සෙ අලුත් සිංදු සෙට් එකක් වැඩ විදිහට ඉතුරු වෙනවා.

වැඩියෙන්ම මාව කුල්මත් කළේ මාධව ප්‍රමුක ස්කිට්සො. ස්කිට්සො සිංදුවල වචන මරු. මාධව ඉතා විධිමත්ව ස්වරවලට ඒ වචන ගායනා කරනවා නෙමෙයි. ඒත් මාධවගෙ තියෙන දැවැන්ත පෞර්ෂය, ගැඹුරු හඩ වගේම ඕඩියන්ස් එකට දැනෙන අවංකබව සියලු ස්වර ප්‍රස්තාර කුඩුකරගෙන ආදරය අරන් එනවා. සිංදුවක් කියන්නෙ හැගීමක්. නිවැරදි ස්වර ශබ්ද ගායනයක් නෙමෙයි. ඒ හැගීම වේදිකාව උඩ නිදහස් වෙන ඕන මොහොතක මිනිස්සු ඒකට බැඳෙනවා. ස්කිට්සො කියන්නෙ එහෙම සංගීතයක්. බිමට බහින්න නොදී මිනිස්සු වන්මෝ කිය කිය ස්කිට්සො තව තව ඉල්ලන්නෙ ඒකයි. දාඩියෙන් හතියෙන් මතින් පාත්වුන කන් කෙලින් කරන්න ස්කිට්සොලට පුළුවන් වුනා.

කොහොමවත් අනිත් බෑන්ඞ් අවතක්සේරු කරනවා නෙමෙයි. මට වැඩියෙන්ම දැනුන ස්පන්දනය සටහන් කරලා තිබ්බා විතරයි. ඒ ප්‍රසංගයම සමස්තයක් විදිහට මාරයි. ඒ අත්දැකීම නැවත කිසි තැනකින් උත්පාදනය කළ නොහැකියි. ඒක ආදරයේ ප්‍රසාංගික මොහොතක්.

ලංකාවෙ විකල්ප ධාරාව ඇහෙන දැනෙන ප්‍රකම්පනය කරන ස්පන්දනයක් බවට පත්කිරීම වෙනුවෙන් ඩවුන්ටවුන් සංවිධායකයන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මේ අමාරු මහන්සියට ගරු කරන්න ඕන.

කනින් කොනින් කවුද සිරිසේනගෙන් පවා උදව් ඉල්ලන්න ගියා වගේ කසුකුසු ඇහුනා. කරන්නෙ අපිට කරන්න ඕන වැඬේ නම් සිරිසේනගෙන් නෙමෙයි මහින්දගෙන් වුනත් උදව් ගත්තට කමක් නෑ කියන එකයි මගේ අදහස. යම් විදිහකින් උන් සිරිසේනගෙන් පවා මේ විකල්පය වෙනුවෙන් උදව් ඉල්ලුවා නම් එහෙම පළල් දැක්මකින් වැඩ කරපු එක ගැන වඩාත් ගෞරවයක් මට උන් ගැන දැනෙනවා.

ඩවුන්ටවුන් කියන්නෙ තවදුරටත් පුංචි නොවැදගත් උළෙලක් නෙමෙයි. ඒක ටවුම හොල්ලන රැල්ලක්. කිසිම විදිහකින් මුදලින් සාර්තකත්වයක් නොපෙන්නද්දී පවා, සියලු සංස්කෘතික අරමුදල්, ව්‍යාපෘති නොදැක්කා වගේ ඉඳිද්දී පවා අවුරුදු හතක් පුරා එකම හීනයක් ලොකුමහත් කරමින් ජීවත් කරවපු මිනිස් මහන්සිය අපිට ඉන්ස්පිරේෂන් එකක්. එහෙම ඒවා මේ මොහොතේ අතිශය විරලයි.

චින්තන ධර්මදාස