මෙම ත්‍රස්තවාදය තිරසාරව පරාජය කිරීමේදී ත්‍රස්ත බීජය රෝපණයට හා වැඩීමට අත්‍යවශ්‍ය වන පසුබිම වන මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් වෙත තල්ලු කිරීම නවතා ඔවුන් පොදු ජනතාව වෙතම රඳවා ගත යුතුය.

සරත් සී. මායාදුන්නේ
විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී.

පසුගිය පාස්කු ඉරිදා අන්තගාමී ඉස්ලාම් උම්මත්තකයන් කළ ම්ලේච්ඡ ක්‍රියාව තරයේ හෙළා දැකීමත්, එම ක්‍රියාව මත මියගිය ත්‍රස්තයන් නොවන ජනයාගේ නෑදෑ හිතවතුන් වෙත සාතිශය සංවේගය පළකිරීමත්, විවිධ ආබාධිත තත්වයන්ට පත්වූවන්ට ඉක්මන් සුවය පැතීමත්, එම බැරෑරුම් අවස්ථාවේ රට තවදුරටත් අස්ථාවර වීමෙන් වළක්වා ගැනීමට බුද්ධිමත්ව පෙරමුණ ගත් හා සහාය දුන් සැමට තුති පිදීමත් අප හැමගේම යුතුකමකි. එසේම, මෙම ඉතා ඛේදනීය තත්වය ඇති කළාවූත්, ඊට සහාය දුන්නාවූත් සැමටමද, මෙවැනි විනාශකාරී තත්වයකට රට පත්කිරීමට විවිධාකාරයෙන් ක්‍රියා කළ හා දායකවුණු සැමටමද, මෙවැනි අතිවිශාල ව්‍යසනයක් ඇතිවීම වළක්වාගැනීමට හෝ නැතහොත් හානිය අවම කිරීමට තිබූ වගවීම පැහැරහැරිය සැමටමද, තම වගවීම මුළුමණින්ම නොතකාහැර වගවීම භාරගතයුත්තේ තමා නොව අනිකුත් අය බවට හඟවමින් ජනතාව මුළා කරන සැමටමද තදින් චෝදනා කිරීමද කළ යුතුව ඇත.


තවමත් ඊට අදාළ කරුණු හෙළිදරවුවීම අවසන්ව නොමැති මේ මොහොතේ, අප දූරදර්ශීව සිතාමතා බුද්ධිමත්ව ක්‍රියා කරනු වෙනුවට හැඟීම්වලට වහල්ව කටයුතු කළහොත් කිසිදා නිමක් නොදකින ප්‍රශ්න රාශියක් මතු වනු ඇත. සිදු වී සහ සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ගැන කතිකාව සැබැවින්ම වඩාත් අර්ථවත් වන්නේ ඉදිරියට විය හැක්කේ හා විය යුත්තේ කුමක්ද යන්න ගැන කතිකාව සඳහාය. එහිදී අසීරුතම කාර්යය වනුයේ මිථ්‍යාවෙන් සත්‍යය වෙන් කර හඳුනාගැනීමය. මිථ්‍යාව මුළුමණින් ඉවත් කරගැනීමට තවත් යම් කාලයක් අත්‍යවශ්‍ය වන නමුත් අවශ්‍ය තීරණ ගණනාවක් ගැනීම නොපමාව කළ යුතුව ඇත.


මෙම ත්‍රස්ත උවදුර තිරසාරව ජය ගැනීමට අප පියවර කිහිපයක් නොපමාවම ගතයුතුව ඇත.
මේ වන විට ආරම්භ කර ඇති ආරක්‍ෂක කටයුතුවලට කිසිම භේදයකින් තොරව සියලුම ජනයා එම ක්‍රියාවලියේ අවසානය දක්වාම පූර්ණව සහාය දිය යුතුය. එම ත්‍රස්ත ක්‍රියාවලියට සම්බන්ධ බවට සැක කළ හැකි ඕනෑම අයෙකු පිළිබඳව තරාතිරම නොබලා ආරක්‍ෂක අංශ වෙත දන්වා සහාය විය යුතු අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ සෑම අංශයක්මද කිසිදු අයුතු බලපෑමකට යටත් නොවී ඉතාම නිවැරදිවත් සාධාරණවත් ඵලදායී ලෙසත් තම කාර්යභාරය ඉටු කළ යුතුය. එම කටයුතු සාර්ථකව කිරීමට යම් ආකාරයක ජාත්‍යන්තර සහායක් අවශ්‍ය බව ආරක්‍ෂක අංශ තීරණය කරන්නේ නම් ඊට අන් කවර අයකු හෝ බාධා නොකළ යුතුය. අත්අඩංගුවට ගන්නා කිසිවෙකු අයුතු බලපෑම් කර මුදා හැරීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතුය. එසේම කිසිවෙකුට නීතියට පටහැනිව දඬුවම් නොකළ යුතුය. පුනරුත්ථාපනය කළ යුතු සෑමදෙනාම එසේ පුනරුත්ථාපනය කළ යුත්තේ අර්ථාන්විතවය. ඒ සමඟම එම කටයුතුවලට බාධා නොවන පරිදි හැකි විගසින් ජනජීවිතය යථාවත් කළ යුතුය.


මෑත කාලයේ සමස්ත ලාංකික මුස්ලිම් ජනතාවගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් බෞද්ධාගමිකයන්ට ඉතා තදින් රිදෙන ආකාරයෙන්, විශේෂයෙන් නැගෙනහිර පළාතේ, ක්‍රියා කළ බව පැහැදිලිය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ බෞද්ධ සිද්ධස්ථානවලට නොවූවද, බෞද්ධාගමිකයන් සමඟ පැනනැගුණු ක්‍රියා හා ප්‍රතික්‍රියා දාමය එම විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ බවට නැගෙන චෝදනාව මුළුමණින් බැහැර කළ නොහැක. මෙම ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තරයෙන් උමතුබව ලැබූ අන්තවාදීන්ගේ ක්‍රියාවක් වුවද, මුස්ලිම් ජනතාව අතර ත්‍රස්තවාදීන් කෙරෙහි යම් පිළිගැනීමක් තිබීමට අවශ්‍ය පසුබිම සැකසීමේදී පෙර කී ක්‍රියා හා ප්‍රතික්‍රියා බැරෑරුම් ලෙස බලපෑවේ නැතැයි සිතිය නොහැක. එම උම්මතකයන් හා මුළු දිවයින පුරාම විහිදුණු එක් එක් මට්ටමින් බැඳුණු ඉස්ලාමීය ආගමික හා අධ්‍යාපන ආයතනත් පුද්ගලයනුත් ගැන දැන් වඩවඩාත් අනාවරණය වෙමින් පවතින කරුණු අනුව ඒ බව සනාථ වේ. ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන, පුද්ගලික දේපල හා පුද්ගලයන්ට ප්‍රහාර හා ප්‍රතිප්‍රහාරවලින් සෑම මුස්ලිම් අයෙකුටම තිගැස්සමක්, අනාරක්‍ෂිතබචක් හා ප්‍රහාරවලට මුහුණ දීමට සූදානම්වීමේ අවශ්‍යතාවක් ඇති කෙරිණි. ඒවා ඇතැම් ආගමික සේනාවන් හා බලවේගයන් සැලකුවේ ජයග්‍රහණයන් ලෙසය. පසුගිය වර්ෂවල පැනනැගි ආගමික ප්‍රචණ්ඩත්වයන්ට කිසිම අයුරකින් සම්බන්ධ නොවූවන්ට මෙන්ම වූවන්ටද තමන් කෙතරම් අසරණ හා අනාරක්‍ෂිතද යන හැඟීමද ඊට හේතුවන්නට ඇත. රජයෙන්, නීතියෙන් හෝ සමාජයෙන් සාධාරණය සහ ආරක්‍ෂාව නොලැබෙන බව ඔවුනට දැනුණා විය යුතුය.

ඒ බව නිදහසේ කරගෙන ගිය උම්මත්තයන්ගේ දේශනා තුළින් මුස්ලිම් ජනතාවට තියුණු ලෙස ඒත්තු ගැන්වීමට හා ආකර්ෂණය කරගැනීමට ජාත්‍යන්තරයෙන් උමතුබව ලැබූ අන්තවාදීන්ට මෙමඟින් මනා අවස්ථාවක් උදාකර දෙන්නට ඇත. එවැනි තත්වයන් යටතේ වුවද, මුස්ලිම් අතිබහුතරය එම උම්මත්තකයන්ගේ පාර්ශුවයට නතු නොවී සිටීම ගැන සතුටු විය හැක. අදාළ ත්‍රස්තවාදීන් ගැන, ඔවුනගේ ආයුධ ගබඩා, පුහුණු කඳවුරු හා තිප්පොල ගැන ගමන් බිමන් හා සබඳතා ආදිය ගැන ඉතා වැදගත් තොරතුරු මෙම ත්‍රස්ත ක්‍රියාවලියේ මුල සිටම ආරක්‍ෂක අංශ ඇතුළත් පාර්ශ්ව වෙත මුස්ලිම් ජනයා විසින් ලබා දෙනු ලැබ ඇත. ඔවුන් එසේ කර ඇත්තේ මේ කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති අයට පවා නැගෙන විවිධාකාර පහරදීම්, දේපල විනාශ කිරීම්, තාඩන පීඩන හා අපහාස උපහාස ඉවසා දරා ගනිමිනි.
ඇතැම් නායකයන් හා ඔවුන්ගේ අඳබාලයන්ද, ඇතැම් කණ්ඩායම්ද, මෙම ත්‍රස්ත ක්‍රියාවලිය මුළුමණින් හා තිරසාරව පරාජය කිරීමේ පූර්ණ වගකීම ආරක්‍ෂක අංශ මත පමණක් රැඳවීම ගැන සිතන බව පෙනේ. මේ බැරෑරුම් මොහොතේ ආරක්‍ෂක අංශවලට විශාල කාර්යභාරයක් ඇතත් තිරසාර හෝ දීර්ඝකාලීන විසඳුමකදී විශාලතම කාර්යභාරය ඇත්තේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයට, දේශපාලන පක්‍ෂවලට, සිවිල් හා ගම් මට්ටමේ පුරවැසි සංවිධානවලට, ආගමික හා අනිකුත් සංවිධානවලට, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට හා ඔවුන්ගේ නායකයන්ට වේ. අප හැම සිතන, පතන හා ක්‍රියා කරන ආකාරය දූරදර්ශී වුවහොත් මෙම ත්‍රස්ත ක්‍රියාවලිය ජය ගැනීම පහසුය.

දිගුකාලීන යහපත අරමුණු කොට හැම අන්තගාමී පාර්ශ්වයක්ම සාධාරණ මට්ටමකට කැප කිරීම ප්‍රඥාවන්තය. ඒ සාධාරණ මට්ටම කුමක්ද යන්න තීරණය වියයුත්තේ තමතමන් එලඹගෙන ඇති මිනුම් දඬු අනුව නොව සමස්තය අනුව කැප කළ හැකි හා නොහැකි මට්ටම හඳුනාගැනීමෙනි.
මෙම ත්‍රස්ත ක්‍රියාවලිය තිරසාරව ජයගැනීමේදී අප සියලු දෙනාම තේරුම්ගත යුතු මූලිකම කරුණ නම් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව මෙම අන්තගාමී උම්මත්තකයන්ගේ ඔඩොක්කුවට තල්ලු කිරීමෙන් අප සියලු දෙනාම වැළකිය යුතු බවයි. මෙම ගෝලීය ත්‍රස්ත සංවිධානය පවතින සෑම රටකම ඊට පැවැත්මක් ලැබී ඇත්තේ ඒ ඒ රටවල ඔවුන්ට රැකවරණය දෙන්නන් සිටීම නිසා බව අවිවාදිතය. මෙම ත්‍රස්තවාදය තිරසාරව පරාජය කිරීමේදී ත්‍රස්ත බීජය රෝපණයට හා වැඩීමට අත්‍යවශ්‍ය වන පසුබිම වන මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් වෙත තල්ලු කිරීම නවතා ඔවුන් පොදු ජනතාව වෙතම රඳවා ගත යුතුය. සමස්ත ජාත්‍යන්තරය තුළ මෙම ත්‍රස්තවාදය කෙසේ පැවතුණත්, මෙරටට එම ත්‍රස්ත බීජය ඇතුල්වීමට හෝ නොවීමට අදාළ තීරණාත්මක සාධකය මෙරට මුස්ලිම් ජනතාව ඔවුන් පිළිගන්නා ආකාරය වේ.


තිරසාර හෝ දීර්ඝකාලීන විසඳුමකදී විශාලතම කාර්යභාරය ඇත්තේ මුස්ලිම් ජනතාවටය. ත්‍රස්තවාදීන්ට ඍජුවම සම්බන්ධ බවට හඳුනාගත් හා හඳුනානොගත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගෙන් යම් සංඛ්‍යාවක් දැනටමත් සිටිනුයේ විදේශවලය. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට පැහැදිලි සාක්‍ෂි නොමැති, එනමුත් අවම වශයෙන් එම ත්‍රස්තවාදය අනුමත කරන හෝ ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කරන හා ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා වෙනත් සහායන් ලබාදෙන යම් සංඛ්‍යාවක් දිවයින පුරා විහිදී තිඛීමේ ඉඩකඩද බැහැර කළ නොහැක. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට අවශ්‍ය ආරක්‍ෂාව සහ යහපැවැත්ම තිරසාරව සහතික කළ හැක්කේ ත්‍රස්තවාදීන්ට නොව අප රාජ්‍ය යාන්ත්‍රණයට හා සාමකාමී පොදු ජනයාට බව මුස්ලිම් ප්‍රජාව වෙත ඒත්තු ගැන්විය හැකිනම් එම කිසිම ත්‍රස්තවාදියෙකුට මෙරට කිසිදු ප්‍රහාරයක් දියත් කළ නොහැක. එයට හේතුව මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ආශීර්වාදය නොමැතිව මෙම අන්තගාමීන්ට එවැන්නකට ශක්තියක් නොලැබීමයි. එනිසා ත්‍රස්තවාදියෙකු පිළිබඳ යම් සැකයක් හෝ ඉඟියක් ලැබෙන පළමු අවස්ථාවේදීම බලධාරීන් දැනුවත් කර මෙකී අවදානම මුළුමණින් තුරන් කිරීමේ මුඛ්‍ය කාර්යභාරය පැවරී ඇත්තේ හා පැවරිය යුත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට වේ. කිසිදු ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකු අපගේ හතුරෙකු නොවන බවට හා මිතුරෙකු කරගැනීමට අපට හැකි නම් එය තිරසාර ජයකි.


ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට එම මානසිකත්වය ලබාදිය හැක්කේ එම මුස්ලිම් ජනයා කොන් කිරීම, ඔවුන් ප්‍රතික්‍ෂෙප කිරීම, ඔවුන් පිළිගන්නා මුස්ලිම් නායකයන් අපහාසයට හා අපහසුතාවට පත් කිරීම, ඔවුන් හා ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන හා දේපල විනාශ කිරීම හෝ ඊටත් වඩා දරුණු ක්‍රියාවලින් අප ඉවත් වී සුහදතාව තහවුරු කිරීමෙනි. ඊට පටහැනි මත පොදු ජනයාට කාවද්දන දේශපාලන අවස්ථාවාදීන්ගේ හා ඔවුනට සේවය කරන ඇතැම් ආගමික අන්තවාදීන්ගේ සහ ඇතැම් මාධ්‍ය ආයතන ආදියේ කටයුතු මෙය ඉතා අසීරු කාර්යයක් බවට පත්කර හා පත්කරමින් තිබීම ජයගත යුතු විශාල අභියෝගයකි. ඉතා වටිනා අදහස්ද ප්‍රකාශ කරන අතරේ අවස්ථාවාදී දේශපාලනඥයන්ට සේවය කරන පූජ්‍ය පූජකවරුන්ද ජනතාව බරපතළ ලෙස නොමග යවන මාධ්‍ය ආයතනද තම අදූරදර්ශී ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය කුමක්දැයි සිතිය යුතුය.

මෙය වඩාත් වැදගත් වන්නේ බලය ලබා මුස්ලිම් අන්තවාදය පරාජය කරන බවට වහසිබස් නගන්නන් හමුදා බලය යෙදවීම විසඳුම ලෙස දකිමින් තම අන්තේවාසිකයන් හරහා බරපතළ ලෙස ජනතාව නොමග යවන නිසාය. මේ අනුව මුස්ලිම් නොවන සියලු දෙනාටමද මුස්ලිම් ජනයා ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට පත් වීමෙන් මුදවා ගැනීමේදී කළයුතු හා නොකළයුතු නිශ්චිත කටයුතු ගණනාවක් ඇත. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් මුස්ලිම් ජනයා තම නායකයන් ලෙස පිළිගන්නා කිසිවෙකුට එරෙහිව යම් චෝදනා වේ නම් අදාල බලධාරීන් වෙත වාර්තා කර විධිමත්ව පියවර ගැනීම වෙනුවට පටු දේශපාලන වාසි උදෙසා තම අතකොළු ලෙස ක්‍රියා කරන මාධ්‍ය ආයතන හරහා ජනතාව නොමග යැවීම වහාම අත්සිටුවීමය.

මෙම තීරණාත්මක අවධියේ සියලුම දේශපාලකයන් හරහා ඔවුන්ගේ පක්‍ෂ බොරදියේ මාළු බෑමෙන් වැළකී දූරදර්ශීව කටයුතු කළ යුතුය. ජනතාව කුපිත කරන අන්තවාදී ආගමික හා අනිකුත් සංවිධානද, ඉතාම අපක්‍ෂපාතී තොරතුරු දෙන බවට ජනතාව මුළා කරමින් වෛරය වපුරන මාධ්‍ය ආයතනද, දක්‍ෂ කථිකයන් ලෙස පෙනී සිටිමින් ජනතාව නොමග යවන වාචාලයන්ද රටේ තිරසාර ආරක්‍ෂාව වෙනුවෙන් තම කාර්යභාරය තේරුම් ගත යුතුය. ප්‍රතිපාර්ශ්වයන්ට කුමන විවේචන තිබුණත් ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ආදරය කරන නායකයන් මේ මොහොත ගත කරන්නේ දෙපාර්ශ්වයේම අන්තගාමීන්ගෙන් එල්ල විය හැකි ජීවිත තර්ජන මැද බවත්, පටු අරමුණු මත ජනතාව උසිගන්නන අවස්ථාවාදීන්ගේ ගොදුරු ලෙස ක්‍රියා කර යම් අවාසනාවන්ත සිදුවීමක් වුවහොත් ඒවායේ ප්‍රතිවිපාක බෙහෙවින් හානිකර වියහැකි බවත් අප හැම තේරුම්ගත යුතුය. එසේම පසුගිය වර්ෂවල ඇති වූ ගැටුම් යළිත් ඇති නොවීමටත්, අමනාපකම් හා හිත්රිදීම් අත්හැරීමටත් අදාල සියලු දෙනා ක්‍රියා කිරීමද අත්‍යවශ්‍යය.


තිරසාර හෝ දීර්ඝකාලීන විසඳුමක් සඳහා ගැනීම සුදුසු සියලු පියවර මෙවැනි කෙටි ලිපියකට ඇතුළත් කළ නොහැකි නමුත් පහත දැක්වෙන කරුණු දෙකද නොකියාම බැරිය.
ඉන් එකක් නම්, රටේ ජාතික අරක්‍ෂාව පිළිබඳ වගවීම ගැන සැබෑ ලෙසම වගකිව හැකි ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරුවන ලෙසට ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාව මේ සිද්ධි සමුදාය තුළින්ම සනාථ වී ඇති බවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) අනුව “රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.” යනුවෙන් දැක් වේ. ඒ අනුව රටේ අරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය පිළිබඳව ජනතාවට ඍජුව වගවිය යුතු තනි හා එකම බලධරයා ජනරජයේ ජනාධිපතිවරයාය. ප්‍රායෝගිකව මෙවැනි කාර්යයක් තනිව ඉටු කිරීමට එක් අයෙකුට නොහැකි නිසා ආරක්‍ෂක මණ්ඩලයකට හා විවිධ නිලධාරීන්ටත් වෙනත් අයටත් කාර්ය පැවරුම් කළහැකි වුවද තමාට ව්‍යවස්ථාවෙන්ම පවරා ඇති ව්‍යවස්ථාපිත වගකීම ගැන ඇති උත්තර දීමේ බැඳීම හෙවත් වගවීම වෙන කිසිවෙකුට පැවරිය නොහැකි බව ජාත්‍යන්තර සම්මතයයි.

ව්‍යවස්ථාවේ 42(1) අනුව “ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය.” සහ ව්‍යවස්ථාවේ 42(2) අනුව “අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර බැඳීමට බැඳී සිටින්නේය.” යනුවෙන් දැක් වේ. මේ අනුව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථාපිත වගකීම වනුයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය ගැන පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීම සහ උත්තර බැඳීම මිස ජනතාවට ඍජුව වගවීම නොවේ. ඒ හැර ව්‍යවස්ථාවේ 4(ආ)හි නිශ්චිතව දැක්වෙන “රටේ අරක්‍ෂාව” යන්න මෙහිදී නිශ්චිතව නොදැක්වෙන බවද සැලකිල්ලට ගත යුතුව ඇත. මාධ්‍ය වාර්තා අනුව පෙනෙනුයේ ව්‍යවස්ථාපිතව ජනතාවට ඍජුව වගවීමට ඇති බැඳීම පරිදි කරුණු ඉටුවනු වෙනුවට වගවිය යුත්තේ වෙනත් අය බවට ජනතාවට පණිවිඩයක් ලැබෙන බවය. මේ අනුව ව්‍යවස්ථාපිතව වගවීමට ඇති බැඳීම ප්‍රායෝගිකව ඉටු නොවී ඇති හෙයින් හා ඉදිරියටත් ඉටු නොවන බව තහවුරු වන හෙයින් ප්‍රායෝගිකව ඉටු කළ හැකි වන ලෙසට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුව ඇත.

මෙය වඩාත් වැදගත් වන්නේ නිසි තොරතුරු කල්වේලා ඇතුව ලැබී තිබියදී ඒවා සහමුලින්ම නොතකා හරිමින් ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ අවම කිරීමට ගත හැකිව තිබූ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන ත්‍රස්තවාදීන්ගේ ආරම්භක සැලැස්ම ඔවුනට කිසිදු බාධාවකින් තොරව එපරිද්දෙන්ම සම්පූර්ණ කිරීමට නිදහස ලබා දී තිබූ නිසාය.


අනිත් කරුණ නම්, පාර්ලිමේන්තුව විසින් “රටේ අරක්‍ෂාව” සඳහා පැනවිය යුතු නීති නොපැනවීම ගැන ඇතැම් මන්ත්‍රීවරුන් තමන් සුදනන් බව හඟවමින් එකිනෙකාට චෝදනා කරමින් පොදු ජනතාව අන්දමන්ද කිරීම හා බැඳෙයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ 75 අනුව නීති පැනවීමේ බලය ඇත්තේ විධායකය වෙත නොව පාර්ලිමේන්තුව වෙතය. ව්‍යවස්ථාවේ 152 අනුව දැක්වෙන මුදල් පනත් නොවන ඕනෑම නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඕනෑම මන්ත්‍රීවරයෙකුට හැක.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 47 යටතේ පෞද්ගලික මන්ත්‍රීන්ගේ කෙටුම්පත් සඳහා විශේෂ විධිවිධානද සලසා ඇත. එම කෙටුම්පත් පිළිගැනීමට හෝ නොපිළිගැනීමට අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවට වීම පෞද්ගලික මන්ත්‍රීන්ට කෙටුම්පත් ඉදිරිපත් කිරීමට බාධාවක් ලෙස අර්ථකථනය නොවිය යුතුය. මේ අනුව රටේ ආරක්‍ෂාවට අදාළ නීති පැනවීම හෝ නොපැනවීම පිළිබඳ ඇති චෝදනා ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් සෑම මන්ත්‍රීවරයෙකු විසින්ම එක සේ භාර ගෙන රටේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුව ඇත.■