අපි පත්වුණේ වැන්දඹු කෝටාවෙන්ලු

රෝහිණී කුමාරි කවිරත්න – සමගි ජන බලවේගය

ංකාවේ ඡන්දදායකයන්ගෙන් සීයට 56ක් කාන්තාවන්. පුරවැසියන්ගෙන් සීයට 51ක් කාන්තාවන්. එහෙම වෙලත් පාර්ලිමේන්තුවට කාන්තාවන් 12ක් පමණක් තේරී පත්වීම හාස්‍යයට ලක්වෙන්න ඕනෑ කාරණාවක්.

පවතින ඡන්ද ක්‍රමය නිසා මගේ පවුල් පසුබිම තිබුණත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම හරි අසීරු වුණා. පිරිමින්ගේ දේශපාලනයට මැදි වුණාම ලෙහෙසි නැහැ. අපට ඇතැම් චෝදනා කරනවිට කාන්තාවක අම්මා කෙනෙක්, බිරිඳක්, සහෝදරියක් ලෙස දකින්න ලැහැස්ති නැහැ.

සමාජයෙහි හොඳයි කියලා සලකන නිර්ණායක ඇතුළේ ඉන්න මොන තරම් උත්සාහ කළත්, මොකක් හරි චෝදනාවක් එල්ල කරලා, ‘නරක කාන්තාවක්’ කියන ලේබලය අලවනවා. චරිතයට පහර ගහනවා. කාන්තාවක් දිහා බලන කෝණය පිරිමියෙකු දිහා බලනවාට වෙනස්. ඒ ඇතුළේ කාන්තා අපේක්ෂිකාවක පීඩා විඳිනවා.

සල්ලි අතිනුත් කාන්තාවන් අභියෝගයකට මුහුණදෙනවා. මා වැන්දඹුවක්. මීට පෙර ගුරුවරියක් ලෙස රැකියාව කළා. මා සතු ධනය අනෙක් අපේක්ෂකයක් හා තරග කරන්නට ප්‍රමාණවත් නැහැ. අපේ පවුල දේශපාලනයෙන් හම්බකරපු පවුලකට වඩා, දේශපාලනයෙන් තමා සතු දේවල් නැති කරගත් පවුලක් විදියට ප්‍රකටයි.

අනෙක පිරිමින්ට අරක්කු බෙදීමේ හැකියාවකුත් මට නැහැ. මම අරක්කු බෙදීමේ සංස්කෘතිය අනුමත කරලා පිළිගන්නේ නැහැ. එහෙත්, ඒ සංස්කෘතියෙන් පිරිමි දේශපාලනඥයන් වාසි ගන්නවා. අනෙක ඒ දේශපාලනඥයන් වගේ ‘සෙට් වෙන්නත්’ අපට බැහැ. ඡන්ද වැඩවලට එන අයත් එක්ක මත්පැන් බොමින්, රාත්‍රිය දක්වා කාලය ගත කරමින් සම මට්ටමේ ඉන්නත් අපට බැහැ. මේ වගේ බාධා කාන්තාවන්ට තියෙනවා.

මගේ අත්දැකීමේ හැටියට ලංකාවේ කාන්තා ඡන්දදායිකාවන් පවා කැමති පිරිමි අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කරන්න. ඒ නිසා කාන්තාවන් තමන්ගේ මුල් මනාප පිරිමින්ට ලබාදෙනවා. අපේ කැන්වසින්වලදී ඉස්සරහින් ගැහැනු යනවා, කාන්තාවන් අපි එක්ක ඉන්නවා. එහෙත් මනාප ගහන වෙලාවේ ඔවුන් පිරිමි අපේක්ෂකයන්ට වැඩි උනන්දුවක් දක්වනවා.

අනෙක් ප්‍රධාන ප්‍රශ්නය කාන්තාවන්ට නාමයෝජනා නොලැබීම. කාන්තාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම පක්ෂ නායකයන්ගේ යුතුකමක් හා වගකීමක්. එහෙත් අපේ පක්ෂයෙන් නාමයෝජනා දීලා තියෙන්නේ කාන්තාවන් අටදෙනෙක්ට වගේ. එක්සත් ජාතික පක්ෂයෙන් දහ දෙනෙක්ට වගේ. ඒ අයටත් නාමයෝජනා දෙන්නට හේතුවෙලා තියෙන්නේ ඔවුන් සතු ධනය, ඔවුන්ගේ පවුල් පසුබිම ආදි කාරණා. එවැනි පසුබිමක තමයි කාන්තා නියෝජනය වැඩි කරන්නට යෝජනා කරන්නේ.

පළාත් පාලන මැතිවරණ ක්‍රමයේදී කාන්තා නියෝජනයට අවධානය යොමු කරලා තිබුණා. ඒක යහපත් ක්‍රමයක්. අඩු තරමේ ප්‍රාදේශීය මට්ටමෙන් දේශපාලනයේ යෙදෙන්නට කාන්තාවන්ට අවස්ථාවක් එමගින් ලැබෙනවා. ඒ ක්‍රමයට අනෙකුත් මැතිවරණ ක්‍රම පවා කාන්තා නියෝජනය තහවුරු කරන ආකාරයට වෙනස් කළ යුතුයි. අඩු තරමේ දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාදෙනකොටවත් කාන්තාවන්ට යම් ප්‍රතිශතයක් අනිවාර්ය කරන්න ඕනෑ. කාන්තා නියෝජනය තහවුරු කරන්නට තවත් ක්‍රමයක් තමයි ජාතික ලැයිස්තුවෙන් සීයට 50ක්වත් කාන්තාවන්ට ලබාදීම.

දැන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයකුත් නෑ. ලංකාවේ සීයට 51ක් කාන්තාවන්. සීයට 24ක් ළමයි ඉන්නවා. ඒ අනුව රටේ වැඩි පිරිසක් නියෝජනය කරන්නට අමාත්‍යාංශයක් නැහැ. ඒ දෙපිරිසටම අනන්‍ය වූ ප්‍රශ්න තියෙනවා. ඒ විෂයන්ට තියෙන රාජ්‍ය අමාත්‍යාංශයත් පිරිමියෙකුට දීලා. දරුවන් ගැන කටයුතු කිරීමේදී පවා වඩාත් සුදුසු කාන්තාවක්. මාතෘත්වය මත එම විෂය ගැන වැඩි අවධානයක් දක්වන්නේ කාන්තාවන්. මම පිතෘත්වයට නිගරු කරනවා නෙවෙයි. එහෙත් අපි ප්‍රායෝගික යථාර්ථය අනුව කතාකරන්න එපැයි.

අනෙක ලංකාවේ කාන්තාවන්ට ආවේණික ප්‍රශ්න ගොඩක් තියෙනවා. සරල උදාහරණයක් කීවොත්, ලංකාවේ ඉඳලා රැකියාවලට විදේශගත වෙලා ඉන්න කාන්තාවන් අතර සැමියාගේ හිංසනයෙන් බේරෙන්න බැරි තැන විදේශගත වූ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් ඉන්න බවට වාර්තා තියෙනවා. එය දැවැන්ත සමාජ ව්‍යසනයක්. මා ගුරුවරියක් හැටියට සේවය කළ නිසා දන්නවා මව විදේශගත වූ පසු දරුවන්ගේ තත්වය. අත්අකුරු, පිළිවෙළ, අධ්‍යාපනයට උනන්දුව වගේ හේතු මත පවා මාපියන් විදේශගත වූ දරුවන් කවුදැයි හඳුනාගත හැකි තත්වයක් තියෙන්නේ. මෙවැනි ප්‍රශ්න ගැන කතාකරන්නට අමාත්‍යවරියක් අවශ්‍යයි.

සමහරු විහිළු කරනවා අපි තේරී පත්වුණේ වැන්දඹු හා අනත්දරු කෝටාවෙන් කියලා. ඒක වැන්දඹුවක් වීමේ වේදනාව ගැන කිසිම සංවේදීකමක් නැතිව කරන විහිළුවක්. එහෙම කෝටාවක් තියෙනවා නම්, ඒකෙන්වත් කාන්තාවන් මේ සුළුතරය තේරී පත්වීම ගැන සතුටු වෙන්න ඕනෑ. ඒකත් නැති වුණා නම්, කාන්තාවන් පාර්ලිමේන්තුවේ ඉතිරි වේවිද? යම් පවුල් පසුබිමක් තියෙන කාන්තාවකට වුණත්, ඕනෑ නම් එක් වතාවක් අනුකම්පා ඡන්ද මත තේරී පත්වෙන්න හැකිවේවි. එහෙත්, එතැනින් එහා දීර්ඝ කාලයක් දේශපාලනයේ රැඳී සිට බලපෑම් සහගත දේශපාලනයක යෙදෙන්නට නම් ඒ නායිකාවන්ගේ විශේෂ හැකියාවක් තියෙන්න ඕනෑ. ඒ විදියට ඇවිත් ධනාත්මක කාර්යභාරයක් කළ මහජන නියෝජිතවරියන් ඕනෑ තරම් ඉන්නවා. තමන්ගේම ප්‍රතිරූපයක් හදාගත් නායිකාවන් ඉන්නවා.

 

දැන් ඉඳලාම කාන්තාවන් වැඩ කරන්න ඕනෑ

වෛද්‍ය සීතා අරඹේපොළ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

 

රටේ හැම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන් හා පිරිමින් සම සමව ඉන්නවා. එහෙත් දේශපාලනයේ සංස්කෘතිකමය වශයෙන්ම මතවාදයක් තියෙනවා. දේශපාලනය කියන්නේ විනයගරුක නැති, දුශ්ශීල, දුරාචාර වෘත්තියක් බව. ඒ නිසා කාන්තාවන් දේශපාලනයට බහින්නේ නැහැ. ඒ නිසා අපේ රටේ කාන්තාවන්ගේ බහුතරයක් පිරිමි ඥාතියෙකුගේ අභාවයෙන් තමයි දේශපාලනයට එන්නේ. එහෙම නැත්නම් රටේ ජනප්‍රිය කලාකාරියක් වෙන්න ඕනෑ. එහෙම නැතිව පාර්ලිමේන්තුවට එන එක අඩුයි. මෙවර මමත්, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ ආචාර්ය හරිනි අමරසූරියත් තමයි ඊට පරිබාහිර ක්ෂේත්‍රවලින් පාර්ලිමේන්තුවට ආවේ.

පවුල් පසුබිමක් තියෙන නායිකාවන් අතරත් වැඩ කරන අය ඉන්නවා. එහෙත් කාන්තාවකට නාමයෝජනා ලබන්නට තියෙන එකම ක්‍රමය ඒක විය යුතු නැහැ.

අපේ රටේ ගැහැනු දරුවන් මේ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව වැඩ නොකරන්නේ දේශපාලනය ගැන තියෙන මා කලින් කී අදහස නිසා. ඇත්තටම දේශපාලන සංස්කෘතිය හොඳ නැති නිසා වැඩ කරලා දේශපාලනයේ ඉහළට එන්න අමාරුයි. එහෙත් ඒක මට බලපෑවේ නැහැ. වෛද්‍යවරියක් විදියට කොහොමත් මට සමාජයේ ගෞරවයක් තිබුණා. මම මොන ක්ෂේත්‍රයට ආවත් පිළිගැනීමක් තියෙනවා. ඊට අමතරව වියත් මග, එළිය කියන සංවිධාන ජනාධිපතිතුමා පටන්ගත්ත සංවිධාන. ඒවා විනයගරුකව සංවිධානාත්මකව තිබුණු ආයතන දෙකක්. මම අවුරුදු කිහිපයක් තිස්සේ එම සංවිධානවල කටයුතු කළා. ජනාධිපතිවරණය දක්වා වේදිකාවල කතාකළා.

වැඩකරන කාන්තාවන් නැතිව ඡන්දයේදී විතරක් කාන්තාවන්ට නියෝජනය ඉල්ලලා වැඩක් නැහැ. ජනතාව අතර ජනප්‍රියත්වයක් යම් කාන්තාවකට නැත්නම් කාන්තා කෝටාව කියලා නියෝජනයක් දුන්නාට වැඩක් නෑ. මැතිවරණයේදී පරාජය වෙනවා. මා හිතන විදියට කාන්තාවන් එන්න ඕනෑනම්, වැඩවලට එකතු වෙන්න ඕනෑ. වැඩවල හිටියොත් තමයි නාමයෝජනා ලබන්න අයිතිය තියෙන්නේ. කාන්තාවන් වීම නිසාම විශේෂයෙන් නාමයෝජනා ඉල්ලන එකත් වැරදියි. ඒ නිසා අපි සුදුසුද කියලා කල්පනා කරන්න ඕනෑ.

මා හිතන විදියට දැන් ඉඳලාම කාන්තාවන් වැඩ කරන්න ඕනෑ. පක්ෂ යාන්ත්‍රණයෙහි කටයුතු කරන්න ඕනෑ. එතකොට තමයි මැතිවරණයට නාමයෝජනා දෙන වෙලාව වෙනකොට කාන්තාවන්ට බලය ලැබෙන්නේ.

කාන්තාවන්ට නාමයෝජනා දෙන්න කියලා පක්ෂවලට බලපෑම් කළත්, නාමයෝජනා ගන්න කාන්තාවන් නැත්නම් වැඩක් නෑ.

 

වැඩ කළත් ඇගැයීමක් නෑ

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

 

කාන්තාවකට වැඩ කරන්න බැරි බවට ලේබල් එකක් ගහනවා. වැඩ කළත් වැඩවලට ඇගැයීමක් නෑ. එහෙත් මගේ ගමේ ජනතාව මා එක්ක හිටියා. ඔවුන් දන්නවා මා වැඩ කරලා තියෙන බව. මා හොරකම් කරලා නැති බව. හොරුන්ව ආරක්ෂා කරලාත් නැති බව. ඒ නිසා මට කැමති පිරිසක් හිටියා. ඔවුන්ගේ හඬ ඇහුණේ නැතත්, ඔවුන් නිහඬව ඡන්දය පාවිච්චි කළා.

ඡන්දයකට වියදම් කරන්න පුළුවන් වෙන්නේ, දේශපාලනයෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙන අයටයි. එහෙම වියදම් නොකළ ගොඩක් අය මේ වතාවේ තේරී පත්වෙලා ඉන්නවා. කාන්තාවක් වීමත්, දූෂිතයන් හා ව්‍යාපාරිකයන් ආරක්ෂා නොකිරීමත් නිසා මගේ මැතිවරණ ව්‍යාපාරයට මූල්‍යාධාර ලබාදෙන අයත් අඩු වුණා. ගොඩක් අය මැතිවරණ ව්‍යාපාරයකට මුදල් දෙන්නේ යටි අරමුණක් ඇතිව. එහෙත් අපට එහෙම ලොකු බරක් සහ බැඳීමක් නැහැ. ඉදිරියටත් පිරිසිදු දේශපාලනයක් කරන්න පුළුවන්. කොහොම වුණත් අපි බොහොම අපිරිමැස්මෙන් තමයි වැඩ කළේ.

ඡන්දයෙන් පත්වෙච්ච කාන්තාවන් සංඛ්‍යාව ඉතා අඩුයි. කාන්තාවන් අටදෙනෙක් විතර තමයි ඡන්දයෙන් පත්වුණේ. ජාතික ලැයිස්තුවෙන් හතරදෙනෙක් තමයි පත්වුණේ. කාන්තාවන් වැඩිපුර නාමයෝජනා අරන් ඉදිරිපත් වුණා නම් තමයි නියෝජනය ලැබෙන්නේ. එහෙත්, මේ පාර ඒක වුණේ නැහැ. අපි සතුටු වෙන්න ඕනෑ දෙයක් තියෙනවා. තේරී පත් නොවුණත්, සමාජයෙහි යම් පිරිසක් අතර හෝ කාන්තාවන්ට මනාපයක් දෙන ලෙසට ප්‍රචාරයක් ගියා. ඇත්තටම නාමයෝජනා ලැබී තිබුණ කාන්තාවන් ප්‍රමාණය මීට වඩා වැඩි වුණා නම් ඒ ඉල්ලීම ඉටු වෙන්නත් තිබුණා. අන්තිමේ ඡන්දදායකයාට කාන්තාවන් තෝරනවා කියලා, තියෙන තෝරාගැනීම් ප්‍රමාණයත් සීමිතයිනේ. ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් හතරදෙනෙක් පත්වීම ගැන නම් සෑහීමට පත්වෙන්න පුළුවන්.

 

ස්ත්‍රීවාදී දේශපාලන මතයක් ඇතිවයි යන්නේ          

ආචාර්ය හරිනි අමරසූරිය – ජාතික ජන බලවේගය

 

මා තේරී පත්වුණේ ගැහැනියක් වීම නිසාම නෙවෙයි. එහෙත් මම නියෝජනය කරන මතවාදය තුළ ස්ත්‍රී දේශපාලනය ගැන අදහසක් ඇතිව තමයි පාර්ලිමේන්තුවට යන්නේ. මම ගැහැනු රූපයක්, හිසක් එක්ක විතරක් පාර්ලිමේන්තුවට යනවා නෙවෙයි. මගේ මතවාදය තුළින් දේශපාලනයට පුළුවන් විදියට බලපෑමක් කරන්න ඕනෑ.

මට ලැබුණු ප්‍රතිචාර නිසා සමාජයේ ඉන්න කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රීවාදී පැතිකඩවලින් ප්‍රශ්නවලට සංවේදී වෙන පිරිස් මා දිහා උනන්දුවෙන් බලන බව මට දැනිලා තියෙනවා. ඒ අය වෙනුවෙනුත් ඉටු කරන්න මට වගකීමක් තියෙනවා. දේශපාලන ජීවිතයක්, සමාජ ක්‍රියාකාරීත්වයක් ගැන තරුණ ස්ත්‍රීන් අතර උනන්දුවක් ඇති කරන්න ඕනෑ. තරුණ ස්ත්‍රීන්ට ඉදිරියට එන්නැයි බලාපොරොත්තුව, විශ්වාසය හා හයිය ලබාදෙන්නට මේ වේදිකාව පාවිච්චි කරන්න මම කැමතියි. මම ඒ කටයුත්තෙදී සාර්ථකද කියන එක අනාගතයේදී තීන්දු කරන්න ඕනෑ දෙයක්. එහෙත් දැන් මම උත්සාහ කරනවා.

පාර්ලිමේන්තුවේ එදිනෙදා දකින ආකෘතියටම වැඩ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිරිස් ගහලා, පුටු විසිකරලා, කෑගහලා දේශපාලනය කළ යුතු බව මා විශ්වාස කරන්නේ නැහැ. මම ප්‍රශ්නවලට මැදිහත් වෙන විදියක් තියෙනවා. මගේ අනන්‍යතාවක් තියෙනවා. ඒක තුළින් තමයි මම ක්‍රියාත්මක වෙන්නේ. අපි පාර්ලිමේන්තුවට යන එකේ පරමාර්ථය දැනට තියෙන සංස්කෘතියට අනුගත වීමට නෙවෙයි. තේරී පත්වුණ අනෙක් කාන්තාවන් පවා ඒ සංස්කෘතියට කැමති ඇති කියලා මා හිතන්නේ නැහැ. ඒක වෙනස් කරන්නට තමයි අපි පාර්ලිමේන්තුවට යන්නේ.

 

මේක කාන්තා මහන්සියෙන් දුවන රටක්

නීතිඥ තලතා අතුකෝරාළ- සමගි ජන බලවේගය

 

වත්මන් පාර්ලිමේන්තුවේ එදිනෙදා කටයුතු කිරීම කාන්තාවකට ලෙහෙසි වේවිද කියන එක බලන්න ඕනෑ පාර්ලිමේන්තුව රැස්වෙලා මාසයක් දෙකක් ගියාට පසුව. දැනට අනුමාන කරමු පෙර තිබුණාට වඩා හොඳ පාර්ලිමේන්තුවක් වේවි කියලා.

මන්ත්‍රීවරියක් විදියට පාර්ලිමේන්තුවට තේරී පත්වීම හරිම අමාරුයි. මැතිවරණ ප්‍රචාරය තමයි අමාරුම කොටස. මුදල් පස්සේ හඹායන, බොරු බලාපොරොත්තු දීලා දේශපාලනය කරන්න අපට බැහැ. ඒ අතරේ බොරු මඩ ප්‍රචාරවලට මුහුණදෙන්නත් අපට සිද්ධවෙනවා. හිටපු අමාත්‍යවරියක ලෙස මටත් විශාල මඩ ප්‍රහාරවලට මුහුණදෙන්න සිද්ධවුණා. එවැනි අත්දැකීම් ගොඩක් තියෙනවා. සමහරවිට මම හීනෙන්වත් හිතුවේ නැති කතාන්දර ඡන්දයට අවුරුද්දකට විතර කලින් ඉඳලා පතුරුවලා තිබුණා. සිතාමතා පතුරවපු එවැනි කතාන්දර තමයි ඇතැම් දේශපාලන නායකයන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ආරම්භය.

අපි රටේ කාන්තා ප්‍රතිශතය වැඩි බව හැමදාම කියනවා. ලංකාවට වැඩිපුර ආදායම් ගේන්නේ කාන්තාවන් දුක්විඳිමින් හම්බ කරන රැකියාවලින්. විදේශ ශ්‍රමිකයන් ලෙස, තේ වතුවල කම්කරුවන් ලෙස සහ ඇඟලුම් කම්හල්වල සේවිකාවන් ලෙස කාන්තාවන් දුක් විඳිනවා. මේක කාන්තාවන්ගේ දුක් මහන්සියෙන් දුවන රටක්. එහෙත් කාන්තා දිනය අවුරුද්දකට වතාවක් සමරන්නට විතරක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයක් තියෙනවා. කාන්තාවන් ගැන අදහසක් තියෙන කෙනෙක් නෑ. කාන්තාවන් වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නෑ■