දැන් තිබෙන තත්වය අනුව අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇත. කිසිවකුට බලය ලබා දී නැති හා දියාරු වූවත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් වී ඇත. බලධරයෙකු නොමැති නිසා සෞඛ්‍ය පිළිවෙත් කඩ කරමින් මැතිවරණ ප්‍රචාරයන්ද සිදුවනු ඇත. කොවිඞ්-19 ගැන සිතන්නට වන්නේ අගෝස්තු 05 දායින් පසුය.

අගෝස්තු 05 දායින් පසු තවත් කරුණක් ගැනද සිතන්නට අපට සිදුවනු ඇත. ඒ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්නේ කවදාද යන්නය. අගෝස්තු 05 වැනිදා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට අලුත් මහජන නියෝජිතයන් පත්වුණද පාර්ලිමේන්තුව රැස්වන්නේ කවදාද යන්න තවම නිශ්චිත නැත.

පාර්ලිමේන්තුව රැස්විය යුත්තේ කවදාද යන්න තීරණය කර නිවේදනය කළ යුත්තේ ජනාධිපතිවරයාය. ඔහු මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවන විට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයද, අලුතින් තේරී පත්වන පාර්ලිමේන්තුව රැස්වන දිනයද නියම කළේය. පාර්ලිමේන්තුව රැස්කරන දිනය වූයේ ජුනි 02 වැනිදාය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයට නියම කළ අප්‍රේල් 25 මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ නිසා පාර්ලිමේන්තු මැතිවරණයේ මෙන්ම පාර්ලිමේන්තුව රැස්කිරීමේ දිනයේද වලංගුභාවය අහෝසි විය.

මේ නිසාම පැනනැඟුණු අදහස් හා තර්ක වූයේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව බලරහිත වූ බවය. සැප්තැම්බර් 01 දක්වා කාලය තිබූ පාර්ලිමේන්තුවට රැස්විය හැකි බවය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවය.

එම අදහස් හා තර්කවලට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ ඔහු නිකුත් කළ ගැසට් පත්‍රය ආපසු කැඳවීමේ හෝ අලුතෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ බලයක් නැතහොත් ප්‍රතිපාදනයක් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී නොමැති බවය. මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු නීතිගරුකවාදියෙකු ලෙස පෙනී සිටීමෙන් ඔහු කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැති දෙයක් ඔහුට කළ නොහැකි බවය.

පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමත් අවුරුදු හතරහමාරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, එසේ විසුරුවා හැරි පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පසු නැවත රැස්වන දිනයක් තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයාය. එය වෙන අයෙකුට කළ හැක්කක් නොවේ.

පෙර සඳහන් කළ ලෙසම ජනාධිපතිවරයා නියම කළ මහමැතිවරණය දිනයත්, පාර්ලිමේන්තුව රැස්වන දිනයත් දැන් කල් ඉකුත් වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ බලය මැතිවරණ කොමිසමට තිබුණත් පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනයක් නියම කිරීමේ බලයක් එයට නැත.

පාර්ලිමේන්තුවක් නොමැතිව තමාට සිතෙන ආකාරයට ඕනෑම තීන්දුවක් තීරණයක් ගනිමින් රට පාලනය කිරීමට තමා කැමති බව ජනාධිපතිවරයා පෙන්නුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කොවිඞ්-19 පාලනය සඳහා ඇඳිරි නීතිය පනවන්නැයි කළ ඉල්ලීමේදීය. ඇඳිරි නීතිය පැනවීම සඳහා හදිසි නීතිය පැනවීමට සිදුවීමත්, හදිසි නීතිය පනවා නිශ්චිත දින ගණනක් තුළ පාර්ලිමේන්තුව රැස් කළ යුතු වීමත් නිසා ඔහු එය කළේ නැත. පොලිස් ඇඳිරි නීතිය යැයි මුලින් කියූ හා පසුව නිරෝධායන ඇඳිරි නීතිය යැයි කියූ බල රහිත ඇඳිරි නීතියක් රට පුරා ක්‍රියාත්මක කළේය. තමන් ගැනත්, අන් අය ගැනත් සිතා කිසිවෙකු ඊට අභියෝග කළේද නැත.

එසේම කොවිඞ්-19 නිසා ඇතිවී ඇති හදිසි තත්වය නිසා අවශ්‍ය නීතිරීති පනවා ගැනීම සඳහාත්, මුදල් වෙන් කර ගැනීම සඳහාත් පාර්ලිමේන්තුව රැස් කරන්න යැයි කීවත් එයද ජනාධිපතිවරයා කළේ නැත. තමාට ඇතැයි කියන එහෙත් නොමැති බලයකින් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව මුදල් වියදම් කරමින් ඔහු රට පාලනය කරගෙන යයි.
මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල යැයි කියමින් නැති බලතලයක් උපයෝගී කරගනිමින් රටේ සෑම ක්ෂේත්‍රයටම පාහේ කාර්යසාධක බලකා ඔහු පත් කර ඇත. නිල නොවන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තිරය පිටුපස සිටි ඔහු දැන් එකී අමාත්‍යවරයා ලෙස එළිපිටම කටයුතු කිරීමට පටන්ගෙන ඇත.
මේ සියල්ලෙන්ම කියාපාන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කොතරම් අකමැතිද යන කාරණයය.

මහා මැතිවරණයට තව ඇත්තේ සති දෙකක කාලයකි. පාර්ලිමේන්තුව නැවත රැස් වන දිනය ප්‍රකාශ කර ගැසට් පත්‍රයක් නිකුත් කිරීම දැන් කල් වැඩි දෙයක් නොවේ. එය ප්‍රශ්න කිරීම මෙම ප්‍රචාරක සමයේ විපක්ෂය කළ යුතුය. ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු වරම් ඉල්ලන අයගෙන් පිළිතුරු අපේක්ෂා කළ යුතුය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව රැස් වන දිනයක් ප්‍රකාශයට පත්නොකළහොත් සිදු කරන්නේ කුමක්ද යන්න හා සිදුවන්නේ කුමක්ද යන්න තීරණාත්මකය. එය බොහෝ විට විසඳෙනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, අගමැති මහින්ද රාජපක්ෂත් සම්මුඛ වී ලැබෙන පිළිතුරකින් පසුවය.