කේ. සංජීව

මම නැවතත් පානම ගියෙමි. මේක ඉවරයක් නැති ගමනක් බව මට දැන් වැටහී ගොඩක් කල් ය. එහෙත් මම පානමට, පානම මිනිසුන්ට බෙහෙවින් ආදරය කරමි. එනිසා මොනරාගල පැත්තට හිස හැරුණු විටෙක බොහෝවිට ගමනේ කෙළෙවර පානම වන්නට ඉඩ තිබෙන බව කිව යුතුය.
මුලින්ම පානම ගැන ආසාව හිත අස්සට පැන්නේ වැවක් පිළිසකර කරමින් සිටි යාළුවෙක් හමුවෙන්න කෝමාරියෙන් හැරී සෝමකුලමට ගොස් ආපසු එන ඇසිල්ලක පොතුවිල්වලින් මොනරාගලට හැරෙන්නේ නැතුව පානමටම කැබ් එකේ ගිය නිසාය. කොළට කොළේ කුඹුරුද, නිලට නිලේ නිල් මුහුදද, කඩොල් කැලෑ කැටිතිද, ශුෂ්ක බිම්ද, වල් වූ කුඹුරු සරන ගව සමුහයාද, සිංහල දෙමළ මිශ‍්‍ර මිනිස් කැලද මගේ පානම පේ‍්‍රමයට ඉන්ධන සම්පාදනය කළේය. ඉන්පසු මා නිතර නිතර පානම ගියේ රස්සාවටය. හැබැයි හිත යට පේ‍්‍රමය ඒ දුෂ්කර ගමනට නිබඳවම ශක්තිය දුන්නේය. රාජකාරියට (පත්තර වාර්තාකරණයට) මම මුලින්ම පානම යන්නේ 2013 තරම් ඈතකදීය. ඒ යුගය රාජපක්ෂ මාරයා හැමතැනම සැරිසැරූ යුගය විය. ඉතිං මම එකල පානම ගියේ රාජපක්ෂ මාර සේනාව පානම මිනිසුන් මුහුදට විසිකර ඉඩම් අත්පත් කරගැනීමේ කතාව ලියන්නය. යුද්ධය අවසන් කර ඒ රස්නයෙන් සුද්ධය දෙන අවධිය ගැන, එවැනි මහා සුද්ධයක් ගැන කරුණු ලියන්නය. කරුමය වන්නේ මම අද ද එහි යන්නේ ඒ සුද්ධය නිසා නිපන් ගැටලූ ගැනම ලියන්න වීමය. ඒ ගැටලූ රාජපක්ෂවරුන් නැති පාලනයකදී ද විසදී නැති බව කියන්නටය. 2013දී එහි යනවිට මාරයා අරගෙන යාවිදැයි යන බය තිබුණි. දැන් එහෙම බයක් නැත. එහෙත් මෙවර පානම යනවිට මියගියායැයි අප සිතමින් සිටි රාජපක්ෂ අවතාර නැවත හිස ඔසවා විකාරරූපි නර්තනයක නිරතවීම ජනාධිපති සිරිසේන කෙරෙහි කෝපයද අපම කෙරෙහි ලැජ්ජාවද උපදවන බව කිවයුතුය.
පානම ජනාවාස වන්නේ 1818 කැරැුල්ල නිසාය. කැරැුල්ලෙන් පසුව සුද්දාගෙන් බේරෙන්න කැලේ පැනපු නුවරුන්ගෙන් වෙල්ලස්සේ මිනිස්සුන්ගෙන් පානම ජනාවාස වීම පානම අතීතයයි. ඉන්පසුව නැගෙනහිර විසු දෙමළුන් සමග ලෙයින් බද්ධවීම නිසා මේ මිනිස්සු තවත් ලස්සනය. ඔවුන්ගේ නම්ද ගම්ද කතා විලාසයද අමුතු පැහැයකින් වර්ණිතය. පානම යනු මුහුද අයිනේ වුවත් ලූ‍ණු රස නැති වතුර තිබෙන සශ‍්‍රික තැනි බිමක් ය. ගම වටකර එක පැත්තකින් වෙල් යායද නිල් මුහුදද තවත් පැත්තකින් මහා කැලයද තවත් පැත්තකින් කඩොල්වලින් සුසැදි පානම කළපුවද පානම ගම තවත් ලස්සන කරයි. මේ ලස්සන ගම යුද්ධය අවධියේද ස්වපාලනයකින්ම වගේ නඩත්තු විය. ගමේ එකුදු හමුදා කදවුරක් හෝ නොවීය. එහෙත් හතරවට මහා කැලයේ එල්ටීටීඊ සෙබළ සමූහයා නම් නම් ඕසේට කඳවුරු බිම් තනාගෙන විසුවෝය. එහෙත් යුද්ධය ඉවරවී පැමිණි සාමය මේ සුන්දර ගම වටා හතු පිපෙන්නා සේ කඳවුරුද මුර කපොලූද ඉදිකළේය. අවසන උසස් හමුදා නිලධාරීන්ට සැප ගන්නට කළපුවද, මේ දුප්පතුන්ගේ වගා බිම්ද, අත්පත් කරගෙන ඒ හමුදාවම හයිබි‍්‍රඞ් කඳවුරු හෝටල් සංකීර්ණ ගොඩනැගුවේය. එවැනි කතා පොකුරක් පානමට ඇත. අප මේ කතාකරන්නට යන කතාව එක කතාවක් පමණය.
පානම ඉඩම් අරගලයේ අතීතය
ඒ මැදියම් රාත‍්‍රියේ මුහුද කෑගහන ඇසිල්ලක ඒ ඉතිහාසගත ප‍්‍රහාරය පානම පීනට් ෆාම් වගා බිමට ඇතුළුවූ කළු ඇඳ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කල්ලියක් විසින් සිදුකරනු ලැබිණි. දිනය 2010 ජූලි 17 වැනි දාය. ගම්මුන් කියන්නේ මේ කල්ලිය එස්ටීඑෆ් සෙබළුන් බවය. එකල ආරක්ෂක ලේකම් තනතුරේ වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂය. ඉතිං එකල තිබුණේ හමුදාවට පොලීසියට සින්නක්කර ලියා දී තිබුණු රටක් ය. කරුමය අපි කැසකවන්නේ ඉදිරියටත් එවැනි පාලනයක් ගෙන්නා ගැනීමට වීමය. ගෝටා මතකයට ආ විගස කතාව කැලේ ගියේය. ඒ ගෝටා -භය නිසා වන්නට පුළුවන්ය. මෙලෙස ෆිනට් ෆාම් ගම්මානයට කඩාවැදුණු කළු ඇඳ මුහුණු ආවරණය කරගත් සන්නද්ධ කල්ලිය, ප‍‍්‍රහාරයක් එල්ල කර, ගෙවල් ගිනිතබා, නිවැසියන් කැලෑවට පන්නා දැමුවේය. එදිනට පසුව යහපාලනය පැමිණෙන තුරු නැවත ඒ මිනිසුන්ට තමන්ගේ ඒ ඉඩමට එන්නට ඉඩ නොලැබිණි.
මේ මිනිස්සු 2010 ජූලි 18 වැනිදා සිට මේ අවනඩුව කියන්නට යායුතු හැමතැනටම ගියෝය. එහෙත් කිසිදු නීතියක් ක‍්‍රියාත්මක නොවුණි. ක‍්‍රියාත්මක වුණේ ගෝටාස් ලෝ විතරය. මෙලෙස නීතියේ සරණ සොයාගෙන ගිය මේ මිනිසුන්ට එකල සිදුවූයේ අත්අඩංගුවට පත්වන්නටය. නැතිනම් නඩුත් දමාගෙන ජීවිත තර්ජනත් අරං ගෙදර එන්නටය. අන්තිමට රාජපක්ෂවරුන්ගේ මරුවා සමග වාසය මොඩලයේ පාලනය තුළ හමුදාව යටතට පත්වූ පානම පාරම්පරික වගා ඉඩම් ප‍‍්‍රමාණය මෙලෙසින් දැක්විය හැකිය. රාගම්වෙල (පීනට් ෆාම් ඇතුළුව* අක්කර 264, ශාස්ත‍‍්‍රවෙල අක්කර 115, උල්පස්ස අක්කර 800ක්ය. මෙම ඉඩම් තුළ මේ අත්පත් කරගැනීමෙන් පසුව සිදුවූවේ කුමක් ද? ගිනිකොණ දිග නාවික විධානය නම් විශාල නාවික කඳවුරු බිමද එයටම මූට්ටු කළ පානම ලැගුන් හෝටලයද මුලින්ම ඉදිවූ අතර ඉන්පසුව යුද, ගුවන්, එස්ටීඑෆ් ඉදිකිරීම් සිදුවිණි. මේ පානම පාරම්පරික වගාබිම් ඒ මිනිස්සුන්ගෙන් අහිමි කිරීමේ මෙන්ම එම ඉඩම් නැවත ලබාගැනීමේ අරගලයේ ඉතිහාසයයි. පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන එම තරගයෙන් ජයග‍්‍රහණය කරවා ඔහු ජනපති පුටුවේ හිඳවීමට මෙම ගොවි අරගලයද සෑහෙන්න හේතුවක් වූවාට සැක නැත. එයට හේතුව විශාල ගොවි ජනතාවක්ද සිවිල් ක‍්‍රියාකාරිකයන් විශාල ප‍්‍රමාණයක්ද මේ ඉඩම් නිදහස් කරගැනීමේ අරගලය වටා එකතුවීම ය. මෙහිදී අරගලයේ කේන්ද්‍රය ලෙස ක‍්‍රියාත්මක වෙමින් පානම පත්තුව සුරැුකීමේ සංවිධානය සුවිශාල කාර්යභාරයක් සිදුකළ බවද කිව යුතුය.
දැන් තත්ත්වය කුමක්ද?
මෛත‍්‍රී පාලනයක් පැමිණි විගස පානම සංචාරය කරන එජාපයේ නැගෙනහිර බලවතා වන දයා ගමගේ කියන්නේ ඉතාමත් ඉක්මණින් මේ ඉඩම් ජනතාව වෙත නැවත නිදහස් කිරීමට ඔහු වගබලාගන්නා බවය. ඔහුගේ මේ උජාරු ප‍්‍රකාශයද ඒ සංචාරයේ රූප සටහන්ද සමාජ මාධ්‍යයේ හොඳ පුවතක් ලෙස ඉහළ ජනප‍්‍රියතාවක්ද එකල අත්කරගත්තේය. යහපාලන දින 100 අස්සේ ටක්කෙටම මේ ගැටලූ‍ව විසඳෙයි කියා එකල අපි සිතුවෙමු. අන්තිමට කැබිනට්ටුවද තීරණය කළේ මේ ඉඩම් වහාම අදාළ ජනතාවට නිදහස් කළයුතු බවය. ඒ හමුදා ඉදිකිරීම් සහිත භූමින් හමුදාවටම තබා ඉතිරිය බෙදා දෙන පදනමින්ය. පානම අරගලයට එකතුවුවෝද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යහපාලනය අගය කරන මිනිස්සුද ඒ අතර වූහ. එහෙත් කාලය ගතවිය. කැබිනට් තීරණය කැබිනට්ටුවට දමා ඉබියතුරු ලා එය දයාගමගේගේ ව්‍යාපාරික ලෝකය තුළ අතුරුදන් කරැුත. එහෙත් දැන් පීනට් ෆාම් කොටසේ අක්කර 65කට ආසන්න බිමක නිදහසේ ඇවිදිය හැකිය. අහෝ යහපාලනයක් දුන් නිදහසක් කියා දැන් පානම ජනතාව මේ ඉඩම් කොටසේ තාවකාලික කුඩාරම් අටවාගෙන පොඩිපොඩි වගාවන් කරමින් සිටිති. ඔවුන් මේ බිමේ විහාරයක් හදන්නට වූ විට ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් වහාම මැදිහත්වී එය වළකා ඇත.
දැන් තත්ත්වය ගැන පුංචිරාළ සෝමසිරි කියන්නේ මෙවැනි කතාවක් ය.
‘කැබිනට් තීරණයත් ක‍්‍රියාත්මක කරන්නේ නැහැ කියලා දැනගත්ත ගමන් අපි මෙතැනට ඇවිත් බලෙන් පදිංචි වුණා. දැන් අවුරුදු 1 1/2ක් විතර වෙනවා මෙහෙම වාඩි ගහගෙන පදිංචි වෙලා. දැන් පවුල් 26ක් විතර තමයි මෙතැන ඉන්නේ. අපි අක්කරය ගානේ විතර කොටුකරගෙන දැන් කව්පි මුං මෑ වගේ බෝග මේ කන්නයට හිටවලා තියෙනවා. දැන් අපි කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරගන්න නඩුවක් දාලා තියෙන්නේ. මේ යන විදිහට මොන දෙයක්වත් ෂුවර් නැහැ. හැබැයි අපි මේක අතැරලා යන්නෙත් නැහැ. රජය අපෙන් බලෙන් ගත්ත ඉඩම් තව කොච්චර තියෙනවද, ඒ සේරම අපිට වගාවට නිදහස් කරනකම් අපි පානම සුරැුකීමේ සංවිධානය මේ අරගලය අතාරින්නෙ නැහැ.’
සෝමසිරිලා තවමත් ශක්තිමත්ය. එහෙත් ඔවුන්ද පසු ගිය පළාත් පාලන ඡුන්දයේදී ඇමති දයා ගමගේගේ ගැටයට හසුවී එජාප ලාහුගල ලිස්ටෙකට වැටෙනවිට අප සිතුවේ පානම අරගලය එතැනින් ඉවරයි කියා ය. මේ කතාබහෙන් පෙනෙන්නේ එය එසේ නොවන බවය. කොහොම වුණත් සෝමසිරිලා තවතවත් පරිණත මෙන්ම ශක්තිවන්තයන් විය යුතුය. ඒ මන්ද මේ භූමිය ඩැහැගත්ත කැණහිලූ‍න්ම හෙට දවසේ මේ බිමේ පාලකයන් වියහැකි බැවින්ය.
‘අපි ඇත්තටම හිතුවේ ඡුන්දය ඉල්ලලා මේ ප‍්‍රශ්නයට ඒකෙන් විසඳුමක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි මේ වෙනකොට එතනින් සම්පූර්ණයෙන්ම අයින්වෙලා තමයි ඉන්නේ. කොහොමත් දැන් ලාහුගල ප‍්‍රාදේශීය සභාව පිහිටුවලා තියෙන්නේ පොහොට්ටුව ඒ ආසන 7කින්. විපක්ෂයේ ඉන්න එජාපයට ආසන 5ක් සහ ශ‍්‍රීලනිපයට ආසන 5ක් ජේවීපී එකට එක ආසනයක් තියෙනවා. දැන් විපක්ෂය තමයි වැඩි. ඉතිං දැන් ලාහුගල ප‍්‍රාදේශීය සභාව අකර්මන්‍යයි.”‍ මේ ලංකාවේ දේශපාලනයේ හැටිය. දයා ගමගේ මේ මිනිසුන්ගේ අරගලය කුඩුපට්ටම් කර දැමුවා මදිවාට ඔවුන්ට දේශපාලන සිහිනයක් ලබා දී අරගලය මේ බිමෙන් අතුගා දමන්නටද පිඹුරු පත් සකස් කළේ එසේය. මේ මිනිස්සුන්ගේ මොකක් හෝ වාසනාවකට අද පොහොට්ටුව ප‍්‍රාදේශීය සභාව පිහිටුවා ඇත. එය එසේ නොවුණා නම් සමහර විට මේ වනවිට පීනට් ෆාම් ඉඩම් කොටසේත් හෝටල සංකීර්ණයකට අත්තිවාරම වැටී තිබෙන්නට පුළුවන්කම තිබුණි.
මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යයකට තිබෙන බිය
‘‍මෙහෙමයි, පොතුවිල් ඉඳලා ගත්තොත් පානමට යනකම් දැනට ඉතුරුවෙලා තිබෙන සංචාරක කර්මාන්තයට හොඳම වෙරළ අයිනේ බිම තමයි මේක. මම පුද්ගලිකව හිතනවා මේක මේ මිනිස්සුන්ට කොටස්කරලා දුන්නොත් අනිවාර්යෙන් මුස්ලිම් වෙළෙන්දෝ අතට යනවා කියලා. දැන් බලන්න ආරුගම්බේ මුහුදු වෙරළ ගත්තොත් සේරම මුස්ලිම් මිනිස්සු අල්ලලා ඉවරයි. සර්ෆින්වලට ලංකාවේ තියෙන හොඳම වෙරළ මේක. දැන් පානම බහුතරය සිංහල. හැබැයි මේක මේ මිනිස්සුන්ට දුන්නොත් මේ ටිකත් මුස්ලිම් මිනිහාට යනවා අනිවාර්යෙන්. ඇත්තටම දයා ගමගේ ඇමතිතුමා එහෙම වැරදියි. එයාලා තමයි මේ මිනිස්සු කුලප්පු කළේ. දැන් එයාලාටත් මේකේ රහ වැටිලා. දැන් ඉතිං අවුලක්. මේ ඉඩම් ගැන නඩු තීන්දුවක් තිබෙනවා. හැබැයි ඒකට වැඩිය කැබිනට් තීරණය ප‍්‍රබලයි. අපි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මේ කැබිනට් තීරණය ක‍්‍රියාත්මක කරන්න යනකොට දයා ගමගේ මහත්තයා කියනවා මේ ප‍්‍රදේශය සංචාරක කර්මාන්තය මගින් දියුණු කරන්න සැලැස්මක් රජයට තිබෙනවා කියලා. ඔන්න ඕකයි තත්ත්වය.”‍ මෙලෙස අදහස් දක්වන්නේ අම්පාර දිසාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක්ය. ඔහුගේ හඬට අනුව මේ ඉඩම් නැවත මේ මුල් පදිංචිකරුවන්ට නිදහස් කිරීම සිරවී ඇත්තේ කොතැනද යන්න සිතාගැනීම අමාරු නැත.
දැන් මේ ඉඩම් සම්බන්ධයෙන් රජයට හෝ ආණ්ඩුවට තිබෙන්නේ වෙළෙඳාම පිළිබඳ ප‍්‍රශ්නයක් ය. මේ ඉඩම පිටරටකට හෝටලයක් ඉදිකරන්නට ලබාදී කොමිස් මුදලක් ලබාගැනීමේ ප‍්‍රශ්නයක් මේ අර්බුදයේ කෙළවර තිබෙන්නට පුළුවන්ය. රටේ අනාගතයට හෝ සංචාරක කර්මාන්තයට හෝ පොදුවේ සෙතක් වෙන යෝජනාවක් වේ නම් මේ ලියුම්කරුට එයට විරුද්ධ වීමේ හැකියාවක් නැත. එහෙත් මෙතැන පැහැදිලි ලෙසම දුවන්නේ පුද්ගලික වෙළෙඳ න්‍යාය පත‍්‍රයක්ය. ලොකු වෙළෙන්දෙක් කූට උපක‍්‍රමයක් මගින් තමන්ගේ දේශපාලන බලය අවභාවිතකර ඉතා වටිනා ඉඩමක් සන්තක කරගැනීම පිළිබඳ ප‍්‍රශ්නයක් ය. රටේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයේම එක් අංගයක් ලෙස මේ ඉඩම ලබාගැනීමට රජය අදහස් කරන්නේ නම් දැන් ඔවුන්ට තිබෙන්නේ නීත්‍යනුකුලව මේ මිනිසුන්ගේ ඉඩම් අයිතිය පිළිගෙන ඔප්පු ලබාදී ඉන්පසුව ඔවුන්ගේ කැමැත්ත මත ඊළග පියවරවලට යෑමය. එහෙත් මෙතැන තිබෙන්නේ කූට අරමුණක් නිසා මේ කිසිදෙයක් සිද්ධවෙන්නේ නැත. බලහත්කාරයම පමණක් ක‍්‍රියාවේ යොදවමින් මේ ආණ්ඩුවද මේ නටන්නේ රාජපක්ෂ සෙල්ලමම බව එනිසා පැහැදිලිය. අවසානයේ කිවයුතු වන්නේ රාජපක්ෂ රෙජීමය යටතේ සිදුවූ බරපතළ වැරදි නිවැරදි කරම් යැයි හත්පොලේ දිව්රා ජනපති පුටුවට පැනගත් මෛත‍්‍රී මහත්තයා ද දැන් සිටින්නේ කොලය ඉරාගෙන හොදි ඇගේ හලාගෙන බවය. මෛත‍්‍රී මහත්තයාට උවමනාවක් හෝ අභිලාෂයක් හෝ තිබෙන්නේ නම් මේ ෆිනට් ෆාම් ඉඩම් මිනිස්සුන්ට ලබාදීම සඳහා තමන්ගේ කැබිනට්ටුව ගත් තීරණය පැය 24න් ක‍්‍රියාත්මක කළ හැකිය. එහෙත් එසේ නොවන්නේ අප පත්කරගත් ජනපතිට එදා ඔහුම වේදිකාවක් වේදිකාවක් ගානේ මොරදුන් සටන් පාඨ සහ පොරොන්දු පිළිබඳව කිසිදු දැනීමක් හෝ ඒවා ඉටුකිරීමේ හෝ අභිලාෂයක් නොමැති නිසාය.
ධීවර සමිතියේ නිමාඩු නිකේතනයටත් සීල්
‘අපිට ඉඩම් දෙනවා තියා අපේ ධීවර සමිති දෙකෙන් පාලනය කරපු පානම කළපු මෝයේ තිබුණු නිවාඩු නිකේතන දෙකට මේ ළඟදී ප‍්‍රාදේශීය ලේකම් සහ ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ කියන කෙනෙක් ඇවිත් සීල් තියලා ගියා. පානම අබේසිංහපුර ධීවර සමිතියෙන් සහ පානම කළපු ධීවර කළමනාකරණ කමිටුවෙන් තමයි මේ නිවාඩු නිකේතන දෙක පාලනය කරේ. මේකෙන් එන මුදල්වලින් ධීවර සමිතියේ සාමාජිකයන්ගේ පවුල්වල සුභසාධනය තමයි කළේ. ’ මේ හඬද පුංචිරාළ සෝමසිරිගේය. ඔවුන් කියන්නේ පවුල් 500කට ආසන්න පානම සුළුපන්න ධීවරයන් මේ ක‍්‍රියාව සමග ආණ්ඩුව පිළිබඳව දැඩි අප‍්‍රසාදයකින් පසුවෙන බවය. මේ සීල් කිරීමේ ඇතුළත කතාව කියන්නේද ධීවරයන්ගේ බිස්නස් එක ධීවර අමාත්‍යාංශය සන්තක කරගන්නට යනවා කියන එකය. එයින් නැවතත් ඔප්පුවෙන්නේ මේ පානම වෙරළ තීරයට තිබෙන අසීමිත වාණිජ වටිනාකම් හමුවේ මේ මිනිසුන්ගේ දුක්ඛිත ජීවිත පවා නොසලකා කටයුතු කිරීමට යහපාලකයන්ද සූදානම් බවය. මේ නිසා අපට අවසන කියන්නට වෙන්නේ යහපාලකයන්ද වයන්නේ රාජපක්ෂ සිංදුවම බවය.