රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මහින්ද රාජපක්ෂලා මිට පෙර ආණ්ඩු කළ සමයේදී දේශපාලන කාරණා ගැන අදහස් නොදක්වා සිටීමට වගබලාගත් සංවිධානයකි. අපි දේශපාලනය කරන්නේ නැතැයි එවැනි අවස්ථාවල එම සංගමය කීය. එහෙත් රාජපක්ෂලා විපක්ෂයේ සිටියදී ඔවුන් ප්‍රධාන ආණ්ඩු විරෝධී සටන් බලවේගයක් විය. දේශප්‍රේමය, ස්වාධීනත්වය වැනි මහින්ද රාජපක්ෂලාගේ වචන මාලාව පාවිච්චි කරන්නට පටන්ගත්තේය. සිංගප්පූරු ගිවිසුම රට පාවාදීමක්යැයි රාජපක්ෂලාගේ ස්වරයෙන්ම කීය. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට අඩු වී තිබුණේ සාටකයක් පමණි. කෙසේ වුව ඔවුන් දේශපාලනය කිරීම සතුටට කාරණයක් විය. කුමන හෝ කඳවුරක දේශපාලනය කිරීම යහපත්ය. 25 000ක් වූ එම සංගමයේ සාමාජිකයන් ඒ දේශපාලනය සමග එකඟදැයි විමසා බැලීමේ වැදගත්කමක් තිබුණත්, පාදෙණියලා එළිපිට දේශපාලනය කිරීම හොඳය. පාදෙණියලා විද්වත් ලේබලය සමග රට අන්දමින් සිටියද, දේශපාලනය කිරීමම හොඳය. මේ වෙද්දි රාජපක්ෂලා නීතිවිරෝධී ලෙස ආණ්ඩු බලය අල්ලාගෙන සිටියි. ආණ්ඩුවක් සේ හැසිරෙන්නට උත්සාහ කරන රාජපක්ෂලාව ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනවලටද නිරුවත් වීමට සිදුව ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැන් නිරුවත් වෙමින් සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය සභාපතිත්වය දරණ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නම් සංවිධානය විසින් බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා වෙත ලිපියක් යවා ඇත. ලිපියෙහි ඇත්තේ වියානා සම්මුතියෙහි 41 වැනි වගන්තියෙහි රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවිය යුතුයැයි සඳහන්ව ඇති බවත්, යම්කිසි රාජ්‍යයක් සමග සිදුකරන කටයුත්තක් එම රටේ විදේශ අමාත්‍යවරයා හරහා සිදුවිය යුතුයැයි සඳහන්ව ඇති බවත්ය. අපගේ මාතෘභූමියෙහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවෙන ලෙස ඉල්ලා සිටින බව එහි අවසානයට සඳහන් වෙයි. අනුරුද්ධ පාදෙණියලා යවන මේ ලිපියෙන් හඟවන්නට උත්සාහ කරන්නේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා මේ වෙද්දි ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් සිටින බවය. එහෙත් සැබෑ ලෙසම ලංකාවේ මේ වෙද්දී පවතින තත්වයට බි්‍රතාන්‍යය රජය හෝ වෙන කිසිම රජයක් ඇඟිලි ගසා නැත. මැදිහත්වීම් කර නැත. ලංකාවේ සිංහල ජනමාධ්‍ය ආයතන ටික විසින් ආණ්ඩුවයැයි කිවද ලංකාවේ මේ වෙද්දි ආණ්ඩුවක් නැති බව පැහැදිළිව පෙනෙන කාරණයකි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංග දෙකක් සම්මත වි ඇත. ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරයාව ඉවත් කර ඇත. එය පිළිනොගැනීම හෝ පිළිගැනීම ඒ ඒ රටවල අභ්‍යන්තර කටයුත්තකි. බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පමණක් නොව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ද මේ නීතිවිරෝධී ආණ්ඩුව පිළිගන්නේ නැත. ඔවුන් කළ ඇඟිලිගැසීමක්යැයි කීමෙන් පාදෙණියලා ඉල්ලන්නේ ලංකාවේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් ව්‍යවස්ථානුකූලයැයි පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමය. ඒ නිසා අනුරුද්ධ පාදෙණියලා යැවූ ලිපිය විහිළුවකි. අනෙක් පැත්තෙන් කුමන්ත්‍රණයක කොටස්කරුවන් වීමකි.

අනුද්ධ පාදෙණිය වෛද්‍යවරයා රාජපක්ෂලා ආණ්ඩුවක් නිර්මාණය කර ඇතැයි පිළිගන්නවා විය හැකිය. නොවැම්බර් 07 වැනිදා නීතිවිරෝධී සෞඛ්‍ය ඇමතිවරයා ලෙස චමල් රාජපක්ෂව පත්කළ පසුව ඒ නීතිවිරෝධී ඇමතිවරයාව 08 වැනිදාම මුණගැසෙන්නට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දිවගොස් තිබුණේ ඒ නිසා විය යුතුය. ඉන්පසුව 11 වැනිදාද, 12 වැනිදාද චමල් රාජපක්ෂ ඇමතිවරයා සමඟ එම සංගමයේ නිලධාරින් සාකච්ඡා කර ඇත. මේ සටහන ලියැවෙන මොහොත වෙද්දි චමල් රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් ඇත්තේ දින හතරක් පමණි. එයින් දින තුනකදීම මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුණගැසි තිබේ.

අමාත්‍ය රාජිත සේනාරත්න විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩාපනින හමුදාව නම් ඒකකයක් ක්‍රියාත්මක කර තිබුණි. රෝහල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවලට හදිසියේ ගොස් රාජකාරී නිසිලෙස සොයාබලනවාදැයි නිරික්ෂණය කිරිම කඩාපනින හමුදාවේ කාර්යභාරය විය. විනය කඩකිරීම්, රාජකාරී මඟහරිමින් පෞද්ගලික සේවයේ යෙදෙන නිලධාරීන් පිළිබඳව සොයා බැලිම් එම කඩාපනින හමුදාවේ රාජකාරිය විය. මෙය බාධාවක්ව තිබුණේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන අනුරුද්ධ පාදෙණිය වැනි වෛද්‍යවරුන්ටය. වාර්තාවන ආකාරයට කඩාපනින හමුදාව නවත්වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නීතිවිරෝධී සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇති අතර චමල් රාජපක්ෂ විසින් නොවැම්බර් 15 සිට කඩාපනින හමුදාව නවත්වා ඇත. (ජනතාවට මහත් ආදරයක් ඇතැයි පෙන්වන අනුද්ධ පාදෙණිය වෛද්‍යවරයා මොනතරම් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙනවාදැයි එක ගූගල් සෙවුමකින් සොයාගත හැකිය.)

එපමණක් නොව නීතිවිරෝධී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස පෙනි සිටින බන්දුල ගුණවර්ධණ විසින් පැහැදිළිව ප්‍රකාශ කර ඇත්තේ සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නට තරම් තම කණ්ඩායම මෝඩ නොවන බවයි. ගිවිසුමේ යම් යම් සංශෝධන කරන බවත් සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත්‍ ඔහු කියා ඇත. යහපාලන ආණ්ඩුව සමයේ සිංප්පුරු ගිවිසුම අහෝසි කිරිමට දිවි හිමියෙන් සටන් කිරීමට සූදානමින් සිටි රජයේ නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මේ වන විට නිහඬය. මිතුරු මාධ්‍යවේදියෙක් එහි නිලධාරියෙකුගෙන් පෞද්ගලිකව ඒ ගැන විමසද්දී කියා ඇත්තේ රාජපක්ෂලා එම ගිවිසුමේ ඇති නරක වගන්ති ඉවත් කරනු ඇති බවයි. ඒ තරම් රාජපක්ෂලාව රජයේ වෛද්‍ය නිලධාරින්ට විශ්වාස ය. යහපාලන ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස නොකොට, ඔවුන් සමඟ සටන් වැදුණු දේශප්‍රේමි සංවිධානයක් මේ තත්වයට වැටීම එක් අතකින් කණගාටුදායකය. විද්වත් සංවිධාන ලෙස පෙනි සිටියත්, රාජපක්ෂලාගේ සැබෑ ස්වරූපය නොපෙනෙන්නට තරම් අවිද්වත් වීම කණගාටුදායකය.

ඉදිරියේදීත් රාජපක්ෂලාගේ ආණ්ඩුවක් නීතිවිරෝධීව හෝ නීත්‍යානුකූලභාවයක් ලබාගෙන ක්‍රියාත්මක වුණොත් අනුරුද්ධ පාදෙණියලාගේ සටන්කාමීත්වය බලා සිටියදී අඩුව යනු ඇතැයි කල්තියා ටක්කෙට කිව හැකිය. 2015 ට පෙර සිටි අන්දමේ නින්දකට යළිත් පාදෙණියලා වැටෙනු ඇතැයි කිව හැකිය. ඒ තරම් කල් නොගියද, මේ මොහොතේ පවා විහිළුකාර ලියුම් ලියමින් අනුරුද්ධ පාදෙණියලා තමන්ගේ සැබෑ නිරුවත පෙ‍න්වා හමාරය.■