■ වෙටි්‍රචෙල්වී චන්ද්‍රකලා
පරිවර්තනය : අභිෂේකා වාසල බණ්ඩාර

පොල් ගස්වලින් සෙවණ වූ මුන්රම්පිඩි වෙරළේ නවතා තිබූ සිය පවුලට අයත් බෝට්ටුවේ වාඩිගත් පුදුමෙයිරාසා ජුරිස් ලොරාටා, එදින දැලට අසු වූ මත්ස්‍ය අස්වැන්නේ ඉතුරු බිතුරු ඇහිඳින්නට වූවා ය. ඇගේ ස්වාමි පුරුෂයා වන කනික්කෙයිරාසා පුදුමයිරාසා, දැලට කොටුවූ ලොකුම මාළුවා පොළට ගෙනගොස් විකුණා නැවත පැමිණි අතර දෙදෙනාම එකතු වී වේලීමට සුදුසු කුඩා මාළු තෝරන්නට වූහ.
42 හැවිරිදි වියේ පසුවන දෙදෙනාටම මෙය අනුකම්පා විරහිත දින චර්යාවේ කොටසකි. ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළ තීරය නිවහන කරගත් ධීවර ප්‍රජාවේ බොහොමයක් දෙනා මෙන්ම මේ අඹු-සැමි යුවල ද වසර ගණනක් තිස්සේ ගෙවා දැමීමට දත කෑ, අහස උසට නැගි ණය බරින් මිරිකී සිටියි. බෝට්ටු, දැල් ඇතුළු අනෙකුත් ධීවර උපකරණවලට අලාභ හානි කරමින් ඉකුත් දෙසැම්බරයේ දිවයිනට කඩා වැදුණු සුළි කුණාටුව නිසා ඔවුන් දැරූ උත්සාහයන් තවදුරටත් අඩපණ විය. හානි වූ උපකරණ අලු‍ත්වැඩියාව සඳහා අවශ්‍ය වියදම පියවා ගැනීමට ඊටත් වඩා මුදල් ණයට ගැනීමට මේ නිසා ඔවුන්ට සිදුවිය.
කිසිදා අවසන් නොවන මේ චක්‍රය ධීවර ජනයා හිඟමනේ තබන අතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට ණයකාරයන් කරයි. එන්න එන්නම ප්‍රචණ්ඩ වෙන කුණාටු ඇතුළු ආන්තික කාලගුණ තත්වයන්ට නිතරම මුහුණ දීමට සිදුවීම නිසා පුදුමෙයිරාසා සහ ජුරිස් ලොරාටා වැනි පවුල් මත පැටවෙන බර දිනෙන් දින වැඩිවෙමින් තිබේ.
‘‍අපි හතර පොලකින් ණය ගත්තා’ පුදුමෙයිරාසා කියයි. ‘අපි ණය ගෙවන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට, දැල කැඩෙනවා.’
මෙම අඹු-සැමි යුවල තමන්ගේ ධීවර වෙළඳාම ආරම්භ කිරීම සඳහා ‘වාඩි’ නමින් හැඳින්වෙන ණය දෙන ස්ථානයකින් මුලින්ම රුපියල් ලක්ෂ හයක් ණයට ගෙන මේ වනවිට වසර පහක් ගෙවී ගොසිනි. කලකට ඉහත දී සාර්ථක ධීවරයන් වූ නමුත් 2009 දී නිමාවට පත්වූ දශක ගණනක් දිගු සිවිල් යුද්ධය නිසා සන්තකයේ තිබූ සියලු‍ වත්කම් අහිමි වී ගිය, ජුරිස් ලොරාටා සහ පුදුමෙයිරාසා වැන්නවුන්ට ණය ලබාදෙන තැනකි ‘වාඩිය’.
එහෙත්, ඊට අදාළ ගිවිසුම් සාමාන්‍යයෙන් ණය ගැනුම්කරුවන්ට වාසි ගෙනදෙන්නේ නැත. එය පොතේ නොලියැවුණු නීතියකි. සාධාරණ වෙළඳපොළ ක්‍රමයක් ස්ථාපනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ධීවරයන් සමඟ එකට එක්කාසු වී කටයුතු කරන ZOA නම් ජාත්‍යන්තර සහනසාධක සංවිධානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් සමායෝජක ඇන්තනිපිල්ලෙයි ජෝර්ජ් ඊට උදාහරණයක් ලෙස, වාඩියෙන් මුදල් ණයට ගන්නා ධීවරයන් සිය මාළු‍ අස්වැන්න විකිණිය යුත්තේ වාඩියේ පමණක් බව කියා සිටියි.
ණය මුදල් පියවීමට නොහැකිවන ධීවරයන්ට ඔවුන්ගේ ප්‍රජාව තුළ දිවි ගෙවීමට නොහැකි තත්වයට පත් කරන අතර ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය කෙරෙන අතිරේක අරමුදල් ද කපා හරිනු ලබයි. එපමණක් නොව, වාඩි අයිතිකරුවන් සාමාන්‍යයෙන් මාළු‍ අස්වැන්න මිලදී ගන්නේ වෙළඳපොල මිලට වඩා සැලකිය යුතු අඩු මුදලකට ය. ඇන්තනිපිල්ලේ කියා සිටින්නේ එමඟින් ධීවරයන්ට දිනකට රුපියල් 5000ක් පමණ අහිමිවන බව යි. එවැනි පාඩු නිසා ධීවරයන්ට තමන් ලබාගත් ණය මුදල් ගෙවා දැමීම අතිශයින් දුෂ්කර වී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සේවකයකුගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 23,260ක් පමණ වේ.
රජය මෙවැනි ණය ගනුදෙනු පෞද්ගලික ඒවා ලෙස සලකන අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන්ට අවසර නොමැති බව රජයේ බලධාරීහු ප්‍රකාශ කරති.
44 හැවිරිදි ධීවරයකු වන කන්දසාමි යෝගේන්ද්‍රන් කියා සිටින්නේ තමන් ලබාගත් ණය ගෙවීමට වසර 10ක් ගත වූ බවයි. ධීවරයන්ට හොඳ ජිවිතයක් ගත කිරීමට ඇති ඉඩ වාඩි අයිතිකරුවන් විසින් අහුරා ඇති බවට ඔහු චෝදනා කර සිටින්නේ ප්‍රාදේශීය වෙළඳපොළට වඩා, මන්නාරමේ සිට කිලෝමීටර 118ක් පමණ දුරින් පිහිටි උතුරේ අගනුවර වූ යාපනයේ දී මත්ස්‍ය අස්වැන්නට හොඳ මිලක් හිමිවන බව පවසමිනි.
‘යාපනයේ කකුළුවෝ රුපියල් 1700 යි.’‍ ඔහු පැවසීය. ‘‍මෙහෙ රුපියල් 800යි.’
වියදම් ගොඩ ගැහෙන විට, ජුරිස් ලොරාටා සහ පුදුමෙයිරාසා බැංකුවලින් මෙන්ම ග්‍රාමීය වෙරළබඩ සංවිධානයෙන් තව තවත් ණය ලබා ගත්හ. වාඩියෙන් ලබාගත් ණය මුදල ඇතුළුව මේ වන විට ඔවුන්ගේ මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 1.4ට වඩා වැඩිය.
‘‍මේ සතියේ සතයක්වත් ගෙදර ගෙනාවේ නෑ.’ ජුරිස් ලොරාටා පවසන්නී ය. ‘හම්බකරන හැම සතෙන්ම ණය ගෙවනවා.’
ධීවරයන් සමඟ තමන් ඇතිකරගත් ගිවිසුම් සාධාරණ ඒවා බව මුහුදු ආහාර අපනයනය කරන ව්‍යාපාරයක් සහ ප්‍රදේශයේ වාඩියක් කරගෙන යන 31 හැවිරිදි පොන්නම්බලම් අරුන්දවරාසා පවසයි. ‘විස්වාසේ උඩ, එක ධීවරයෙක්ට අපි ලක්ෂ 4ත් 5ත් අතර ගාණක් ණයට දෙනවා.’‍ ඔහු කියයි.
ජුරිස් ලොරාටා සහ පුදුමෙයිරාසාට අතමාරුවට මුදල් නොදුන් නමුත් අරුන්දවරාසා කියා සිටින්නේ ණයට දීමෙන් ලාභ ලැබිය නොහැකි නම් ධීවරයන්ට මුදල් ලබා දීමට නුපුළුවන් බවයි. ‘බැංකුත් පොලිය ගන්නවා, නේද?’‍ ඔහු අසයි.
මූල්‍යමය වශයෙන් තමන් ද පීඩාවට පත්ව ඇති බව අරුන්දවරාසා පවසන්නේය. ගිය දෙසැම්බරයේ හැමූ කුණාටුවෙන් ඔහුගේ වාඩියේ දොරකඩ කැඩී ගොසිනි. එය පිළිසකර කරගැනීමට ඔහු ගෙවිය යුතුය. ණය පියවීමට ධීවරයන් අපොහොසත් වීම නිසා ඔහු කියනා පරිදි, ඔහුගේ ආදායම් මාර්ගද සිඳී ගොස් ඇත.
‘ඉලන්දාරි කාලේ ඉඳන්, අපි මුහුදු රස්සාව කරලා දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා.’‍ ඔහු කියයි. ‘අපි අපේ සන්තකේ ණයට දුන්නේ හොඳ හිතින්: දැන් අපිට ඒකත් නෑ.’
දේශගුණ විපර්යාස අනපේක්ෂිත ආකාරයට ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කරමින් සිටියි. රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් වෙරළේ සිට කිලෝමීටරයක් ඇතුළත වාසය කරන අතර ඔවුන් මුහුදු ජල මට්ටම ඉහල යාමෙන් ඇතිවන බලපෑමට ගොදුරු වීමේ අවදානමක් ඇත. 20 වන සියවස තුළ ලංකාවට සුළි කුණාටුවල බලපෑම් එල්ල වූ වාර ගණන අඩු වූ නමුත් මෑත දශක කිහිපය තුල සුළි කුණාටුවල ප්‍රබලත්වය වැඩි වී ඇත.
දෙසැම්බරයේ හමා ගිය සුළි කුණාටුව වැනි කුඩා කුණාටුවක් පවා දැනටමත් ජිවන අරගලයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට විනාශකාරී එකක් විය හැකි ය. මුන්රම්පිඩිහි ආගමික සේවයේ මුලසුන දරන එමිලියානුස්පිල්ලෙයි ඩෙනි කැලිස්ටස් නම් කතෝලික දේවගැතිවරයා පවසන්නේ ප්‍රචණ්ඩ කුණාටුවක තර්ජනය ක්ෂිතිජය දිහාවෙන් දෘශ්‍යමාන වන නමුත් ණය යන්න සමහරකගේ ජීවිතවල සදාකල් රැf​ඳන තත්වයක් බවයි.
‘‍සාමාන්‍ය මනුෂ්‍ය ජිවිතයක් ගෙවන්න පවා ණය බාධාවක්’ ඔහු කියාසිටියි. ‘අතමාරුවක් ගන්න එක අපිට පුරුද්දට ගිහිල්ලා. ණයක් ගත්තොත් විතරයි ජිවත් වෙන්න පුළුවන්. එක තැනකින් ණයක් අරන් තව ණයක් ගෙවලා දානවා. ඒක කවදාවත් ඉවරයක් වෙන්නේ නෑ.’ ■