මීගමුව කියූ සැනින් මතකයට එන්නේ මාළුය. ඊළඟට සුමිහිරි කරවලය. ඊළඟට මතකයට එන්නේ කතෝලික පල්ලිය ය. මීගමුව පල්ලිවලටද ධීවර කර්මාන්තයටද එකසේ ප‍්‍රසිද්ධය. මුහුද ගැන, මුහුද හැසිරෙන අයුරු ගැන, එහි වෙසෙන මසුන් ගැන, මීගමු ධීවරයින් තරම් වෙන කවුරුත් දන්නේ නැතිය. ඒ මීගමු ඉතිහාසයම, මේ ධීවර කතාව මත ගොඩනැගී තිබෙන නිසාය. මීගමු ධීවරයින්ගෙන් 90%ක්ම කරාව වාංශිකයින්ගෙන් පැවතගෙන එයි. කරාව යන වචනයේ පරිනාමය ගැන කතාකරන භාෂා විශ්ලේෂකයෝ කියන්නේ ‘මුහුදු වෙරළ අසල’ කියන තේරුමින් මෙම වචනය පැවත එන බවය. කෙසේ වුණත් මීගමු ධීවර ඉතිහාසය සොයා බැලීමේදී පෙනෙන්නේ, කොට්ටේ යුගයේදී එනම් ක‍්‍රි.ව 1412 සිට 1467 දක්වා කාලය තුළ රජකළ හයවැනි පරාක‍්‍රමබාහු රජුගේ කාලයේදී ඉන්දියාවේ කාංචිපුර, කාවේරි පට්ටනම්, නිලක්කරේ යන ප‍්‍රදේශවලින් ගෙනඑන ලද හේවා බලඇණිවලින් මෙම ප‍්‍රදේශය ජනාවාස වී පැවත එන බවය. ඒ අනුව කුරුකුලසූරිය, වර්ණකුලසූරිය, මිහිඳුකුලසූරිය යන වාසගම් පැවත එන්නේය. මීගමුවේ මහා වීදිය, වැල්ල වීදිය, කුරණ වීදිය ආදී ප‍්‍රදේශ කේන්ද්‍රගතව මෙම ප‍්‍රජාව අතීතයේ සිට ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇත. මේනිසා මුහුද එහි සතා සතුන් ඔවුන්ට ආගන්තුක නැත. එහෙත් ඔවුන් අද කියන්නේ තමන්ගේ බඩට පහර වැදී ඇති බවය. ඒ සංවර්ධනය නිසාය. රටකට සංවර්ධනය අවැසිය. එහෙත් ඒ සංවර්ධනය හිට්ලර් පන්නයේ නොවිය යුතුය. එය ජනතාවගේ සිතැඟියාවන් හඳුනාගත් තිරසර සංවර්ධනයක් විය යුතුය. මීගමු ධීවරයාට බඬේ පාර වැදුන මේ තත්ත්වය පිළිබඳව අපි කතාකරන්නට සිතුවෙමු.


අවුල මොකද්ද?


‘අවුල සරලව කියනවනම් මේකයි කොළඹ වරාය නගරයට මුහුදෙන් වැලි කැනීම නිසා අපේ සුළු පන්න ධීවරයට අල්ලන්න මාළු නෑ’ මෙලෙස කතාව ආරම්භ කළේ ජූඞ් නාමල් ප‍්‍රනාන්දුය. ඔහු මීගමුව ධීවර සංවිධාන එකමුතුවේ කාරකසභිකයෙකි. අපි ප‍්‍රශ්නය තුළට කිමිදෙමු..
‘මේ ෆෝට් සිටී එක හදන ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවෙ ඉඳලා ඒකට විරුද්ධ වුණා, ධීවර ප‍්‍රජාව ඒ වෙනුවෙන් දැනුවත් කරපු මිනිහෙක් මම. මම මෙහෙම කියන්නම්.. එදා අපි වචනයක් වචනයක් පාසා කියපු දේවල් අද සත්‍ය වෙලා තිබෙනවා. අද මීගමුවට පහළ දකුණු මුහුදේ එක හුරුල්ලෙක් නෑ. ගල් මාළු නෑ. සාලයෝ නෑ. මේක පිටත එන්ජින් සවිකළ කුඩා බෝට්ටුවලින් දවසේ රස්සාව කරන ප‍්‍රජාවට ලොකු ප‍්‍රශ්නයක්..’ ජූඞ් නාමල් කියන විදිහට මීගමුවට දකුණින් හා සමාන්ත‍්‍රරව මුහුදේ වැලි කැනීම් ඉතිහාසය නිසා මේ විනාශය සිදුවී ඇත. මෙම ද්‍රෝනියේ වැලි කැනීම් ඉතිහාසය 1999 තරම් ඈතට දිවයයි. වැලි කැනීම් සිතියම නිරීක්ෂණයේදී පෙනෙන්නේ ස්ථාන හයක 1999 සිට වැලි කැනීම් සිදුවී ඇති බවය. මෙහිදී රාජ්‍ය ආයතනයෝද පුද්ගලික ආයතනයෝද වැලි කැනීම් සිදුකර ඇත. මෙම දත්තයන්ට අනුව වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැලි ඝන මීටර් මිලියන ගනනින් කැන ඇත. ඒ සුවිශාල ප‍්‍රදේශයක් ආවරණය වෙන ලෙසය. දැන් වරාය නගරය සම්පූර්ණයෙන්ම පුරවා ඇත. එහෙත් මේ ධීවර ජනතාව කියන ලෙස තවදුරටත් කැනීම් සිදුවෙමින් තිබෙයි.


තඹගල, කරල මුහුද ඉවරයි


‘අපිට නාරා එකවගේ උපකරණවත් විද්‍යානූකූල දැනුමක්වත් නෑ, මේ මුහුද ගැන. හැබැයි අපි පරපුරෙන් පරපුරට රැුකගෙන ආපු දැනුමක් තිබෙනවා, මේ ධීවර කර්මාන්තය පිළිබඳව. ඒ දැනුමට අනුව අපි දන්නවා තඹගල කියන ප‍්‍රදේශයයි, කරල මුහුද කියන ප‍්‍රදේශයෙයි හොඳට මාළු අහුවෙනවා කියලා. ඒ ප‍්‍රදේශයේ තමා මාළුන්ට හොඳට කන්න එහෙම තිබුණේ. දියවැල් උතුරින් එන ඒවා දකුණින් එන ඒවා අරං එන මාළු මේ කියන සීමාවේ නතර වුණා. ඒත් වැලි කැනීම් කරලා මේ ගල් වැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය විනාශ කළාට පස්සේ මාළු නතර වෙන්නේ නෑ. ඒනිසා දැන් පිටත ඇන්ජින් සවිකරගත්ත ධීවරයෝ දකුණු මුහුදට යන්නේ නෑ. ඒ කියන්නේ ¥වෙන් දකුණට යන්නේ නෑ. මොකද ගිහිං වැඩක් නෑ’ මේ වැල්ල වීදිය ග‍්‍රාමීය ධීවර සමිතියේ සභාපති ජූඞ් හෙක්ටර් ය.


පල්ලියේ පාවාදීම


‘මේ පෝට් සිටී එක හදන්න පටං ගත්ත වෙලේ ඉඳලා අපි මිනිස්සු දැනුවත් කළා. උද්ඝෝෂණ කළා. සත්‍යග‍්‍රහ කළා. ගුටි කෑවා. පල්ලිය මුලින් මේ සටනේ ඉදිරිය ගත්තා. වැල්ලවීදිය මීසම් පාලක ටෙරන්ස් පියතුමා වගේ අය තමයි මේ සටන් පෙරමුණේ හිටියේ. ඒත් උන්නාන්සේ සටන මැදට ඇවිල්ලා කියනවා, මට යන්න පුළුවන් උපරිම දුර මේකයි. මෙතනින් එහාට බෑ කියලා. මේකට කාඩිනල් හිමිපානන් යම් බලපෑමක් කරන්න ඇති. අන්තිමට සොච්චම් වන්දියකට, මේ සටන මූලිකත්වය ගත්ත පල්ලිය විසින්ම, එය පාවලා දුන්නා.’ මේ වර්ණකුලසූරිය මැක්සි ය. ඔහු එක්සත් වෘත්තීය ධීවර සංගමයේ සභාපතිය.


වන්දි අවනඩුව


‘වන්දිය විදිහට ලක්ෂ 20 ගානේ ධීවර සමිති 58කට සල්ලි දුන්නා. මේ ගානත් පොරොන්දු මුදල නෙවෙයි. ඉතිරි මුදල් කාගේ සාක්කුවට ගියාද කියලා දෙයියෝ තමයි දන්නේ. මේ සටන පාවලා දීලා ධීවර සමිති ලොකු ලොක්කෝ, පල්ලිය ලොකු ලොකු වරප‍්‍රසාද ලබාගත්තා. ඒවා ගැන පැහැදිලි සාක්ෂි අපි ළඟ තිබෙනවා. අන්තිමට කලපු ධීවර සමිති 15වකුත් මේ සල්ලි අරං. තවත් සංගම් මේ සල්ලි ගන්නම අලූතින් හදපු සංගම්. මේ කරපු අපරාදවලට අද ස්භාව ධර්මට දඬුවම් දීලා. අද ධීවරයාගේ රස්සාව අනතුරේ වැටිලා’ මේ මැක්සි මහතාය.
මොවුන් කියන ලෙස වරාය නගර ව්‍යාපෘතියට අදාළ වන්දි මුදල් ලබාදීම තුළද ගැටලූ රාශියක් ඇත. මේ පිරිස් කියන ලෙස මෙම වැලි කැනීම නිසා මූලිකම බලපෑම සිද්ධවී තිබෙන්නේ හැදල මෝයේ සිට කමතොටුපළ මෝය දක්වා ධීවර රැුකියාව කරන පිටත එන්ජින් සවිකළ බෝට්ටු ධීවරයින්ටය. එහෙත් මිරිදිය ධීවර සමිතිවලටද, බහුදින යාත‍්‍රා ධීවර සමිතිවලටද මෙම වන්දි මුදල් ලබාදීම ගැටලූවට තුඩුදී ඇත.


මෙම කලාපයේ මෝදර ධීවර වරායෙන් මුහුදු යන එක් දින ධීවරයින්ටද, ධීවර සංගම්වලට ලබාදී ඇති මෙම වන්දිය ලබාදී නැත. මේ අනුව මෝදර, ලූණු පොකුණ, අලූත් මාවත, මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ධීවර පවුල් 800කට පමණ ලොකු අසාධාරණයක් වී ඇත.


විසඳුමක් තිබේද?..


‘මේ විනාශයන් ගැන හරියට පරික්ෂා කරලා දත්ත විශ්ලේෂණය කරලා හරි වාර්තාවලින් රජය දැනුවත් කරන්න නාරා ආයතනය දැනගන්න ඕනී. නමුත් ඔවුනුත් රජයට අවශ්‍ය බොරුවම පැළ කළා. මෙහෙම හානියක් වෙනවා ඒක වළක්වා ගන්න මේවගේ දේවල් කරන්න ඕනී කියලා නාරා එක රජය දැනුවත් කරන්න ඕනී හරිනම්. ඒත් ඒක වුණේ නෑ. චීනට ඕනී දේ තමයි නාරා එක කිව්වේ. ඒ නිසා අද කැලිඩෝ වෙරළ සම්පූර්ණයෙන්ම මුහුදට ඛාදනය වෙලා ගිහිං තියෙනවා. ඉස්සර මුහුදු ඛාදනය නොවුණු හලාවත මුතුපන්තිය ධීවර ගම්මානය මුහුදු ඛාදනය වෙන්න පටං අරං. අපි අහන්නේ නාරා ආයතනය කලින් මේවා දැක්කද? අපිනම් මීගමුවේ ධීවරයෝ හැටියට මේවා ගැන මුලින්ම කිව්වා. අනතුරු ඇගෙව්වා. ඒත් කිසිදෙයක් ගානකට ගත්තේ නෑ බලධාරියෝ’ මේ ජූඞ් නාමල් ගේ හඬය. බොහෝ ධීවරයන් ලොකු අධ්‍යාපනයක් ලබාගත් පිරිසක් නොවේ. ඔවුන් බොහෝ දෙනෙක් එදිනෙදා රටතොට තොරතුරුවලටද ඇහුම්කන් නොදේ. මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ඊට පසු යහපාලන ආණ්ඩුවද පල්ලිය සමග එකතුවී ධීවර ජනතාව රැුවැට්ටුව බව අප සමග කතාකළ බොහෝ දෙනෙක් ධීවරයෝ ප‍්‍රකාශ කළෝය.
‘ඉස්සර මාසෙට ලක්ෂය එකහමාර එක බෝට්ටුවකින් හෙව්වා.

අද සමහර මාසවලට රුපියල් දහදාහක් සොයා ගන්න නෑ. ඉතිං කොහොමද මේ ධීවරයින්ගේ ළමයි කන්නේ අඳින්නේ. පාසල් යන්නේ. මේවා තමයි අද අපිට තිබෙන ප‍්‍රශ්න. මේ ප‍්‍රශ්නය නිසා බෝට්ටු 1600කින් විතර මුහුදු යන රිජු ධීවර ප‍්‍රජාවක් අනතුරේ වැටිලා. අනික මේ මාළු හිඟකම නිසා එන්න එන්නම මාළු ගණන් යනවා. එතකොට ඒක මාළු පාරිභෝගිකයට බලපානවා. අනික් පැත්තෙන් අතිරික්ත මාළු ප‍්‍රමාණය මත තමයි මීගමුවේ කරවල කර්මාන්තය රැුඳුනේ. අද කරවල කරන්න සාලයෝ සූඩයෝ නෑ’ මෙලෙස මේ ව්‍යසනයේ නිවැරදි සිතුවම පිළිබඳව විග‍්‍රහයක් කළේ ජූඞ් හෙක්ටර් ය. මොවුන් ආණ්ඩුවට කියන්නේ තම ධීවර ප‍්‍රජාවට සාධාරණයක් කරන්න කියා ය. දැනට දී තිබෙන වන්දියද ධීවර සමිති දියුණු කරගැනීම සඳහා සහ ඒ ඒ සමිතියේ සිටින සාමාජිකයින්ට ණය ලබාදීම වැනි කටයුතු සඳහා භාවිතා කිරීමට ධීවර සමිතිවලට දෙනු ලැබූ වන්දියක් ය. එම ලබාදීම් සමහරක් නිවැරදි නැත. ඒ නිසා මේ ධීවර ප‍්‍රජාව දෙස සානුකම්පිතව බලා නැවත ධීවරයාට සෘජුව ප‍්‍රතිලාභ ලබාදෙන වන්දි ක‍්‍රමයකට යායුතුය.. ‘දැන් ධීවර ජනතාව දන්නවා ජුදාස් කවුද කියලා..මේ ජනතාව එසේ කියති..’