පැන්සල තවදුරටත් නවීකරණය විය හැකිදැයි විටෙක කල්පනා කළ හැකිය. එහෙත් පැන්සලට තවදුරටත් නවීකරණය විය නොහැකි බව කියන්නී, ‘ටෙඞ් ටෝක්ස්’ වෙබ් අඩවිය වෙනුවෙන් පැන්සල ගැන විශේෂ ටෙඞ් ටෝක් එපිසෝඩයක් නිර්මාණය කළ පැන්සල් ව්‍යාපාරයක් කරන කැරොලින් වීවර් විසින්ය. ඇය කියන්නේ පැන්සල පරිපූර්ණ බවය. ඇගේ කතාව අහද්දී මේ පුංචිම පුංචි සරල උපකරණය මිනිස් ඉතිහාසයට කර ඇති දැවැන්ත බලපෑම කොපමණදැයි කල්පනා කරන්නට සිතුණි.

පැන්සල අප අතීතයට ගෙනයෑමට සමත්ය. එය කාලයක් ගතවෙන තුරු අප බොහෝ දෙනෙකු අකමැතිම උපකරණය විය. ඒ පුංචිම කාලයේදීය. පැන්සල අත්හැර පෑනෙන් ලියන්නට ප්‍රාථමික පන්තියේදී ගුරුවරුන්ගෙන් අවසර ලැබෙන්නේය. එහෙත් සියලු‍ සිසුන්ට එකවර අවසර ලැබෙන්නේ නැත. හොඳින් අකුරු ලියන්නට සමත් සිසුන්ට පමණක් පෑනෙන් ලියන්නට මුලින් අවසර ලැබේ. ඇතැමෙකු පැන්සල කඩා පැන්සල සමඟ වෛරයෙන් එයට සමුදුන් හැටි අදත් සිහිවෙයි. එහෙත් වසර ගණනාවකට පසුව අද පැන්සල ගැන නොස්තැල්ජියාවෙන් පිරුණු ආදරයක් ඇතිවෙයි. අදත් පැන්සල පවතින්නේ එක් ප්‍රධාන හේතුවක් නිසාය. එයින් ලියැවෙන දෙයක් මැකිය හැකි නිසාය. අද ලියන්නන් වූ අප ලිවීම පටන්ගත්තේ පැන්සලෙනි.

ලංකාවේ පැන්සල සිහිකළ විගස බොහෝ අයට මතකයට එන්නේ රතු සහ කළු නටරාජ් පැන්සලය. එහි පසුපස මකනයක් නැත. ඒ නටරාජ් මකන වෙළඳපොළක් වෙනම තිබූ නිසාය. එහෙත් බොහෝ පැන්සල් වර්ගවල ලොව සුපුරුදු ප්‍රමිතිය අනුව මකනයක් තිබේ. මේ උපකරණය පරිපූර්ණ බවට පත්වුණේ කෙසේදැයි කැරොලින් වීවර් විස්තර කරන්නීය. අප කිසිදා නොසිතන කාරණයක් ඇත. පැන්සල මේ තත්වයට ළඟාවෙන්නට වසර සිය ගණනක් ගතවූ බවයි. මිනිසුන් සිය ගණනකගේ ශ්‍රමය සහ වෙහෙස වැයවූ බවයි.

පැන්සල ඇරඹෙන්නේ ග්‍රැෆයිට් හෙවත් මිනිරන් නිසාය. එය කාබන්වල ස්වරූපයකි. ආදිකාලයේදී බිත්තිවල අඳින්නට මිනිරන් පාවිච්චි කර ඇත. එය ඇරඹෙන්නේ මිනිරන් කපා කුඩා කූරු ලෙස සකසා, ඒ වටා නූල්, කඩදාසි හෝ බැටළුහම්වලින් එතීමෙන් නිර්මාණය කරගන්නා ආදිකාලීන පැන්සල්වලිනි. එකල ලන්ඩනයේ වීදිවල මේවා අලෙවි කරන්නට තිබී ඇත. ඇඳීමට, ලිවීමට මෙන්ම ගොපල්ලන්ට බැටළුවන් සලකුණු කිරීමට මේ පැන්සල් පාවිච්චි කර තිබේ.
ප්‍රංශයේ නිකොලස් ජේකස් කොන්ටේ විසින් ග්‍රැෆයිට් අඹරා, ක්ලේ කුඩු සහ වතුර සමඟ මිශ්‍ර කොට පල්පයක් නිර්මාණය කර ඇත. එම පල්පය අච්චුවකට දමා පෝරණුවක පුච්චාගත් පසුව ශක්තිමත් ග්‍රැෆයිට් කූරක් නිර්මාණය කරගත හැකි විය. එකල ලිවීම සඳහා පාවිච්චි කළ බොහෝ උපකරණවලට වඩා එය ශක්තිමත් විය. අද වෙන තුරු පැන්සලේ මිනිරන් කූර නිර්මාණය වෙන්නේ ඒ ක්‍රමයටය.

මේ අස්සේ ඇමෙරිකාවේ මැසිචුසෙට්ස්හි හෙන්රි ඬේවිඞ් දොරෝ, පැන්සල්වල විවිධ ස්වරූපයන් වර්ගීකරණය කිරීම හඳුන්වාදුන්නේය. අංක එකේ සිට හතර දක්වා මිනිරන් ඝනත්වය වර්ගීකරණය විය. සාමාන්‍ය පාවිච්චියට 2බී පැන්සල සුදුසු බව නිර්දේශ විය. පැන්සලේ කූර මහත් වෙන තරමට පැන්සලේ ඉර තද පැහැ සහ අඳුරු පැහැ වන අතර, කූර හීනි වෙද්දී පැන්සලේ ඉරි හීනි සහ දීප්තිමත් වනු ඇත.

මුල් කාලයේදී පැන්සල් රවුම් විය. අතින් නිර්මාණය කෙරුණි. නිර්මාණය කිරීම අසීරු කටයුත්තක් විය. ඇමෙරිකානුවෝ පැන්සල් නිර්මාණය කාර්මීකරණය කළෝය. ජෝසෆ් ඩික්සන් පැන්සල සොයාගැනීමේ ගෞරවයට නම් කෙරෙයි.
ලී පතුරු කපාගෙන, ඒවායේ ග්‍රැෆයිට් කූර සඳහා ඉඩ නිර්මාණය කරගෙන, ග්‍රැෆයිට් කූර මැද තබා අලවාගැනීම සඳහා යන්ත්‍ර නිර්මාණය කෙරිණ. හරි රවුම් පැන්සල වෙනුවට ෂඩාස්‍රාකාර පැන්සල නිෂ්පාදනය කිරීම පහසු බව සොයාගැනිණ. ඒ නිසා එය ප්‍රමිතිය බවට පත්විය.

පැන්සලේ ආරම්භයේ පාන් පොතු, රබර් ආදිය මකන්නට යොදා ගැනිණ. 1858 දී ඇමෙරිකානු ජාතික හයිමන් ලිප්මන් ඉරේසරය සහිත රේසරය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබුණි. එය පැන්සල විශේෂයෙන් වෙනස් කර තිබුණි.
බ්ලැක්වින්ග් 602 පැන්සල බොහෝ ලේඛකයන් පාවිච්චි කර ඇතැයි පිළිගැනීමට ලක්වී තිබේ. ජෝන් ස්ටෙයින්බැක් සහ ව්ලැඞ්මිර් නාබොකොව් වැනි ලේඛකයන් ඒ පැන්සල පාවිච්චි කර ඇත. ඩික්සන් පැන්සල් සමාගම පැන්සල් තැනීමේ දැවැන්තයන්ය. අදත් ඓතිහාසික පැන්සල් නිෂ්පාදකයෝ සිටිති.

ජීවිතයේ ඉදිරියට යන අපට ඇතැම්විට දැන් පැන්සල අමතක වී ඇතිවා විය හැකිය. එහෙත් පැන්සල මොහොතකට සිහිපත් කළොත් අතීත මතක රැසක් සිනමා පටයක් මෙන් දිගහැරෙන්නට පටන්ගනු ඇත.■