මානව වංශ කතාවේ බොහෝ අංගයන් විෂයයෙහි මෙන්ම කලාත්මක ප්‍රකාශනය සහ නිර්මාණකරණය විෂයයෙහි ද මිනිසාගේ ආගම් සහ ඇදහීම් බලපා ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් චිත්‍ර හා මූර්ති කලාවන්ගේ ප්‍රගමණයට ආගමික සංකල්ප සජීවිකරණය පාදක වී ඇති ආකාරය විවිධ සංස්කෘතීන්ගේ කලා ඉතිහාස අධ්‍යයනයන් මගින් පැහැදිලි කෙරෙයි. ඓතිහාසික පන්සල්, පල්ලි, කෝවිල්, දේවස්ථාන ආදියෙහි ඇති බිතු සිතුවම්, ප්‍රතිමා, සැරසිලි ආදිය පමණක් සැලකුව ද විවිධ ආගම්වලට අදාළ වන්දනාමාන සම්ප්‍රදායන්ට කලාව කොතරම් සම්බන්ධ දැයි අවබෝධ වනු ඇත. මේ ආගම්මූල කලාව ඔස්සේ හැම විට ම පාහේ ඉදිරිපත් කර ඇත්තේ භක්තිය, ශ්‍රද්ධාව, ගෞරවය යනාදී හැඟුම් ජනනය කරන නිර්මාණයන් වීම පුදුමයට කරුණක් නොවේ. විශේෂයෙන් ඇතැම් දේව භක්තික සම්ප්‍රදායයන් හැරුණු කොට බොහොමයක් සමයවාදීන් තම පූජ්‍යස්ථානයන්ට බැඳුණු රූ පිළිමාදියෙන් නිරූපණය කරනුයේ ශාන්ත වූත්, කාරුණික වූත් හැඟීම් සහිත මුහුණු හා ඉරියව් ආදියයි. ග්‍රීක-රෝම කලා සම්ප්‍රදායන්හි ඇතැම් දුෂ්ට දෙවිවරුන් පවා ඔවුන්ගේ සිතුවම් හා මූර්ති කලාවන් තුළදී නිරූපනය කෙරෙනුයේ නිවුණු ඉරියව් ඇති, අහිංසක රූපකායන්ගෙනි. ආගමික ශාස්තෘවරු මානව වර්ගයාට ශාන්තිය ප්‍රාර්ථනා කළාහු වෙති. සමස්තයක් ලෙස ගත් විට ඔවුන් ඉදිරිපත් කළ මතවාද සහ ජීවන දර්ශනයන් ද වෛරය සහ හිංසනය පිටු දුටු, සදාචාර පැවතුම් අගය කළ ධර්මයන් විය. එවන් ආගම් ඇසුරේ කෙරෙන කලා නිර්මාණයන් ද ලබ්ධිකයන්ගේ සිත් සතන් නිවා සනහන ආකාරයේ ශාන්තිවාදී හැඟීම් මුදා හරින ඒවා ලෙස හඳුනා ගැනීම සාධාරණ වේ. ලෝක ඉතිහාසය පුරා විවිධ ජාතීන් අතර, ආගම් අතර හෝ යම් ආගමක අන්තර් නිකායන් අතර ආදී වශයෙන් විනාශකාරී සටන් හා ගැටුම් හට ගෙන ඇත්තේ වුව ද, විශිෂ්ට කලාකරුවන් විසින් කලා නිර්මාණයන් තුළින් සිදු කර ඇති මේ අහිංසාවාදී සන්නිවේදනය සදාතනික නිර්ව්‍යාජත්වයක් දරා සිටී. ලංකාවේ මහමෙවුනාවේ සමාධි පිළිමයත්, වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ පියෙටා පිළිමයත් දෙස බලා සිටිමි. ඒවායෙන් විහිදෙන්නේ මනුෂ්‍ය වර්ගයා වෙතින් ඈතට පාවී යන නිකසළ පොදු මිනිස් සිතක අපරිමිත කරුණාව සහ අවිහිංසාව යැයි මොහොතකට මට සිතෙයි. ඒ සිතිවිල්ල පවා කොහේදෝ පරම පිවිතුරු ලෝකයකින් පැමිණි පාරිශුද්ධ වූ කැල්මක් සේ මට දැනෙයි.


‘කරාරා’ වර්ගයේ නිල මුසු කිරිගරුඬ පාෂාණයක් තුළින් ‘පියෙටා’ පිටතට ආවේ මයිකල් ආන්ජලෝගේ විස්ම කර්ම නිර්මාණකායේ ස්පර්ශය ලබමිනි. 1498 වසරේදී රෝමයේ ප්‍රංශ නියෝජිතයා කටයුතු කළ ශෝන් ඩි බිලාරෙස් කාඩිනල් තුමාගේ ඇරයුමින් වතිකානුවේ ශාන්ත පීතර දෙව් මැදුර උදෙසා නිමැවූ මේ විශිෂ්ට මූර්තිය සාම්ප්‍රදායන් බිඳිමින් කළ යම් කිසි ආකාරයක විප්ලවීය නිර්මාණයකි. කුරුසාවතරණයෙන් පසු කිස්තුස් වහන්සේගේ අප්‍රාණික සිරුර සිය උකුළෙහි සතපවාගෙන සිටින මරිය තුමිය මේ මූර්තියෙන් නිරූපිත ය. ලොව බිහි වූ අග්‍රගණ්‍ය ම ප්‍රතිමාවක් ලෙසත්, මයිකලෑන්ජලෝගේ අග්‍ර නිමැවුම ලෙසත් ඇතැමුන් හඳුන්වන එය, මෘදු නැමියාවන් සහ උසස් තාක්ෂණ උපක්‍රම සහිතව දුටු දන නෙත මන පොබවන ලෙස කළ ආශ්චර්යමත් කලා කෘතියක් බව වටහා ගැනීමට එක බැල්මක් වුව ප්‍රමාණවත් ය.


පණස් විය පිරූ මහලු රුවක් විය යුතුව තිබූ මරිය තුමියගේ රුව මෙතරම් යොවුන් හැඩයකින් නිම වූයේ ඇයි ද යන්න විචාරකයන් එල්ල කළ පැනයයි. සිත්තරා එයට ලබා දුන් පිළිතුරෙන් උසස් කලා නිර්මාණයක ඇතුළත් වන අපූර්ව දැක්ම පැහැදිලි වෙයි. සදාතනික තරුණ බවින් පවතින කරුණාවත්, පූජනීය වූ පවිත්‍රත්වයත් ඇගේ යොවුන් පෙනුමෙන් නිරූපනය කිරීමට තමන්ට වුවමනා වූ බව ඔහු කියා ඇත. මරණය හෝ ක්‍රිස්තුස් වහන්සේගේ නික්මීම කියා පෑමට ඔහුට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ඔහුගේ සන්සුන් මුහුණත්, යහපත නොසලකා හැරීම පිළිබඳ ආගමික දැක්මත් පිළිබිඹු කිරීමට මයිකලෑන්ජලෝ අදහස් කර තිබිණි. පිරමීඩ හැඩයක් ගන්නා ‘පියෙටා’ ප්‍රතිමාවේ ප්‍රබලත ම මෝහනය වනුයේ, එහි ඉහළ කොණට කැටි කර ඇති මරිය තුමියගේ මුහුණෙන් පළ වන කර්ණා පරවශ බැල්ම මිස අන් කුමක් ද? ලෝ සත කෙරෙහි මෛත්‍රියෙන් යුතු, ශෝකයෙන් අකම්පිත, ඒ දිව්‍යමය බැල්ම ලංකාවේ අපට එක වර ම සිහි කරනු ඇත්තේ සමාධි පිළිම වහන්සේගේ දැහැන්ගත ශාන්ත ස්වභාවය මැයි.


බෞද්ධ පිළිම කලාවේ සුවිශේෂී සලකුණක් ලෙස සැලකෙන සමාධි පිළිමය ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින බුදුන් වහන්සේගේ රුව, සෞම්‍ය ගුණය ඉස්මතු වන අයුරින් රළු කළු ගලෙන් නෙලා ඇති අවස්ථාවකි. අනුරාධපුර පුදබිමෙහි අභයගිරි විහාර සම්ප්‍රදායට අයත් ගොඩනැගිලි නටබුන් අතර පිහිටුවා තිබූ මෙය ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසෙහිදී නිමවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලොව වෙනත් කිසිදු ප්‍රතිමාවකට දෙවෙනි නොවන නිර්මාණයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වන අපේ සමාධි පිළිමය පිළිබඳව ලියැවුණු කව් ගී, දෙස් විදෙස් පැසසුම් බොහොමයකි. ශ්‍රී ජවහල්ලාර් නේරු බි්‍රතාන්‍ය සිරභාරයේ සිටියදී සමාධි පිළිමය කෙරෙහි ඔහු තුළ වූ බැතිය පිළිබඳව ප්‍රකාශ කළ බව කියැවේ. “සමාධි පිළිම වහන්සේ දකින විට තමාට සියලු දුක් සංකා හැර දමා විශ්වාසය සහ ශක්තිය වඩා ගත හැකි යැ”යි ඔහු කියා ඇත. බුදුරදුන් නිර්වාණාවබෝධයේදී පළ කළ සමාධිය, සමාධි ප්‍රතිමාවෙන් නිරූපිත ය. ප්‍රතිමාව දෙස දකුණු පසින් බලත්ම සියුම් ශෝකී පෙනුමක් ද, වම්පසින් බලන විට සියුම් සතුටු පෙනුමක් ද දක්වන එය ඉදිරිපසින් බලන විට පෙනෙනුයේ ලෝක සත්‍යය විදාරණය කර ගත් බුදුන් වහන්සේ අඩවන් දෑසින් අකම්පිතව වැඩ ඉන්නා අයුරකි. සතර බ්‍රහ්ම විහරණයන් කළු ගලකින් නිරූපනය කිරීම සැබෑ අරුමයකි. එනයින් ම මෙය අපගේ ලෝක උරුමයකි. සිතිවිලි අතර ඒ ප්‍රතිමාව මවා පානා අමරදේවයන්ගේ භාවනා කටහඬෙහි යා වූ අබේසිංහයන්ගේ වචන වැල ද මට සිහිපත් වෙයි.


අඩවන් වූ දෙනෙතින් ගලනා – මෙත් මුදිතා කරුණා ධාරා තෙමා තෙමා හද ගලා ගලා යන – ලොව්තුරු ගුණ මහිමේ මහමෙව්නා උයනේ – සමාධි බුදු පිළිමේ……


පියෙටා ප්‍රතිමාවත්, සමාධි පිළිම වහන්සේත් ජීවිතයේ සියලු ගැටුම්, වේදනා, කෝප ජුගුප්සාවන් අතර අයාලේ යන අපගේ මනැස්වලට පිරිනමන්නේ නිරාමිස වූත්, සෞන්දර්යාත්මක වූත්, අර්ථවත් වූත් මොහොතකි. මඳක් නෙත් පියා ඒ මොහොතෙහි පණිවුඩය ආයෙත්, නැවත නැවතත් කියවා ගැනීමට ඇත්නම්…………. ■

■ ලක්ශාන්ත අතුකෝරල