නිසි දේ ඉගෙන ගන්නට මට කියා නොදී
බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිඳුන් වනු ඇත ළඟදී
මේ කවිය කිවියර, අධ්‍යාපනවේදී රැපියල් තෙන්නකෝන් විසින් කියනු ලැබුවේ මීට වසර හැටකටවත් ඉහතදී බවට සැකයක් නැහැ. ඒ යුගය වනාහි නෙගහා හැදූ දරුවා හැඳි නොගා හැදූ හොද්දට සමාන කළ ජනවහරක් භාවිතා වූ යුගයක්. රැපියෙල් තෙන්නකෝන් ශූරීන් හැපෙන්නට ඇත්තේ ඒ පසුගාමිත්වය එක්කයි.
එහෙත්, මේ කවිය ලියූ දා සිට අද දක්වා කාලය ඇතුළත ලෝකයේ අධ්‍යාපනය, අධ්‍යාපන තාක්ෂණය, අධ්‍යාපන විද්‍යාව, අධ්‍යාපන මනෝ විද්‍යාව වැනි කාරණා කොයි තරම් නම් වෙනස් වුණා ද? හැබැයි, ලංකාව වැනි සමාජයන්ගේ ඇතැම් වෙනස්කම් සිදු වන්නේ කොයි තරම් සෙමින් ද?
ඇමරිකානු කතාවක් වන වොෂින්ටන් අර්වින් ලියූ රිප් වෑන් වින්කල් කතාවේ රිප් ගසක් යට නිදාගෙන අවදි වන්නේ අවුරුදු විස්සකට පසුවයි. ඒ වන විට ලොව සියල්ල වෙනස් වී තිබේ. ඔහුට ඒ වෙනස්කම්වලට හැඩගැසීමට අපහසුයි. මේ කතාව අනුසාරයෙන් නිර්මාණය කර ගත් එක් අතුරු කතාවකට අනුව පාසලක දරුවකු පන්ති කාමරයේ මේ අන්දමින් නින්දට ගොස් අවුරුදු 20කට නොවෙයි, 50කට පසුව අවදි වී බැලු‍වත්, මුළු ලෝකය ම වෙනස් වී තිබියදීත් පාසලේ පන්ති කාමරය නම් වෙනස් නොවී පැවතිය හැකියි. ලංකාවේ නම් මීට වසර 100කට පෙර තිබුණු හුණු කූරෙන් ලියන කළු ලෑල්ලේ පටන් බොහෝ දේ තවමත් එහෙමමයි. ලංකාවේ තෙත් කලාපය වැසි අධික ප්‍රදේශයක්. වියදම් අවම කරගන්නට රජයේ පාසල්වල හැදූ වැස්සට තෙමෙන, මිටි බැමි සහිත පාසල් ගොඩනැගිලි තවමත් එහෙමම තිබෙනවා පමණක් නොවෙයි, එවැනි ගොඩනැගිලි දැනුත් අලු‍තෙන් හදනවා.
මේ අතර, තවමත් ගුරුවරුන් අතර සාකච්ඡාවට භාජනය වන්නේ පාසල්වල විනය හැදීමට දරුවන්ට ගහන්නට ඉඩ දීමේ අවශ්‍යතාව පිළිබඳවයි. පාසල්වල, විශ්වවිද්‍යාලවල, පවුල්වල, හමුදා පොලිසිවල පමණක් නොව ඇතැම් විට රැකියා ස්ථානවල පවා ශාරීරික වධහිංසනයන් සිදුවෙන බව ඇත්ත. ඒවා එක පාරට ම නැති කර දමන්නට බැරි බවත් ඇත්ත. ඒ වුණාට ඒ හා සම්බන්ධ මැදිහත්වීම්වලදී මූලධර්මයක් ලෙස ම ඒවා නැවැත්විය යුතුයි කියන පදනම අවශ්‍යයි. එහෙම නැතිනම්, අප කරන්නේ මේ පසුගාමිත්වයන් දිරිගැන්වීමයි.
අලු‍ත් ම සිදුවීම වන්නේ දරුවකුට පහර දුන් බවට චෝදනා ඔප්පු වූ ගුරුවරියකට අධිකරණය විසින් සිර දඬුවම් නියම කිරීමයි. මේ නඩු තීන්දුව ලංකාවේ ගුරුවරුන්ගේ ඇස් අරවන නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකියි. සිසුන්ට ශාරීරික දඬුවම් නියම කිරීම වැළැක්වීම සඳහා මීට පෙර දැනුවත් කිරීම්, බලපෑම් කිරීම්, විනය පියවර ගැනීම් ඕනෑ තරම් සිදු වුණා. එහෙත්, එයින් තත්වය වෙනස් වුණේ නැහැ. මේ නඩු තීන්දුව විසින් වෙනසක් ඇති කරාවි.
බොහෝ වැඩිහිටියන් තමන් හැදුණේ තමන්ගේ ගුරුවරුන් තමන්ට අමානුෂික අන්දමින් පහර දුන් නිසා ය, එසේ අමානුෂික අන්දමින් සැලකුවේ ආදරය නිසා ය ආදී කතා අතීතකාමී රසකාමිත්වයකින් නිතර නිතර කියනු ඇසිය හැකියි. මෙය සමාන වන්නේ ඇතැම් ආදරවන්ත පිරිමින් ආදරය නමින් තම සහකාරියන්ට කරන වධ හිංසනයටයි. මෙය ඇත්තට ම පරපීඩා කාමුකත්වයයි. එවැනි වධ හිංසාවලට ලක්වන්නටත් ඇතැමුන් කැමතියි. එය ස්වපීඩා කාමුකත්වයයි. ලිංගික සම්බන්ධතාවලදී පරපීඩා හා ස්වපීඩා කාමුකයන් රහසිගතව කරගන්නා ක්‍රියා පෞද්ගලිකයි. හැබැයි එතනදී වුණත් සීමා ඉක්මවුවහොත් දණ්ඩනයන්ට යටත් වන්නට සිදු වෙනවා. ඒ වුණාට පරපීඩා කාමුක ගුරුවරුන්, ගුරුවරියන් කරන කියන දේ දරුවන්ට බලපාන අන්දම සම්පූර්ණයෙන් ම වෙනස්.
හැම ගුරුවරයෙකු ම, වැඩිහිටියකු ම දරුවන්ට පහර දෙන්නේ පරපීඩා කාමුකත්වය නිසා බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. බොහෝ පහරදීම්වලට හේතුව අධික කෝපය, අසහනය හා ස්වයං පාලනයකින් තොරකම. මේවා ගුරුවරුන්ගේ ශික්ෂණය හා සම්බන්ධයි. නිසි ලෙස ශික්ෂණය නොවූ ගුරුවරුන්ට දරුවන් ශික්ෂණය කරන්නට පුළුවන් ද?
ලංකාවේ අධ්‍යාපනය වෙළඳපොළකරණය වීම බොහෝ දුරට සිදු වී තිබෙන්නේ රජය නිසා නොවෙයි. නිදහසෙන් පසු කිසිදු රජයක් අධ්‍යාපනයට කරන වියදම් කප්පාදු කර නැහැ. ඒ වියදම්වල වර්ධනය ප්‍රමාණවත් නොවීම වෙනම ප්‍රශ්නයක්. ලංකාවේ අධ්‍යාපන වෙළඳපොළකරණයට බලපාන්නේ ටියුෂන්, ආදි ශිෂ්‍ය මාෆියාව, විදුහල්පතිවරුන්ගේ දූෂණ ආදියයි. මෙය ද වෙන ම සාකච්ඡා කළ යුතු විෂයක්. එහෙත්, වෙන රටවල පාසල් අතර තරගකාරිත්වයක් නිර්මාණය වන්නට හේතු වූ කරුණුත්, ලංකාවේ රජයේ පාසල් අතර පවා මහ මග එකිනෙකා ඇනකොටාගන්නා තරගකාරිත්වයක් ඇති වන්නට හේතු වූ කරුණුත් කෙරෙහි නිකමට අවධානය යොමු කරන්න. අද වන විට පාසලක් ඉදිරියෙන් යන විට කොයි තරම් නම් ඩිජිටල් බැනර් ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා ද? ඒවායින් සන්නිවේදනය කරන්නට හදන පුරසාරම්වල තේරුම කුමක් ද? මේ පාසල් මූලික වශයෙන් ම නඩත්තු වන්නේ මහජන මුදලින් නොවේ ද? එහෙම නම් ඇයි මේ තරම් පාඨශාලාන්තර තරගයක්?
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියන්නේ මැක්බත් නාට්‍යයේ මායාකාරියන් තුන්දෙනා තම්බන මායා හොද්ද වගේ පැසවන අද්භූත කල්දේරමක්. ගුරුවරුන් කියන්නේත් එහි අතරමං වූ පීඩිතයන් පිරිසක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය විග්‍රහ කරගැනීම ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. අධ්‍යාපනය විකිණීම, නව ලිබරල්කරණය වගේ පැතලි, පටු සටන් පාඨවලින් කරන්නේ එය විග්‍රහ කරගැනීමට තිබෙන පිවිසුම් දොරටු ව්‍යාජ දුහුල් තිර රෙදිවලින් වසා දැමීමයි.
අධ්‍යාපනයේ තිබෙන එක් බරපතල ප්‍රශ්නයක් වන ශාරීරික හිංසනය පිළිබඳ තීරණාත්මක අවධානයක් යොමු කරමින් ගුරුවරුන්ට ඉතා ප්‍රබල පණිවුඩයක් අධිකරණය විසින් සන්නිවේදනය කර තිබෙනවා. ගුරුවරුන් විසින් කළ යුතුව තිබෙන්නේ ඒ පණිවුඩය ගැඹුරින් වටහා ගැනීම මිස අධිකරණයට එරෙහිව කැරැලි ගසන්නට යාම නොවෙයි. ශාරීරික හිංසනයෙන් තොරව, දයාව, කරුණාව, වෘත්තිකභාවය සහ නීතියේ ආධිපත්‍යය භාවිතා කරමින් පාසල් හා පන්ති කාමර කළමනාකරණය කරගන්නට කරන අරගලය තුළ තමයි ගුරු පෞරුෂය මෙතැනින් ඉදිරියට සංවර්ධනය වන්නේ.
පාසල්වල තිබෙන හිංසාකාරී පසුබිම ම තමයි ඉන්පසු විශ්වවිද්‍යාලවලදී හා සමාජයේදී පරාවර්තනය වන්නේ. පාසල්වල දරුවන්ට නවක වධය හෝ බුලි කිරීම හෝ ආරම්භ කරන්නේ වෙන කවුරුවත් නොවෙයි, ගුරුවරුනුයි. සිසුන් ඇත්තෙන් ම කරන්නේ එය දිගට ගෙන යාමයි. දාමරික සිසුන් බිහි කර, ඉන් අනතුරුව, ඒ සිසුන් කළමනාකරණය කරගන්නට හා ශික්ෂණය කරන්නට ශාරීරික හිංසනය අවශ්‍යයි කියා තර්ක කිරීම සමාන වන්නේ බත් පිඟානේ පල්ලෙන් බේරෙන්නට හොදි බෙදාගෙන, ඉන් පසු හොදි වැඩි නිසා බත් බෙදාගෙන, බත් කන්නට නැවත හොදි බෙදාගන්නවා වගේ දෙයකටයි. ඒ නිසා දැන් නවතින්න. ගුරු සොයුරු, සොයුරියනි, අධ්‍යාපනයට ආපසු ආදරය, දයාව, කරුණාව රැගෙන එන අරගලය මෙතනින් අරඹන්න. ■

■ අජිත් පැරකුම් ජයසිංහ