“අවුරුදු පනස් අටක ඉඳන් මගේ ගාව..”
ගිනිගහන මද්දහනේ, කෑගහන සතිපොළක් මැද්දේ, කෑගහන මිනිස්සු අතරේ, සන්සුන්ව, හිනාවීගෙන කතාකරන අසෝකරත්න මහත්මයාගේ කටහඬ මතක් කරද්දී මට මුලින් මතක් වෙන්නේ ඒ වචන ටික.
සති අන්තයේ අඩුමකුඩුම ටිකක් ගන්න කම්මැලිකමින් මිරිකී මිරිකී පානදුර පොළ ඇතුළට ගිහින් වාහනෙන් බහිනකොටම දැක්කේ මේ 4 ශ්‍රී පුංචි මී මැස්සා හෙවත් වෙස්පාව. බයික්වලට මහා ආසාවක් නැතත් ක්ලැසික් බයික්වලට ටිකක් ආසා, ඊට වඩා ටිකක් වැඩිපුර ක්ලැසික් ස්කූටර්වලට ආසා කෙනෙක් විදිහට ඉඳහිට පාරේ දකින චෙටක් එකක් අතගාන මට, වෙස්පා එකක් දැක්කාම එන්නේ අර්ජුන කමලනාත්ලා අස්සෙන් විජය කුමාරතුංග මතුවුණා වගේ ෆීලින් එකක්.

වෙස්පා කියන්නේ ඉතාලියානු ස්කූටර් වෙළෙඳ නාමයක්. ඉතාලියානු පියාජියෝ සමාගම් ජාලයේ නිෂ්පාදනය කළ සාඩම්බර වාහන වෙළෙඳ නාම අතරින් එකක්. වෙස්පා යන ඉතාලි වචනයේ සිංහල තේරුම මීමැස්සා. තවත් ස්කූටරයක් නොවෙයි, ජීවන මාර්ගයක් යන්න වෙස්පා වෙළෙඳ නාමයේ ආදර්ශ පාඨය වුණා. චෙටක් කියන්නේ ඉන්දියාවේ බජාජ් සමාගමෙන් නිෂ්පාදනය කරන ස්කූටර් එකක්.
මෙහෙම ලියන්නේ චෙටක්වලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි වෙස්පා දෙනවා කිව්වොත් ඔය චෙටක් මල්ලිලා දුවන්නේ මාළු මහත්තයා මාලෝ කියන පරක්කුවට, පූසෝ සේරම ඤාවෝ කියනවා වගේ ඉක්මනට.
නැවත සතිපොළේ සිදුවීමට එනවා නම්, වාහනෙන් බහිනකොට දැක්ක 4 ශ්‍රී වෙස්පා එකට මම වශී වුණා. මම වහාම ගිය වැඬේ පැත්තක දාලා සීනි ඇටේ වටේ කැරකෙන ඇඹල පුතා වගේ වෙස්පා එක වටේ කැරකෙන්න පටන් ගත්තා.
ඒක දැක්ක එතන හිටපු අම්මෙකුයි දුවෙකුයි. එයාලා මං දිහා බැලු‍වේ ‘පිස්සෙක් ඇවිත්, අපි යමුද‘ වගේ භීති පූර්වක, අපහාස ලාලිත, ජංජාල සජ්ජිත චෛතසිකයකින්.
ටික වෙලාවකින් වියපත් මහත්මයෙක්, හෙල්මට් එකකුත් දාගෙන, සන්සුන් ගමනින්, කෙහෙල් කඬේක ඇම්බුං යායක් අතරින් එළියට ආවා. මට තේරුණා මේ තමයි වෙස්පා ළඳගේ අතගත් හිමි සඳ කියලා.
මම සමාජශීලී කෙනෙක් නෙවෙයි. ඒ නිසා එක තත්පරයක් මම කල්පනා කළා මෙතුමාට මී මැස්සා පිටේ නැගලා පියාඹන්න ඇරලා ආශාව දෙපරන්දේ ගහගෙන ගෙදර එනවද, නැත්නම් ඒ වයසක මනුස්සයව ගිනි අවුවේ හිටවලා ප්‍රශ්න අහනවද කියන එක.
අන්තිමට මම තෝරාගත්තේ පව්කාර තෝරාගැනීම.
සදාචාරය තකා ‘එක්ස්කියුස්’ මී කියන්නත් කලින්, සංස්කෘතිය තකා නම ගම අහන්නත් කලින්, මනුස්සකම තකා ඔබතුමාට ඩිංගක් කතා කරන්න වෙලාවක් තියනවද අහන්නත් කලින්, ආගම තකා මේ මනුස්සයා අවුවේ මඩවන එක පව් නේද කියලා හිතන්නත් කලින්, කාර්, බයික් පිස්සුව තකා මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
“‍මේක ඔබතුමාගෙද?”‍
මෙන්න මේ ප්‍රශ්නේ අහපු ගමන්, වාහන අයිතිකාරයාගේ මූණේ ඉරියවු වෙනස් වෙන දිශාව, වේගය, උස, දිග සහ පළල වගේ මානයන්ට අනුව, ඊළඟට තියෙන්නේ මතක සමුදායක්ද ගුටි පූජාවක්ද කියන එක සාමාන්‍යයෙන් කාර්/වෑන්/ලොරි/බයික් පිස්සන්ට තේරුම් ගන්න පුළුවන්.
වෙස්පා හිමිකරුගේ මුහුණේ තුංගා පියකරු හිනාවක් ඇඳුණා. ඒක ආඩම්බරය, සතුට, සැහැල්ලු‍ව, හිතවත්කම සහ අත්දැකීම් බහුලත්වය වගේ බොහෝ දේවල් කැටිකරගත්තු හිනාවක්.
“‍ඔව් මගේ තමයි.”‍
ඊළඟ ප්‍රශ්නය පරණ වාහනයක් සහ වියපත් අයිතිකරුවෙක් දැක්කම නිතැතින්ම ඇහෙන ප්‍රශ්නයක්.
“‍කොච්චර කාලයක්ද ඔබතුමා ගාව?”‍ එතුමාගේ අර පියකරු හිනාව දෙගුණ වුණා.
“‍අවුරුදු පනස් අටක් විතර.”‍
මම පුටින් බලන්න ඉන්නකොට රස්පුටින් දැක්කා වගේ හොල්මන් වුණා.
“ඒ කියන්නේ ෆස්ට් ඕනර් ඔබතුමා??”‍
“‍ඔව්. මම මේක ගත්තේ යුනිවර්සිටි යන්න. කාර් මාර්ට් එකෙන් ගත්තේ”‍
එතන ඉඳන් මම ප්‍රශ්න ඇහුවේ හරියට රංජන් මඩුගල්ලේ දැකපු රාජකීයයෙක් වගේ ගෞරව ඉරියව්වකින්. (ඉස්සර ප්‍රින්සිපල් එනවා කිව්වත් කචකචේ නවත්තනේ නැති රාජකීය ශිෂ්‍යයෝ, ඉස්කෝලෙට රංජන් මඩුගල්ලේ එනවා කෑ ගහන්නේ නැතුව ඉඳපල්ලා කිව්වම ජයමංගල ගාථා කියන්න බලාගෙන ඉන්න ගෑනු ළමයි වගේ සන්සුන් වෙනවා.). දකින මිනිස්සු හිතන්න ඇති මගේ පරණ ගුරුවරයෙක් හම්බ වෙලා කියලා.
එතන ඉඳන් ඉදිරියට එතුමා විස්තර කළා එතුමා ඔය පුංචි මීමැස්සාට එච්චර ආදරේ ඇයි කියන එක. බැලින්නම් එතුමා ඉස්සර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති විදිහටත් කටයුතු කරලා තියනවා. තමන්ගේ බොහොම දීර්ඝ වෘත්තීය ජීවිතය ඇතුළේ, දවසක් දෙකක් හැර, වෙන කිසිම දවසක එතුමාට බස් එකේ ඉස්කෝලේ යන්න වෙලා නැහැ.
මේ මීමැසි රැජිණ නඩත්තු කිරීම, අද පවා හරිම පහසුයිලු‍. ඉඳහිට කොළඹ යන වෙලාවක, අවශ්‍යම නම් විතරක්, පංචිකාවත්ත පැත්තේ අර සුප්‍රකට අමතර කොටස් කඩවලින් එතුමා අත්‍යවශ්‍ය අමතර කොටසක් දෙකක් අරගෙන තියාගන්නවාලු‍. ඒ ඇරෙන්න කවදාවත් වැඩ අතපසු කරගෙන බඩු හොයන්න තරමට ලෙඩ දීපු නැති වාහනයක් කියලා තමයි එතුමා කිව්වේ.
මේ සියල්ල නිසා, රාජකාරි හෝ වෙනත් කටයුතුවලදී ගමනගමනය ගැන වද නොදී, කරන්න අවශ්‍ය දේ ගැන අවධානය දෙන්න එතුමාට මේ වාහනේ ජීවිත කාලෙ පුරාම උපකාරි වුණාලු‍.
“‍මේක ඔය පොඩියට තිබුණට හරි සුවපහසුයි.”‍ එතුමා වාහනේ අගය කිරීම අවසන් කළේ එහෙම.
“මම ෆොටෝ එකක් ගත්තාට කමක් නැහැ නේද?”‍ මම ඇහුවේ වෙස්පා එකේ වී අකුර වගේ ඇදවෙන ගමන්. එතුමාට කලින්ටත් වඩා ලොකු හිනාවක් ගියා.
“ගන්න ගන්න.”‍
එහෙම කියලා කැමරා කාචයට අහුවෙන සීමාවෙන් එහාට ගියා.
‘සමාවෙන්ඩ!’ මම බොහොම ගෞරවයෙන් ස්තූති කරලා, සමුඅරන් යන්න කලින් එතුමාගේ නම ඇහුවා.
“මම අසෝකරත්න…”‍
මට මුලින් අවශ්‍ය වුණේ මේ ෆොටෝ ටික ෆෙස්බුක් එකට දාන්න විතරයි. නමුත් දිගින් දිගට එතුමා සහ එතුමාගේ වෙස්පාව ගැන කල්පනා කරනකොට, මට හිතුණා මේක දීර්ඝව ලියන්න ඕනෑ කියලා. ෆේස්බුක් එක කොච්චර ජනප්‍රිය වුණත්, හදවතේ ගැඹුරට කිඳාබහින හිනා කඳුළු අකුරු කරලා අලවන්න තරමට ෆෙස්බුක් එක සංවේදී නැහැ කියලයි මට හිතෙන්නේ.
අපි පළමු අයිතිකරුගේ හෙවත් ‘ෆස්ට් ඕනර්ගේ’ වාහනවලට මේ තරම් කැමති ඇයිද කියන එක දීර්ඝ සාකච්ඡාවකට යන්න පුළුවන් මාතෘකාවක්. අවාසනාවකට ලංකාවේ වාහන විකුණන අය ‘ෆස්ට් ඕනර්’ වාහන කියන්නේ අසූව දශකයෙන් පස්සේ අයිතිය පවරා ගන්නේ නැතුව සීයක් විතර අතින් අතට හුවමාරු කළ වාහනවලට. ඒ නිසා ඇත්තටම පළවෙනි අයිතිකරුවෙක් ජීවිත කාලයක් ආදරයෙන් බලාගත්තු ෆස්ට් ඕනර් වාහනයක් හම්බවෙන්නේ හරිම කලාතුරකින්. නමුත් මේ සටහනෙන් ඒ මාතෘකාව ගැන කතාකළොත්, අසෝකරත්න මහත්මයාගේ ප්‍රේම කතාවට වඩා ඒ සංවාදයට අවධානය යයි කියලා මට බයක් දැනුණා.
මට කතාකරන්න අවශ්‍ය මිනිස්සු සහ වාහන අතර තියන බැඳීම් ගැන විතරයි. ඒක අපේ කාලයේ මනුස්සකම්වල අපූරු පැතිකඩක්.
මිනිහෙක් දශක හයක් තිස්සේ තාක්ෂණය පියාඹද්දී, සංස්කෘතිය පුපුරා යද්දී, ජීවන රටාවල් සංකීර්ණ වෙද්දී, තමන්ගේ පෞද්ගලික ජීවිත ඔළුවෙන් හිටවෙද්දී පවා එක දෙයක් ළඟ තියාගෙන ආදරයෙන් රකිනවා නම් ඒක අපූරුයි. ඒ භාණ්ඩය මුල්ලක නොදා තාමත් එදා වගේම හරියට පාවිච්චි කරනවා නම්, එතන තියෙන්නේ නිකම්ම භාණ්ඩ හිමිකාරීත්වයක් නෙමෙයි. ඒක බැඳීමක්. මිනිස්සු සහ මනුස්ස නිර්මාණ අතර ඇතිවන අපූරු බැඳීමක්.
අසෝකරත්න මහත්මයට පහුග ිය දශකයකදී අවශ්‍ය නම් ඕක විකුණලා තැපැල් නයින්ටියක් වගේ අලු‍ත් බයික් එකක් ගන්න තිබුණා. නැත්නම් එතුමාගෙ වෘත්තියට ගැළපෙනවායැයි සැලකෙන ටොයෝටා කොරොල්ලා වගෙ කාර් එකක් එකක් ගන්න තිබුණා. රැල්ලට ගිහින් ඩෙලිකා වෑන් එකක් ගන්න තිබුණා.
ඒත් එතුමා ජීවිතේ හැත්තෑ වෙනි සැතපුම් කණුව පහුකරලා ඉන්නකොට පවා, දේශගුණ විපර්යාස මැද්දේ ක්‍රමයෙන් පෝරණුවක් බවට හැරෙමින් තියන පානදුර පොළේ, කොහෙන් ආපු මොකෙක්ද කියලා දන්නේ නැති මනුස්සයෙක් (හෙවත් මම) එක්ක, තමන් අවුරුදු පනස් අටකට කලින් ගත්තු වෙස්පා එක ගැන තමන්ගේ හිතේ තියන ආදරය වචනවලට හැරෙව්වා. ඒ වෙස්පා ප්‍රේමවන්තියට ඔහු ඒ තරම් ආදරය කරන නිසා. වියපත් යුවලකගේ සුන්දර විවාහයක් මෙන්ම මේ පනස් අට වසරක ප්‍රේම කතාවත් හරිම සුන්දරයි.■

■ තරිඳු ශ්‍රී ලොකුගමගේ