කෙටි කතාව යන්න නූතන ලෝකයෙහි විවිධ අත්හදා බැලීම් ඔස්සේ වර්ධනය වන සාහිත්‍ය ශානරයක්ය යන්න අපට එතරම් ආගන්තුක අදහසක් නොවේ. එය බොහෝ විට නව කතාව අබිබවා බටහිර ලෝකය තුළ පමණක් නොව අපි‍්‍රකානු කලාපය තුළ ද ශීඝ‍්‍ර‍්‍රයෙන් පාඨකයන් අතර ප‍්‍රචලිත වී ඇති කතා කලාවක්ය යන්නද අපට එතරම් පුදුම කාරණයක් නොවේ. ඉන්දියාවෙහි පවා කෙටිකතා යන්න බලවත් ලෙස අවධානයට ලක්වී ඇති සාහිත්‍ය ප‍්‍රවර්ගයකි. එහෙත් ලංකාවේ තත්ත්වය තවමත් එසේ නොවේ. සාපේක්‍ෂ වශයෙන් නව කතාව හා කවිය සමග සැසඳීමේදි අපගේ කෙටිකතාව වෙත ඇත්තේ අඩු අවධානයකි. බොහෝ විට කෙටිකතාකරුවන්, නවකතාකරුවන් බවට පත්වූ පසු ඔවුන් කෙටි කතාකරුවන් බවද පාඨකයා දැන ගනී. එහෙත් ඉතා සාර්ථක කෙටි කතාකරුවෝ රාශියක් අප ඇසුරෙහි නිර්මාණකරණයෙහි යෙදෙති. ඔවුහු විවිධ වූ මංපෙත් ඔස්සේ තම නිර්මාණය බිහිකිරීමට උනන්දුවෙති. ජගත් කෙටි කතාවෙහි සාර්ථකම ශිල්පීය ලක්‍ෂණ තම කෙටි කතාවලට රැගෙන එති. සිදුවී ඇත්තේ එම ප‍්‍රබන්ධයන්ට නිසි ඇගයුමක් තවමත් නොලැබීමයි. අප තවමත් රඳා සිටිනුයේ සාම්ප‍්‍රදායික කෙටි කතාව තුළමය. එය සෑම ක්‍ෂේත‍්‍රයකටම එක සේ පොදු තත්ත්වයක් වුවද කෙටි කතාව තුළ අන් සාහිත්‍ය ශානරයනට වඩා සාම්ප‍්‍රදායික බවක් දිස්වේ. නූතන කෙටි කතාකරුවන්ගේ බොහෝ සාර්ථක නිර්මාණ මේ හේතුවෙන්ම පාඨක අවධානයට ලක් නොවේ. එම රික්තකය කවුරුන් හෝ පිරවිය යුතුය. මාහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘කෙටි කතා කලාව’ කෘතිය පුරවනුයේ එම හිස්තැනයි. එම කෘතිය වූ කලි මෑත යුගයේ ලාංකික කෙටි කතාව අරබයා ලියැවුණු වැදගත් කෘතියක් වන අතරම ජගත් කෙටි කතාවෙහි වර්තමාන ස්වරූපය විනිවිද යන ශාස්තී‍්‍රය ව්‍යායාමයකි. අනෙක් පැත්තෙන් උක්ත කෘතිය කෙටි කතාව සම්බන්ධයෙන් අප තුළ පැන නැඟුණු විවිධ සැකසංකාවලට ද කදිම පිළිතුරකි.

තාත්වික යථාර්ථවාදී රීතියට පමණක් අවධානය යොමු කරන අපගේ කෙටි කතා විශ්ලේෂකයන් අතින් සිදුවන ප‍්‍රධාන කාර්යය වනුයේ එම රීතිය ඉක්මවා යන අන් ශෛලියකින් රචනා වන නිර්මාණාත්මක ප‍්‍රබන්ධ ප‍්‍රහේලිකා සේ හඳුන්වා දෙමින් ඒවා පසෙකට විසිකර දැමීමය. ප‍්‍රහේලිකා තත්ත්වයන් බිහිවන කෙටි කතා අප අතර නැත්තේද නොවේ. එහෙත් එකී රාමුව තුළම අගය කළ හැකි කෙටිකතා ගබඩා කර තැබීමෙන් ඔවුන් සිදු කරනුයේ නිර්මාණකරුගේ පරිකල්පනයට මෙන්ම පාඨකයාගේ වින්දනයටද නිගරුවකි. එහෙත් මෙම තත්ත්වය සමතික‍්‍රමණය කරමින් කෙටි කතාවෙහි නව්‍ය ආඛ්‍යාන ස්වරූපය විනිවිද යාමටද ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයෙහි නිරතවීමටද වෙහෙසන කිහිප දෙනෙකුද අපට හමුවේ. එහෙත් ඔවුන් සතු ප‍්‍රධාන දුර්වලතාව වනුයේ න්‍යායික කරුණුවලින් සන්නද්ධ වීම විනා කෙටි කතාවෙහි හෝ අන් සාහිත්‍ය ශානරයන්හි වින්දනාත්මක පක්‍ෂය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීමය. ‘‘කෙටි කතා කලාව’’ ඔවුනට අවශ්‍ය න්‍යායික පසුබිම මෙන්ම කෙටි කතාවෙහි ඇති වින්දනාත්මක අඩවියද පැහැදිලි ලෙස චිත‍්‍රණය කරයි. එහෙයින් එම කෘතිය සාමාන්‍ය පාඨකයෙකු තුළ වුවද ඇති කරනුයේ නැවුම් වින්දනයකි. එමෙන්ම සොයාගෙන ගොස් කෙටි කතා කියවීමට පාඨකයා පෙළඹවීමකි.

උක්ත කෘතිය න්‍යායික හා තුලනාත්මක අධ්‍යයනයක් මත බිහිවන්නක් නිසා එහි අප මෙතෙක් ස්පර්ශ නොකරන ලද එමෙන්ම ප‍්‍රශ්න නොකරන ලද කරුණු කාරනා රාශියක් අන්තර්ගත වේ. එහෙයින් ඒ ඔස්සේ පාඨක වීමංසනය පුළුල් වේ. සැබෑ කතිකාවකට අවශ්‍ය වේදිකාව නිර්මාණය වේ. නූතන පාඨකයා යනු කිසිවිට ස්ථිතික වූ පුද්ගල ප‍්‍රපංචයක් නොවේ. ඔවුහු ජංගමය. එහෙයින් ඔවුහු බොහෝ දේ සොයා යති. බොහෝ දේ පිරික්සා බලති. නූතන නිර්මාණකරුවෝද එසේමය. එහෙත් ඔවුන්ට අවැසි දැනුම් සිංහල බසින් නිර්මාණය නොවේ. සාහිත්‍ය සම්බන්ධයෙන් බිහිවන පත පොත අතිවිශාල වුවත් ඒ අතර නව දැනුම් සම්භාරයෙන් කැටි කොටගත් කෘති බිහිනොවන තරම්ය. දැනුම නිෂ්පාදනය කරනු ලබන නිල ශාස්ත‍්‍රඥයන් අතින් සිදුවන්නේද එකම කරුණු නැවත නැවත පුනරුච්චාරණයක් වීම පමණි. සාමාන්‍ය පාඨකයා බොහෝ විට ඔවුන් පසුකරගෙන යයි. නූතන විද්‍යාර්ථිහුද කිසියම් රාමුවක කොටුවෙති. කෙටි කතා කලාව වැනි න්‍යායික හා තුලනාත්මක කෘති බිහිවීම එවැනි විද්‍යාර්ථින්ට උත්තේජනයක් ලබාදීමකි. එමෙන්ම නිර්මාණකරුවන්ට පුළුල් ලෝක දැක්මක් එළිපෙහෙළි කර දීමකි.

මහාචාර්ය අමරකීර්තිගේ ‘‘කෙටි කතා කලාව’’ මූලික වශයෙන් ප‍්‍රධාන මාතෘකා අටක් යටතේ ලියැවී ඇති කෘතියකි. එය සිංහල කෙටි කතා අධ්‍යයනය සහ කෙටි කතාවෙහි විචිත‍්‍රත්වයෙන් ආරම්භ වී කෙටි කතාව රූපකමය අවකාශයක් ලෙස යන මාතෘකාවෙන් අවසන් වේ. ඒ තුළ ඔහු කෙටි කතාවෙහි සෑම අංශයක් මෙන්ම ඒ හා සම්බන්ධව පවතින ඵෙතිහාසික තොරතුරු මෙන්ම නූතනවාදී අදහස්ද ඉතා සංවිධානාත්මකව පෙළගස්වයි. කෙටිකතාව සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් සිංහල බසින් ලියවී ඇති වැදගත් යයි සැලකිය හැකි සෑම කෘතියක්ම පාහේ පරීක්‍ෂාවට ලක්කරනු ලබන ඔහු එම අදහස්වල සාධනීය ලක්ෂණ මෙන්ම පැහැදිලිව දැකිය හැකි දුර්වලතාද කරුණු සහිතව පෙන්වා දෙනුයේ තුලනාත්මක ලෙස ඒ සෑම කෘතියකම හා පෙරවදනකම දැකිය හැකි ප‍්‍රබලතා වෙත වැඩි අවධානයක් යොමු කරමිනි. කෙටි කතාව සම්බන්ධයෙන් ජී.බී.සේනානායකගේ ප‍්‍රගතිශීලි එළඹුම කතුවරයාගේ වැඩි අවධානයට යොමු වන අතර ඒ ඔස්සේ ඔහු කරන න්‍යායික විවරණය මීට පෙර සේනානායකගේ විචාර කෘති ඇසුරින් කිසිවෙකු හෝ ප‍්‍රකාශ කර නැති බව හැඟී යයි. අප බොහෝ විට සේනානායකගේ කෙටිකතා අධ්‍යයනය කරනවා විනා කෙටි කතාව සම්බන්ධයෙන් ඔහු පළ කළ නව්‍ය එළඹුම පිළිබඳ අවධානය යොමු කරන්නේ නැත. අප තාමත් පුනරුච්චාරණය කරනුයේ මාර්ටින් වික‍්‍රමසිංහ ඇතුළු කිහිප දෙනෙකුගේ අදහස් මාලාව පමණි. එවැනි මොහොතක ජී.බී. සේනානායකයන්ට ඉතිහාසය තුළ ලැබිය යුතු ස්ථානය නියම ලෙස සටහන් කිරීමට කතුවරයා දක්වා ඇති උත්සාහය අප කාගේත් අවධානයට ලක් විය යුතුය.

කෙටි කතාව සම්බන්ධව කෙරෙන ඕනෑම සාකච්ඡාවක පොදු ලක්‍ෂණය වනුයේ ඒකීය ධාරණා සංකල්පයයි. ඒ සම්බන්ධව බොහෝ කලක සිට අප තුළ ද විවිධ සැකසංකා මතු වී තිබුණි. කෙටි කතාවෙහි බහුවිධ ස්වරූපය අප නිරතුරුවම අත්විඳින ලද තත්ත්වයක් වුවත් ප‍්‍රාමාණිිකයන් එම ඒකීය ධාරණා සංකල්පය නිරතුරුවම හුවා දැක්වීම කරණ කොට ගෙන බහුශාබ්දිකබව මෙන්ම, බහුවිධ කියවීම අප තුළ පමණක් හුදකලාව රඳවා ගන්නා ලදි. කෙටි කතා කලාව කෘතිය අපට පෙන්වා දෙනු ලබන්නේ සැබවින්ම අප හුදකලා වී නැති බවයි. ඒකීය ධාරණා සංකල්පය අප නිසි ලෙස වටහා ගෙන නොමැති බව කතුරවයා පෙන්වා දේ. එමෙන්ම එම සංකල්පය කෙටි කතාව ආරම්භක යුගයේදීම විවාදයට ලක්වී ඇති බවද කතුවරයා නිදර්ශන සහිතව පෙන්වා දේ. එහෙයින් කතුවරයාගේ විරෝධය එල්ලවනුයේ එම සංකල්පයට වඩා එය අප අතර ඉතා දැඩි ලෙස නැවත නැවතත් පුනරුච්චාරණය වීම කෙරෙහිය. සියලූම කෙටි කතා ඒකීය ධාරණා සංකල්පය මත හා තාත්වික යථාර්ථවාදය මත පමණක් නිර්මාණය විය යුතුය යන අදහස කෙරෙහිය.

අමරකීර්ති කෘතිය පුරාම ප‍්‍රශ්න කරනුයේ එම අදහස් මාලාවයි. එහෙයින් එම කෘතිය කෙටිකතාව නැමති සියුම් ආඛ්‍යාන රටාවට ගැඹුරු අරුතක් ලබා දේ. එහෙයින්ම එය පාඨකයාට නව දැනුම් සම්භාරයක් ළඟා කරවයි. කෘතියෙහි හැම පරිච්ෙඡ්දයක් හරහාම විහිදෙනුයේ එම දැනුම් සම්භාරයයි.

තාත්වික යථාර්ථවාදය ඉක්මවා යමින් විවිධ වූ ආකෘති හා තේමාවන් යටතේ කෙටි කතාකරණයෙහි නියළුණු පරම්පරාවෙහි මෙන්ම නූතන පරම්පරාවෙහි කෙටි කතාකරුවන්ගේ නිර්මාණ නිදසුන් සේ ගනිමින් කෙටි කතාවෙහි අන්තර්ගතය හා බැඳුණු කලාත්මක ඒකාබද්ධතාවෙහි ඇති පරිපූර්ණත්වය පිළිබඳ විවරණයක යෙදීමට මෙන්ම එම කෙටි කතා නැවත නැවත කියවීමකට ලක්කිරීම සම්බන්ධයෙන් කවුළුවක් විවර කරදීමට කතුවරයා සිය කෘතිය පුරාම උත්සාහ දරයි. එය ලාංකික කෙටි කතාව අධ්‍යයනය කරන්නන්ට මහඟු අත්වැලකි. ඒ හැම අවස්ථාවක දීම මෙන්ම සෑම පරිච්ෙඡ්දයකදීම සිංහල කෙටි කතාවෙහි ස්වරූපය ලෝක කෙටි කතාවෙහි ස්වරූපය සමග සංසන්දනය වීම මෙහි ඇති තුලනාත්මක අධ්‍යයනයෙහි ඇති බහුධාරකතාවකි. එමෙන්ම කතුවරයා පැහැදිලිව පවසනුයේ ජගත් කෙටි කතාවට ළංවිය හැකි සාර්ථක කෙටි කතා වර්තමානයේ අප අතින් බිහිවන බවයි. එහෙත් ඒ පිළිබඳ අධ්‍යයනයක් තවමත් අප අතර නොමැති බවයි.

නිර්මාණකරණය සම්බන්ධයෙන් අපට ඇත්තේ දැනුමෙහි අඩුවක් නොව, එය ක‍්‍රමානුකූලව ගොඩ නගා නොමැති තත්ත්වයකි. කෙටි කතාව සම්බන්ධයෙන් අපගේ දැනුම් කලාපය දස අත විසිරී ඇති මොහොතක එය ක‍්‍රමානුකූල ලෙස පෙළගස්වා ගැනීමට මහාචාර්ය අමරකීර්ති දරා ඇති උත්සාහය ප‍්‍රබන්ධකරණයෙහි නියැලෙන කාට වුවද අතිශය ප‍්‍රයෝජනවත්ය. උක්ත කෘතිය මූලික වශයෙන් කෙටි කතා කලාව සම්බන්ධයෙන් පමණක් බිහිවී ඇති කෘතියක් පමණක් වුව එහි ඇති කරුණු, අදහස් හා මතවාද අනිකුත් සාහිත්‍ය ශානරයන් සඳහාද එක සේ අදාළ කරගත හැක. එහෙයින් එම කෘතිය කේන්ද්‍රයෙහි සිට පරිධිය දක්වා දිවයයි. අප ඇසුරු කරන බොහෝ කෘති එක්කෝ එකම කේන්ද්‍රයක් වටා රොක්වේ. නැත්නම් පරිධියෙහි ගමන් කරයි. මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘‘කෙටි කතාකලාව’’ කෘතිය කේන්ද්‍රයෙහි සිට පරිධිය දක්වා දිවයයි. කේන්ද්‍රගත මූලික අදහස ගැඹුරු අධ්‍යයනයක් මත පිහිටුවයි. සෑම පරිච්ෙඡ්දයකින්ම විහිදෙන්නේ එම අධ්‍යයනයෙහි සාර්ථකත්වයයි. එහෙයින් එම කෘතිය මෑත කාලයේ අප අතට පත්වී ඇති වටිනාම කෘතියක් බවට පත්වනුයේ නිරායාසයෙනි.

සුලෝචන වික‍්‍රමසිංහ