■ තිසරණි ගුණසේකර

මා වැනි බිලින්දා-වර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා-අසන නිරිඳෝ වෙන කොයින්දා
ජනප්‍රවාදයට අනුව මෙම කවිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ළමා කල කියූවකි. එය කියා ඇත්තේ කෝට්ටේ 6වන පරාක්‍රමබාහු රජුටය.
වැසියන්ගේ දුක සැප සොයන රජවරු ඉතිහාසයේ විරලය. ජනතාව අතරටම ගොස් ඔවුන්ගේ දුක සැප සොයන විරල රජෙකු අපට සිටිනවාය යන මතය ජනගත කිරීම, ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයාගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන බිහිකළවුන්ගේ අරමුණ වූවා විය හැක. නමුත් යථාර්ථයේදී සිදුවනුයේ එහි විලෝමයයි. ජනපතිවරයා තමන්ගේ දුක්ගැනවිලි ගමට කියන වේදිකාවක් බවට මේ වන විට ‘ගම සමග පිළිසඳර’ පත්ව ඇත.
මාතර, පිටබැද්දර, දෙරණගල මහා විහාරයේ මාර්තු 27 වැනිදා පැවැති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනද මෙවැනිම ජනපති අඳෝනාව ජනතාවට කියූ අවස්ථාවක් විය. මේ දිනවල ජනපතිවරයාගේ වැඩි අවධානය යොමුවන මාතෘකා දෙකකට මෙහිදීද මුල් තැන ලැබිණි. එකක් නම්, පරිසරයයි. අනෙක ජිනීවා යෝජනාවයි.
2021 මාර්තු මස ඓතිහාසික මාසයකි. ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය වඩාත්ම පහළ බැස්සේ මේ මාසයේය. මුදල් අච්චු ගැසීම අතින්ද මේ මාසය ඉතිහාසගත වනු ඇත. මාධ්‍යවේදීන් හා විරුද්ධවාදීන් පැහැරගැනීම් සඳහා මහින්ද රාජපක්‍ෂ ජනපති යුගයේ භාවිත වූ සුදු වෑන් වෙනුවට කළු ජීප් කරළියට ආවේත් මාර්තු මසය. මේ සියලු අර්බුද මැද වුවද ජනපතිවරයාගේ අවධානය පළමුවෙන්ම යොමු වූයේ පරිසරයටය.
වන විනාශයේ ඛේදවාචකය දැක්වෙන දැවැන්ත චිත්‍රයක් මෙරට ළමා හා තරුණ සිත්තරුන් පිරිසක් විසින් නිර්මාණය කළේ මාර්තු 19දා යෙදුණු ලෝක පරිසර ක්‍රියාකාරී දිනය සැමරීමටය. කොළඹ නගර සභාවේත්, පොලිසියේත් අවසරය සහිතව මෙම දැවැන්ත චිත්‍රය විහාර මහා දේවි උද්‍යානයේ ප්‍රදර්ශනය කෙරිණි. පැය කිහිපයක් තුළ පරිසර පොලිසිය එතැනට පැමිණියේ දේශපාලන නායකත්වයේ අණින් චිත්‍රය ගැලවීමටය.
චිත්‍රය ගැලවීමට පැමිණි පරිසර පොලිස් අධිකාරිවරයා කළ ප්‍රකාශයද ඉතිහාසගත විය යුතුය. මන්ද එය වත්මන් යථාර්ථය විනිවිද දක්වන එක්ස්රේ කිරණයක් හා සම වන බැවිනි. ‘ඉස්සර මේ කොළඹ නගරය හැම තැනම කුණු තිබුණා. නමුත් වර්තමාන රජය ආවාට පස්සෙ මේ එක තැනකවත් කුණු නෑ. දූවිලිවත් නෑ. ඔක්කොම සුද්ද කරලා, මල් වවලා, ලස්සනට තියෙනවා. .. දැන් බලන්න පරිසරය ගැන මෙහෙම කතිකාවක් ඇවිල්ලා තියෙන්නේ මේ මේ අපේ රජය ආවාට පස්සේ..’ රාජපක්‍ෂ පාලනය ‘අපේ රජය’ ලෙස දකින එයට මෙලෙස ප්‍රසිද්ධියේම වන්දිභට්ටකම් කරන පොලිසියක් නීතියේ ආරක්‍ෂකයන් ලෙස නොව රාජපක්‍ෂවරුන්ගේ ආරක්‍ෂකයන් ලෙස කටයුතු කිරීම පුදුමයක්ද?
2020 නොවැම්බර් 11 දා පොලිස් උත්සවයකට සහභාගි වෙමින් චමල් රාජපක්‍ෂ ඇමතිවරයා පොලිසියට අවවාදයක් දුන්නේය. ‘අපි මේ වෙලාවේ ගහන්න එපයි කියන්නේ නෑ කාටවත්. ගහන ක්‍රමය ඉගෙන ගන්න එකයි තමුන්නාන්සේලාටෙ තියෙන්නේ.’ චමල් රාජපක්‍ෂ යනු පොලිසිය බාරව සිටි ඇමතිවරයා පමණක් නොව ජනපතිවරයාගේත් අගමැතිවරයාගේත් වැඩිමහල් සොහොයුරාය. ගෝඨාභය හා මහින්ද මල්ලිලාගෙන් ප්‍රසිද්ධියේ වැඳුම් ලබන රාජපක්‍ෂ පරපුරේ ලොකු අයියාය. ඔහු මෙවැනි කතා ප්‍රසිද්ධියේ කීම පොලිසිය තුළ සිටින අවනීතික හා ප්‍රචණ්ඩ නිලධාරින්ට වඳුරාට දැලි පිහිය දීමක් නොවන්නේද? රට කම්පනය කළ අසැබි හා උන්මත්තක පහරදීම හා රටේ ඉහළම තැන්වලින් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ලැබී ඇති නොනිල අනුමැතිය අතර සබඳතාවක් නොතිබේද? මහා පාරේ දෙනෝ දාහක් මැද ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියාකරනුයේ මෙලෙස නම් පොලිස් සිරමැදිරි තුළ ඔවුන් කුමක් නම් නොකරනු ඇත්ද?
නීතියට නොව ‘අපේ රජයට’ පක්‍ෂපාතී වන පොලිසියක් තුළ, දේශපාලකයන්ගේ උදහසට බඳුන් වන අවංක නිලධාරීන්ට උරුම වනුයේ දණ්ඩනයයි. ශානි අබේසේකර මාස 8ක් පුරා බන්ධනාගාරයේය. ඔහුට එරෙහිව බොරු සාක්‍ෂි ගෙතීමට එකඟ නොවූ උප පොලිස් පරීක්‍ෂක සුගත් මොහාන් මෙන්ඩිස් මහතාද සිටිනුයේ බන්ධනාගාරගතවය. ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මතයට හිස නොනැමූ එරික් පෙරේරා සහකාර පොලිස් අධිකාරිවරයාට හදිසි ස්ථාන මාරුවක් ලැබුණා පමණක් නොවේ. ඔහු යටතේ තිබූ විශේෂ පොලිස් මෙහෙයුම් ඒකකයද විසුරුවා හැරිණි. ඔක්සිජන් කුමකටදැයි ප්‍රශ්න කළ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට කියා තිබුණේ, එරික් පෙර්රා මහතා මාරු කළේ, ‘දේශපාලන අධිකාරිය විසින් ගන්නා තීරණයක් මත’ බවය. තමන්ගේ කට වචනය ‘සරකියුලර්’ ලෙස සලකා ක්‍රියාකරන්නැයි රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ අණ කරන ජනපතිවරයකු සිටින රටක කොන්ද පණ ඇති නීතිගරුක රාජ්‍ය සේවයක් ගැන කතා කිරීම පවා විහිළුවක් නොවන්නේද?
19වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ස්වාධීන පොලිස් කොමිසමක් හා ස්වාධීන මානව හිමිකම් කොමිසමක් තිබුණා නම් දේශපාලනඥයන්ගෙන් බැට කන රාජ්‍ය නිලධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට යම් හව්හරණක් ඉතිරිවනු ඇත. නමුත් 20වන සංශෝධනයෙන් පොලිසියද ඇතුළු සමස්ත රාජ්‍ය සේවයම නිල වශයෙන්ම දේශපාලකයන්ගේ අතකොළු බවට පත් කෙරිණි.
අවසානය එතැනින් නතරවන්නේ නැත. ප්‍රාදේශීය ලේකම්වරුන් තම අණ නොපිළිපදින නිසා වහා ඔවුන් මාරු කළ යුතු බවට පොහොට්ටුවේ පසු පෙළ මන්ත්‍රීන් පිරිසක් චමල් රාජපක්‍ෂ හා ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරුන්ට පැමිණිලි කර තිබේ. මේ ප්‍රශ්නයට විසඳුම නම් රජයේ ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා අනෙකුත් අණපනත් සංශෝධනය කිරීම බව පොදු ජන පෙරමුණේ තවත් මනක්ත්‍රීවරයෙක් කියාසිටී. මේ කියන්නේ ලොකු කුඩා දේශපාලකයන්ගේ නියෝග ‘සර්කියුලර්’ වන තත්වයක් නිල වශයෙන්ම නිර්මාණය කළ යුතු බව නොවේද?
මේ කිසිවෙක් අහඹු සිදුවීම් නොවේ. රජය, ආණ්ඩුව හා පාලක පවුල අතරැති බෙදුම් රේඛාවන් ඉවත් කිරීමේ රාජපක්‍ෂ දේශපාලන වයාපෘතිය යළිත් ක්‍රියාවට නැගීමේ ප්‍රතිඵලයි.

නව ශීතල යුද්ධයක
පළමු ගොදුර ලංකාවද?
රාජ්‍යය රාජපක්‍ෂකරණය කිරීමේ ක්‍රියාන්විතය මුලින්ම දියත් වූයේ මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ පාලන සමයේය. රාජපක්‍ෂවරුන්ගේ අරමුණ ලංකාවේ බලය තමන් අත කේන්ද්‍ර කොට ගෙන එය අයියාගෙන් මල්ලිටත්, බාප්පාගෙන් ඥාති පුතාටත් ගලා යන ක්‍රමයක් නිර්මාණය කිරීමයි.
රාජපක්‍ෂවරුන් සතුරන් හා මිතුරන් තෝරාගනුයේ මෙම පවුල් බල ව්‍යාපෘතියට දක්වන ප්‍රතිචාරය අනුවය. ඊට අනුගත වන ලාංකිකයෝ සියල්ල දේශප්‍රේමියෝය. ඊට එරෙහි වන්නෝ දේශද්‍රෝහියෝය. රාජපක්‍ෂ විදෙස් පිළිවෙත තීරණය වනුයේද මෙම දැක්ම මතය. රාජපක්‍ෂ බල ව්‍යාපෘතියට විරුද්ධ නොවන රටවල් ලංකාවේ මිතුරු රටවල්ය. අවම වශයෙන් හෝ ඊට විරුද්ධ වන රටවල් ලංකාවේ සතුරු රටවල්ය.
සදොස් ප්‍රජාතන්ත්‍රවාදී රටක් (flawed democracy) ලෙස පැවතුණු ලංකාව පවුල්-ඒකාධිකාරයක් දක්වා පරිවර්තනය කිරීමේදී එතෙක් තිබූ නිදහස අවුරා අයිතීන් මොට කිරීම අත්‍යවශ්‍ය විය. පවුලෙන් පිටස්තරවූ කිසිවකුත් සමග බලය බෙදාගැනීමට රාජපක්‍ෂවරුන් අකමැති වීමේ එක් ප්‍රතිඵලයක් වූයේ 13 වන සංශෝධනය පවා බෙලහීන කිරීමට විටින් විට දැරුණු උත්සාහයන්ය. ඉටහිර රටවල් හා ඉන්දියාව මෙම ක්‍රියාවන්ට එරෙහි වීම නිසා රාජපක්‍ෂ විදෙස් පිළිවෙත තමන්ට කොන්දේසි-විරහිතව සහාය දක්වන රටවල් කෙරෙහි නැඹුරුවන්නට විය. මේ අතරින් ප්‍රමුඛයා වූයේ කලාපීය බලවතකුගේ සිට ලෝක බලවතකු දක්වාවූ ගමනක යෙදී සිටින චීනයයි.
දීනය එහි අතිදීර්ඝ ඉතිහාසය පුරා ගොඩබිම් බලවතකු වූවා විනා සාමුද්‍රික බලවතෙක් නොවීය. මීට එකම ව්‍යතිරේකය නම් මිං රාජ්‍ය සමයේ (Ming Dynasty) නාවික බලවතකු වීමට දැරුණු කෙටි උත්සාහයයි. 1405-1433 කාලය තුළ අද්මිරාල් ෂෙං හි (Zeng Heයැ) යටතේ චීන නාවික බළඇණි ඉන්දීය සාගරය පුරා සැරිසරා ඉන් ඔබ්බටද ගොස් රතු මුහුද දක්වා ගමන් කළ බව වාර්තා වේ. නමුත් සාමුද්‍රික බලවතකු බවට චීනය පත්කිරීමේ මෙම උත්සාහය කෙටි කලකින් නතර විය. සාමුද්‍රික බලවතකු වීමේ චීන උත්සාහය මෙලෙස අතරමග නතර නොවූවා නම් ලෝක ඉතිහාසය බෙහෙවින් වෙනස් මගක් ගැනීමට ඉඩ තිබුණි.
චීනය සාමුද්‍රික බලවතකු බවට පත්කොට එහි බලපෑම ඉන්දියානු උප මහාද්වීපය හා අප්‍රිකාවවටත් ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කිරීම වත්මන් චීන ජනපතිවරයාගේ ප්‍රධාන අරමුණකි. ඒ සඳහා චීනය තෝරාගත්තේ ඇමරිකානු නව යටත්විජිත ආකෘතියයි. සුවිශේෂ වශයෙන් චීනයේ ආර්ථික උවමනාවන් හා ගැළපෙන දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය ණය පහසුකම් ආසියා-අප්‍රිකා- ලතින් ඇමරිකා රටවලට ලබාදී ඒ හරහා ඒ රටවල් තුළ දේශපාලන බලයක් ගොඩනගා ගැනීමයි. මෙම නව චීන ආකෘතිය මුලින්ම ක්‍රියාත්මක වූ රටක් වූයේ රාජපක්‍ෂ ලංකාවයි.
තම පවුල් බල ව්‍යාපෘතියට කොන්දේසි විරහිතව සහාය දක්වන, තම උන්මත්තකවාදී ආර්ථික ක්‍රියාවන්ට නොපැකිළව ණය දෙන, විදෙස් මිතුරෙකු රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය විය. ඉන්දියන් සාගරයේ හා විශේෂයෙන්ම ඉන්දියාව ආසන්නව තමන්ගේම වූ උපග්‍රහයෙකු චීනයට අවශ්‍ය විය. රාජපක්‍ෂ පවුලේ උවමනාවන් හා චීන පාලකයන්ගේ උවමනාවන් සමපාත වූයේ මෙලෙසය.
තමන්ගේ නිජබිම වූ හම්බන්තොට කොළඹ පරයන මහා නගරයක් බවට පත්කිරීම රාජපක්‍ෂ අභිලාෂය විය. හම්බන්තොට වරායක්, ගුවන් තොටුපළක්, දැවැන්ත සම්මන්ත්‍රණ ශාලාවක්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, තරු හයේ හතේ හෝටල් ජාලයක් ඉදිකිරීමට අවශ්‍ය මුදල් සඳහා රාජපක්‍ෂවරු ලෝකයට අත පෑවෝය. අවම ආර්ථික වැදගත්කමක් ඇති මෙම ව්‍යාපෘති සඳහා අවශ ණය දීමට ඉදිරිපත් වූයේ චීනය පමණි.
තම දේශපාලනය විවේචනය නොකරන, තම ආර්ථික ව්‍යාපෘතිවලට නොමසුරුව ණය ලබාදෙන චීනය කෙරෙහි රාජපක්‍ෂවරුන් ආකර්ෂණය වීම පුදුමයක්ද? උදාහරණයක් ලෙස මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ එක් සිහිනයක් වූයේ මහා බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමක් 2013දී තම නිජබිම වූ හම්බන්තොට පැවැත්වීමයි. අදටත් මැස්සන් ඇහිරෙන මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ඉදිකළේ මේ අරමුණෙනි. ඒ සිහිනය එලෙසින්ම සැබෑ නොවුණද, එය හා අනෙක් සිහිනයන් යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත හිත දෙන චීනයේ උපග්‍රහයකු බවට ලංකාව පත්කිරීම තම දේශපාලන බල ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමේ හොඳම මග ලෙස රාජපක්‍ෂවරුන් දකින්නට ඇත.
මෙම පවුල්වාදී විදෙස් පිළිවෙතේ ප්‍රතිඵලය වූයේ චීන-ඉන්දියා කලාපීය ගැටුමේ කේන්ද්‍රස්ථානයක් බවට 2014 අවසානය වන විට ලංකාව පත්ව තිබීමයි.
2015 සිට 2019 අවසානය දක්වා සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ ලංකාවේ විදෙස් පිළිවෙත චීන උපග්‍රාහක තත්වයෙන් බැහැරව වඩාත් නොබැඳි දිශාන්තයකට යොමුවිය. නමුත් ගෝඨාභය-මහිාන්ද පාලනය ආරම්භ වී රාජපක්‍ෂ පවුල් බල ව්‍යාපෘතිය පුනර්ජීවනය වීමත් සමගම යළිත් ලංකාව චිනයේ උප-ග්‍රාහක තත්වයට ලඝුවී තිබේ. මේ පරිවර්තනය සිදුව ඇත්තේ චීනය හා ඇමරිකාව අතර නව සීතල යුද්ධයක් ආරම්භ වීමේ තත්වයක් තුළය.
කලාපීය හෝ ගෝලීය බලවතුන්ගේ ගැටුම්වලට මැදිවන දුබල රටවලට සිදුවනුයේ අනුන්ගේ බල තණ්හාවට තම රටේ සම්පත්වලින් හා තම ජනතාවගේ ජීවිතවලින් වන්දි ගෙවීමටය. අද ලංකාව පත්වෙමින් සිටිනුයේ එවන් අභාග්‍යසම්පන්න තත්වයකටය. රාජපක්‍ෂවරුන්ගේ උන්මත්තක ආර්ථික පිළිවෙත් නිසා චීනයට අත නොපා රට ගෙනයාමට බැරි තත්වයක් උද්ගතව ඇත. එබැවින් පෙරටත් වඩා චීනයේ කලාපීය හා ගෝලීය බල උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමට ලංකාවට සිදුවනු ඇත. ඇමරිකා-චීන හිත නොහොඳකම ශීතල යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් ලංකාව එහි යුද්ධ භූමියක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාව චීනයේ ආධාරයෙන් පරාජය කිරීමට රාජපක්‍ෂවරුන් දැරූ අසාර්ථක උත්සාහය ඒ අනාගතය පිළිබඳව වූ අනතුරු හැඟවීමක්ද වේ.

ජිනීවා සිට සිංහරාජය දක්වා
සිංහරාජය තුළ වැව් දෙකක් හදනවායැයි කීවේ නැතැයි චමල් රාජපක්‍ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මාධ්‍ය තමන් කීදේ විකෘති කොට ඇතැයිද ඔහු කියා සිටියේය.
යූටියුබ් තුළින් චමල් ඇමතිවරයා කියූ දේ චමල් ඇමතිවරයාගේ කටහඬින්ම ඇසිය (හා දැකිය) හැක. ඒ මෙසේය.
‘මහින්ද මහත්තයා ඉන්න කාලයේ වාරිමාර්ග යෝජනා ක්‍රමයක් ආරම්භ කළා ගිං ගඟේ හා නිල්වලා ගඟේ වතුර ගිරුවාපත්තුවට ගේන්න.. ඒ වැඩේ කරන්න එදා අපි බාරදුන්නා චීන සමාගමකට. චීන සමාගම ඒ අවශ්‍ය සැලසුම් දැන් ඇඳලා තියෙනවා. නමුත් පහුගිය අවුරුදු පහේ මේ වැඩේ නැවතුණා. අපි ඒ සමාගමට යම්කිසි මුදලකුත් දීලා තිබුණා මේ වැඩේ කරන්න. දැන් අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. තව පොඩි අමාරුවක් තියෙනවා. මොකද අපි කුඩා වැව් දෙකක් උඩහා බඳින්න වෙනවා. වතුර එක්කහු කරලා ගේන්න එපැයි. ඒක බඳින්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. එක වැවක් අක්කර පහක් විතර. මේ වැව් දෙක් බඳිනකොට කැලේ යට වෙනවා. එතකොට සිංහරාජෙ කලාපය අධි ආරක්‍ෂිත කලාපයක්.. ඒ නිසා අපි ඒ අයත් එක්ක කතාකරනවා, අපිට මේ වැව හදාගන්න ඉඩ දෙන්න.’
ඇමතිවරයාගේ ප්‍රකාශය සවිස්තරය. පැහැදිලිය. හම්බන්තොටෙ ජල ප්‍රශ්නය විසඳීමට සිංහරාජය තුළ (හෝ අවම වශයෙන් එහි පරිවාර වනයක) වැව් දෙකක් චීන සමාගමක් ලවා ඉදිකිරිම රාජපක්‍ෂ අරමුණයි. මෙයට රට තුළින් පැන නැගුණු විරෝධය නිසා පාලකයෝ තම මතය වෙනස් කර ගත් බවක් පෙන්වති. මෙය ව්‍යාජයකි. ජනතා අවධානය වෙනතක යොමුකොට, විවිධ ක්‍රමවලින් දැනටත් දුර්වල විපක්‍ෂය තවත් බෙලහීන කොට මෙම යෝජනාව යළිත් කරළියට ගෙනඒමට රාජපක්‍ෂවරුන් කටයුතු කරනු ඇත. ඔවුන්ට එලෙස නොකර බැරිය. මන්ද හම්බන්තොට ඉදිකිරීමට නියමිත අක්කර 15,000ක විශේෂිත චීන කර්මාන්ත පුරයට කෙලෙස හෝ ජලය සැපයිය යුතු බැවිනි.
හම්බන්තොට වරාය සඳහා ණය දීමට කලාපීය හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් ඉන්දියාවත් ප්‍රතික්‍ෂෙප කළේ එය ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි ව්‍යාපෘතියක් නොවන නිසාය. චීනය වරාය ව්‍යාපෘතිය දෙස බැලුවේ ආර්ථිකමය දෘෂ්ටියකින් නොව දේශපාලනමය කෝණයකිනි. ඉන්දියාවට ආසන්න බිම් කඩක තම පිය සටහන තැබීමේ අවස්ථාවක් ලෙසය. හම්බන්තොට වරාය නමැති සුදු අලියා නඩත්තු කර ගත නොහැකිව එය චීනයට බදු දීම සඳහා සිරිසේන-වික්‍රමසිංහ පාලනය කතා කරන විට ඊට සමගාමීව කර්මාන්ත පුරයක් සඳහා තමන්ට ඉඩම් අක්කර දහස් ගණනක්ද අවශ්‍ය බව චීනය කියාසිටියේය. එවැනි කර්මාන්ත පුරයකින් තොරව හම්බන්තොට වරායෙන් ආර්ථික ප්‍රතිලාභයක් ලැබිය නොහැකි බව චීනයේ තර්කය විය. රාජපක්‍ෂ මෝඩකමෙන් චීනය පල නෙලාගත් හැටි මෙම කොන්දේසියෙන්ම හෙළි වේ.
නමුත් කර්මාන්ත පුරය ක්‍රියාත්මක කිරීමට මහා ජල සම්පතක් අවශ්‍යය. එබැවින් සිංහරාජයේ (හෝ එහි පරිවාර වනයක) වැව් ඉදිකිරීම කඩිනම් කරන්නැයි චීනයෙන් බලපෑම් එනු ඇත. එවැනි බලපෑම් ප්‍රතික්‍ෂෙප කිරීමේ දේශපාලන හෝ ආර්ථික හැකියාවක් රාජපක්‍ෂවරුන්ට නොමැත.
වත්මන් වන සංහාරය සිංහරාජයටත් ව්‍යාප්ත කිරීමට රාජපක්‍ෂවරුන්ට ඇති සැබෑ බාධාව යුනෙස්කෝ සංවිධානයයි. සිංහරාජයේ වැව් ඉදිකිරීමට යුනෙස්කෝ අනුමැතිය ලැබෙන්නේ නැත. එබැවින් වැව් ඉදිකළහොත් සිංහරාජයේ ලෝක උරුම සන්නාමය අහිමිවනු ඇත. සිංහරාජය වෙනුවෙන් යුනෙස්කෝවෙන් ලැබෙන අරමුදල් නතරවීමත් සංචාරක ව්‍යාපාරයට වන බලපෑමත් මෙහි අනිටු ප්‍රතිවිපාකයන්ය.
මෙරට එකම ප්‍රාථමික වැසි වනාන්තරය වූ ජුරාසික් යුගයේ බිහිවූ සිංහරාජය තවමත් රැකී ඇත්තේ ජාත්‍යන්තර බලපෑම නිසාය. නමුත් අපේ සිංහරාජය රැකීම යුනෙස්කෝවට පමණක් කළ හැකි කාරණයක් නොවේ. සිංහරාජය වෙනුවෙන් යුනෙස්කෝව දෙන අරමුදලට සමාන මුදලක් වාර්ෂිකව ප්‍රදානය කිරීමට චීනය එකඟවුවහොත් චීන සංචාරකයන් වැඩිපුර මෙරටට එවීමට පොරොන්දු වුවහොත් යුනෙස්කෝවේ ලෝක උරුමය අත්හැර චීන කර්මාන්ත පුරය වෙනුවෙන් සිංහරාජය බිලිදීමට රාජපක්‍ෂවරුන් එකඟ වනු නොඅනුමානය.
සුජීව ගමගේ මාධ්‍යවේදියා පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ විට ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අවසර දෙන්නැයි ටීඅයිඩීය ඉල්ලා සිටි බව The Leader වෙබ් අඩවිය වාර්තා කළේය. මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කිරීම තුළින් හෙළිවනුයේ අධිකරණ ස්වාධීනත්වය මුලිනුපුටා දැමීමේ රාජපක්‍ෂ උත්සාහය තවමත් සාර්ථක වී නොමැති බවයි. සුජීව ගමගේ මාධ්‍යවේදියා ත්‍රස්තවාදී සැකකරුවකු කිරීමේ තැත රාජපක්‍ෂ-විරෝධය මැඬලීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මහා පරිමාණයෙන් දකුණේද ක්‍රියාත්මක වීමේ අවදානම පිළිබඳ අනතුරු හැඟවීමකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ගෝඨාභය- මහින්ද පාලනය එක් කළ නවතම නීති මාලාව අනුව යමකු ‘ආගමික අන්තවාදියකු’ යැයි සැකකළ පමණින් ඔහු හෝ ඇය කිසිදු නඩු විභාගයකින් තොරව නීතිපතිවරයාගේ අනුමැතිය යටතේ හා මහේස්ත්‍රාත් නියෝගයක් මත පමණක් වසරක කාලයක කඳවුරක රඳවා තබාගැනීමට පොලිසියට ඉඩ ලැබෙනු ඇත. සුජීව ගමගේ මාධ්‍යවේදියා ත්‍රස්තවාදියකු බවට පත්කිරීමේ උත්සාහය සලකන විට මෙම ‘ආගමික අන්තවාදී’ නීති කවරාකාරයෙන් ක්‍රියාත්මක වේදැයි සිතාගැනීමට පහසුය. මහින්ද රාජපක්‍ෂ පාලනය ජේ. තිස්සනායගම් මාධ්‍යවේදියා සිරගත කළේ ඔහු ජාතීන් අතර අසමගිය ඇතිකළාය යන චෝදනාව මතය. නව අන්තවාදී ගැසට්ටුව මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් අක්‍රිය හා නිහඬ කිරීමට යොදාගන්නා බවට සැක කළ හැකිද?
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව නිසා මෙවැනි ක්‍රියාවලට ජාත්‍යන්තර විරෝධයක් වැඩිපුර මතුවනු ඇත. ඇතැම් බටහිර රටවල් තෝරාගත් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන්ට එරෙහිව යම් තහංචි පැනවීමටද ඉඩ තිබේ. එවන් තත්වයක් තුළ තව තවත් චීනය මත රඳා පැවතීමට රාජපක්‍ෂවරුන්ට සිදුවනු ඇත.
රාජපක්‍ෂ පවුලේ බල තණ්හාව නිසා ලංකාව විෂම චක්‍රයකට හසුවී හමාරය. රාජපක්‍ෂවරුන් බලය අත්හරින්නේ නැත. නමුත් චීනයේ සහායෙන් තොරව ඔවුන්ට බලය පවත්වා ගත නොහැක. ඒ සහායේ වන්දිය, ලංකාව කිසිදු ස්වෛරීත්වයක් හෝ ස්වාධිපත්‍යයක් නැති චීන උපග්‍රහයකුගේ තත්වයට බාල්දු වීමයි. කපටි මකරා විසින් මෝඩ සිංහයා ගිල ගැනීම දැනටමත් ඇරඹී ඇත. එහි මුල්ම හා ඛේදනීයම ප්‍රතිවිපාකයක් විය හැක්කේ සිංහරාජයේ විපතයි.■