ත්‍යය අවලක්ෂණ නමුත් සත්‍යයෙන් විනාශ නොවීම සඳහා අපට කලාව තිබෙන්නේ යැ”යි නීට්ෂේ කියා ඇත. කලාව, අශෝභන වූ සත්‍යය විනිවිද රසය සහ ප්‍රඥාව නිමවා දෙනු ලබයි. මෙහිදී අදෘශ්‍යමාන අමුද්‍රව්‍යයන් වනුයේ ඒ ඒ නිර්මාණකරුට අනන්‍ය වූ ජීවන දැක්ම සහ අත්දැකීම්ය. හැබෑවටම නිර්මාණකරුගේ අනන්‍යතාව නිර්මාණයක් තුළ පැලපදියම් වන ආකාරය පුදුම සහගතය. යමෙකුගේ පුද්ගලික මානසික විජිතයේ සංකීර්ණ සිතුවිලි රේඛා සහ ආකල්ප පැල්ලම් අතරින් ඉල්පී එන නිර්මාණයකට ඔහුගේ ජීවිත අත්විඳීම් තුළ ඇඳී මැකී ගිය සතුටු-වේදනා-පාළු-සංකාදී හැඟීම් මුසුවනුයේ නිරායාසයෙනි. විටෙක ඇතැම් පොතපතක, කවියක, ගීතයක රැඳෙන වදනින් කිව නොහැකි කුමක්දෝ හැඟුම් ශේෂයක් අත්දකින අපි ඒ නිර්මාණධ්‍යාසයෙන් හැම්මෙන සිතිවිලි කලාපය තුළ ආවේණික සීත මිහිරක් හෝ ප්‍රඥා රශ්මියක් විඳිමු. කලාවෙන් ලැබිය හැකි සැබෑ වින්දනය ඇත්තේ කලා නිර්මාණයක සෘජු ප්‍රකාශනය තුළ නොව නොසෘජු වූත්, ඇඟවුම් මූලික වූත් ව්‍යාංග ප්‍රකාශනයකයැයි මට සිතෙයි. නීට්ෂේලාගේ දර්ශන සංවාදයන් ඔස්සේ 20 වන ශත වර්ෂය මුලදී කරළියට පැමිණි ප්‍රකාශනවාදය (Expressionism) භෞතික යථාර්ථයෙන් ඔබ්බට ගොස් කලාව තුළින් එවන් හැඟීම් කුළුගැන්වීමක් කිරීමට යොමු වූවකි. එනයින් යම් සුවිශේෂ අදහස් පුංජයකට හෝ මනෝභාවයකට රසිකයාව ඇද ගන්නා සංකේතමය දෘෂ්ටියක් විසින් යම් නිර්මාණයකට ඈත අරුතක් එක්කාසු කරයි.

ලෝක ප්‍රකට නෝර්විජීයානු සිත්තර එඩ්වඩ් මුන්ච් (1863-1944) ගේ කලා භාවිතාව හඳුනාගනු වස් ඔහුගේ අග්‍රගන්‍ය සිතුවම ලෙස සැලකෙන “විලාපය” (The Scream) ඉදිරිපිට නැවතුණු මට එබඳු සුවිශේෂී හැඟීම් අඟුරක උණුසුම දැනුණි. එය පැස්ටල් සහ තවත් මාධ්‍ය කිහිපයක් යොදාගෙන නිකම් ඝන කඩදාසියක අඳින ලද සිතුවමකි. එහෙත් මුන්ච් විසින් එම කාඩ්බෝඩ් එක මත සලකුණු කර ඇති ගැඹුර කෙතරම්ද? මෙබඳු සිතුවමක නිරූපිත කාරණා මේ මේ යැයි එකිනෙක ලැයිස්තුගත කළ නොහැක. එය ප්‍රකාශනවාදයේදී දක්වන ලෙසම වදනින් නොකිව හැකි වූත් නොකිව යුතු වූත් ධාරණාවක් (Impression) ධ්වනිත කරනු ලබයි. රේඛා ලාලිත්‍යකින් සහ වර්ණ සංයෝජනයෙන් සිත්තරා නිහඬතාව මතට වත් කරන්නේ අවට කලඹන අනවරත ශබ්දාවලියකි.

“විලාපය”, රක්තාකාසයක්, අඳුරු අවටක්, පාලමක්, ඈත පුද්ගල රූ දෙකක් සමග මෑතින් කෑ ගසන රුවක් දක්වන පාළු සිතුවමකි. කෑ ගසන්නා මිනිසෙකු හෝ  වෙනත් බැහැරියෙකුද විය හැකිය. මේ සිතුවමෙන් ආවේශය ලැබ නිමැවුණු කෘතීන්, චරිත, වෙනත් සිතුවම් හා කතා මාලාවන් බොහොමයකි. අපරිමිත විශ්වයේත්, ජීවිතය වසා වැවී යන සොබාදහමේත් ගුප්ත ආධිපත්‍යයන් ඉදිරියේ මිනිසා විඳින භයංකර හුදකලාවක චිත්තක්ෂණයක් මේ සිතුවමේ ඇති කවිය තුළින් මම අහුලා ගනිමි. මුන්ච් මුලින් මෙය නම් කළේ “සොබාදහමේ විලාපය” (The Scream of Nature) නමිනි. නිර්මාණයේ උත්තේජනය ගැන පසු කලෙක ඔහු මෙසේ විස්තර කළේය.

“එක්තරා හැන්දෑවක මම මාර්ගය දිගේ ඇවිද යමින් සිටියා. එක් පසෙකින් නගරය තිබුණු අතර අනෙක් පසින් වූයේ කඳු බෙයදෙහි වූ පටු කලපුවයි. මට මහත් වෙහෙසකුත්, රෝගී ගතියකුත් දැනුණා. මං නතර වී පාළු කලපු ප්‍රදේශය දෙස බලා සිටියා. හිරු බැස යමින් තිබුණු අතර වලාකුළු ලේ පාටට හැරෙමින් තිබුණා. හදිසියේම සොබාදහම හරහා හමා යන කෑගැසීමක් වැනි දෙයක් මට දැනුණා. ඇත්තෙන්ම මට දැනුණේ එබඳු ශබ්දයක් ඇසුණු බවයි. අන්න ඒ වෙලාවේ තිබූ පින්තූරය තමයි මං පින්තාරු කළේ. මං වලාකුළු ලේ පාටින්ම තියලා, වර්ණවලට කෑ ගසන්නට ඉඩ හැරියා. ඒක තමයි “විලාපය” බවට පත් වුණේ.”

ලොව බිහි වූ විශිෂ්ටතම සිත්තරෙකු වන මුන්ච්ගේ අනන්‍යතාව “විලාපයෙන්” එහාට දිවෙන්නකි. වැන් ගෝ, ක්ලෝඩ් මොනට්, එඩෝර්ඩ් මැනට්, පෝල් සිසෑන්, පෝල් ගෝගින් යනාදී ප්‍රකට ධාරණාවාදී සිත්තරුන්ගේ නිර්මාණ ඔස්සේ නවීන හැඟීම් දැනවුම් චිත්‍ර කලාව අභ්‍යාස කළ මුන්ච්ගේ දායකත්වය පශ්චාත්-ධාරණාවාදයක ඇරඹුමක් ලෙස හැඳින්විය හැකිය. මුන්ච්ගේ මරණයෙන් පසු ඔහු විසින් නිමැවූ දහසකට අධික සිතුවම් තොගය සහ ප්‍රතිමා හයක් ද, කටු චිත්‍රාදියද නොර්වීජියානු රජයට පරිත්‍යාග කෙරිණි. ඔහුගේ නිර්මාණ කෘත්‍යය අගයනු වස් රජය විසින් ඉදි කළ මුන්ච් කලා කෞතුකාගාරයෙහි ඒ නිර්මාණ බොහොමයක් සුරක්ෂිතව පවතී.

ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ න්‍යායන් සමග සමකාලීන වූ මුන්ච්ගේ සිතුවම් එවැනිම මනෝ විග්‍රහයන් හා බැඳුණු ඒවාය. ළමා වියේදී ඔහු ලද ඇතැම් අත්දැකීම් ඔහුගේ ප්‍රබලතම සිත්තම්මය ප්‍රකාශනවලට නිරායාසයෙන් පාදක වී ඇති බව විචාරකයෝ නිරීක්ෂණය කරති. මුන්ච් සිය මවගේ සහ සොයුරියගේ මරණයන් අත් දකින්නේ කුඩාවියේදීමය. “By the Death Bed” සහ “Death in the Sickroom” වැනි සිතුවම්වල ඒ මරණයේ ශෝකය සහ පාළුව ගැබ් වී ඇත්තේ ඕනෑම රසිකයෙකුට මරණය සම්බන්ධ පුද්ගලික අත්දැකීමක් දැඩිව සිහිගන්වන ආකාරයෙනි. “විලාපය” ගැන නොලියා “මරණීය සයනය අසළ” ලෙස නම් කළ හැකි ඉහත මුලින් කී සිතුවම ගැන ලිවිය යුතුව තිබිණැයි දැන් මට සිතෙයි. එතකුදු වුව, මුන්ච්ගේ බොහෝ සිතුවම් සිතට කා වදින ඒවාය. එකක් දෙකක් හඳුන්වා දෙනු හැර සියල්ල ගැන කෙසේ පද බඳිම්ද?

“ස්වභාවධර්මය යනු දෑසට පෙනෙන සියල්ල පමණක් නොවේ. ආත්මයක ඇතුළත පින්තූරය ද එයට ඇතුළත් වේයැ”යි මුන්ච් කීවේය. ඔහුගේ බොහෝ චිත්‍රවල රූප සහ පාට අස්සේ ඇති හැඟීම් මනැසින් ළිහා ගැනීමට වෙහෙසුණෙමි. මගේ එක් රාත්‍රියක් ඔබේ සිතුවම්වල අරුතින් හැඟීම්බර කළ එඩ්වඩ් මුන්ච්! ඔබට ස්තුතියි.

ලක්ශාන්ත අතුකෝරල