පතහක, කඳුරක, දොළක, ගඟක දිය ඩිංගක් විතරක් පතාගෙන වනන්තරේ කොයිබ හරි කොණක එකං වෙන්න හිතාගෙන වන වැදිච්ච මිනිස්සු වෙල්ලස්සෙ පහළ ඌවේ හිටියා. ඒ සුද්දා අටසිය දහ අටේ කැරැුල්ල වෙලාවෙ තමුන්නෙ කියලා තිබ්බ හරුබැස්ස ඔක්කොම අගිනි දෙයියන්ට බිලි දීලා ගම් පිටින් කැති ගාද්දි. සුද්දා පපු කැනැත්තට ගින්දර දෙද්දි වැඩිමනත් මිනිස්සු ඈත නැගෙනහිර සාවියේ කැලෑ ගම් අස්සට වැදුණා. සමහරු වැඩි ඈතක නොයා අත මානේ කැලෑ අස්සෙ අලූත් ගම් හදාගත්තා.


අතරින් පතර බිබිලෙ ඉඳලා අම්පාරට මහ කැලේ මැදින් වැටිලා තියෙන පාරවල අද යද්දිත් මෙහෙම හුදෙකලාවෙ හැදිච්ච ගම් තියෙනවා. කාලෙකට උඩදි ගල් තාර අතුරලා තිබ්බ පාර දැන් කාපට්. ගම්වලට ලයිටුත් ලැබිලා. ඒත් මොකක්දෝ අඳුරක් අදත් තියෙනවා. කියාගන්න බැරි කතාවකුත් තියෙනවා. ඒ කතා එහෙමම තියෙද්දී හොයාගෙන යන්න හිතෙන අපූරු චමත්කාරයකුත් විද්‍යමාන වෙනවා.


රතුගල, නෙල්ලියද්ද, රත්මල් ගහ ඇල්ල ඒ ගම හැම එකක්ම එක වගේ. සාම්‍යතාවක් තියෙනවා. සමහර විට සිංහල මිනිස්සුයි ආදිවාසි වැද්දොයි මුහුවෙලාත් ඇති. ඒක එහෙම නම් තියෙන්න පුළුවන් චමත්කාරය වැඩියි. පහුගිය කාලේ මේ ගම් හැම පැත්තෙන්ම බැට කෑවා. අන්ත දරිද්‍රතාව මැද්දෙ නෙල්ලියද්ද වගේ ගම්වලට කොටිත් කඩාගෙන පැන්නා. සිතියම බලලා හරියට කියවගන්න බැරි වුණාට මට හිතෙන්නේ ගල්ඔය වනන්තරේ මැද්දෙන් දුවන බිබිල-අම්පාර පාරට සමාන්තරව වනන්තරේ මහ පදාසයකින් එහා පැත්තෙ අම්පාර මහඔය පාර දුවනවා ඇති කියලා. නුවරගල පැත්තෙ හීතල වන්නිකරේ, පොල්ලෙබැද්ද වාගේ වැදි ජනාවාස ඒ ඉසව්වෙ තියෙනවා.

මේ අඩවියේ හැම බිම් අඟලක්ම මිනිස්සුන්ගෙත්, සතා සීපාවන්ගෙත් හුස්ම වැටිලා පණ ගහන්නෙ එහෙම. ඔය හැම තැනකම හක්කලං කරපු වන්නකු තිසාහාමි ගැන මතකයත් ගම්වල පරණ මිනිස්සුන්ට තියෙනවා. අන්තිමට වන්නකු තිසාහාමිට සිද්ධ වුණා අවසන් නින්ද බදුල්ලට ඇවිල්ලා නිදියන්න. අදත් බදුල්ලෙ ආවොත් වන්නකු තිසාහාමිගෙ සොහොන හොයාගෙන යන්න පුළුවන්.


පිටකුඹුර පහුකරලා ඉස්සරහට යද්දි කිට්ටුව පාතින් කැලෑව ඇතුළට වැදිලා යන්න ඕන තැනක් තියෙනවා. මට ඒ රහස ගැන ඔත්තුව දුන්නෙ මහින්ද බිබිලෙ. එතැනට කියන්නෙ මකරෙ. මකරෙ ගල් හොකරයක්. ගලඔයේ වතුර මකරෙ කියන පටු ගල දෙපරැුන්ද මැදින් පිඹගෙන ගිහිල්ල තමයි සේනානායක සමුද්‍රයට එක්කහු වෙන්නෙ. ගුප්ත සෞන්දර්ය කියලා යමක් තියෙනවා කියලා දැනෙන්න පටන් ගන්න මොහොතක් මකරය අබියසදි උදා වෙනවා.


රත්මල් ගහ ඇල්ල ඉස්කෝලෙ ලොකු මහත්තයා වෙලා හිටපු දයාරත්න මහත්තයා මකරෙ ගැන මතක හිටින කතාවක් මාත් එක්ක කිවුවා. බොහෝම කාලෙකට ඉස්සර නඩයක් එක්ක කැලේ බීඩි කොළ කඩාගෙන එන්න ගියපු ගමනකදි නඬේ හැමෝටම සිද්ධ වුණා මකරෙ මත්තෙන් මෙහා ගොඩෙන් එහාට පනින්න. නඬේ මිටිම මනුස්සයා පිම්ම වැරදිලා මහ සැඩපහරට ඇදගෙන වැටුණා. කවුරුත් හිතුවෙ මනුස්සයා ජීවිතෙන්ම එගං වුණා කියලා. ඒත් වතුරට නර බිල්ලක් වුවමනා වුණේ නෑ. මනුස්සයා සේනානායක සමුද්‍රය උපදින ඉසව්වෙ ඉවුරකින් ගොඩ වුණා. ඒකා පණ හයිය මිනිහෙක්.

මංකඩ අතු පන්දල බැඳලා


නාමල්ඔය වෑ කන්ද ඉසව්වට යනකම්ම බැදි කුට්ටි එක්ක මහ කැලය. අතරින් පතර තියෙන ගම්වලත් ලස්සනම පින්තූරය කැලෑව එක්ක තියෙන කුඩා කුඹුරු කට්ටියක් එක්ක වරිච්චි ගෙයක් තියෙන තැනක. පාර දෙපැත්තෙ ඉලූක ලෙලෙන්නෙත් ගොයම වගේම ලතාවකට. අරලූ, බුළු, නෙල්ලි ගස්වලට තනි රකින්නෙ ගම්මාලූ. මල් පිපෙන කාලෙට ගම්මාලූ කියන්නෙ හරිත යායෙ තැනින් තැන කහ පාට ලියකමක්. ගම්මාලූ කිරි රතුම රතු පාටයි. මධුමේහය නිවන්නලූ ගුණ. තැනින් තැන මැස්සක ගම්මාලූ කිරි පුරවපු බොතල් විකුණන්න තියෙනවා. එළකිරිත් එක්ක ගම්මාලූ කිරි බොන්න වුවමනා මාත‍්‍රාව ගැන උපදෙස් දෙන්නත් කට්ටිය ඉන්නවා. ගම්මාලූ සංයෝජනයක් ගැන වෙනස්ම කතාවක් මට කිව්වෙ ගල්ගෙඩියාවෙ දිසා.

දඟරෙන් එන හුමාලය නිවිලා බිංදු බිංදු වැටෙන්න ඉස්සර ගම්මාලූ ලීයෙන් කපාපු බොකු පතුරක වැදෙන්න ඉඩ දුන්නා නම් වයින් පාටට අමෘතය හදාගන්න පුළුවන්. ගම්මාලූ හෙවණක නැවතිලා එහෙම වයින් උගුරක් බොන්න තිබ්බා නම් මරු කියලා හිතෙනවා ඇති නේද? ඒ සිතුවිල්ල එක්කම ඉස්සරහට යද්දි පාර කන්දක් වෙලාගෙන දඟර ගැහිලා උඩට නගින තැනක් තියෙනවා. එතැන කරාඬුගල. කාලයක් පොලිස් පෝස්ට් එකක් තිබ්බ තැනක්. දෙපැත්තෙම ලොකු පොඩි ගල් කුළු. සමහරක් ඉලූක් පතන මැද්දෙ හොරගල් අහුලන අලියෙක් වගේ පේන්නෙ.


තවත් ටිකක් ඉස්සරහට යද්දි කන්ද අහවරයි. පල්ලමක් පටන් ගන්නවා. හැබැයි ඒ පල්ලම එකපාර බහින්න හිතෙන්නෙ නැහැ. ඈත රතුගල කඳු පසුබිමේ තියාගෙන තලාවෙ පදාසයක් පේන චිත‍්‍රයක් අතහැරලා යන්න ලෝබයි. මොහොතක් එතැන නැවතිලා ගිමන් නිවන්න ඇස් සනහගන්න ආරාධනා කරන්නෙ වනන්තරේම තමයි. මේ දළ බෑවුමේ මැද්දෑවට මංකඩ කියලා කියනවා. ඇත්තටම එතැන අලිමංකඩක්. හැබැයි පුදුම හිතෙන්නෙ උන්ගෙ සද්දන්ත ශරීර මේ කන්ද නගින්නෙ කොහොමද කියලා හිතුණම.
බඩුවක්, මුට්ටුවක්, ගෑනියෙක්, මිනිහෙක් පටවා ගෙන එතැනින් එහාට ගියපු මිනිස්සු ගම්බාර දෙයියන්ට අතු පන්දලක් එල්ලා බැඳලා ගියපු ගහකුත් තිබ්බෙ මංකඩම තමයි. මේ පළාතෙ අයියනායකගෙ බැල්ම නෑ. ඒ හින්දා සිංහල මිනිස්සු ගම්බාර දෙයියන්ට, දෙමළ මිනිස්සු පුල්ලෙයාර්ට, වැද්දො නෑ යකුන්ට කොළ අතු එල්ලූවා. ඒ කවිය අයිති මනුස්සකමට.


හැම රතු ගලම මැණික් නෙවෙයි


දානිගල පරම්පරාවට සින්න වෙච්ච කැලෑ ගම්මානෙ රතුගල. ලංකාවෙ වැදි වරිග අතරෙ දානිගල පරම්පරාවෙ ඇත්තො ඌරුවරිගෙට වඩා උඩයි කියලා හිතන කියන වැදි මිනිස්සු මට මුණ ගැහුණෙ රතුගලදි. හැබැයි ඒ වෙනකොටත් දඹාන රතුගල පහු කරලා ඉස්සරහට ගිහිං තිබුණා. අදත් ඒක එහෙමමයි. මෑත කාලෙක ආදිවාසි දරුවො වෙනුවෙන් ආරම්භ කරපු රතුගල ඉස්කෝලෙට මං දෙතුන් වතාවක් ගියා. ඒ යද්දි උගන්වන්න හිටපු ආදිවාසි ගුරුවරු කිහිප දෙනා දඹානෙ අය. රතුගල දරුවන්ගෙ කෙසඟ ඇඟවල් ඇතුළට දැනුම ඔබන්න ඔවුන් උත්සාහ ගනිමින් සිටියා. පාර අද්දර වාහනය ගාල් කළාම රතුගල ගමේ ඇවිදලා බලන්න පුළුවන්. ඒකට කවුරුවත් විරුද්ධ වෙන්නෙ නැහැ.


වැදි නැටුම්, කතා අරවා මේවා අහන්න බලන්න ඕන නම් ඒත් බැරිකොමක් නෑ. හැබැයි දඹානෙ වගේම ඒවට මූල්‍යමය වටිනාකමක් තියෙනවා. එක අතකට ඒකෙ කිසිම වරදක් නැහැ. මේ මිනිස්සුන්ට ජීවත් වීම ප‍්‍රශ්නයක් විදියට දැනෙද්දි වෙන කරන්න දෙයක් නැහැ. කොළඹ ඉන්න කිසිම ආටිස්ට් කෙනෙක් නොමිලේ ශිල්ප දක්වන්නෙ නැහැනෙ. රතුගල වැද්දො තමයි අන්ත දුප්පත් ආදිවාසි ජන පිරිස. හැම තැනම ඉතිරෙන්නෙ දුප්පත්කම හින්දා ඒ ගම දුප්පත්කමට කියන තවත් නමක් වගේ. කාටවත් හරිහමන් රස්සාවක් නැහැ.

කැලෙත් එක්ක ගනුදෙනුවත් හරිම පරිස්සමෙන් කරන්න ඕන කියලයි දානිගල මහ බණ්ඩාරලයෙ සුදාවන්නියලැත්තො කියන්නෙ. සතෙක් එළාගන්න කැලෑ වැදිලා අහුවුණොත් වනජීවියෙන් අච්චු කරනවා. මට මුණගැහුණු හැමෝම වගේ කැලේ තියෙන නෙල්ලි, ගොටු කොළ, බීඩි කොළ වගේ දේවල් එක්කහු කරලා විකුණලා බඩ රැුක ගන්නෙ.


බීඩි කොළ නැත්නම් කුඩුම්බේරිය කොළ කඩාගෙන ආවාට පස්සෙ මද පවනෙ පින්නෙ වේලිලා පදම් වෙන්න දෙන්න ඕන. ඒක සීරුවට කරන්න වුවමනා කර්මාන්තයක් හින්දා පොඩි දැනුමක් වුවමනයි. මඳ අව්වෙන් තැවිලා බාගෙට වේලිච්ච බීඩි කොළවලින් උනන්නෙ නැවුම් පුස්ඹක්. මට ඒ වෙලාවෙ තාත්තා මතක් වුණේ උන්දැත් බීඩි බිව්ව හින්දා දැනිච්ච සුවඳත් එක්ක. විජය බීඩි, මාලනී බීඩි, රුහුණු බීඩි ඒ කාලෙ තිබ්බ ජනප‍්‍රිය වර්ග. සත ගණන්වලට තිබ්බ හින්දා කොල්ලො කුරුට්ටො දුම් උරන්න අත පොත් තිබ්බෙ බීඩියෙන්. හැබැයි මට පස්සෙ කාලෙක හිතුණා බීඩිවල සුවඳ එන්නෙ රතුගල වගේ ගම්වල මිනිස්සුන්ගෙ දාඩිය උණු වෙලා කියලා.


රත්මල් ගහ ඇල්ලෙ ලොකු මහත්තයා


එයාගෙ නම දයාරත්න. මට මතක හැටියට ගුරු නිවාසෙම නැවතිලා හිටියෙ, ඉස්කෝලෙ වොචර් චන්දරෙත් එක්ක. දයාරත්න මහත්තයා බයිස්කෝප් එකක ලොකු සර් වගේ හිත හොඳ අහිංසක මනුස්සයෙක්. මිටි බංකු කීපයක් ළං කරලා ඇතිරිල්ලක් දාලා මට ඇඳක් හෙම හදල ඇහුවා ?ට කන්නෙ මොනවද කියලා. ඒත් ඒ වෙනකොට ලොකු මහත්තයාම තීරණය කරලා තිබ්බා රාත‍්‍රී භෝජනය. ඉරුං තලප එක්ක ආනමක්. අදටත් මතක තියෙන මගෙ ජීවිතෙ කාපු රහම ? කෑම වේලක් මට පිළිගන්වන්න දයාරත්න මහත්තයයි චන්දරෙයි මහන්සි වුණා. විශ්වාස කරන්න කුරහං තලපෙට වැඩිය රහයි බඩ ඉරිඟු තලපය. ඒ ආනමට දාලා තිබ්බා මඤ්ඤොක්කා, බණ්ඩක්කා, දඹල, මෑ ඇට අසමෝදගම් කොළ එක්ක වේලපු වල් ඌරු මස්. මට හිතුණා මස් පට්ටෙ නම් චන්දරයගෙ තෑග්ගක් වෙන්න ඇති කියලා. මොකද මිනිහ කන වෙලාවෙ මට කිව්වා සර් වේලපහ කියලා එන්න වළි කුකුළෙකුට හරි අඬ ගහන්න බැරිවයෑ කියලා.

හැබැයි මස් කෑවට මට කවදාවත් වුවමනා වෙන්නෙ නෑ මස් හොයලා තියන්න කියලා ගමනක් යන්න. වනන්තරේ කියන්නෙ සත්තුන්ගෙ ජීවන අයිතිය. මේ ගම්වල මිනිස්සුත් ඒක දන්නවා. කවුරුවත් ඉවක් බවක් නැතිව සත්තු මරන්නෙ නැත්තෙ ඒකයි. එතැන තියෙන්නෙ කෑම වේලට ප්‍රෝටීන් එක්කහු කර ගැනීමේ වුවමනාව මිස වෙළඳාම නෙවෙයි.


චන්දරේ කියනවා ඉස්සර සතෙක් එළාගත්තම ගමටම පංගු බෙදුවා කියලා. ගැබ්බර වැන්දඹු අයට විතරක් නෙවෙයි පන්සලට පවා යමක් ලැබෙන විදියට කටයුතු සිද්ධ වුණා. මස් පංගුව දෙන්න ආපුවම ගෙදර කවුරුත් නැත්තං පියස්සෙන් බේරිච්ච ලීයක හරි එල්ලලා ගියා. ගෙදර උදවිය ආපුවම දන්නවා තමන්ගෙ එකෙකුට දඩයමක් හරි ගිහිල්ලා කියලා. ඒ බෙදුම් ජීවිතේ අද ගම්වලිනුත් ඈතට ගිහිල්ලා.


දයාරත්න මහත්තයා මොන මසක් කෑවත් හරක් මස් කන්නෙ නැහැ කියලා දිවුරලා කිව්වා. වාර්ගික සංදර්ශන හින්දා නම් නෙවෙයි. එයා නිඹුල්ලෙක්. එකපාර දෙන්නෙක් උපන්නම දුප්පත් අම්මට දෙන්න කිරි තිබ්බෙ නෑ. කිරි ටිකක් දොවන්න තියාගෙන හිටපු ගමේ මනුස්සයෙකුට අයිති එළ වැස්සිත් ගහෙන් ගෙඩි එන්න වාගෙ ආපහු ඇරගෙන ගිහිල්ලා. තාත්තා බොහෝම විස්සෝපෙන් ඉඟිනියාගල ටවුමට ගිහින් උදව් හොයද්දි හිටිං අප්පුහාමි මං දෙනක් දෙන්නම් කියලා පිහිට වෙලා තිබ්බෙ මුස්ලිම් නානා.

නානාගෙන් ගෙනාපු වැස්සිටයි උන්නෙ දරුවන්ටයි දයාරත්න ලොකු මහත්තයගෙ තාත්තා සලකලා තිබ්බෙ දරුවන්ට වාගේ. සිංහල අවුරුද්දට උන්ටම කන්න කෙහෙල් කැන් එල්ලපු තාත්තා තමුන්නෙ දරුවො දෙන්නට කිරි දුන්න ගුණේ හින්දා කැවුම් හදලා හරකුන්ගෙ ඇඟ තැව්ව හැටි කියද්දි දයාරත්න මහත්තයගෙ ඇස්වල කඳුළු පිරුණා. නානයි නානගෙ කිරි අම්මයි හින්දා දයාරත්න මහත්තයා හරක් මස් කාලම නෑ.


පස්සෙ කාලෙක ඉඟිනියාගල අතෑරලා ගියපු නානා මුදලාලි අම්පාරෙදි මුලිච්චි වෙලා නිඹුල් මල්ලි මළගම් ගියා කියලා කිව්වම අඬා වැටුණ හැටි කියද්දි ආයෙමත් දයාරත්න මහත්තයාගේ ඇස්වල කඳුළු. සෝලාර් ලාම්පු එළියෙ මිටි බංකු උඩ මෙට්ටයක් නැති අඩුව මට දැනුනෙ නැත්තෙත් ඒ කතාවල මනුස්සකමේ සුවඳ තැවරිලා තිබ්බ හින්දා වෙන්න ඇති.

ලසන්ත ද සිල්වා