■ උදන් ප්‍රනාන්දු

දෙදහස් විස්ස වසරට පෙර කොරන්ටින් යන වචනය පවා අති බහුතරය අසාවත් නොතිබුණ බව සැබැවි. සිංහල වචනය වන නිරෝධායනය නම් ඊටත් වඩා ආගන්තුක වූවා විය හැක. කලක සිට ම, කටුනායක ගුවන් තොටුපොළට යන අතර මග, ඊට සමීප ව, කොරන්ටින් යන වචනය සහිත යම් ගොඩනැගිල්ලක් තිබුණා මතක ය. එහි රැඳවුණේ රටින් පිටවන හා මෙරටට ගුවන් මගින් ගෙන එන ආහාර, ශාක, පැලෑටි හා සත්වයන් ය. දිගු ඉතිහාසයක් ඇති ප්‍රකට බහුජාතික සමාගමක ලාංකීය ශාඛාවේ මානව සම්පත් අංශයේ ඉහළ නිලධරයෙකු වරෙක මා හට පැවසූයේ තමන්ගේ කාලයෙන් ප්‍රමාණවත් කොටසක් වැය වූයේ අදාළ සමාගමේ විදේශීය ප්‍රධානීන්ගේ සුරතල් බල්ලන් හා බළලුන් යට කී කොරන්ටින් තැනින් මුදවා ගැනීමට බව ය.

විදෙස් ගමන් යන්න එන්න ගත් පසු කොරන්ටින් වචනය මට අභිමුඛ වූයේ ගොඩ බැසීමට පෙර පිරවීමට නියමිත පෝරම තුළ ය. එහෙත් බොහෝ විට ඒවා මහා බරපතළ ලෙස එකල බොහෝ රටවල් සැලකුවේ නැත. එහෙත් ඕස්ටේ්‍රලියාවේ නම් ආහාර, ශාක, පැලැටි, මාංශ, ආදිය රටට ගෙන ඒම ඉතා දැඩි පිරික්සීමකට යටත් කළා මතක ය. ගමන් මලු තුළ ඇති බඩුමූට්ටු එකිනෙක රැගෙන පරීක්ෂා කෙරෙයි. පුහුණු කරන ලද බල්ලන් ද ඉව කරමින් එවන් සැක කටයුතු ද්‍රව්‍ය තිබේ ද යැයි සොයා බැලේ. යම් හෙයකින් ඒ තහනම් දෑ ගෙනවිත් හසු වුවහොත් අධික දඩ මුදලක් ගෙවිය යුතු ය. අනතුරු ව එම ද්‍රව්‍ය විශේෂ උපකරණයකින් වහා ම විනාශ කරනු ලැබේ. ලංකාවෙන් තැම්බූ පොකිරිස්සන් පාර්සලයක් ගෙන ගිය තරමක් ප්‍රසිද්ධ ලාංකික චරිතයක් සිඩ්නි රේගුවේදී හසුවී මහා වාදයක පැටලුණේලු. තම වටනා ආහාර පාර්සලය විනාශ කරනට නිලධාරීනට ඉඩ නොදී, සියල්ලන් ම ඇස් උඩ ඉන්දවා බලා සිටිය දී අප ලාංකික තෙමේ පොකිරිස්සන් සියල්ල පොත්තකු දු ඉතිරි නොකොට හිට ගෙන ම එක හුස්මට ගිල දැමූ බව කියැවේ. මේ දේශ-ප්‍රේත ක්‍රියාව ලාංකීය දේශප්‍රේමී ඕස්ටේ්‍රලියානුවෝ අදත් වීරකමක් ලෙස සමරති.
කොරන්ටින් හෙවත් නිරෝධායනයට නව පණක් ලැබුණේ කෝවිදියානු වසංගත තත්ත්වයත් සමග ය. මෙහිදී නිරෝධායනයට බඳුන් වන්නේ ශාකයක් හෝ පැලෑටියක් නොව මනුෂ්‍ය ජීවියෙකි. එය තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. එය තවත් අභියෝගාත්මක වන්නේ කොවිඩ් 19 වයිරසය භයානක බැවිනි. රටකින් රටකට (සමහර විට විශාල රටවල එක ප්‍රාන්තයකින් තවත් ප්‍රාන්තයකට) ගමන් කිරීමේදී නිරෝධායනය කොන්දේසියක් ලෙස පැන වේ. ඊට අමතර ව බහුල ව නිරෝධායනය යනුවෙන් දැන් කෙරෙනුයේ වයිරසය සම්ප්‍රේෂණය වී ද යන්න ගැන සැකයක් ඇත්නම් ඒ අය යම් කාල සීමාවක තුළ අන් අයගෙන් හුදෙකලා කොට නිරීක්ෂණය කිරීමයි. කෝවිඩ් මුල් රැල්ලේදී විදේශගත ලාංකික බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි විය. මේ අය තම මව් රටට පෙරලා පැමිණීම අභියෝගයක් වූයේ නිරෝධායන ක්‍රියාදාමය දීර්ඝ හා දැඩි සමීප පරීක්ෂාවක් යටතේ කළ යුතු එකෙක වූ නිසාවෙනි. ලාංකීය කෝවිදියානු ප්‍රතිචාර ක්‍රියාවලියේ ප්‍රමුඛයා වූයේ මිලිටරි යාන්ත්‍රණය ය. ඒ අනුව නිරෝධායනය ද පුරෝගාමී ව කළේ හමුදාව විසින් පවත්වා ගෙන ගිය කඳවුරු හෝ මධ්‍යස්ථාන තුළ ය. මුල් කාලය තුළ මේ ක්‍රියාවලිය හමුදාව මහත් ලාලසාවකින් කරගෙන ගියේ ය. එවන් කඳවුරක වරක් නිරෝධායනය වූ මා දැක්කේ එහි කලින් සිටි ශිෂ්‍ය පිරිස් තම කෘතඥතාව හමුදාවට පුදනු පිණිස අඳින ලද පෝස්ටර් සිය ගණනක් ය. යට කී කඳවුරු හා මධ්‍යස්ථාන තුළ බිත්ති වැසෙන තෙක් අලවා ඇති මහත් පරිශ්‍රමයකින් අඳින ලද මේ පෝස්ටර හා එහි අන්තර්ගතය ගැන වෙන ම අධ්‍යයනයක් කිරීම ඉතා වටනේ ය.

වැඩිකල් නොගොස් නිරෝධායනය ලාභ ආකරයක් බව පුද්ගලික හෝටල හිමියනට ඉව වැටිණ. අදාළ හෝටල නිරෝධායන කාර්යයට තේරුණු නිර්ණායක ගැන වැඩි විනිවිදභාවයක් නොතිබුණ ද ඒවාට යහමින් විශාල ලාභයක් ඉපයීමට හැකි වූයේ නිරෝධිතයන් ‘කැප්ටිව් මාර්කටයක්’ වූ නිසාවෙනි. ඊට හේතුව හෝටල නිරෝධායනය යම් ආකාරයක කොන්දේසියක් ලෙස ක්‍රියාත්මක වීම තුළ ය. එක්තරා කාලයක ලංකාවට පෙරලා පැමිණෙන්නන්ට ඊට අවසර දීමේදී කොන්දේසියක් වූයේ නිරෝධායනය සිදුවිය යුත්තේ හෝටලයක පමණක් බව ය. දෙසතියක කාමරයකට සිරවන නිරෝධිතයෙකුට හෝටලය විසින් කරන්නේ ආහාර වේල් තුනක් දිනපතා කුඩා ප්ලාස්ටික් භාජනවලට දමා දොර අසල තබා යාම පමණි. මේ සඳහා දිනකට රුපියල් 12,500ක් පමණ ගෙවිය යුතු වන අතර සපයන ආහාර ප්‍රමාණයට හා සේවාවට හෝටලය විසින් දරන අවම පිරිවැය හා උපයන උපරිම ලාභය ගණනය සරල අංක ගණිතමය ව්‍යායාමයකි.

නිරෝධායනයේ නවත ම ලාංකීය මුහුණුවර මේ වන විට මතු වෙමින් පවතී. එනම් යම් යම් සමාජ දේශපාලන කරුණු හෝ කම්කරු, ශිෂ්‍ය හෝ එවැනි අයිතිවාසිකම් වෙනුවෙන් මහ මග හඬ නගන ක්‍රියාධරයන් නොමිලේ නිරෝධායනය කිරීමයි. මෙය ඉතා යුහුසුළු ව කරනු දක්නට ලැබේ. විරෝධතාකරුවන් මෙන් දෙතුන් ගුණයක බලකායක අදාළ විරෝධතා බිම්වලට පැමිණෙති. ඉදිරිපෙළින් සර්වාංගය ම රිදී පැහැති ලෝගුවකින් වසාගත් විද්යාඥයින් වැනි පිරිසක් සිටියි. ඔවුන්ගේ මුහුණු ද සම්පුර්ණයෙන් වැසී ඇත්තේ ඉතා උසස් වර්ගයේ සෞඛ්‍යාරක්ෂිත මාස්කුවලිනි. සුදු පැහැති අත් වැසුම් ද හැඳි මේ විද්‍යාඥ පිරිස කරන්නේ විරෝධතාකරුවන් ව කිට්ටුව පිහිටි සුඛෝපභෝගී ලේලන්ඩයකට ඉතා පරෙස්සමින් හා ගෞරවාන්විත ව කැඳවාගෙන යෑම ය. ඉංග්‍රීසියෙන් මෙලෙස රැගෙන යාමට කියන්නේ ‘අකම්පනී’ හෝ ‘අෂර්’ කරනවා කියා ය. දීර්ඝ වෙලාවක් සිට ගෙන ම සිටි විරෝධතාකරුවන්ගේ කකුල් කෙඩෙත්තුව සහකම්පිත ව වටහා ගන්නා මේ විද්‍යාඥ පිරිස සමහර විරෝධතාකරුවන් ව දාරක ප්‍රේමය පෙරදැරි ව ඔසවාගෙන ගෙන යන්නේ ‘මේ ළමයා කොහෙන් දෝ රෝස කැලෙන් ඇහින්දෝ‘ යන ළමා ගීතය ද සෙමින් ගයමිනි.

මොහොතකින් ලේලන්ඩය ගමන් අරඹන්නේ නිස්කලංක දුර ඈතක පිහිටි නිවාඩු නිකේතනයකට ය. ඒ විරෝධතා හැර කිසිදු විනෝදාංශයක් පුරුදු නැති මේ දරුවන්ට යම් ‘බ්රේක්’ එකක් දීමට ය. ගමන අතරතුර මග නවතා, ලයිට් මීල් හෙවත් සැහැල්ලු රාත්‍රී ආහරයක් ලෙස පාන් කාලක් හා කෙසෙල් ගෙඩියක් දරුවනට ලැබෙන්නේ පෝෂණවේදී උපදෙස් අනුව ය. සති දෙකක ෆුල් බෝඩ් පදනම (ආහාර වේල් තුන, උදේ සවස තේ හා කාමරය) මත නිකේතනයේ නවාතැන් ලැබෙයි. විරෝධතා දරුවන්ගේ යහපත් කල්ක්‍රියාව නිසා ඔවුන් ව දිනකට පසු ව ‘ඕල්-ඉන්ක්ලුසිව්’ පදනමට (ෆුල් බෝඩ් පහසුකම්වලට අමතර ව ඕනෑම විටෙක සෝටීස් හා බීම වර්ග ද ලැබේ) ‘අප්ග්රේඩ්’ කෙරෙයි. යටත් විජිත සමයේ සිට ම, දශක ගණනාවක් පැවැති සුබසාධන සම්ප්‍රදායයෙන් බිහි කළ අනිටු ඵලයක් ද කියා සිතෙන්නේ මේ නිසා ය. යට කී සියලු සත්කාර හා පහසුකම් මධ්‍යයේත් අප විරෝධතා දරුවන් කරන්නේ නිවාඩු නිකේතනයේත් පෝස්ටර හා පුවරු ඔසවා ගෙන යටි ගිරියෙන් බෙරිහන් දීම ය.■